අපේ මුළු ජීවිතය ම සාර්ථක හෝ අසාර්ථක වීමට අපි ඇසුරු කරන පුද්ගලයන් බලපානවා. ඒ නිසා ‘යමෙක් ඇසුරු කරන විට අකුසල් වැඩේ නම්, කුසල් පිරිහෙයි නම් ඔහු ඇසුරු නො කළ යුතුයි. යමෙක් ඇසුරු කරන විට කුසල් වැඩෙයි නම්, අකුසල් පිරිහෙයි නම් ඔහු ඇසුරු කළ යුතු යි’ කියා සේවිතබ්බාසේවිතබ්බ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේ ම යමෙක් තුළ ශ්‍රද්ධාව, සීලය, චාගය, ප්‍රඥාව යන ගුණ හතර ඇත්නම් ඔහු කලණමිතුරෙක් බවත්, ඔහුව ඇසුරු කළ යුතු බවත් ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වෙනවා.
විශේෂයෙන් ම අපි ඇසුරු නො කළ යුතු, මිත්‍ර වේශයෙන් සිටින මිත්‍ර ප්‍රතිරූපකයන් හතර දෙනෙක් ගැන සිඟාලෝවාද සූත්‍රයේ මෙසේ සඳහන් වෙනවා.

1) අඤ්ඤදත්ථුහර අමිත්‍රයා (පහත ලක්ෂණ හතරෙන් යුක්ත වේ)
සිය මිතුරාගෙන් ඒකාන්තයෙන්ම කිසිවක් ඩැහැගෙන ම යයි. ස්වල්ප දෙයක් දී සිය මිතුරාගෙන් බොහෝ දේ අපේක්ෂා කරයි. තමාට භයක්, කරදරයක් වූ විට පමණක් මිතුරාට උදව් පිණිස එයි. තමාගේ ම ලාභ ප්‍රයෝජන උදෙසා මිතුරුකම පවත්වයි.

2) වචීපරම අමිත්‍රයා (පහත ලක්ෂණ හතරෙන් යුක්ත වේ)
(කලින් කිව්වා නම් මේ උදව්ව කළ හැකිව තිබුණේ ය ආදී වශයෙන්) අතීතයෙන් සංග්‍රහ කරයි. (ඉදිරියේ දී ඔබ වෙනුවෙන් මෙබඳු දේ කරන්නෙමි’යි ආදී වශයෙන්) අනාගතයෙන් සංග්‍රහ කරයි. නිරර්ථක වචනවලින් බොරු සංග්‍රහ කරයි. වර්තමානයේ උදව්වක් අවශ්‍ය වූ විට උදව් දෙනු වෙනුවට තමාට සිදුවූ විපත් කරදර කියා පායි.

3) අනුප්පියභාණී අමිත්‍රයා (පහත ලක්ෂණ හතරෙන් යුක්ත වේ)
තම යහළුවා කරන පාපී ක්‍රියාවන් මැනව’යි අනුමත කරයි. ඔහුගේ යහපත් ක්‍රියාවන් ද මැනව’යි අනුමත කරයි. යහළුවා ඉදිරියේ ප්‍රශංසා මුඛයෙන් කතා කරයි. ඔහු නැති තැන ඔහුගේ නුගුණ කියයි.

4) අපාය සහාය අමිත්‍රයා (පහත ලක්ෂණ හතරෙන් යුක්ත වේ)
මත් වීමට හා ප්‍රමාදයට හේතු වන මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය වෙනුවෙන් හිතවත් වෙයි. අවේලාවේ වීදිවල ඇවිදින්නට හිතවත් වෙයි. සංගීත, නාටක, ක්‍රීඩා, සමාජ ශාලා ආදියෙහි ගැවසෙන්නට හිතවත් වෙයි. ප්‍රමාදයට හේතු වන සූදු ක්‍රීඩාවෙහි යෙදෙන්නට හිතවත් වෙයි.

මෙම ගතිගුණ ඇති පුද්ගලයන් ව භයානක මාර්ගයක් අත්හරින්නෙකු සෙයින් අත් හළ යුතු බවත්, තමාට උපකාර කරන සුහද මිතුරාත් (උපකාරක), සැප දුකේ සමානව ඉන්න සුහද මිතුරාත් (සමාන සුඛදුක්ඛ), තමාගේ යහපත කැමති (අත්ථක්ඛායි) සුහද මිතුරාත්, තමාට අනුකම්පාව දක්වන (අනුකම්පක) සුහද මිතුරාත් ඇසුරු කළ යුතු බව මෙම දේශනාවේදී අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා.