ගැඹුරු කල්පනාවක නිමග්නව සිටි ප්‍රජාපතී ගෝතමී දේවියට සිතුවම් පටක් සේ අතීත මතකයන් එකිනෙක මැවී පෙනෙන්නට විය. සිද්ධාර්ථ බෝසතුන් සියල්ල අතහැර වැඩිය මොහොතේ ළය වාවාගන්නට නොහැකි මහත් ශෝක පීඩාවක් විඳි මුත් සම්බුදු පදවි ලද ශාක්‍ය සිහරජාණෝ සත් වසරකට පසු දුටු වේලේ නිම්හිම් නැති සතුටක් හදේ උතුරා ගිය බව ඕ සිහි කළා ය. සුළු කලක් ඇතුළත සියල්ල වෙනස් වී ඇත. රාජ්‍යයත්වයට උරුමකම් කී නන්ද, රාහුල කුමරුවන් සම්බුදු සසුනේ පිළිසරණ පතා ගොසින් ය. ශාක්‍ය රාජධානිය ම සම්බුදු වදන් පහසින් සැනසිල්ල ලබමින් සිටී. සුදොවුන් රජු ද සිරියහනේ සුදු සේසත යට සැතපී අරහත් ඵලය ලැබ පිරිනිවන් පෑවේ ය. සුවිසල් රාජමන්දිරයේ තමා තනිවී ඇති බවත් ඈට දැනේ. දුටු දහම් ඇති ගෞතමිය සුදොවුන් නිරිඳු පිරිනිවන් පෑ දිනයේ ම ගිහි දිවියට ඇති ඇල්ම අතහැරියා ය. ඕ බුදු සසුනේ පැවිදි බව ලැබීමට අදිටන් කරගත්තා ය.

එකල අප නරශ්‍රේෂ්ඨයාණෝ වැඩ සිටියේ කපිලවස්තුවේ නිග්‍රෝධාරාමයේ ය. පැවිද්ද පිළිබඳව දහසක් පැතුම් හද දරා ගෞතමී දේවිය මුනි රජුන් සොයා යන මේ ගමන සකල වනිතා පරපුරට ම තීරණාත්මක ගමනකි. මුනිපා පියුම් වැඳ එකත්පස්ව හුන් ගෞතමිය, “‍ස්වාමීනි, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ධර්ම විනය සංඛ්‍යාත බුදු සසුනෙහි කාන්තාව ද ගිහිගෙයින් නික්ම පැවිදි වන්නී නම් මනායැ.”‍ යි ඉල්ලා සිටියා ය. සිදු වූයේ අනෙකකි. “‍නැත ගෞතමී, එය වැඩක් නැත්තේ ය. ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි ලබන පැවිද්ද කාන්තාවක වන තොපට රුචි නොවේවා!”‍ යි තුන්කල් දක්නා අප තථාගතයාණන් වහන්සේ වදහළ සේක. දෙවනුවත්, තෙවනුවත් ඕ කළ ආයාචනය ප්‍රතික්ෂේප විය. එකල්හි ගෞතමී තොමෝ ‘‍තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ධර්ම විනය සංඛ්‍යාත බුදු සසුනෙහි කාන්තාව විසින් ගිහිගෙයින් නික්ම පැවිදි වීම අනුමත නොකරන සේකැ’යි‍ භාග්‍යවතුන් වහන්සේට වැඳ, දුක ම උරුම කරගත් මාගමුන්ගේ ඉරණම දෝතින් දරා හඬමින් පිටත්ව ගියා ය.

