බලන්න එපායෑ මිහින්තලා කඳු මුදුන පැත්තෙන් නැගගෙන ආපු පොසොන් සඳ සමන්ගිරි කන්ද ආරණ්‍යයේ කඳු මුදුන පැත්තෙන් බැහැගෙන යන පාන්දර ජාමෙට තියෙන සුන්දරත්වෙ. ඔව්…. සමන්ගිරි කන්ද ආරණ්‍යයත්, කන්ද පාමුල තියෙන සමන් ගිරි ගමත්, ගම වටේට තියෙන වෙල් යායත් ළා සඳ එළියෙන් නෑවිලයි තියෙන්නේ. කන්ද මුදුනෙන් ගලාගෙන ඇවිත් ගම මැද්දෙන් ගිහින් වෙල්යායට වතුර දෙන දොළ පාරට සඳ එළිය වැටෙනකොට රිදී පාටින් වතුර ටික ලස්සනට දිලිසෙනවා. අරුණලුත් අරගෙන කැලේ ඉන්න රිලව් අත්තෙන් අත්තට පැනගෙන එන සද්දෙයි, කුරුල්ලො කෑගහන සද්දෙයි මැද්දෙන් කන්ද පාමුල තියෙන බණ මඩුවට ගමේ සිල් ඇත්තොත් එක්කෙනා දෙන්නා ගොඩ වුණේ පොසොන් පෝයට සිල් සමාදන් වෙන්ටයි.

ඇතුල් වෙන හැමෝම වගේ ඉස්සර වෙලාම පුංචි බුදු පිළිම වහන්සේට වන්දනා කරලා, ඊට පස්සේ විදානේ රාළහාමි අත්තටත් ලොකු උපාසක උන්නැහේටත් වන්දනා කරලම තමයි අයිනකට වෙන්ඩ පං පැදුරක් එලාගන්නේ. ඔය අතර අමරතුංග ළමයත් බණ මඩුවට ඇතුළු වුණා.

එතකොට විදානේ අත්තා කියනවා “ලොකු උපාසක උන්නැහෙ, ආන්න අමරතුංග ළමයා නම් ආවා. අනතුරක් නම් වෙලා නෑ වගෙයි” “හ්ම් හ්ම්…..” ඒ වෙලාවේ අමරතුංගත් උන්දැලාට වන්දනා කරලා ළඟින් ඈදි ගත්තා.

“අනතුරක්??? විදානෙ අත්තා මොකක්ද කිව්වේ කියලා මට නම් තේරුන් නෑ.” එතකොට කතා කළේ ලොකු උපාසක. “නෑ දරුවෝ. අපි මේ කතා වුණේ මැගලින් හාමියි, කැතරින් නෝනයි පෝය හත අටකින් සිල් සමාදන් වෙන්ඩ ඇවිල්ලා නැත්තේ අර ගිරාදෙණියේ භාවනාවට සම්බන්ධ වෙලාලුනේ. දැං උන්දැලා දියුණු වෙලා ය, අපිට පාර වැරදිලාලු ය, එහෙට ගියා නම් කාටත් ගොඩයත හැකි ය කිය කියා ගමේ සිල් ගන්න ඇත්තන්ට විස දාලා තියෙන්නේ.”

“ආ… මැගලින් නැන්දා මටත් කිව්වා, ඒ බණ ඇහුවොත් අපි මොනවද දන්නේ කියලා හිතෙයි කියලා. එච්චරට ම හරි ගැඹුරු දේවල් අතේ ඔප්පු කරනවයි කිව්වේ.”

