චූළ සුභද්‍රාවගේ කථා වස්තුව

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර අය කුඩා අවදියේ ඇතිකර ගන්නා හිතවත්කම වයසට යනකම් ම තියෙනවා. ඔවුන්ගේ ජාතිය, අදහන ආගම, කතා කරන භාෂාව ඒ හිතවත්කමට බාධා කරන්නේ නෑ. සැබෑ හිතවත්කම යනු ජාති, ආගම්, කුලමල ආදී පොදු සමාජ සම්මතවලින් වැට බඳින්නට බැරි දෙයක්. එබඳු හිතවත්කමක් අනේපිඬු සිටුතුමා ළඟත් තිබුණා.

අනේපිඬු සිටුතුමාට කුඩා අවදියේ පටන් එක්තරා යහළුවෙක් හිටියා. සැවැත් නුවරින් එකසිය විසි යොදුනක් දුරින් පිහිටි උග්ග නගරයේ හිටිය සිටු කුමාරයෙක්. මේ දෙදෙනා ශිල්ප ඉගෙන ගත්තේ එකම ආචාර්යවරයෙකු ළඟ. ඒ කාලෙ මේ දෙන්නා මෙහෙම කතා වුණා.

“යහළුවේ…. අපේ මිතුරුකම දිගටම පවත්වන්න ඕන. අපි කසාද බැඳලා දූ දරුවෝ ලැබුණොත් ඔවුනොවුන් ව බන්දලා දෙමු. ඒ කියන්නේ ඔබට පුතෙක් ලැබුණොත්, මට දුවක් ලැබුණොත් අපි බන්දලා දෙමු. එතකොට අපේ මිතුරුකම සෑහෙන කල් පවතීවි….”

කාලයාගේ ඇවෑමෙන් මේ දෙදෙනා දෙපැත්තට වුණා. අනේපිඬු සිටුතුමා සිටුතනතුරු ලබා සැවැත් නුවර පදිංචියට ගියා. උග්ග සිටුතුමා උග්ග නගරයේ ම නැවතුණා. දිනක් උග්ග සිටුතුමා ගැල් පන්සියයක් රැගෙන වෙළඳාම් පිණිස සැවැත් නුවරට පැමිණියා. තමන්ගේ පරණ මිතුරා සොයාගෙන ගියා. අනේපිඬු සිටුතුමාට හරි සතුටුයි. ඔහු තම මිතුරාට සිටු මාළිගයේ ම නවාතැන් දුන්නා. තම දියණිය වන චූළ සුභද්‍රා ව ඇමතුවා.

“දුවේ…. ඔය ඇවිත් ඉන්නේ මගේ පරණ මිත්‍රයෙක්…. එතුමා උග්ග නගරයේ ප්‍රධානියා…. උග්ග සිටුතුමා…. පියාට වගේ ආදරයෙන් මෙතුමාට සලකන්න. ඔන්න ඒ ගැන වගකීම ඔයාට බාරයි හොඳේ…..”

ඉතින් සිටුතුමා පැමිණි දා පටන් සියලු ඇප උපස්ථාන කළේ චූළ සුභද්‍රා විසිනුයි. ඈ සියතින් ම ආහාරපාන සැකසුවා. මල් සුවඳ විළවුන් පිළියෙල කළා. නාන පැන් පිළියෙල කළා. ඉතාමත් ලස්සනට උපස්ථාන කළා.

උග්ග සිටුතුමා මේ දියණිය ගැන පුදුම විදිහට පැහැදුණා. දවසක් අනේපිඬු සිටුතුමා සමඟ සතුටු සාමීචියේ යෙදී සිටිද්දී මෙහෙම කතාවක් කිව්වා.

“මිත්‍රයා…. ඔබට මතක ද අපි පුංචි කාලේ කතාබස් කරපු දේවල්…. ඉස්සර අසවල් ආචාර්යපාදයන් ළඟ ශිල්ප හදාරද්දී එකිනෙකාට පොරොන්දු වෙච්චි දේවල් මතක ද? මට පුතෙක් ඉන්නවා…. ඔබට දුවෙක් ඉන්නවා…. හහ්… හා…. දැන් මතකයි නොවැ….!”

අනේපිඬු සිටුතුමාත් හිනැහුණා.