ශාක්‍ය කෝලිය දෙනුවර තරුණ කුමාරවරු පන්සීයක් බුද්ධ ශාසනයේ පැවිදි වූයේ නොබෝ දිනක ය. එකල්හි ඔවුන්ගේ පතිනියෝ ද ගිහි දිවියෙහි ඇල්ම අත්හැර ප්‍රජාපතී ගෝතමී දේවිය වෙත එළඹ “අපිදු පැවිදි වන්නෙමු.”‍ යි තරයේ කියා සිටියෝ ය. අහිංසක සිත් ඇති මුත් දැඩි අදිටනින් යුතු වූ ගෞතමී දේවියත්, පන්සියයක් වූ ශාක්‍ය කෝලිය කුමාරිකාවනුත් මනස්කාන්ත නිල්වන් කේශකලාපයෝ සැණෙකින් කපා දැමූහ. සිනිඳු කසී සළු හැර රළු කසාවත් දරා ගත්හ. රන් තැටි අතැර මැටි පාත්‍රා දෝතට ගත්හ. විමුක්ති දායකයාණෝ සොයා පා ගමනින් ම කපිලවස්තුපුරයෙන් පිටත්ව ගියෝ ය.

එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ ලිච්ඡවීන්ගේ රාජධානිය වූ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ ය. ගෞතම බුදු සසුනේ පැවිදි බව පතා සඳලු තලයෙන් මහ පොළවට බට මේ රාජකීය ලලනාවන් දුටු දුටුවන් කඳුළු ධාරා වගුරවන්නට විය. දනන් සිත් කම්පිත කරවමින් ගෙපිළිවෙළින් පිඬුසිඟා ලත් දෙයකින් යැපෙමින් මේ කුලඟනාවන් වෙහෙසකර ගමනක යෙදෙන්නේ භව ගිමන් නිවාලනු පිණිස ම ය. සකල සතුනට සෙත් සදනු පිණිස ම ය. ඔවුන්ගේ පා ඉදිමී පැලී ගියේ ය. දැඩි වෙහෙසට පත්ව ක්ලාන්ත වෙමින්, තැන තැන ඇද වැටෙමින් කෙමෙන් කෙමෙන් ගෞතමී දේවිය පිරිවරා ගත් රාජවංශික දේවිවරුන් විසල්පුර මහ වනයේ කූටාගාර ශාලාවට ළඟා විය.

දැඩි වෙහෙසට පත්ව, ශෝකබරිතව ශාක්‍ය කුලඟනාවන් පිරිවරා ගත් ගෞතමී දේවිය කූටාගාර ශාලා දොරටුවෙන් පිටත කඳුළු වැකුණු මුහුණින් හඬ හඬා සිටියා ය. දුටු දසුනෙන් මහත් සේ කම්පිත සිත් ඇති අපගේ ආනන්ද තෙරණුවෝ “‍කිම ගෞතමී, මේ පා ඉදිමී ඇත්තී ය. දූලි වැකුනු සිරුර ඇත්තී ය. හඬමින් කඳුළු වගුරවමින් දොරටුවෙන් පිටත සිටින්නී කුමක් වූයේද මේ?” යැයි අසද්දී ඈ සියල්ල පවසා සිටියා ය. මහත් දයානුකම්පා ඇති අනඳ තෙරණුවෝ ඇය අස්වසා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ගෞරවයෙන් වන්දනා කොට, පැවිදි බව අපේක්ෂාවෙන් රජ දේවිවරුන් පිරිවරා ගත් ගෞතමී දේවිය දොරටු කොටුවෙහි හඬමින් සිටින බව සැලකොට සිටියාහු ය. අහෝ! ස්ත්‍රී අත්බවයෙහි ඇති අවාසනාවක මහත! පෙර පරිදිම අප තථාගතයාණන් වහන්සේ එම ඉල්ලීම තෙවන වර දක්වා ප්‍රතික්ෂේප කළ සේක. එකල්හි ආනන්ද තෙරණුවෝ විමසා සිටියේ “‍ස්වාමීනි, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ධර්ම විනය සංඛ්‍යාත බුදු සසුනෙහි ඉදින්, කාන්තාවක් ගිහිගෙයින් නික්ම පැවිද්ද ලබයි නම්, ඕ සෝවාන් ඵලය හෝ සකදාගාමී ඵලය හෝ අනාගාමී ඵලය හෝ අරහත් ඵලය හෝ පසක් කරන්නට අසමර්ථ වන්නී ද?”‍ ධර්මස්වාමී වූ අප තථාගතයාණන් වහන්සේ ධර්ම ගෞරවයෙන් යුතු සේක. මග ඵල නිවන ගැන ප්‍රශ්න කළ කරුණෙහිලා භාග්‍යවතුන් වහන්සේ අනුමැතිය ලබා දුන් සේක. “ඉදින් ආනන්ද, මහා ප්‍රජාපතී ගෞතමී මේ අෂ්ට ගරුධර්ම පිළිගන්නේ නම් එයම ඇයගේ උපසම්පදාව වේවා!”‍

