“ඕං ඉතිං ඉස්කෝලේ මහත්තයෝ මේ පාර නම් වැව පිරෙන්න වහියි වගේ. එහෙම වුණොත් දෙයියනේ කියලා මේ කන්නෙවත් කුඹුරක් කොටා ගන්න ඇහැකි වෙයි.”

ගුරුන්නාන්සේ එහෙම කියනකොට කෝපි කඬේට කඳුළු පිහදදා ඇතුළු වුණේ සොමි නෝනා.

“මොකද සොමිනෝනො මේ අඬාගෙන? අදත් සුගතං ගොයියා බීල ද?”

“අනේ ඉස්කෝලේ මහත්තයෝ, ඒ මනුස්සයා නොබොන දවසක් තියෙයියැ. මට නම් දැන් ජීවිතේ තිත්ත වෙලා තියෙන්නේ. ඒ මනුස්සයා බැඳගත්තට වඩා හොඳා මට පොල්පිත්තක් බැඳ ගත්තා නම්.”

සොමිනෝනා එහෙම කියද්දි කෝපි කඬේ හිටපු ඔක්කොටම හිනා ගියා.

ඊ ළඟට ගුරුන්නාන්සේ කියනවා, “සොමිනෝනො අපි කලින් ජීවිතවල කරගත්ත පින් පව්වලට ගැළපෙන විදියට තමයි තමන්ට ස්වාමි පුරුෂයෝ, භාර්යාවෝ, ඊළඟට දරුවෝ එහෙම ලැබෙන්නේ.”

“ඒක හරි ගුරුන්නාන්සේ, මටත් හිතෙනවා ගිය ජීවිතේ කාට හරි කරපු දෙයක් තමයි මේ පල දෙන්නේ කියල.”

“හරියට හරි සොමිනෝනො. එහෙම හිතුවොත් නම් ටිකක් හරි හිත හදාගෙන පරණ අකුසල් මේ ජීවිතේ ගෙවලා අලුතෙන් අකුසල කර්ම කරගන්නේ නැතුව ඊළඟ ජීවිතේවත් යහපත් කර ගන්න ඇහැක් වෙයි.”

ඒ වෙලාවේ ඉස්කෝලේ මහත්තයා කියනවා, “හැබැයි තමන්ගේ මනුස්සයා කොයි වගේ වුණත් බිරිඳ තමන්ගේ යුතුකම් ටික හරියට කරන්න ඕන.”

දයාවතීට ඒ කියපු එක තේරුණේ නැතුවද කොහෙද…

“හරි කෙළියක් නේ… ඒකා කට ගොන්නක් බීගෙන එනකොට අපි තම්බලා තියන්න ඕන උන්ට පැලෙන්ඩ.”

“නෑ නෑ දයාවතී අක්කේ, කේන්ති ගන්ඩ දෙයක් නෑ. අපට තේරෙනවා උඹලාගේ අසරණකම. ඒ උනාට අපි බෞද්ධ මිනිස්සුනේ බොලව්. ඉතිං අපට වටින්නේ අපේ බුදුරජාණන් වහන්සේ කියලා දීපු විදියට ජීවත් වෙන එකනේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බිරින්දෑවරු හතර දෙනෙක් ඊළඟ ජීවිතේ දිව්‍යලෝකෙට ගිහින් සැප විඳිනවා කියලයි. ඒකයි මං අරෙහෙම කිව්වේ.”

දයාවතී කියනවා, “එහෙනං කියමුකෝ බලන්ඩ කවුද ඒ කියලා.”