“හරි…. හරි….. මටත් මතකයි යාන්තමට….. අපි ඉතින් කලබල නැතුව හිමිහිට කල්පනා කරලා බලමුකෝ….”

“එහෙම බෑ….! මේ දැරිවි බොහෝම යහපත්…. මං හිතන්නේ අපේ පුතාට හොඳටෝම ගැළපෙනවා…. ඒ නිසා මිත්‍රයා….. අපි මේ කටයුත්ත කොහොමහරි කරන්න ඕන….”

අනේපිඬු සිටුතුමා අකැමති බවක් පෙන්නුවේ නෑ. මිත්‍රයා හොඳ වුණාට මිථ්‍යා දෘෂ්ටිකයි. නිගණ්ඨ ශ්‍රාවකයෙක්. ඒ නිසා සිටුතුමා එකවර ම පිළිතුරක් දුන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ මුණගැසෙන්නට ගියා. කාරණාව සැල කළා. මේ සිටුපවුලට සෝවාන් වීමේ වාසනාව ඇති බව බුදු ඇසින් දුටු මහා කාරුණිකයන් වහන්සේ ඒ යෝජනාව අනුමත කළා. අනේපිඬු සිටුතුමා සිටු මාළිගයට පැමිණ බිරිඳ සමඟත් සාකච්ඡා කළා. මගුල තීන්දු කර ගත්තා.

මගුල් දවසේ ඒ ප්‍රදේශය ම සැරසුවා. විශාඛා කුමරියගේ මංගල්‍යය උදෙසා ධනංජය සිටුතුමා කළ උත්සවය වගේ උත්සවශ්‍රීයෙන් ලෙල දුන්නා.

“දුවේ…. නැදිමයිලන්ගේ ගෙදර වසද්දී ඇතුළේ ගින්දර පිටතට නොදිය යුතුයි….” ආදී වශයෙන් ධනංජය සිටුතුමා විශාඛාවට දුන් අවවාද අනේපිඬු සිටුතුමාත් චූළ සුභද්‍රාවට දුන්නා. ඊළඟට අපගේ දියණියගේ කිසියම් දෝෂයක් තිබුණොත් නුඹලා විසින් ඒවා පිරිසිදු කළ යුතු යැයි පවසා සේවක පිරිසකුත් පිළියෙල කළා. ඉතා අලංකාර රථවලින් චූළ සුභද්‍රා ව උග්ග නගරයට පිටත් කළා. උග්ග සිටුතුමාගේ පවුලේ උදවිය උත්සවශ්‍රීයෙන් මේ සිටු දියණිය පිළිගැනීමට මගට ගියා. විශාඛාවට සෙයින් චූළ සුභද්‍රාවටත් මහා ප්‍රසිද්ධියක් ලැබුණා. නගරයට වටා සංචාරය කොට සියල්ලන්ගෙන් ගරු බුහුමන් ලබමින් පැමිණියා. නගරවාසීන් විසින් ඔවුන්ට ගෙනෙන ලද තෑගිභෝග ද පිළිගනිමින්, නගරවාසීන්ට ද තෑගිභෝග දෙමින් අලංකාර මංගලෝත්සවයක් කළා.

ඒ නැදිමයිලන් චූළ සුභද්‍රා ඇමතුවා.

“පින්වත් දියණිය…. ඔයා හරී වාසනාවන්තයි. අද මං අපගේ ශ්‍රමණයන් වහන්සේලාට ආරාධනා කළා…. උන්වහන්සේලා මහා ආනුභාව සම්පන්නයි. සකල ලොවින් නිදහස් වෙලා වාසය කරන්නේ….. නූල් පොටකටවත් ඇල්මක් නෑ…. ඒ උත්තමයන් වන්දනා කොට ආශීර්වාද ගනිමු.”

