වෙනදාට වඩා ප්‍රමාද වීමත්, රාත්‍රියේ දුටු බියකරු සිහිනය නිසා සිතේ පවතින නොසන්සුන් බවත් හේතුවෙන් දියා වැස්සියගෙන් කිරි දොවන්නට වූයේ වේගයෙනි. වැස්සිය ද ඒ පිළිබඳව සිය අකමැත්ත හඟවන්නට මෙන් වෙනදාට නොකරන කලබලයක් කරන්නට වුව ද මිනිත්තු පහළවක දී පමණ අවශ්‍ය කිරි ප්‍රමාණය දොවන්නට දියා සමත් වූවා ය.

කිරි බඳුන දෑතින් ම ගෙන නැඟී සිටිත්ම දියාගේ දෑසට හසු වූයේ තම වත්තට ඇතුල්ව දොඩම් ගස දෙස දුරේක්ෂ බැල්මක් යොමා සිටින නාලනී ව ය.

“මේ ගෑනි උදෙන්ම…” දියාගේ මුවින් පිට වූයේ නොරිස්සුමකි.

නාලනී සින්දුශාන් ගම්මානයේ වෙසෙන හැත්තෑපස් වියැති වැන්දඹුවකි. උපතින් බ්‍රාහ්මණ වංශික වූ ඇය වයස අවුරුදු තිස්හය වෙත්දී කසාද හතරක් කරගත්තේ මුත් ඉන් තිදෙනෙක් ම කොළරා රෝගයෙනුත්, අවසන් සැමියා ගසකින් වැටිමෙනුත් මරණයට පත් වූහ. කසාද හතරෙන්ම දරුවන් නොලබා වඳ ගැහැනියකැයි ගැරහුම් ලැබූ නාලනී, පියාගෙන් ඉගෙන ගත් සර්ප විෂ වෙදකමෙනුත්, කුඩා කීර කොටුවෙන් ලද සුළු ආදායමෙනුත් ජීවිතය යාන්තමින් ගැටගසා ගන්නට සමත් වූවා ය.

සර්පයින් දෂ්ට කළ රෝගීන්ව නාලනී සුවපත් කළේ සර්පයා දෂ්ට කළ තැනට තම මුව තබා විෂ ඉරීමෙනි. ඈ ගමේ කිසිවෙකුට සර්ප විෂෙන් මියැදෙන්නට ඉඩ නොදුන්නේ මුත් ඉරූ විෂ ඇගේ සියොළඟම පැතිරී වචනවලින්, ඇස්වලින් පිටවන බව ගම්මු විශ්වාස කළහ.

විශාල තොල් සඟලත්, දිගු පුළුල් තියුණු දෑසත් ආදී වශයෙන් ඇස්වහ කටවහ ඇතියකට පිහිටන බාහිර අංග ද ඈ කෙරෙන් විද්‍යමාන බව ගම්මුන්ගේ සැලකීම විය. ඉණට වම් අත තබා, දෙබැම මත දකුණු අත පියස්සක් කොට තබා කරන ඇගේ බැල්මට ගම්මු කීවේ ‘දුරේක්ෂ බැල්ම’ කියා ය. ඒ බැල්මට හසුවන සියලු දේ ලැව්ගින්නකට හසුවන දෙයක් මෙන් පිච්චී විනාශ වන බව ගම්මුන්ගේ විශ්වාසය විය.

“කිරන්, ඉක්මණට ගිහින් දොර වහපං, නාලනී එනවා.” වේගයෙන් ගෙට ඇතුළු වූ දියා ලේලිට කීවා ය. කුස්සිය අතුගාමින් සිටි කොස්ස එතනම අත්හළ කිරන් නිවසේ ඉදිරි දොර ළඟට යන විට ඈ ප්‍රමාදව තිබිණ. නාලනී උළුවස්සේ කණු දෙක දෑතින් අල්ලාගෙන ගෙයි සාලය සිසාරා යන බැල්මක් හෙළා සිටින’යුරු කිරන්ට පෙණින.

“ඈ කිරන්, අර ගහේ දොඩං ද වෙරළු ද? කොළවලට වඩා ගෙඩි වැඩියි මයෙ හිතේ.” කිරන්ගේ දෑස් ඉහළට එසවිණි. හුස්ම ටික පපුවේ හිරවුණි. ‘දොඩම් ගස ඉවරයි.’ ඈට සිතුණි.