“ඕං එහෙනං අහගන්ඩ ගුණවන්ත බිරින්දෑවරු කොයි වගේ ද කියලා. එක බිරිඳක් ඉන්නවා අම්මා වගේ. ස්වාමියාට දරු සෙනෙහසින් මෛත්‍රියෙන්, කරුණාවෙන් උපස්ථාන කරනවා. ස්වාමියා වැඩ කරලා ආවහම දරුවෙකුට වගේ තේ එකක් හදලා දෙනවා. ඊ ළඟට ස්වාමියාගේ ඇඳුම් හෝදලා දෙනවා. බොහොම යහපත් ගතිගුණ තියෙනවා. මේ බිරිඳ මරණින් පස්සේ දිව්‍යලෝකේ උපදිනවා.” මේ බිරිඳගේ ගුණ ඇහෙද්දි සොමිනෝනා හිනා වෙලා බිම බලා ගත්තා.

“ඊ ළඟට තව බිරිඳක් ඉන්නවා ස්වාමියාට සහෝදරයෙකුට වගේ ආදරයෙන් ඉන්නවා. ස්වාමියාට ගරු කරනවා. ලැජ්ජා භය ඇතුව ඉන්නවා. පතිවත රකින සිල්වත් බිරිඳක්. මේ බිරිඳත් ඊ ළඟ ආත්මේ දිව්‍යලෝකේ උපදිනවා.

තුන්වෙනි බිරිඳ තමයි යෙහෙළියක් වගේ ස්වාමියත් එක්ක සතුටින් ඉන්න බිරිඳ. ස්වාමියාට ඈත තියා ම ආදරෙන් හිනාවෙලා කතා කරනවා. උපස්ථාන කරනවා. ඒ බිරිඳත් මරණින් මත්තේ සුගතියේ.

දිව්‍යලෝකේ යන හතරවෙනි බිරිඳ තමයි ස්වාමියාට දාසියක් වගේ ඉන්න බිරින්දෑ. ස්වාමියා ගහද්දි බණිද්දි කෝප නො වී ඉවසගෙන ඉන්න, හරිම නිහතමානී ගතිගුණ ඇති අහිංසක බිරිඳක්. අපේ උන්දැල වගේ ස්වාමියාට සැර කරන්ඩ, එකටෙක කියන්ඩ, බොටුව කඩන්ඩ යන්නෑ.” එතකොට දයාවතී කට කොණින් හිනා වුණා.

“හිනා වුණාට මදි දයාවතී අක්කේ, මේ වගේ ගුණ පුරුදු කරලා ඊ ළඟ ආත්මෙටවත් දිව්‍යලෝකෙට යන්න පාර කපා ගන්න ඕනෙ.”

“හැබෑවටම ඉස්කෝලෙ මහත්තයෝ ඔය බිරින්දෑවරු හතර දෙනා ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මොන දේසනාවෙ ද?”

“අනේ ඇත්තටම මට අමතක වුණා නොවැ දේශනාවේ නම කියන්ඩ. ඕක තියෙන්නේ සත්තභරියා කියන සූත්‍රයේ. බිරින්දෑවරු හත් දෙනා ගැන වදාළ දෙසුම.”

“ඉතිං අපට කිව්වේ බිරින්දෑවරු හතරදෙනෙක් ගැන විතරයිනේ. තව තුන් දෙනෙක් ඉන්ට එපායැ. කවුද ඒ ඇත්තියෝ?”

“ඉතිරි බිරින්දෑවරු තමයි නිරයට කැප වෙච්චි අය. එකියක් වධකියක් වගේ. දුෂ්ට සිත් ඇති, මනුස්සයාට හිංසා පීඩා කරන වධක බිරිඳ. අනිත් කෙනා චෝර බිරිඳ. ස්වාමියාගේ දේවල් හොරකම් කරන, නපුරු ගති ඇති බිරිඳක්. තුන්වෙනියා ළමාතැනී වගේ. මනුස්සයා පහත් කරලා සලකන, මනුස්සයා ඉක්මවා යන බිරිඳ. මේ බිරින්දෑවරු තුන්දෙනා මරණින් මත්තේ නිරයේ උපදිනවා.”