චූළ සුභද්‍රා ඉතා සංතෝෂයට පත් වුණා. ‘අනේ…. කොච්චර ලොකු දෙයක් ද…! මෙච්චර දුර බැහැරත් අපගේ ශ්‍රමණයන් වහන්සේලා වැඩඉන්න එක….’ කියලා ඈ සතුටින් එද්දී නිගණ්ඨ පිරිසක් හිටගෙන සිටිනා අයුරු දැක්කා. ඇය මහත් ලැජ්ජාවට පත් වුණා. මේ නිරුවත් තාපසයන් දුටු පමණින් ම මහා හිරිකිතයක් ඇති වුණා. සැණෙකින් ආපසු හැරී දිව්වා. ඈ පසුපසින් නැන්දනියත් දිව්වා. ඇයගේ අතින් අල්ලා ගත්තා.

“ඇයි….? ඇයි…. දුවේ….? ඔයා ශ්‍රමණයන් වහන්සේලා ගැන දන්නේ නැද්ද….? ඔහොම කරන්න එපා…! අපටයි හරි නැත්තේ…. යමු… යමු…. සෙල්ලං වැඩක් ද…? අපි හැමෝටම හොඳ නෑ…. අනික මේක උත්සව අවස්ථාවක්…..”

“අනේ…. නැන්දා….. මට නම් බෑ….! මට හරී ලැජ්ජයි…. අපි කොහොමද නිරුවතේ හිටගෙන ඉන්න පිරිමි ඉස්සරහට ගිහිල්ලා ඔවුන්ට වඳින්නේ….? ශ්‍රමණයන් වහන්සේලා කිව්වාම මං හිතුවේ වෙන පිරිසක් ගැනයි….”

“හැයි….? අපේ ශ්‍රමණයන්ට මක් වෙලා ද…? ඔය බොළඳ අදහස් අයින් කරන්න….. සැබෑ රහතුන් අඳුනගන්න…. අනික, ඔබ වැඩ කළ යුත්තේ අපගේ වචනයට අනුවයි….. මුරණ්ඩු වෙන්න එපා….! යමු… යමු….”

කොතෙක් කීවත් චූළ සුභද්‍රා ව සොලවන්නටවත් බෑ. ඇය ගල් කණුවක් වගේ සිටගෙන ඉන්නවා. සිටුතුමාට සොලවන්නටත් බෑ. සිටු මාළිගය පුරා ලොකු ඝෝෂාවක් ඇතිවුණා. කසුකුසුවක් ඇතිවුණා. නිගණ්ඨයින්ට හරි කේන්තියි. නිගණ්ඨයින් තර්ජනය කළා.

“එම්බල සිටුවරය…. දනුව…. සැවැත් නුවරට ගොහින් මිසදිටු පවුලකින් මිසදිටු එකියක් ගෙනැවිත් අපට නින්දා කළා….! මින් මනත තොපගේ නිවසින් දන් පැන් වැළඳීමෙන් අපට කම් නැත….! හ්ම්…. හ්ම්…. ඇවැත්නි…. යමව් ආපසු……”

නිගණ්ඨ පිරිස හැරී ගියා. සියලු දෙනා ම චූළ සුභද්‍රාවට බණින්න පටන් ගත්තා.

“හරි වැඩක් නොවැ….! අලුත් මනමාලී මෙච්චර මුරණ්ඩු ද?”

“අනේ…. මාමේ…. නැන්දේ…. මං මුරණ්ඩු එකියක් නොවෙයි…. මගේ වරදක් තිබේ නම්, මගේ පියාණන් එවූ සේවක පිරිස ඉන්නවා…. ඔවුන්ගෙන් විමසන්න. ඔවුන් සැබෑ විනිශ්චයක් දේවි….”

ඒ සේවක පිරිස නඩුව විභාග කළා. චූළ සුභද්‍රා ව නිදොස් බව ඔප්පු කර පෙන්නුවා. එතකොට උග්ග සිටුතුමා මෙහෙම කිව්වා.

“එහෙම නම් මේ තැනැත්තී මාගේ ශ්‍රමණයන්ට කිසි ලැජ්ජාවක් නැතැයි නොවැන්දේ ඇයි….? මේ තැනැත්තිය හැම තිස්සේ ම ප්‍රශංසා කළේ මැයගේ ශ්‍රමණයන් ගැනයි. මේ මෝඩකමට කරන ප්‍රශංසාවක්….! හරි…. එහෙම නම් මං අහන්න කැමතියි ඔබගේ ඔය ශ්‍රමණයන්ගේ සිල්වත් බව කුමක් ද? සංවරය කුමක් ද? හා….! ඇහැකි නම් කියමු….”

