මේ ලෝක සත්වයන්ගේ ජීවිත පැවැත්ම තීරණය කරන ප්‍රමුඛතම සාධකය තමයි ‘කර්මය’ කියන්නේ. උපතක් කරා සත්වයෙකුගේ පැමිණීම සම්පූර්ණයෙන් ම කර්මානුරූපව යි සිදු වන්නේ. එනිසයි, සම්බුදුරජාණන් වහන්සේ ‘කර්මය යනු සත්වයන්ගේ උප්පත්ති ස්ථානය’ යැයි වදාළේ. අතීත, අනාගත, වර්තමාන කර්මයන්ගේ කර්ම විපාකයන් ලැබෙන ආකාරය ඒ ඒ තැන් වශයෙන්, ඒ ඒ හේතු වශයෙන් පරිපූර්ණ වශයෙන් දකිනා ඤාණයෙන් යුතුව යි අපගේ ශාස්තෘන් වහන්සේ මේ ලෝක ප්‍රජාව තුළ නිර්භීත භාවයෙන් යුතුව වැඩ සිටියේ…

මව්කුසක උපත කරා අප පැමිණියේත් කර්මානුරූපව ම යි. ‘මේ මගේ අම්මා ය, මේ මගේ තාත්තා ය’ යන තෝරා ගැනීම අප විසින් කරන ලද්දක් නොවෙයි; එය සිදු වූයේ කර්මානුරූප බලපෑමෙන්. මේ මිනිස් ජීවිතයේ අප ලද මාපියන් අපගේත්, ඔවුන්ගේත් කර්ම විපාකයන්ගේ මුණගැසීමක් කියා කීමෙහි වරදක් නෑ. අපත් නොදත්, ඔවුනුත් නොදත් යම් මොහොතක (ඒ තමයි පෙර ජීවිතයේ අප මරණයට පත් වූ මොහොත), ඔවුනට දාව මෙලොව උපදනා වාසනා ගුණය සහිත ව නාමරූපයන්ගෙන් නිපන් විඤ්ඤාණයක් ලෙසයි අප මව්කුස පිළිසිඳ ගත්තේ. ඇතැම් විට, ඔවුන් කාලයක් පුරා අපේක්ෂා සහිත ව හුන් දරු පිළිසිඳ ගැනීම අප වන්නට ඇති. ඇතැම් විට, අප මාපියන් අනපේක්ෂිත මොහොතක මව්කුස පිළිසිඳ ගත්තවුන් වන්නට ඇති. අම්මාගේ කුසේ දරු කළලයක් ලෙස අප මෝරා යන වග අම්මා, තාත්තා දැනගත්තේ සති කිහිපයකට පසුවයි. අප මව්කුසේ සිටින වග දැනගත් මොහොතේ සතුට, වික්ෂිප්ත භාවය, බිය ආදී කවර හෝ සංවේදනයක් ඔවුන් සිත් තුළ උපදින්නට ඇති. ඇත්තටම ඒ සංවේදනය තීරණය වන්නේ ඔවුනට දරුවෙකු කොතරම් වුවමනා වූවා ද කියන කාරණය මතයි.

දෙමව්පියන් යනු දරුවනට අතිශයින් හිතෛෂී වූවන්. එය තමයි ස්වභාවය. ගුණයහපත්කම් සහිත සිල්වතුන් සේ ම දුර්ගුණයන් සහිත මිසදිටු ගත්තවුන් ද දරුවන් මෙලොවට බිහි කරලමින් මාපියන් බවට පත් වනවා. එසේ නැතිව, යහගුණයන් සහිත වූවන් පමණක් ම මාපියන් බවට පත් වනවා කියා ධර්මතාවයක් ලෝකයේ නැහැ.

ඉතින්, ඔබ අප කාටත් ලැබුණු මාපියන් විවිධ ස්වභාවයන්ගෙන් යුතුයි. ඇතැමුන් මාපියන් ගැන බලවත් ස්නේහයකින් යුතුව සිහිපත් කරද්දී ඇතැමුන් මාපියන් ගැන දෝෂාරෝපණයන් සිදු කරනු දක්නට ලැබෙන්නේ මිනිසුන් තුළ පවත්නා ගුණ විවිධත්වය නිසයි. හැබැයි, පුදුමය කියන්නේ දරුවෙකු මෙලොවට බිහි කිරීම යන එක ම එක කරුණින්, කවර ගුණයකින් – කවර නුගුණයකින් යුතු වුව ද මාපියවරුන් සියල්ලෝ මෙලොව සුවිශේෂී පුද්ගලයින් බවට පත් වීමයි. අප එසේ සිදු වනවා යැයි කියන්නේ ඇයි?