“කිරන්, දියාට කියපං මං ඇවිල්ලය කියල. මං දැක්ක කිරි දොවනව. මං මේ කල්පනා කළේ උඹල බැඳල දැන් කොච්චර කල් ද? දරුවො නැහැ. ඒ වුණාට ගෙදර වැස්සි හෝ ගාල පැටව් ගහනව. බලාගෙන ගියාම ඒකෙත් හැටි අම්මප.”

හිර වුණ හුස්ම ටික කිරන් තුළින් පිට වූයේ වේගයෙනි. ගෙතුළට දිව ගිය කිරන් සියලු තොරතුරු නැන්දනියට කීවා ය. සිතට දැඩි කෝපයක් නැගුණ ද දියා එය පාලනය කරගත්තේ පොළඟෙකු දෂ්ට කළ තම ජීවිතය බේරා දුන්නේ නාලනී බව සලකාගෙන ය.

“උඹ ආවෙ?” නාලනී ඉදිරියට ගිය දියා ඇසුවේ තම නොරිස්සුම ද පෙන්වමිනි. ගෙතුළ බඩු මිස නාලනීට එය නොපෙනුනි.

“කිරි භාගයක් ඉල්ලා ගන්න. එකෙකුගෙ විෂ ඇදල ඇඟට ටිකක් අමාරුයි දියා. ඒක නෙවෙයි කෝ කිශෝර්? කාලෙකින් දැක්කෙ නැහැ.” නාලනී ඇසුවේ ළෙන්ගතුව ය.

“එයාට වැඩවල ඉවරයක් නැහැ.” නාලනී කීවේ නොරිස්සුමෙනි.

“කාට හම්බ කරනව ද බං දරුවෙක් නැතුව?”

දියා පිළිතුරක් නොදී තොල් සපා ගත්තා ය.

“දිවාන් රට ඉඳල ආවලු නේද… මං හිතන්නෙ කසාද බඳින්න වෙන්නැති?” නාලනී ආයෙම ඇසුවා ය.

“කසාද බඳින්න බෑ කියනව. එයා මහා කම්මැලියෙක්.” දියා දෙවනුව කීවේ බොරුවකි. නාලනී ද එය දනී.

“මොන කම්මැලිකම් ද බං රට රාජ්ජේ ගියවුන්ට. අයෙම නොබැඳ ඉන්න තරම් ගායක් නැති වයසක් ද?” ඇඟට පතට නොදැනී ම නාලනී ද කීවා ය. දියා තරහෙන් ගස්සගෙන ගෙට ගියේ ඉක්මණින් ම නාලනී ව පිටත් කිරීමේ අදහසිනි.

“ඉඳා. ආයෙ ඕනෙ නම් පණිවිඩයක් එවපං. මං අරගෙන එන්නං.”

“කළුගල් ගෙනත් තියෙන්නෙ ගෙයක් හදන්න වෙන්නැති. දොඩම් ගහ වටේම ගල් දාල.” පිළිතුරක් දෙනු වෙනුවට දියා කළේ නාලනී ව එළියට දමා දොර වැසීම ය.

“ඉක්මණට අබ ටිකක් පුච්චන්න ලෑස්ති කරපන් අර ගෑනි මුළු පවුලටම ගිනි තිබ්බා.” කුස්සියට දිව ගිය දියා ලේලියට කීවේ ළිපට පොල්කටු දෙකක් ද දමමිනි. ඇවිළෙන පොල්කටුවලින් නැගෙන ගින්න දෙස ඈ බලා සිටියේ කෝපයෙනි. බියෙනි.

දියා පළමුව අබ දුම් ඇල්ලුවේ වැස්සියට සහ පැටවාට ය. ඊළඟට දොඩම් ගසට ය. ගෙය වටා ද දුම් ඇල්ලූ ඕ ගෙතුළ ද හැමතැනට ම වාගේ දුම් ඇල්ලුවා ය. මේ හැමවිටම කිරන් නැන්දනිය පසුපසින් සිට උදව් කළා ය.