පින්වතුනේ, පින්වත් දරුවනේ, අචල ශ්‍රද්ධාවට පත් ශ්‍රාවිකාවකගේ අභිමානය කොතරම් අපූරු ද…! චූළ සුභද්‍රාවෝ දෑස පියාගත්තා. වන්දනා කර ගත්තා. ඉතා මියුරු හඬින් ගාථාවලින් රහතන් වහන්සේලාගේ ගුණ කියන්නට පටන් ගත්තා.

සන්තින්ද්‍රියා සන්තමානසා – සන්තං තේසං ගතං ඨිතං
ඔක්ඛිත්තචක්ඛූ මිතභාණී – තාදිසා සමණා මම

සංසුන් ඉඳුරන් ඇත්තෝ – සංසුන් මනසක් ඇත්තෝ
වැඩසිටියත් ගමනක් වැඩියත් – සංසුන් ඉරියව් ඇත්තෝ
බිමට නැඹුරු වූ නෙත් ඇත්තෝ – පමණ දැනම බස් පවසන්නෝ
මෙබඳු ය මාගේ ශ්‍රමණවරුන්

කායකම්මං සුචි නේසං – වාචාකම්මං අනාවිලං
මනෝකම්මං සුවිසුද්ධං – තාදිසා සමණා මම

කයින් කරන දේ එම සමණුන්ගේ – ඉතා පිරිසිදුව පවතින්නේ
වචනින් කියනා දේ ද ඔවුන්ගේ – නැත කැළඹීමක් ඇති වන්නේ
මනසින් සිතනා දේ ද ඔවුන්ගේ – ඉතා පිරිසිදුව පවතින්නේ
මෙබඳු ය මාගේ ශ්‍රමණවරුන්

විමලා සංඛමුත්තාභා – සුද්ධා අන්තරබාහිරා
පුණ්ණා සුද්ධේහි ධම්මේහි – තාදිසා සමණා මම

සක් ගෙඩියෙන් එන රැස් දහරක් සේ – ඇතුළත් පිටතත් පිරිසිදුමයි
නිමල ගුණෙන් යුතු ඒ උතුමන් – හොඳ දහමින් පිරිපුන් ඇත්තෝ
මෙබඳුය මාගේ ශ්‍රමණවරුන්

ලාභේන උන්නතෝ ලෝකෝ – අලාභේන ච ඕනතෝ
ලාභාලාභේන ඒකට්ඨා – තාදිසා සමණා මම

ලෝ සත ලාභෙන් උඩඟු වෙති – අලාභයෙන් පහතට වැටෙති
ලාභ අලාභ දෙකේ ඒ උතුමෝ – කිසි වෙනසක් නැතිවම සිටිති
මෙබඳුය මාගේ ශ්‍රමණවරුන්

යසේන උන්නතෝ ලෝකෝ – අයසේන ච ඕනතෝ
යසායසේන ඒකට්ඨා – තාදිසා සමණා මම

ලෝ සත යසසින් උඩඟු වෙති – අයසින් පහතට වැටෙති
යස අයස දෙකෙහි ඒ උතුමෝ – කිසි වෙනසක් නැතිවම සිටිති
මෙබඳුය මාගේ ශ්‍රමණවරුන්

පසංසායුන්නතෝ ලෝකෝ – නින්දායාපි ච ඕනතෝ
සමා නින්දාපසංසාසු – තාදිසා සමණා මම

පැසසුමටත් ලොව උඩඟු වෙති – නින්දාවෙන් පහතට වැටෙති
නින්දා පැසසුම් මැද ඒ උතුමෝ – කිසි වෙනසක් නැතිවම සිටිති
මෙබඳුය මාගේ ශ්‍රමණවරුන්

සුඛේන උන්නතෝ ලෝකෝ – දුක්ඛේනාපි ච ඕනතෝ
අකම්පා සුඛදුක්ඛේසු – තාදිසා සමණා මමා

ලෝ සත සැපයෙන් උඩඟු වෙති – දුකෙහි ද පහතට වැටෙති
සැප දුක් අබියස ඒ උතුමෝ – කිසි වෙනසක් නැතිවම සිටිති
මෙබඳුය මාගේ ශ්‍රමණවරුන්”

පින්වතුනේ, පින්වත් දරුවනේ, චූළ සුභද්‍රාවගේ මේ ප්‍රශංසාව අසා නැදිමයිලන් පුදුමයට පත් වුණා.