සියල්ල දන්නා, සියල්ල දක්නා සම්බුදුරජාණන් වහන්සේ විසින් මෙලොව දී ම සියලු කුසල් මුල් නැසී යන, මරණින් මතු අතරක් නොමැතිව ඒකාන්තයෙන් ම නිරයගාමී වීමට හේතු වන අකුසල පහක් දේශනා කොට වදාළා. ඒ පංච ආනන්තරීය පාප කර්මයන් අතර මව මැරීම, පියා මැරීම සහ රහතන් වහන්සේනමකගේ දිවි තොර කිරීම යන අකුසලයන් ද වනවා. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ, ‘සිල්වත් වූ ගුණවත් වූ මව මැරීම, පියා මැරීම’ කියා වදාරන්නේ නැහැ. යම් මාපිය කෙනෙකු සිල්වත් වූවත්, දුසිල්වත් වූවත් ජාතක දරුවෙකු අතින් ඒ මව හෝ පියා ඝාතනය කෙරුණොත් එම අකුසලය විපාකයෙන් සමාන වන්නේ සව් කෙලෙසුන් නසා අම නිවන් වැඩි රහතන් වහන්සේනමකගේ දිවි තොර කිරීමේ අකුසලයෙන් උපදනා විපාකයට ම යි… කොටින් ම, ‘මේ මාගේ මව ය, මේ මාගේ පියා ය’ කියා නොදැන යමෙකු අතින් මව පියා ඝාතනය වුවහොත් එහි ද විපාකය ඒකාන්තයෙන් ම කල්පයක් නිරයේ පැසීම ම යි.

සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළේ විශිෂ්ට ඤාණයෙන් යුතුව යි. හේතු සහිතව යි. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අනුපිළිවෙළ ප්‍රතිපදාවෙන් යුතුයි. ධර්මය පුරුදු පුහුණු කරන්නට නම් අසන ධර්මය මතක තබා ගැනීම වටිනවා. ඒ ධර්මය අනුපිළිවෙළට මතක තබා ගැනීම ගොඩක් වටිනවා. සම්බුදුරජාණන් වහන්සේ ධර්මය වදාරා තිබෙන පිළිවෙළ යනු අර්ථ සහිත කාරණයක්. එහි අර්ථය මැනැවින් ඉස්මතු කර ගැනීමට පිළිවෙල ගළපා බැලිය යුතු වෙනවා.

ඒ කරුණින් සලකා බලද්දී, මාපියන් යනු සෑම කල්හිම පිදුම් ලැබිය යුත්තන් ම බව පසක් කරලන උතුම් ධර්ම පර්යායක් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ අන්තර්ගත වෙනවා.

“මහණෙනි, සතර දෙනෙකු කෙරෙහි වැරදි ලෙස පිළිපන් බාල වූ, අව්‍යක්ත වූ අසත්පුරුෂයා සාරා ගත් ගුණ ඇතිව, වනසා ගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. දොස් සහිත වූයේ වෙයි. නැණවතුනට දොස් සහිත වූවෙක් ද වෙයි. බොහෝ පව් ද රැස් කරයි. ඒ කවර සතර දෙනෙකු කෙරෙහි ද යත්;

1. මහණෙනි, තම මව් කෙරෙහි වැරදි ලෙස පිළිපන් බාල වූ, අව්‍යක්ත වූ අසත්පුරුෂයා සාරා ගත් ගුණ ඇතිව, වනසා ගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. දොස් සහිත වූයේ වෙයි. නැණවතුනට දොස් සහිත වූවෙක් ද වෙයි. බොහෝ පව් ද රැස් කරයි.

2. මහණෙනි, තම පියා කෙරෙහි වැරදි ලෙස පිළිපන් බාල වූ, අව්‍යක්ත වූ අසත්පුරුෂයා සාරා ගත් ගුණ ඇතිව, වනසා ගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. දොස් සහිත වූයේ වෙයි. නැණවතුනට දොස් සහිත වූවෙක් ද වෙයි. බොහෝ පව් ද රැස් කරයි.

