ගහක වැලක වුණත් කොළ හැළෙන කාලයක් එනවා. ඒ වගේ ම දලු දමන, මල් පිපෙන, ගෙඩි හැදෙන කාලයකුත් එනවා. ගස් වැල් ටික ටික මෝරනවා. මල් පිපෙනම, ගෙඩි හැදෙනම කාලයක දී වුණත් මහා නියඟයක් ආවොත් මෝරපු ගස්වැල් පවා නියංසායෙන් කරවෙලා යනවා. අපට වුවමනා විදිහට ගහක් වැලක් දලු දමන්නේ නෑ, මල් පූදින්නෙ නෑ, ගෙඩි හැදෙන්නේ නෑ. කොච්චර ඇප-උපස්ථාන කළා වුණත් ගහක් වැලක් අපට වුවමනා විදිහට හැමදාමත් පවතින්නෙත් නෑ. හරියට, අපේ ජීවිත වගේ ම යි…!

පොදුවේ අප අත්දකින ජීවිත තුළත් යහපත් කාල එළඹෙනවා. බොහොම අයහපත් කාලත් එළඹෙනවා. ඇතැම් කාල අපගේ ම වැරදි තීරණ, වැරදි හැසිරීම්, වැරදි කළමනාකරණයන් නිසා බොහොම දුක්ඛිත භාවයට පත් වෙනවා. ඇතැම් කාලවල දී දුක්ඛිත භාවයන් උපදින්නේ අප කරන කියන දේවලින් නොවෙයි; සමාජයීය ආර්ථික පරිහානීන් – රෝග වසංගත ආදිය නිසාවෙනුයි. ඒ මොන දෙයකින් හරි දුක්ඛපීඩාවන් අපව යටපත් කරද්දී අපට සිතෙන සිතුවිල්ලක් තිබෙනවා; ‘මොන කරුමයක් ද මන්දා…!’ කියලා…

එහෙත්, අර්බුදකාරී වටපිටාවක දී සෑමවිට ම ‘මේ පෙර කරුමයක් ම යි’ කියලා නිශ්චිත වන්නට බැහැ. කර්ම විෂය පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළේ අපගේ ශාස්තෘන් වහන්සේ. උන්වහන්සේගේ අවබෝධය වුණේ කර්මය සංසාරගත සත්වයන්ගේ පැවැත්ම තීරණය කරන ප්‍රමුඛතම බලවේගය බව යි. ඒ නිසයි සම්බුදුරජාණන් වහන්සේ කර්මය සත්වයන්ගේ දායාදය යි කියා වදාළේ.

අපගේ උත්පත්ති ස්ථානය තීරණය වුණේ කර්මයෙන්. මේ වගේ රටක, මේ වගේ දෙමව්පියන්ට දාව, මේ වගේ සහෝදර සහෝදරියන් ඤාතී හිතමිත්‍රාදීන් ඇතිව ඉපදෙනවා යන්න තීරණය වුණේ සාංසාරික ව අප රැස් කළ කර්මයේ මෙහෙයවීමෙනුයි. මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතනයන් පැරණි කර්මයන් කියා අපගේ සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළා. ඒ ආයතන ගැන ධර්මයේ විස්තර වෙන්නේ මෙහෙමයි.

“අභිසංඛතං, අභිසඤ්චේතයිතං, වේදනීයං දට්ඨබ්බං”

“හේතූන්ගෙන් සකස් වුණ, චේතනාවකින් සකස් වුණ, විඳීමකින් දැනගත යුතු දෙයක්.”

ඉතින්, පෙර සසරේ අප සිත කය වචනය මෙහෙයවාරැස් කරන ලද කර්ම දායාදයේ ප්‍රතිඵලය තමයි විඳව විඳවා ගෙවන මේ ජීවිතය. ඒකට දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට, ඤාතී හිතමිත්‍රාදීන්ට, ගුරුවරුන්ට, පාලකයින්ට දොස් කියලා ඇත්තටම වැඩක් නැහැ. අපට අප ව මුණගැහෙද්දී විඳව විඳවා තමයි දැක ගන්න තිබෙන්නේ. පෙර සසරේ අප කොහොම හිටිය ද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා, මේ ජීවිතයේ අප මුහුණ දෙන දුෂ්කරතාවය සසරේ අපගේ කර්ම දෝෂයක ප්‍රතිඵලය වන්නට ම යි වැඩි ඉඩක් තිබෙන්නේ. කර්මයේ ස්වභාවය තමයි සුදුසු කාලය එළඹුන විට විපාක උපදවා දීම. හරියට, සුදුසු කාලය එළඹි විට ගස් වැල් දලු දාලා, මල් පිපිලා, ගෙඩි හැදෙනවා වගෙයි…

අපගේ විඳවීම් දකිද්දී දකිද්දී අප සිහිපත් කළ යුත්තේ ම සසරේ අප අතින් අඩුපාඩු කොතෙක් නම් වන්නට ඇති ද කියල යි. කලාතුරකින් මිසක් අපට බුද්ධ ශාසන මුණගැසුනේ නෑ. කලාතුරකින් මුණගැසුන බුද්ධ ශාසනය තුළත් අප පින්දහම් පමණක් ම කරගෙන සරණයේ පිහිටා සිටියා කියා සිතන්නත් බෑ. තවමත් අප සසරේ සිටිනවා කියන කරුණේ අර්ථය තමයි සසරේ අපට වැරදුනා කියන එක. වැරදීම් සිද්ධ නොවී, පරෙස්සම් වෙවී යා හැකි ගමනක් නොවෙයි සසර කියන්නේ. තවත් දුර ගියොත් වැරදි වැරදී ම තමයි යන්න තියෙන්නේ. ඒ නිසා, තමන් හමුවට එළඹෙන අර්බුදයන් යනු සසරේ දෝෂ කියා ම දකින්න පුරුදු වීම බොහොම වැදගත්.

අනතුරුදායක, අවදානම් සහගත සසරින් නිදහස් වීමට කල්පනා කිරීමත් බොහොම වැදගත්.

හැමදෙයක් ගැන ම අපට හදිස්සිය තිබුණට, හැම දෙයක් ගැන ම අප කලබලයෙන් සිටියට කර්මයට විපාක දීමට එහෙම හදිස්සියක්, කලබලයක් නෑ. විපාක දීම පිණිස සුදුසු පරිසරය එළඹෙනතාක් ම එවැනි විපාකයක් ගෙනෙන බවට ඉඟියක් හෝ නොසපයා කර්මය බලා සිටිනවා.

කර්ම විපාකයෙන් මනුස්ස ලෝකයේ ඉපදුණ උදවියට විපාක දෙන්නේ මනුස්ස ලෝකයේ විපාක දෙන කර්ම පමණයි. මනුස්ස ලෝකයට ආපු උදවියට අපා දුක් විඳීමක් නෑ. ‘අපා දුක් විඳිනවා’ කියා අප සිතනවා වුණත් අපා දුක් නම් වූ විපාකය සකස් වන්නේ සතර අපා භූමියේ ම පමණයි. එහෙම බලද්දි කර්මය සර්ව සාධාරණ න්‍යායක්. හිඟන්නෙකු ව සිටිය දී ඵල දිය යුතු කර්මය රජෙකු ව සිටිය දී ඵල දෙන්නේ නෑ. රජු යම් දිනක හිඟමනට වැටෙනවා ද ඒ මොහොතේ ම යි අදාළ කර්මය ඵල දෙන්නේ.

අද ලෝකය පනවාගෙන තියෙන නීති රීති රෙගුලාසි තුළ ඡන්ද, ද්වේශ, භය, මෝහ යන සතර අගතියෙන් අගතියට යාම් දකින්න ලැබෙනවා. නීතියේ අසමානකම්, අසාධාරණ අයුක්ති සහගත තීන්දු තීරණ ගැනීම් ගැන ආන්දෝලනාත්මක වටපිටාවන් සකස් වෙන්නේ ඒ නිස යි. හැබැයි, කර්මය විපාක උපදවද්දී කිසිවකින් අගතියට යාමක් නෑ. වපුරපු කෙනාට වපුරපු විදිහට අදාළ අස්වැන්න ලැබෙනවා. මොන බලවතෙකුටවත්, මොනම බලයකින්වත් ඒක වළක්වන්න බෑ.

සතර මහා සාගර ජලය ඉක්මවාලන ලෙයක් ගලනා තුරු ම බෙලි කැපුම් ලබන්නට අප ව කුකුළන් අතර ඉපැද්දුවේ කර්මයෙන්. ඒ සා විශාල ලෙයක් ගලනා තුරු ම හිස් ගැසුම් කන ඌරන් ලෙසින් අප ඉපැද්දුවේ කර්මයෙන්. කර්කශ මාරාන්තික දුක්ඛ පීඩාවන් පමණක් ම ස්පර්ශ වන නිරයන්හි අප ව ඉපැද්දුවේ කර්මයෙන්. සෙම් සොටු කැහි ටිකට පවා පොර බදමින් සා පිපාසාවෙන් අපමණ පීඩා විඳින ප්‍රේත යෝනියේ අප ව ඉපැද්දුවේ කර්මයෙන්. බියෙන් සැකෙන් කුසගින්නෙන් ජීවිතය ගෙවා දමන තිරිසන් යෝනියේ අප ව ඉපැද්දුවේ කර්මයෙන්. මිනිස් ලෝකයේ රජ සිටු පවුල්වල අප ව ඉපැද්දුවේ කර්මයෙන්. නීච කුලයන්හි අප ව ඉපැද්දුවේත් කර්මයෙන්. ස්ත්‍රීන් කොට, පුරුෂයන් කොට, ස්ත්‍රී ද පුරුෂ ද නොවන නපුංශකයන් කොට අප ව ඉපැද්දුවේ කර්මයෙන්. දෙව්ලොව දෙවියන් අතර, බඹලොව බඹුන් අතර අප ව ඉපැද්දුවේ කර්මයෙන්. සසරේ නොයෙක් තැන්හි අප ව ඇවිද්දවපු කර්ම පාදවලට අප ව ගෙනයන්නට බැරි වූ තැන තමයි ශුද්ධාවාස බඹලොව. ඒ හැර අප නූපන් තැනක් නෑ.