“දුවේ…. ඔයාගේ ඔය ශ්‍රමණයන් වහන්සේලා අපටත් දකින්නට බැරි ද….?”

“නැන්දේ…. මාමේ…. අපගේ ශ්‍රමණයන් වහන්සේලා දකින්නට පුළුවනි…. දන් පැන් පුදන්නටත් පුළුවනි…. ඔයාලා කැමති නම් අපි උන්වහන්සේලා වඩම්මලා දන් පැන් පුදමු….”

ළඟපාතක භික්ෂු සංඝයා දකින්නට නැහැ. ඒ නිසා ඔවුන් හරි කුතුහලයෙන් හිටියේ. නමුත් චූළ සුභද්‍රා ඔවුන්ට දන් පැන් පිළියෙල කරන්නට කිව්වා. සමන් මල් වට්ටියක් ගෙන උඩුමහලට නැග්ගා. ජේතවනය දෙසට හැරී උඩුමහලේ සිට ම පසඟ පිහිටුවා වන්දනා කළා. මල් වට්ටිය අතට ගෙන මෙහෙම කිව්වා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස…. මම වනාහී ඔබවහන්සේගේ ශ්‍රාවක දියණියක් වෙමි. ස්වාමීනී, බුදුරජුන් ප්‍රමුඛ පන්සියයක් භික්ෂු සංඝයාට හෙට දන් පැන් පිළියෙල කරන්නෙමි. මා කෙරෙහි අනුකම්පාවෙන් මාගේ ශාස්තෘන් වහන්සේ මේ ඇරයුම පිළිගන්නා සේක්වා….!” කියලා සමන් මල් අට මිටක් අහසට වීසි කළා!

පින්වතුනේ, පින්වත් දරුවනේ, අලුත බැන්ද මනමාලියගේ සැදැහැබර සිත හරි පුදුමයි….! ඒ සමන් මල් අට මිට බිම වැටුණේ නෑ. වලාකුළක් වගේ අහසේ ගමන් කළා. එක්සිය විසි යොදුනක් දුරට ම ගමන් කළා. දෙව්රම් වෙහෙර දක්වා ගමන් කළා. දම්සභා මණ්ඩපයේ බුදුරජාණන් වහන්සේ වැඩසිටින තැන ඉහළින් සමන් මල් වියනක් වගේ පිහිටියා.

ඒ මොහොතේ පිරිස මැද සිටි අනේපිඬු සිටුතුමා බුදුරජාණන් වහන්සේට හෙට දිනය සඳහා දානයට ඇරයුම් කළා.

“පින්වත් ගෘහපතිය…. හෙට දවසේ දානය සඳහා මේ දැන් මං ඇරයුමක් භාරගත්තා නොවැ….”

“ස්වාමීනී….. මට කලින් කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ නොවැ…. කාගෙ ඇරයුම ද භාර ගත්තේ….?”

“පින්වත් ගෘහපතිය….. ඔබට මේ පිච්ච මල් වියන පේනවා ද…? මේ දැන් ආකාසෙන් ආවේ…. චූළ සුභද්‍රා දියණියගේ ඇරයුමක්….”

“ස්වාමීනී, මාගේ චූළ සුභද්‍රාවෝ සිටින්නේ එක්සිය විසි යොදුනක් දුරිනුයි. ඈ කොහොමද මෙතරම් දුරක සිට ඇරයුම් කළේ….?”

“පින්වත් ගෘහපතිය…… එය එහෙම තමයි….! සත්පුරුෂයන් කොතරම් දුර සිටියත් ළඟ සිටිනවා වගේ පේනවා…. නමුත් පිනක් නොමැති කෙනා මා ළඟ ම සිටියත් පෙනෙන්නේ නෑ…. රෑ කාලේ ළඟට වැටිච්ච ඊ තලයක් වගෙයි.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ ඉතා මියුරු සරින් මේ ගාථා රත්නය වදාළා.

