අප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වීමට පෙර දඹදිව පසේබුදුවරුන්ගේ යුගයක් ඇති විය. එකල බරණැස වෙළඳ පිරිසක් වෙළඳාම් පිණිස නැව් නැග සුවණ්ණභූමිය බලා පිටත් වූහ. එහෙත් මුහුදේ අතරමගදී කුණාටුවකට හසුවූ ඒ නැව කැඩී බිඳී ගියෙන් බොහෝ ජීවිත මුහුදුබත් විය. එක් මිනිසෙකුට පමණක් දිවි ගලවාගෙන ලී දණ්ඩකට ගොඩ වී පිහිනා අවුත් තම්බපණ්ණි රටට එන්ට හැකි විය.

එදවස තම්බපණ්ණි ද්වීපය වනාහී මිනීමස බොජුන් කොට ගත් බිහිසුණු යකුන්ගේ වාසභූමියක් බව ඔහු නොදත්තේය. එසමයෙහි දඹදිව වැඩසිටි පසේබුදුන් වහන්සේලාට තම්බපණ්ණියේ නාගදීපයේ (මෙකල යාපනය) වසන මිනිසා දිවැසින් දකින්ට ලැබුණේය. කර්මානුරූපව ඔහු අමනුෂ්‍ය බිල්ලකට ගොදුරු වෙන්ට නියම ව සිටියේය. එසේ යකුන්ට බිලි වීමට පළමු ඔහු ලවා කිසියම් පිනක් කැරවිය යුතු යි සිතූ පසේබුදුන් වහන්සේලා බරණැස රජ වීදියේ පිඬුසිඟා ලත් දානය ගෙන අහසින් නාගදීපයට වැඩි සේක. අර මිනිසාට පෙනෙන සේ රුක් සෙවණක හිඳ දන් වළඳන්ට පටන් ගත් සේක.

බරණැස පිඬුසිඟා වඩින තපස්වී ශ්‍රමණවරුන් දැක හඳුනන ඒ මිනිසා ද මේ ශ්‍රමණයන් වහන්සේලා රුක් සෙවණක දන් වළඳන අයුරු දැක බොහෝ සෙයින් පැහැදුණේය. ‘මෙවන් හුදෙකලා අසරණ අවස්ථාවේ පවා මෙවැනි දර්ශනයක් ලැබීම කෙතරම් දුර්ලභ දෙයක් ද! තමා වෙත පිදීමට කිසිවක් නැතිමුත් කිසියම් වතාවතක් කොට පිනක් කරගන්ට ඇත්නම් කෙතරම් අගේ ද!’

මෙසේ සිතූ මිනිසා මේ ශ්‍රමණයන් වහන්සේලාගේ පාත්‍රා පිසදා ගැනීමට කොළ ටිකක්වත් කඩා දිය යුතු යි සිතා වහා අසල ඇති රුකින් කොළ කඩා පසේබුදුවරුන්ට පිළිගැන්වීය. කොළ අතුවලින් පාත්‍රා පිසදාගත් උන්වහන්සේලා ඒ මිනිසාට පින් දී ඔහු බලා සිටියදී ම අහසට පැන නැගී වැඩි සේක. මිනිසා මහත් ප්‍රීතියට පත් විය. එදෙස බලා වඳිමින් සිටියදී යක්ෂයෙක් පැමිණ ඒ මිනිසා අල්ලාගෙන බතල අලයක් කන සෙයින් අනුභව කළේය.

පසේබුදුන් වහන්සේලාට කොළ පිදූ පිනෙන් ඒ මිනිසා මියගොස් සැවැත්නුවරට නුදුරු සොඳුරු බිම් පෙදෙසක එක්තරා කිරිපලු නුගරුකෙක සමිද්ධිසුමන නම් රුක් දෙවියෙක් ව උපන්නේය. භාග්‍යවතුන් වහන්සේ පහළ වූ අවදියෙහි ජේත කුමරුගේ වනෝද්‍යානය ඉදිවන කාලයෙහි ඒ රුක එයට අයත් විය. අනේපිඬු සිටුතුමා ජේත කුමරුගෙන් වනෝද්‍යානය මිලට ගෙන ජේතවනාරාමය තනවන කල්හි ඒ කිරිපලු නුගරුක ජේතවන ප්‍රාකාරයට පිටින් තිබුණේය. භාග්‍යවතුන් වහන්සේ ඒ කිරිපලු නුගරුකට අරක්ගත් සමිද්ධිසුමන දෙවියාගේ පෙර භවයත්, ඔහු නාගදීපයේ දිවි ගෙවූ අයුරුත්, පසේබුදුවරුන් හට රුකින් කොළ කඩා පිදූ තැනත් දැක ලක්දිව වඩින දෙවෙනි චාරිකාවට ඔහු කැඳවාගත් සේක.

සමිද්ධිසුමන රුක්දෙවියා සිය විමානය වූ නුගරුක මුලින් ම උදුරා පස් රහිතව අලංකාර කොට භාග්‍යවතුන් වහන්සේට ඡත්‍රයක් සෙයින් සෙවණ කොට අහසින් ලක්දිවට පැමිණියේය. එදා ලක්දිව මහා නාග කෝලාහලයක් ඇතිවන දිනෙකි. චූළෝදර – මහෝදර නම් නාරජවරු මිණිපළඟක් හේතු කොට දෙපසට බෙදී කෙළ ගණන් නාගයින් පිරිවරා බිහිසුණු යුද්ධයකට සූදානම් ව සිටියෝය.

භාග්‍යවතුන් වහන්සේ ඔවුන් දමනය කරනු වස් ඝනාන්ධකාරයක් මැවූ සේක. ඒ ඝන අඳුර කෙතරම් බිහිසුණු ද යත්, කිසිවෙකුත් එකිනෙකාට නොපෙනුනේය. ඔවුන්ට කුමක් වූයේ දැයි සිතාගත නොහැකි විය. සියල්ලෝ මරබියෙන් තැතිගත්හ. දැන් තමන්ට කවර පිහිටෙක් දැයි සිතා ඉතා අසරණ වූහ. එසැණින් භාග්‍යවතුන් වහන්සේගේ නළල් තලය මැද වූ ඌර්ණ රෝම ධාතුවෙන් සෞම්‍ය වූ අතිධවල ආලෝකයක් නිකුත් විය. ඒ සුදෝසුදු එළිය කෙමෙන් පැතිර ගොස් සකලාන්ධකාරය නසාලීය. එවිට නාගයන් දුටුවේ එක්තරා දෙවියෙකු විසින් ඔසොවාගත් කිරිපලු නුගරුකෙන් සැදි සෙවණ යට අහසේ පලක් බැඳ වැඩසිටිනා මනහර රූ ඇති මහා ශ්‍රමණයන් වහන්සේනමකි.

මේ මහානුභාව සම්පන්න මුනිවරයාණන් දුටු නාගයෝ යුද කිරීම පසෙක තබා බිම වැතිරී උන්වහන්සේට නමස්කාර කොට සිටියෝය. එසඳ භාග්‍යවතුන් වහන්සේ කලහ නොකිරීම ගැනත්, සමගිය හා සමාදානය ගැනත්, එයින් උපදින සැපය ගැනත් මිහිරි බණක් වදාළහ. එය ඇසූ නාගයෝ ඔවුන් සිත උපන් ක්‍රෝධය වහා බැහැර කොට, සැදැහැ සිත් උපදවා, මෙත් සිත් වඩා, එක්සත් ව ඒ මිණිපළඟ සකසා බිම තබා, “ස්වාමීනී, මහා ශ්‍රමණයන් වහන්ස, නුඹවහන්සේ අපට වෙන්ට තිබූ විනාශයෙන් අප ගලවාගෙන අපව සමගි කැරවූ සේක. අපට සැප ලබාදුන් සේක. එහෙයින් මහා ශ්‍රමණයන් වහන්ස, අපි නුඹවහන්සේ කෙරෙහි ඉතා පහන් සිත් ඇත්තෙමු. මේ මිණිපළඟ නුඹවහන්සේට ම පුදමු. මෙහි වැඩසිටින සේක්වා!”යි භාග්‍යවතුන් වහන්සේට ඇරයුම් කළහ. භාග්‍යවතුන් වහන්සේ අහසින් වැඩ ඒ මිණිපළඟ මත හිඳගත් සේක. මින් බොහෝ කලකට පෙර පසේබුදුවරුන් දන් වැළඳූයේ යම් තැනක ද ඒ එතැන ය. එදා පසේබුදුවරුන්ගේ පාත්‍රා පිසදැමීමට කොළ කඩා පිදූ මිනිසා දැන් කිරිපලු නුගරුකක් ඔසොවා දෙවියෙකු ලෙසින් යළි එතැනට ම පැමිණ සිටී. සමිද්ධිසුමන දෙවියා භාග්‍යවතුන් වහන්සේට සෙවණ සදමින් ඒ නුගරුක නාගදීප පොළොව මත තැබීය. එසැණින් ලක් පොළොව එහි මුල් පිළිගෙන වැළඳ ගත්තේය.

භාග්‍යවතුන් වහන්සේ එසේ වැඩහුන් කල්හි යුද වැදීමට පැමිණ, බණ අසා සමගි වූ දෙපාර්ශ්වයේ ම නාගයෝ දිව්‍යමය වූ ආහාරපානාදිය මවා භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූහ. අප භාග්‍යවතුන් වහන්සේ මේ ලක්දිවට වැඩම කළ පළමු අවස්ථාව සවස් වරුවක් වූ හෙයින් සමන්තකූට පර්වතවාසී මහාසුමන දෙවියන්ට දන් දීමේ වාසනාවක් නොතිබුණි. එනමුදු මේ දෙවන අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේට මුලින් ම දන් දීමට භාග්‍යය උදාකර ගත්තේ නාගදීපයට රැස්වූ භූත නාගයන් ය. දන් වැළඳූ භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“නාරජවරුනි, මවිසින් පරිභෝග කරන ලද මේ කිරිපලු නුගරුකත්, මේ මිණිපළඟත් දැන් තොපට පූජ්‍ය වස්තූන් ය. මේවා පාරිභෝගික චෛත්‍යයෝ ය. සිත පහදවාගෙන මේවාට සැදැහැයෙන් පුද සත්කාර දක්වව්. වත් පිළිවෙත් කරව්. නමස්කාර කරව්. නාදරුවෙනි, මෙසේ පුද පූජා, වත් පිළිවෙත්, වන්දන මානන කිරීම තොපට බොහෝ කල් හිත සුව පිණිස පවත්නේය.”

එදා කිරිපලු නුගරුකට අරක්ගත් සමිද්ධිසුමන දෙවියා ද නාගදීපයේ සුපිහිටි පාරිභෝගික චෛත්‍යයන්ට රැකවල් පිණිස එහි ම නවතාලූ භාග්‍යවතුන් වහන්සේ යළි දෙව්රමට වැඩි සේක.

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.