එතකොට ගුරුන්නාන්සේ කියනවා, “මනුස්සයාගේ වැරදි ම කිය කියා ඉන්නේ නැතුව, හිත හිතා ඉන්නේ නැතුව තමන්ගේ වැරදි අඩුපාඩු ගැනත් කල්පනා කෙරුවා නම් තමයි හොඳ. නැද්ද මං කියන්නේ…”

“ඔව් ගුරුන්නාන්සේ… බලන්න… කෙනෙකුට බුදුරජාණන් වහන්සේ වදාළ වගේ හරි හමං බිරිඳක් වෙන්න පුළුහං නම් තමන්ගේ කසාද ජීවිතෙත් සාර්ථකයි. පරලොව ගමනත් සාර්ථකයි. දෙලොව ම සාර්ථකයි.

කොහෙද…. අපේ උන්දැලාට කොච්චර ගෙනල්ලා දුන්නත් මදි නොවැ. ‘තමුසේ උදේ ඉඳන් වැඩ කරනවා. මොනව ද කරන්නේ?’ කියලා අහනවා. අර ගෙනැල්ලා දීපු දෙයින් සතුටු වෙන්න බෑනේ. ලද දෙයින් සතුටු වීමක් කියලා එකක් ගෑවිලාවත් නෑ. ඉතිං හැමදාමත් ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න.

එහෙම නෙවෙයිනේ. අනේ මේ මනුස්සයා උදේ ඉඳං රෑ වෙනකම් වැඩ කොළේ අපි වෙනුවෙන්නේ කියලා තේරුම් අරන් හිට ආදරෙන් කතා කරලා, තේ එකක් එහෙම හදලා දීලා, කන්ඩ බත් ටිකක් බෙදලා දීලා මනුස්සයාගේ හිත සතුටු කළා නම් කොච්චර වටිනවා ද මං අහන්නේ.

මහන්සි වෙලා මහන්සි වෙලා ගෙදර එද්දි තව අලකලංචි දාන්නේ නැතුව රටේ ම ප්‍රශ්න කියන්නේ නැතුව ඒ මනුස්සයාගේ හිත සැහැල්ලු වෙන විදියට එපායැ වැඩ කරන්න. එහෙම කොළා නම් ඒක කොච්චර පිනක් ද. ඊළඟට රෙදි ටික හෝදල දුන්නා නම්, ඕන එපාකම් බැලුවා නම් පවුල් ප්‍රශ්න මෙච්චර දුර දිග යයියෑ.”

එතකොට ඉස්කෝලේ මහත්තයා කියනවා, “ගුරුන්නාන්සේ කියන්නේ සහතික ඇත්ත. මම දැක්කා ගිය ඉරිදා පත්තරේක තියෙනවා ලංකාවේ දික්කසාද වීම් එන්ඩ එන්ඩ වැඩි වෙනවා කියලා. මට තේරෙන විදියට නම් ගොඩාක් දේවල් මේ සුළු සුළු ප්‍රශ්න බොහෝ ම කෙටියෙන් විසඳගන්න තිබ්බ එව්වා දිග්ගැස්සිලා දිග්ගැස්සිලා දික්කසාද ම වෙලා.”

“අපේ බුදුරජාණන් වහන්සේ කියලා දීපු විදියට බෞද්ධ අපි ගුණධර්ම තියාගෙන පවුල් ජීවිතේ ගත කෙරුවා නම් මීට වඩා සතුටින් කාට කාටත් පවුල් ජීවිත ගත කරන්න පුළුවන් වෙයි. ඒකේ ආයෙ දෙකක් නෑ. ඕං කිව්වා මතක තියාගන්නවා හොඳයි.” කියපු ගුරුන්නාන්සේ “එහෙනං අපි ගියා. කාටත් තුනුරුවන් සරණයි” කියලා කෝපි කඩෙන් එළියට බැස්සා. අනිත් ඈයොත් එක එක්කෙනා පිටත් වෙලා ගියා. කෝපි කඬේ ලෑලි දොරත් වැහුනා.

මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි