මෙවැනි අවස්ථාවලදී කලබල නොවී ඉතා ඉවසීමෙන් කටයුතු කළ යුතුය. විශේෂයෙන්ම කෝපාවිෂ්ඨව තීරණ ගැනීමට ඉක්මන් නොවිය යුතුය. තම ස්වාමියා හෝ බිරිඳ සැබෑවටම අනියම් ඇසුරකට යොමුවී ඇත්ද නැද්ද යන්න ගැන විමසා බැලිය යුතුය. බොහෝවිට අසල්වැසියන්ගේ කේළාම් නිසාත් තමාගේ ම සැකය නිසාත් සමහරු නොතිබෙන්නා වූ ම අර්බුද ඇතිකර ගනිති.

යම් හෙයකින් තම ස්වාමියා හෝ බිරිඳ එවැනි වරදකට පෙළඹී ඇති බව නිශ්චිතව ම දැනගතහොත් ඔහු හෝ ඇය සමඟ මිත්‍රශීලීව කතාබස් කොට ධර්මය අධර්මය පෙන්වාදී දුෂ්චරිතයේ බිහිසුණු විපාක පැහැදිලි කොට දී යහමඟට ගැනීමට උත්සාහ කළ යුතුය. ස්වාමියා හෝ බිරිඳ සමඟ සුහදව කථාබස් කොට තමා තුළත් යම් අඩු පාඩු ඇත්නම් ඒවාට සමාව ගෙන නිවැරදි විය යුතුය. ඉදිරියේදී සිල්වත්ව කටයුතු කළයුතු ආකාරය ගැන දැනුම් තේරුම් ඇති ස්වාමීන් වහන්සේ නමක් මුණගැසී ධර්මානුශාසනා ලබාගැනීමට හැකිනම් එය ද ඉතා ප්‍රයෝජනවත් වේ.

විශේෂයෙන්ම ස්වාමියාට හෝ බිරිඳට ක්‍රෝධ කරන්නට යෑමත් බැණ වැදීමත් නිසා බොහෝ අර්බුද අවුලෙන් අවුලට පත්වේ. ධර්මානුකූලව කටයුතු කරද්දීත්, යහපත අයහපත පෙන්වා දෙද්දීත් එම වරද යළි යළිත් කරයි නම්, ඉවසීමෙන් යුතුව සසර ගැන ම කළකිරීම උපදවාගෙන, උපේක්ෂාවට පත්විය යුතුය.