ඔව්. අප නොකෑ කෑමක් නෑ. නොඇන්ද ඇඳුමක් නෑ. නොපැලඳි ආභරණයක් නෑ. නොඇසූ බැණුමක් නෑ. නොකාපු ගුටියක් නෑ. නොබැන්ද කසාදයක් නෑ. නොලබපු දරුවෙක් නෑ. ඒ හින්දයි අපට අම්මා නොවුණ, තාත්තා නොවුණ, ස්වාමියා නොවුණ, භාර්යාව නොවුණ, දරුවන් නොවුණ කෙනෙක් ලෝකයේ නැත්තේ. ඒත්, තවම ඇති වෙලත් නෑ.

අපි තවමත් ජීවත් වෙන්නේ සසරට යොමු වුණ උදවිය විදිහටයි. සංසාරේ බොහෝ වාර ගණනින් අහපු බැණුම ම ආයෙමත් ඇහෙද්දී අලුතින් ම ඇහුණා වගේ අපි කලබල වෙන්නේ ඒ නිස යි. කලිනුත් කාපු ගුටිය ම ආයෙම වැදෙද්දී කවදාවත් නොකෑ ගුටියක් කෑවා වගේ අපට රිදෙන්නේ ඒ නිසයි. මේවා සසර ගමනේ දෝෂ කියලා හිතන්න අපි පුරුදු වෙලා නැහැ.

ඔබ විවේකය හදාගෙන ‘නුවණ වැඩෙන බෝසත් කථා’ පොත් පෙළ කියවන්න. මේ ජීවිතය අප හා හා පුරා කියා අත්විඳින නැවුම් අත්දැකීමක් නොවන බව තේරුම් ගන්න එය ප්‍රමාණවත්. අප මේ මුහුණ දෙන දෙයට සමාන දෙයක් සසරේත් අප අත්විඳලා තිබෙනවා. ඒ අනවරාග්‍ර සසර දකින ඤාණයක් අපට නැති නිසාත්, පටු රාමුවකට බැසගෙන ප්‍රශ්නවලට උත්තර හොයන එක ඤාණවන්තකමක් කියා අප සලකන නිසාත් අපට හිතෙන්නේ ම මේ කවදාවත් නොවිඳපු, නොලබපු අත්දැකීමක් කියල යි. හැබැයි, සම්බුදුරජාණන් වහන්සේ තුන්ලොව විනිවිද දකින නුවණැසින් යුතුව වදාළේ මේ කිසිවක් අලුත් දේවල් නෙවෙයි කියල යි.

“පින්වත් මහණෙනි, ඔබට දුකට පත් වූ විරූපී වූ අසරණයෙක් දකින්න ලැබුණොත් මේ විදිහට නිශ්චයකට පැමිණෙන්න ඕන. ‘අහෝ! මේ සා දීර්ඝ සංසාරයේ ගෙවූ කාලය තුළ අපිත් මේ විදිහේ දුක් අනුභව කරලා තියෙනවා නෙව.”

(දුග්ගත සූත්‍රය, සං. නි. – නිදාන වර්ගය)

සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගන්න. අප අත්විඳින ජීවිතය පරණ කථාවක අලුත් පිටපතක් පමණයි. කර්ම පාද තිබෙනතාක් අපට අලුතින් පිටපත් සැකසෙනවා. ඒ නිසා, කර්මය ක්ෂය කිරීමයි එකම උත්තරේ. දුක් විපාක උපදවන කළු කර්ම ගැනත්, සැප විපාක උපදවන සුදු කර්ම ගැනත්, සැප දුක් මිශ්‍ර විපාක උපදවන කළු සුදු කර්ම ගැනත් වගේ ම කළුත් නොවන සුදුත් නොවන කර්ම ක්ෂය කරවන කර්ම ගැනත් පරිපූර්ණ අවබෝධයකින් යුතුව වැඩ වෙසෙමින් කර්ම ක්ෂය කරන ප්‍රතිපදාව ගැන වදහළ අසහාය මුනිරජුන් ශාස්තෘත්වයේ තබා ගන්න. යළි යළිත් උන්වහන්සේ ව සරණ යන්න.

කර්ම ක්ෂය කරන ප්‍රතිපදාව ප්‍රගුණ කරමින් කර්ම ක්ෂය කිරීම සාක්ෂාත් කොටගෙන කර්ම පාදයන්ගෙන් ඇවිදනා සසර කෙළවර කරන්නට ඔබට සම්බුදුරජුන්ගේ පිහිට ලැබේවා!

සටහන – ඉඳුනිල් වික්‍රමසූරිය