3. මහණෙනි, තථාගතයන් වහන්සේ කෙරෙහි වැරදි ලෙස පිළිපන් බාල වූ, අව්‍යක්ත වූ අසත්පුරුෂයා සාරා ගත් ගුණ ඇතිව, වනසා ගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. දොස් සහිත වූයේ වෙයි. නැණවතුනට දොස් සහිත වූවෙක්ද වෙයි. බොහෝ පව් ද රැස් කරයි.

4. මහණෙනි, තථාගත ශ්‍රාවකයා කෙරෙහි වැරදි ලෙස පිළිපන් බාල වූ, අව්‍යක්ත වූ අසත්පුරුෂයා සාරා ගත් ගුණ ඇතිව, වනසා ගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. දොස් සහිත වූයේ වෙයි. නැණවතුනට දොස් සහිත වූවෙක්ද වෙයි. බොහෝ පව් ද රැස් කරයි.”

(දුතිය ඛත සූත්‍රය – අං. නි. 02)

මේ උතුම් ධර්ම පර්යායේ අනුපිළිවෙළ රටාව අප මෙසේ තේරුම් ගත යුතු යි. තම මව කෙරෙහි වැරදි ලෙස පිළිපදින (එනම්; නොසැලකීම්, ගරු නොකිරීම්, කායික මානසික පීඩා උපදවාලීම්, ආක්‍රෝෂ පරිභව කිරීම් ආදී වශයෙන් සැඩපරුෂකම් දක්වන), තම පියා කෙරෙහි වැරදි ලෙස පිළිපදින කෙනෙකු තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගත ශ්‍රාවකයන් කෙරෙහි යහපත් ව පිළිපදිනවා යන කරුණ සිදු වන්නේ නැහැ. යමෙකු මවට නොසලකමින් ම, පියාට නොසලකමින් ම තමන් තථාගතයන් වහන්සේ ද තථාගත ශ්‍රාවකයන් වහන්සේලා ද සරණ කොටගෙන සිටින්නේ ය යැයි කියනවා නම් එය අසත්‍යයක්… සිදු විය නොහැක්කක්…

කෙළෙහිගුණ දන්නා බවත්, කෙළෙහිගුණ සිහි කරනා බවත් යනු සත්පුරුෂ භූමිය යි. සුගති උපතක් කරා පැමිණෙන්නට අපට ඉඩහසර සැලසීමෙන් අම්මා, තාත්තා විසින් සිදු කළේ පමණ කළ නොහැකි උපකාරයක්. ඒ බව නිති සිහි කරමින් කටයුතු කිරීමෙන් අපට ද සත්පුරුෂ භූමියට පැමිණෙන්නට හැකි වනවා. සත්පුරුෂ ධර්මයේ වැඩී යාම සිදු වන්නේ සත්පුරුෂ භූමියේ පිහිටයවුන් තුළ බව අමතක කරන්නටත් එපා.

ගුණවත් වූවත් – නොවූවත්, මාපියන් යනු ‘දරුවන් බිහි කිරීම’ යන කරුණෙන් ඒ දරුවනට සුවිශේෂී පුද්ගලයින් බවට පත් වූවන්. ඔවුන් කෙරෙහි යහපත් ව පිළිපැදීම පිණිස නිර්ණායකයක් ලෙස ඔවුන්ගේ ගුණාගුණ ස්වභාවයන් මනින්නට එපා. ඔවුන්ගේ දෙපා අල්ලා වඳින්නට, ඔවුන්ට ගෞරවාදරය දක්වන්නට, ඔවුන්ට සෙනෙහසින් සියලු ආකාරයෙන් සත්කාර කරන්නට ‘ඔවුන් අපගේ මාපියන්ය’ යන කරුණ පමණ ම යි නිර්ණායකය…!