දිවාන් නිදා සිටියේ නිවසේ ඉදිරි කාමරයේ ය. එයට ඇතුල්විය යුත්තේ නිවසට පිටතින් තිබූ දොරකිනි. දොරට තට්ටු කළ ද දිවාන් අවදි නොවූයෙන් ඔහුව අවදි කිරීමට දියාට තරමක් වෙහෙසෙන්නට සිදුවුණි. දිවාන් දොර ඇරියේ මඳක් ප්‍රමාදව, අකමැත්තෙනි.

“මොකද රෑට නිදිමරනව ද මේ හැටි නිදාගන්නෙ?” දියා ඇසුවේ හැඟීමකින් නොවේ. පිළිතුරක් දෙනු වෙනුවට දිවාන් කළේ ආයෙම ඇඳේ හාන්සි වීම ය. කිශෝර් මෙන් නොව පිරිපුන් සිරුරක් ඇති දිවාන් ව දියාට පෙනුනේ යෝධ පැටියෙකු මෙනි.

“මොකද මේ?” කිරන් අත තිබූ දුම් කබල ගෙන දියා කාමරයට ඇතුල් වෙද්දී දිවාන් ඇසුවේ කලබලයෙනි.

“නාලනී ගෑනි ඇවිල්ල දොඩවල ගියා. ඒ ගෑනිගෙ ඇස්වහ කටවහ වසවිෂවලටත් වඩා භයානකයි. දිවාන් ඔයා පරිස්සම් වෙන්න. මං කෝවිලට යනව කිශෝර් වෙනුවෙන්.”

ඈත නගරයක රජයේ ලිපිකාර රැකියාවක් කරන කිශෝර් ගෙදර එන්නේ සති අන්තයේ දී ය. එහෙයින් දියා දිවාන් පිළිබඳවටත් වඩා කිශෝර් පිළිබඳව බිය වූවා ය.

දියාටත්, කිරන්ටත් අබ දුම හොඳින් පුරුදු නමුත් එය නුපුරුදු දිවාන් අබ දුම දැනී තදින් කහින්නට විය.

“මූණ හෝදගෙන කාල ඉන්නව. අක්ක කෑම බෙදල දේවි.” දුම් අල්ලා අවසන කාමරයෙන් පිටවෙමින් දියා තරමක් තදින් කීවා ය. කපටි ලෙස සිනාසුණු දිවාන් ඇඳෙන් නැගිට්ටේ කැමැත්තෙනි.

දියා කෝවිලට ගියේ භක්තියෙනි. එහෙත් තරමක් සැකයකිනි. සැමියා මිය ගිය දින සිට තමාට පිහිටට උපකාරයට සිටින්නේ දෙවියන් බව ය දියා ඇදහූයේ. ඇය දෙවියන් වෙතින් ඉල්ලා සිටි දේවලින් බොහොමයක් ලැබුණ බව දියා නිතර කියන්නී ය. නමුත් නාලිනීගෙ ඇස්වහ කටවහ බලවත් බව දියා සිතන්නට වූ නිසා ඇගේ සිතේ සැකයක් ඉපිද තිබුණේ ය.
දිය නොමුසු එළකිරෙන් දේව ප්‍රතිමාව නැහැවූ දියා පහනක් ද දල්වා සුවඳදුම් අල්වා අනතුරුව හෝරාවකට ආසන්න කාලයක් දෙවියන් යැද්දා ය. වැස්සිය, දොඩම් ගස, කිශෝර් රැකදෙන ලෙසත් – දිවාන් තුළ කසාදයකට කැමැත්ත ඇතිකරවන ලෙසත් ඇගේ මූලික ඉල්ලීම් අතර විය.

හෝරා එකහමාරක පමණ කාලයක් දියාට සියලු කටයුතු සඳහා ගත විය. තරමක සැහැල්ලුවකින් නිවෙස බලා යන්නට මඟට බට දියා අතරමඟ හමුවූ කිසිවෙකු සමඟ කතා නොකරන්නට සිතා ගත්තා ය. ‘ඔක්කොම බලාගෙන ඉන්නෙ අපිට වරදිනකං’ දියාගේ නිහඬ බවට හේතුව ඈ තුළ නිතර උපදින මේ සිතුවිල්ල විය.