දූරේ සන්තෝ පකාසන්ති – හිමවන්තෝ’ව පබ්බතෝ
අසන්තෙත්ථ න දිස්සන්ති – රත්තිං ඛිත්තා යථා සරා

හිමගිරි ඈතට පෙනෙන ලෙසේ – පෙනෙයි පිනැතියන් මට එලෙසේ
පින් නැති අය සිටියත් ළං වී – ඔවුන් ව මට මැනැවින් නොපෙනේ
රැයෙහි වැටුණු ඊතලය ලෙසේ”

පින්වතුනේ, පින්වත් දරුවනේ, පින කියන්නේ හරි පුදුම දෙයක්. සත්පුරුෂ ගුණ කියන්නේ පුදුම දෙයක්. බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයන් ව හොයාගෙන යන්නේ තමන්ගේ වෙහෙස නොබලා ම යි. සත්පුරුෂයන් වටා තමයි දෙවියොත් එකතු වන්නේ. ඉතින් එදා ඒ දේශනාව අහලා බොහෝ දෙනෙක් ධර්මාවබෝධ කළා.

චූළ සුභද්‍රා ඉතා දුර ඈතක සිට බුදුරජාණන් වහන්සේට දනට ඇරයුම් කළ අයුරු හැමෝට ම අදහා ගත නොහැකි විස්මිත සිදුවීමක් වුණා. කොටින් ම දෙවියනුත් සතුටු වුණා. දෙව්ලොවත් මේ ගැන කතාබස් වුණා. සක් දෙවිඳුටත් හරි සතුටුයි. සක් දෙවිඳු විස්කම් දෙව්පුතු ඇමතුවා.

“පින්වත් දිව්‍යපුත්‍රය…. අපගේ චූළ සුභද්‍රාවෝ බුදුරජුන් ප්‍රමුඛ පන්සියයක් භික්ෂු සංඝයාට හෙට දානයක් පිළියෙල කරනවා නොවැ. අපිත් මෙයට හවුල් විය යුතුයි. හෙට උදෑසන ම ජේතවන දොරටුව ළඟ දිව්‍ය මාළිගා වැනි කූටාගාර පන්සියයක් පිළියෙල කරන්න. අපගේ ශාස්තෘන් වහන්සේත්, නිකෙලෙස් ආර්යයන් වහන්සේලාත් වැඩම කරන්න ඕන ඒ කූටාගාරවලිනුයි.”

පසුවදා භාග්‍යවතුන් වහන්සේ නිකෙලෙස් රහතන් වහන්සේලා පිරිවරාගෙන ජේතවන දොරටුවෙන් ඒ කූටාගාරයට පිවිස අසුන් ගත්තා. අලංකාර දිව්‍ය මාළිගා පන්සියයක් අහසින් ගමන් කරන අයුරු පහත සිටින ජනයා සාදු නාද දෙමින් බලා සිටියා. සඳලුතලයේ සිට ඈත බලා සිටින චූළ සුභද්‍රාවන් ඇතුළු පිරිස සැදැහැයෙන් ඉපිලෙමින්, සතුටු කඳුළු වගුරමින් සාදු නාද දුන්නා. බුදුගුණ හඬ නගා කිව්වා. සඟගුණ හඬ නගා කිව්වා.

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් භික්ෂු සංඝයාට දන් පැන් පුජා කර ගන්නට හැමෝටම වාසනාව ලැබුණා. එදා අසූ හාරදහසක් දෙවිමිනිසුන්ට මාර්ගඵල අවබෝධ වුණා. බුදුරජාණන් වහන්සේ අනුමෝදනා බණෙන් පසු අනුරුද්ධයන් වහන්සේ කැඳෙව්වා.

“පින්වත් අනුරුද්ධයෙනි…. අපගේ මේ චූළ සුභද්‍රාවන්ට අනුග්‍රහ පිණිස ඔබ මේ උග්ග නගරයේ ටික කලක් නවතින්න.”

භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාත් සමඟ යළිත් ඒ දිව්‍ය මාළිගාවලින් ම සැවැත් නුවර වැඩියා. එතැන් පටන් ඒ නගරය තුළ ගෞතම බුදු සසුන බැබළුණා. අනේ අපට ඒ ගැන හිතනකොටත් සතුටුයි.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