සම්බුද්ධ ශාසනය මුණගැසුණු මේ මිනිස් ජීවිතය අපේ උරුමය බවට පත් කළ දෙමාපියන්ට අපගේ වන්දනාව වේවා! සියක් වසරක් මුළුල්ලේ දෙවුරේ තබාගෙන කවා පොවා නහවා පෝෂණය කිරීමෙන්, කැතකුණු අත ගෑමෙන්, සත්කාර කිරීමෙන් වුව දරුවෙකුට මාපියන් කෙරෙහි ඇති ණයෙන් නිදහස් විය නොහැකි බවයි සම්බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ ණය ගෙවීමට නම් දරුවෙකු විසින් කළ යුත්තේ මාපියනට තිසරණ සරණයේ පිහිටන්නටත්, සිල්වත් වන්නටත් උපකාර කිරීම යි. මිසදිටු පිළිගත් මාපියන් සමදිටුවට ගෙන ඒම පහසු කරුණක් නොවිය හැකියි. එහෙත්, ඉවසීමෙන් යුතුව, අත් නොහරින වීරියෙන් යුතුව, අපමණ ආදර සෙනෙහසින් යුතුව මාපියනට උපස්ථාන කරමින් ම අප ඔවුනට සම්බුදු සසුනේ දායාදය ලබා දෙන්නට උත්සාහවත් විය යුතුයි.

ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීමෙන්, ඇඳුමින් පැලඳුමින් සත්කාර දැක්වීමෙන්, අත් පා මෙහෙවර සිදු කිරීමෙන්, දුර සිට වුව ද පැමිණ වන්දනාමානයන් සිදු කිරීමෙන් පුද සත්කාර දක්වනු ලබන්නට මාපියන් අත්‍යන්තයෙන් ම සුදුසු බව සම්බුදුරජාණන් වහන්සේ වදාළා. උන්වහන්සේ විසින් ද තමන් වහන්සේට අවසන් සිරුර දරා ගැනීම පිණිස පිළිසිඳ ගන්නට සුදුසු වූ පුණ්‍ය සංස්කාරයෙන් යුක්තව සිටියා වූ මවටත්, පියාටත් අර්ථයෙන්, ධර්මයෙන් උපස්ථාන කරනු ලැබුවා. ඒ වගේ ම, ගෙපිළිවෙලින් පිඬු සිඟා ලද භික්ෂාවෙන් අසරණ මාපියන් පෝෂණය කළ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට සම්බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කොට වදාළා.

මාපියනට සත්කාර සම්මාන දක්වන දරුවන් යනු සත්පුරුෂයන්. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේගේ වචනය…

“මහණෙනි, තම මව් කෙරෙහි යහපත් ව පිළිපන් නුවණැති, ව්‍යක්ත වූ සත්පුරුෂයා සාරා නොගත් ගුණ ඇතිව, වනසා නොගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. නිදොස් වූයේ වෙයි. නැණවතුනට දොස් රහිත වූවෙක් වෙයි. බොහෝ පින් ද රැස් කරයි.

මහණෙනි, තම පියා කෙරෙහි යහපත් ව පිළිපන් නුවණැති, ව්‍යක්ත වූ සත්පුරුෂයා සාරා නොගත් ගුණ ඇතිව, වනසා නොගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. නිදොස් වූයේ වෙයි. නැණවතුනට දොස් රහිත වූවෙක් වෙයි. බොහෝ පින් ද රැස් කරයි.”

(දුතිය ඛත සූත්‍රය – අං. නි. 02)

මේ සත්පුරුෂ ගුණය ඇත්තවුන් තුළ සත්පුරුෂ ධර්මය නිසැකව ම වැඩී යනවා. ඔවුන්, තථාගතයන් වහන්සේ කෙරෙහිත්, තථාගත ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහිත් නිවැරදිව පිළිපන්නවුන් වනවා යන්න සිදු විය හැක්කක්.

ක්‍රියාවෙන් හා වචනයෙන් පමණක් නොවේ; සිතුවිල්ලකින්වත් මාපියනට අහිතවත් වන්නට එපා. ජීවිත අභිවෘද්ධිය පිණිසත්, සද්ධර්මය දියුණු කිරීම පිණිසත් මාපියන්ගේ ආශීර්වාදය ඒකාන්තයෙන් ම උපකාරක වෙනවා. මිහිමත නිවසන බ්‍රහ්මයන් වන මාපියන් කෙරෙහි යහපත් ලෙස පිළිපන්නවුන් වීමට අප හැම දෙනාට ම වාසනාව ලැබේවා…!

 

සටහන – උදුලා පද්මාවතී