වත්තට ඇතුල්ව දොඩම් ගස දෙස බැලූ දියාට පෙනුනේ ගසේ කොළ තරමක් මැළවී ඇති බවකි. ‘මගේ හිතේ දෝසයක්’ යැයි අනතුරුව සිතූ දියා ඊළඟට ගියේ වැස්සී ව බැලීම පිණිස ය. වැස්සිය දුටු තැනම දියා නතර විණි. ශබ්දයක් පිට නොවී විවර වූ මුව දියා දකුණු අතින් වසා ගත්තා ය. මොහොතක් දෙකක් ගතවිණි.

“අයියෝ..! යක්ෂණීගෙ ශාපෙ සතාට වැදුණා.” යි කියා කෑ ගහගෙනම, කටින් සුදුපාට සෙම පෙරමින් වැටී සිටි වැස්සිය ළඟ දියා ද වැතිර විලාප දෙන්නට ද නාලනීට දොස් නඟන්නට ද වූවා ය.

මිනිත්තු දෙක තුනකට පසු කිරන් දිව ආවේ අවුල්ව ගිය කොණ්ඩය ද ගැටගසා ගනිමිනි. දිවාන් ආවේ අසල්වැසියන් කිහිපදෙනෙකු ද පැමිණියාට පසුව ය. සියලු දෙනාටම දියා කියා සිටියේ තම පවුලට නාලනීගේ යක්ෂ බැල්ම වැටුණ බවකි.

පැමිණි පිරිසේ ඊළඟ අවධානය දොඩම් ගසට යොමුවිය. බොහෝ දෙනෙකුගේ අදහස වුයේ කොළ වේළෙන්නට පටන්ගෙන ඇති බවකි. දියා තම කෙස් කඩමින් නාලනීට එක දිගට ශාප කරන්නට වූවා ය.

සිද්ධියේ හතරවන දිනය වෙද්දී දොඩම් ගසේ එක කොළයක්වත් ඉතිරි නොවුණ අතර පරව යන දොඩම් එක දෙක බිම වැටෙන්නට වූහ.

හයවන දිනය වෙද්දී ඉතිරි වූයේ දොඩම් ගසේ කඳ සහ අතු ඉති පමණකි. දියා ගම්සභා ප්‍රධානියා සොයා ගියේ බලවත් කෝපයෙනි. “නාලනී ගමට මහා විනාශයක්. පුච්චලා මරන්න ඕන. ඔව් හෙට ම ඒක කරන්න ඕන.” දියා ආවේගයෙන් කීවා ය. “ඒක කොහොමවත් කරන්න බැහැ. නාලනී බ්‍රාහ්මණ කුලේ. මතක් කරගනිං උඹ නීච කුලේ ගැහැනියක් කියල.” ගම්සභා ප්‍රධානියා දියාට කීවේ අනුකම්පා විරහිත අවඥාවෙනි. දියා කටට ආ කෙළ ටික ගම්ප්‍රධානියාගේ මුහුණට නොගසා පිළිකුළෙන් යුතුව තමා ම ගිල ගත්තා ය. එතැනින් ඇගේ කෝපය සහ ආවේගය නොසන්සිඳුණි.

කුමක් කළ යුතුදැයි සිතා ගැනීමට දියාට අපහසු විය. මෙවර නම් දෙවියන්ගෙන් ද ගම් සභාවෙන් ද පිහිටක් නැත. දිවියේ කිසිදා නොවූ තරම් කලකිරීමටත්, ව්‍යාකූල භාවයටත් පත් වූ දියාට නිවසට යාමේ සිතක් ද නූපදිනි. ඕ අරමුණකින් තොරව පාරේ ඇවිද යන්නට වූවා ය.

උන්මන්තියක සේ පාරේ ඇවිද යමින් සිටි දියා සොයාගෙන පැමිණි ඨාකූර් කීවේ තවත් නපුරු ආරංචියකි.

“කිශෝර් ගෙදර ඇවිත් ලොකු විනාශයක් කරගෙන. ඉක්මණට ගෙදර යන්.”

“ඇයි මොකක්ද එයා කරගෙන තියෙන්නේ?” දියා ඇහුවේ වේගයෙනි.

“ගෙදර ගිහිල්ලම බලාගමු.” යි කී ඨාකූර් දියා ව ත්‍රීරෝද රථයට නංවාගෙන යන්නට විය.

දියා ගෙදරට යන විට මිදුලේ මහ සෙනඟකි.

“ඇයි කිශෝර්ට මොකද?” යි දියා ඇසුවේ පිරිසෙනි. කුඩා දරුවකු මිදුලේ කෙළවර වූ අඹ ගස දෙසට අත දිගු කළේ ය.