උපසම්පදාව ලබා සිය වසක් ගෙවූ භික්ෂුණියක් නමුත් එදාම උපසම්පදාව ලද භික්ෂුවකට වැඳීම, දැක හුනස්නෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම් ආදිය කළ යුත්තී ය. මෙය සත්කාර කොට ගරු කොට බුහුමන් කොට දිවි හිමියෙන් නොඉක්ම යා යුතු පළමු ගරුධර්මය යි.

භික්ෂුණියක විසින් භික්ෂූන් රහිත පෙදෙසක, හුදෙකලා ආවාසයක වස් නොවිසිය යුතු ය. මෙය සත්කාර කොට ගරු කොට බුහුමන් කොට දිවි හිමියෙන් නොඉක්ම යා යුතු දෙවන ගරුධර්මය යි.

භික්ෂුණිය දෙසතියක් පාසා භික්ෂු සංඝයාගෙන් උපෝසථය විචාරීම පිණිසත්, ධර්මාවවාද ලබනු පිණිසත් යා යුත්තී ය. මෙය සත්කාර කොට ගරු කොට බුහුමන් කොට දිවි හිමියෙන් නොඉක්ම යා යුතු තෙවන ගරුධර්මය යි.

වස් වැසූ භික්ෂුණිය විසින් භික්ෂූ – භික්ෂුණී යන උභය සංඝයා ඉදිරියෙහි ම පවාරණය කළ යුත්තේ ය. මෙය සත්කාර කොට ගරු කොට බුහුමන් කොට දිවි හිමියෙන් නොඉක්ම යා යුතු සිව්වන ගරුධර්මය යි.

භික්ෂුණිය විසින් ගරු ඇවතකට පත්වූ කල්හි භික්ෂු භික්ෂුණී උභය සංඝයා ඉදිරියෙහි වත් මානත් පිරිය යුත්තේ ය. මෙය සත්කාර කොට ගරු කොට බුහුමන් කොට දිවි හිමියෙන් නොඉක්ම යා යුතු පස්වන ගරුධර්මය යි.

උපසම්පදාව නොලබා සිටිය දී ම උපසම්පදාව ලද්දියක සෙයින් දෙවසරක් සික්ඛමානාවක ලෙස පුහුණුව ලද පසු භික්ෂු භික්ෂුණී උභය සංඝයා වෙතින් උපසම්පදාව ලැබිය යුත්තී ය. මෙය සත්කාර කොට ගරු කොට බුහුමන් කොට දිවි හිමියෙන් නොඉක්ම යා යුතු සයවැනි ගරුධර්මය යි.

භික්ෂුණිය කවර හෝ අයුරකින් භික්ෂුවකට නින්දා අපහාස පරිභව නොකළ යුත්තී ය. මෙය සත්කාර කොට ගරු කොට බුහුමන් කොට දිවි හිමියෙන් නොඉක්ම යා යුතු සත්වෙනි ගරුධර්මය යි.

අද පටන් භික්ෂුණීන් විසින් භික්ෂූන් හට ‘මෙසේ කරව, මෙසේ කරව’යි කියනු ලබන අණ කිරීම් වචන මවිසින් අවුරන ලද්දේ ය. එහෙත් භික්ෂූන් විසින් භික්ෂුණීන්ට, ‘මෙසේ පිළිපදුව, මෙසේ දහමෙහි හැසිරෙව්’යි කියනු ලබන වචන මාර්ගය මවිසින් නොඅවුරන ලද්දේ ය. මෙය සත්කාර කොට ගරු කොට බුහුමන් කොට දිවි හිමියෙන් නොඉක්ම යා යුතු අටවන ගරුධර්මය යි.

ආනන්දයන් වහන්සේ මේ අෂ්ට ගරුධර්ම අසාගෙන ගෞතමිය වෙත ගොස් පවසා සිටියහ. ඕ ඒවා හිස් මුදුනින් පිළිගත්තී මෙසේ කීවා ය. “ස්වාමීනී ආනන්දයන් වහන්ස, අලංකාරය කැමැති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හොඳින් ස්නානය කොට අලංකාර මහනෙල් හෝ දෑසමන් හෝ යොහොඹු කුසුම් මාලයක් හෝ දෝතින් පිළිගෙන හිස මත රුවා ගන්නේ යම් සේ ද මම් එසේම දිවි තිබෙන තුරු නොඉක්ම යන්ට මෙය පිළිගනිමි.”‍ ගෞතමියගේ උපසම්පදාව මෙයයි.

අනාගතය දකිනා ඤාණයෙන් යුතු අප තථාගතයාණන් වහන්සේ දෙසා වදාළේ, “‍ඉදින් ආනන්ද, තථාගතයන් විසින් දෙසන ලද ධර්ම විනය සංඛ්‍යාත බුදු සසුනෙහි කාන්තාව විසින් ගිහිගෙයින් නික්ම පැවිදි බව නොලද්දී නම් ආනන්ද මේ බුදු සසුන චිරාත් කල් පවතින්නේ ය. ඒ සද්ධර්මය වසර දහසක් කල් පවතින්නේ ය.

ආනන්ද යම් කලෙක තථාගතයන් විසින් දෙසන ලද ධර්ම විනය සංඛ්‍යාත බුදුසසුනෙහි කාන්තාව විසින් ගිහිගෙයින් නික්ම පැවිදි බව ලද්දී ද ඒ හේතුවෙන් ආනන්ද මේ බුදු සසුන චිරාත් කල් නොපවතින්නේය. දැන් මෙතැන් සිට ශාසන සද්ධර්මය හෙවත් ප්‍රතිවේධ ශාසනය පන්සිය වසරක් ම පවතින්නේ ය.” කියා ය.

දුක්ඛිත වූත්, දොස් සහිත වූත් ස්ත්‍රී අත්භව ලද වනිතාවන්ට ශ්‍රී සම්බුද්ධ ශාසන බඹසර දිවියට මෙසේ දොරටු විවර විය. නුවණැති මාගමුන් සමාධිමත් සිතින් විදසුන් නුවණින් ස්ත්‍රී බව ඉක්මවා මරු පරදවන්නට විය. මහා පුරුෂයන් විසින් ස්පර්ශ කොට වදාළ අමා මහ නිවන ස්පර්ශ කරන්නට විය. කාමයෙන් වෙලී ගිය, දරු දුකින් සැලී ගිය, අනේක දුක් ගින්නෙන් දැවී ගිය කතුන් ශ්‍රී සම්බුද්ධ ශාසන දායාදය ලැබ සදා නිවී පහන් වූහ.

මහා ප්‍රඥාවෙන් යුතුව, පුළුල් ප්‍රඥාවෙන් යුතුව භික්ෂුණී සඟ ගණට සරණ වූ – පිරිනිවී වැඩි මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේට නමස්කාර වේවා!

ලක්වැසි කතුනට කලණ මිතුරියක වූ සංඝමිත්තා තෙරණින් වහන්සේට නමස්කාර වේවා!

බුදු සසුන ශෝභමාන කළ භික්ෂුණී සඟරුවනට නමස්කාර වේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේනමක් විසිනි.