“දෙයියනේ කිශෝර් එල්ලිලා.” දියාට කියවුණේ එපමණකි. සිහිසුන් ව ඇද වැටුණු දියාට පියවි සිහිය ආවේ අඩහෝරාවකට පසුව ය. “කෝ දිවාන්? කිරන්?” දියා ඇසුවේ අසරණ ලෙසිනි.

“කිරන් පහළ කාමරේ අඬනවා, දිවාන් කාමරේ දොර වහගත්ත ගමන් අරින්නේ නැහැ.” යි කිසිවකු පැවසී ය.

දියා සිතට දිරිය ගෙන නැගිට්ටේ නාලනී කෙරෙහි උපන් වෛරයේ ගිනි සිළු මතිනි. ඕ තම හිසකෙස් කඩා දමා නාලනීට ශාප කළා ය.

කිශෝර්ගේ මරණය ගමට අබිරහසක් වී ද, දියා හේතුව දන්නී ය. ඒ අනිකක් නොව නාලනීගේ ඇස්වහ කටවහ ය. දින දෙකකට පසු කිශෝර්ගේ අවමඟුල් කටයුතු සිදු කෙරුණි. ඉන්පසුදා තවත් අනපේක්ෂිත දෙයක් නිවසේ සිදු විය. කිරන් උදෑසනම වමනය දමන්නට වූවා ය. කාරණය තේරුම් ගත් දියාගේ ශෝකය බලවත් විය.

“දෙයියනේ කිශෝර් මේ වගේ දවසක් එනකන් අවුරුදු කීයක් නම් බලන් හිටිය ද? ඇයි ඔබවහන්සේ කිශෝර්ට මේ තරම් අකාරුණික වුණේ?”“ දියා කඳුළු සලමින් හඬන්නට වූවා ය. කිරන් අපහසුවකින් මෙන් දියා ව මඟහැර ගෙතුළට දිව ගියා ය.

“කිරන්ට දරුවන් නැහැ.” යි කියා නාලනීගේ මුවින් පිට වීම නිසා වස් දොස් ඉවත්ව ගොස් කිරන්ට දරුවකු ලැබෙන්නට සිටින බව ගමපුරා පැතිර ගියේ ලැව් ගින්නක් මෙනි. මෙතෙක් නාලනී පිළිබඳ අප්‍රසාදයකින් සිටි ගම්මු ඒ පුවතත් සමඟ නාලනීව සලකන්නට වූයේ ආශ්චර්ය අද්භූත ගැහැනියක වශයෙනි. නාලනී යනු කිසියම් දේව ආත්මයක් බව ගම්සභා ප්‍රධානියා ඇතුළු කිහිපදෙනෙක් පැවසූහ.

දින කිහිපයක් ගතවෙද්දී අපූරු දේ සිදුවන්නට විය. ගමේ පමණක් නොව අහල පහළ ගම්වලද දරුවන් නොමැති උදවිය, කසාදයක් හරි නොයන උදවිය, රස්සාවක් නොලැබුණු උදවිය ආදී පිරිස් නාලනී වෙතට ඇදී එන්නට වූහ. ගම්සභා ප්‍රධානී නාලනීගේ කළමනාකාරු විය. ඒ ඒ ප්‍රශ්නයට නාලනී කිව යුතු දේ උගන්වන ලද්දේ ඔහු විසිනි. රුපියල් තුන්දහසේ සිට පන්දහස දක්වා මුදලක් ඒ සඳහා අයකරනු ලැබී ය.

ගමේ කුමක් සිදු වුව ද කෝපය හෝ ශෝකය නිවුනේ දියාගේ නොවේ. කසාද බඳින්නට කියා ගම රට පැමිණි දිවාන් කසාද බැඳීම තරයේ ප්‍රතික්ෂේප කිරීම දියාගේ කෝපයත්, ශෝකයත් තවත් බලවත් වීමට හේතුවක් විය. තමන් ලෝකයේ තනි වූවා වැනි මූසල හැඟීමක් දියා ව පෙළන්නට විය. දියා කවදාවත් නැතුව දහවල නිදන්නට සිතුවා ය. ඈට වැඩි වෙලා නිදන්නට නම් අවකාශ නොලැබිණි.

දියා අවදි වූයේ ළඟ ළඟ ඇසුණ ගොරෝසු ශබ්ද නිසාවෙනි. ගෙයින් එළියට බැස්ස දියා දුටුවේ අලුත් නිවසක් හදන්නට දිවාන් ගෙනා කළුගල් ටික ගමේ කෙනෙකු ට්‍රැක්ටරයකට පටවන බවයි.

“මොකද මේ?” දියා ඇසුවේ කලබලයෙනි.

“දිවාන් ගේ හදන අදහස වෙනස් කළා කියල මට ගල් ටික වික්ක.” ගැමියා නොසැලකිල්ලෙන් පිළිතුරු දුන්නේ ය.

“ඒකත් එහෙමද? චන්ද්‍රන් බලපන් එයා ගෙදර ආවෙ ඉක්මණට කසාද බඳින්න. දැන් බඳින්න බෑ කියල තදින්ම කියා හිටිනවා. අර ගෑනි අපේ පවුලට කෙරුවෙ සුළුපටු විනාශයක් නෙවෙයි.”

නාලනී කීවේ අසරණ හැඟීමෙනි. චන්ද්‍රන් පිළිතුරු නොදී ගල් පටවන්නට විය.

“දියා, ගල් බාපු එකා ගහ විනාශ කරල. මේ බලපන්.” සෑහෙන්න වෙලාවකට පසුව චන්ද්‍රන් කීවේ දොඩම් ගහේ මුල පාදා ගනිමිනි. දියා නැගිට ගියේ යාන්ත්‍රිකව ය.

“මුළු ගහේ ම පොතු ගැලවිලා. මං හිතන්නෙ තද පාරක් ගහේ හැපිල වෙන්නැති මුල් ඔක්කොම බුරුල් වෙලා. මේන් ගහ වැනෙනවා. ගල්වලට හිරවෙලා තිබුණ නිසා බිම වැටෙන්නැතුව තියෙන්න ඇති.” චන්ද්‍රන් එක දිගට කීවේ ය.

“මේ ඔක්කොම වෙන්නෙ අර ගෑනිගෙ කටේ විෂට.” යි සෙමෙන් කියූ දියා හිස පාත් කරන් නිවස තුළට ඇවිද ගියා ය.

“ඔව් එහෙම වෙන්නත් පුළුවන්.” චන්ද්‍රන් ද කීවේ ය.

හවස් වෙද්දී අලුත් ආරංචියක් දියාගේ කනට වැදුණි. එනම් නාලනීගේ ආශීර්වාදය මත ගමේත්, අහල පහළ ගම්වලත් දරුවන් නොසිටි කිහිප දෙනෙකුට දරුවන් ලැබෙන්න සිටින නිසාත්, අසනීපව සිටි බොහෝ දෙනෙක් විස්මිත ආකාරයෙන් සුවය ලබමින් සිටින නිසාත් ආදී දේවල් රාශියක් නිසා අද රාත්‍රීයේ කරන විශේෂ පූජාවෙන් පසුව නාලනී ව දේවත්වයෙන් සලකන බවත් – ඈට දෙවියන් සේ සලකා පුද පූජා කරන බවත් ය.

ආරංචිය ඇසූ දියා වෙනදා මෙන් කලබල වූයේ ද තරහා ගත්තේ ද නැත. මුළු ගම විසින් තමාට සිදුවූ මහා විපත අමතක කිරීම පිළිබඳ ව පමණක් කිසියම් කණස්සල්ලක් පමණි ඈ සිත උපන්නේ.

‘තමන්ගේ වැඩේ කෙරෙනවා නම් ගමේ උන්ටත් ඕන යකෙක්.’ යැයි සිතූ දියා නාලනී ගැන නොසිතා ඉන්නට උත්සාහ කළා ය.

රාත්‍රී නමය පසුවත්දී බෙර හඬත්, තරමක් උද්වේගකර වූ භජන් ගී හඬත් ගම පුරා පැතිරෙන්නට විය. එවර දියා නොසන්සුන් වූවා ය. ඒ නොසන්සුන් බව මධ්‍යම රාත්‍රියත් පසු වෙනතුරු ඈ වෙතින් පහව නොගියෙන් දියාට නින්ද ද අහිමිව බොහෝ වෙලාවක් වෙහෙසින් පසුවන්නට සිදු විය. උණුසුම් හැඟීම් විසින් ඇති කළ දාහය සියොළඟම දහදියෙන් තෙත් කළේ ද විය.

අඩ නින්දේදි දියාට කිශෝර්ව සිහිනෙන් පෙනුණි. අඹ ගසේ එල්ලීගෙන කිශෝර් තමා දෙසට අත දිගුකරමින් කුමක්දෝ කියන්නට උත්සාහ ගත්තේ මුත් උගුර කඹයට සිරවී තිබීම නිසා කිශෝර්ගේ හඬ පිට නොවේ. අසාර්ථක උත්සාහයෙන් වෙහෙසට පත් කිශෝර්ගේ දෑත් ඉහළට ගියේ දිව එළියට පැන්නේ ය. ගැස්සී ගිය ඔහු සදහටම නිහඬ විය.

දියාගේ ශෝකගින්න ආයේම ඇවිළිණි. උල්පතකින් දිය ගලන්නා සේ ඇගේ දෑසින් ගැලූ උණුසුම් කඳුළින් කොට්ටය තෙත් විය. දියා මේ තරමට හැඬූ දවසක් ජීවිතයේ නොවිණි. අඩ හෝරාවකට පසුව තෙතබරිත කොට්ටය අනෙක් පැත්ත හැරවූ දියා එහි මුහුණ ඔබා ගත්තා ය. කොට්ටය තුළ වූ කිසියම් ඝන කඩදාසියක් ඇගේ කම්මුලේ තදින් ස්පර්ශ විය. කිසියම් කුතුහලයකින් කොට්ටය තුළට අත දැමූ දියාගේ අතට කඩදාසිය හමු විය.

නැගිට ගොස් ජනෙල් කවුළුව විවෘත කොට කඩදාසිය සඳ එළියට ඇල්ලූ දියාගේ හදවත නැවතිණි. කිශොර්ගේ අත් අකුරු ඇය හොඳින් ම හඳුනා ගත්තා ය.

“අම්මේ, මං ගෙදර ආවා. කිරන් දිවාන් එක්ක එකට ඉන්නවා මං ඇස් දෙකෙන්ම දැක්කා. මේ දැනුත් ඒ දෙන්න එකට. මට ජීවත්වෙලා වැඩක් නැහැ.

කිශෝර්”

දියාගේ නැවතුණ හදවත සීතල විය. ඈ දත්වලින් යටි තොල තදින් විකා ගත්තේ කෑ ගැහේවි යැයි සිතූයෙනි. දහසක් සිතුවිලි අතර දියා අතරමං වූවා ය. ඈ ඇඳේ හිඳ ගත්තා ය.
නාලිනී, කිශෝර්, කිරන්, දිවාන්, කිරන්ට ලැබෙන්න සිටින දරුවා, දිවාන් කසාද බඳින්න අකැමැති කාරණය, අලුතින් ගෙයක් නොහදන්න හේතුව, දොඩම් ගස, වැස්සිගේ මරණය, නාලිනීට රැවටෙන මිනිස්සු….. තමා කුමක් කළ යුතු ද?

හෝරාවකට ආසන්න කාලයක් ගතව ගිය පසු දියා තීරණයක් ගත්තා ය. කඩදාසියත් සමඟ තමාගේ රත්තරන් බඩු ටිකත් – ඉතිරි කරගත් මුදලත් රෙදි කිහිපයකුත් මල්ලක දමා ගත් දියා කුස්සියේ දොර ඇරගෙන ගෙදරින් පිට වූවා ය. කොතනක යන්නේ ද කියා ඈ නොදන්නී ය. යළිත් කිසිදා ආපසු නො එන බව පමණක් ඈ දැන සිටියා ය.

“මොකද ලොකු කල්පනාවක?” පුවත්පත අත තබාගෙන කල්පනා කරමින් සිටි තාත්තාගෙන් මම ඇසීමි.

“ලස්සන ඉන්දියන් කෙටි කථාවක්. හූනෙක් චුක් චුක් ගෑවත් අම්මගෙත් ලෝකෙම කඩන් වැටෙනවනෙ. අම්මටත් කියාපු කතාව.” යි කියූ තාත්තා පුවත්පත මා අත තැබී ය.

නිමි.

චන්දන. එස්. කුමාර