ඒ වෙලාවේ විදානෙ අත්තා උන්දෑගේ ඔළුවෙ තිබුණ පුංචි කොණ්ඩ ගෙඩියත් අතගාලා, රාජසිංහ රජ්ජුරුවන්ගේ වගේ තිබ්බු සුදුපාට උඩු රැවුලත් අතගාලා තමයි කතා කළේ. “මේ දරුවෝ, අපේ මේ කෙස් රැවුල් ඉදුණේ නිකන් නෙමෙයි. අපිත් ඔය හොඳයි හොඳයි කියන තැන්වල ගිහිල්ලා භාවනා කරලා තියෙනවා. මග ඵලත් ලැබිලා තියෙනවා. හැබැයි ඔයි ඔක්කොම හිතේ මායාවලට රැවටුණු දේවල් මිසක් හැබෑ දේවල් නම් නෙමෙයි. උතුම් මග ඵලවලටත් නිගාවක්. අපේ බුදුහාමුදුරුවෝ වදාළ හැබෑම දේ පිරිසිදුවට කිව්වේ අපේ ලොකු හාමුදුරුවෝ විතරයි ඕං…”
එතකොට ඔන්න ලොකු උපාසකත් කතාවට හවුල් වුණා.

“ඔන්න විදානේ අයියේ, ධර්ම ප්‍රදීපිකාව කියන පොත් වහන්සේගේ තියෙනවා මෙන්න මෙහෙම විස්තරයක්. ඒ කාලේ අඬබෙරකාරයෝ රට වටේ ගිහිල්ලා රජ්ජුරුවන්ගේ පණිවිඬේ කියනවා. හැබැයි ඒ පණිවිඬේ අයිතිය තියෙන්නේ රජ්ජුරුවන්ට මිසක් අඬබෙරකාරයන්ට එහෙම නෙමෙයි. අඬබෙරකාරයන්ට කියන විදිහ අනුව ප්‍රශංසාවක් විතරක් ලැබෙනවලු, ‘ඔහේ පණිවිඩය කියපු විදිහ ලස්සනයි. අහං ඉන්න ආසයි’ කියලා.

ඉතින් ඒ පණිවිඩවල අයිතිය රජ්ජුරුවන්ට වගේ මේ ධර්ම රත්නයේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ ධර්මරාජ වූ, ධර්ම ස්වාමී වූ අපගේ භාග්‍යවතුන් වහන්සේටයි. උතුම් සාරිපුත්තයන් වහන්සේගේ පටන් සියලු ධර්ම දේශකයන් වහන්සේලාට කියන විදිහ අනුව ප්‍රශංසාවක් විතරක් ලැබෙනවා කියනවා ‘බණ කිව්වා ලස්සනයි’ කියලා. හරියට අර අඬබෙරකරුවන්ට වගේ.

ඒ කියන්නේ අලුතෙන් පරියේෂණ කරලා හොයාගෙන කියන්න බණක් නැතැයි කියන එකනේ. මොකද භාග්‍යවතුන් වහන්සේ අඩුවක් තියලා පිරිනිවන් පෑවේ නෑ නොවැ. ඒ උණාට අද කාලේ ඔය බණට කියනවලු මග ඵලලාභියෙක්ගෙන් ම අහන්ඩ ඕනලු, නැතිව බැහැයි කියලා.

ධර්මදේශකයා කරන්නේ බුද්ධ වචනය උපුටලා දක්වන එකයි කියන ධර්ම ප්‍රදීපිකාවේ තියෙන ඒ කාරණේට මේ ඇත්තන්ගේ ඔය කතා ගැළපෙන්නේ නෑ නොවැ. මොකෝ කියන්නේ විදානේ අයියේ..?”

“ඒක නේන්නම් උපාසක මහත්තයෝ, අර අනුරාධපුර යුගයේ මහා සිව කියන ස්වාමීන් වහන්සේ කිසිම මගඵලයක් නැතුව ඉද්දි කියපු බුදු බණ පුරුදු කරලා ගෝලයෝ තිස්දාහක් රහත් වුණා නොවැ. ඔය කියන විදිහට මෙව්වා බොරු ද?

මොකද අපි තේරුම් ගන්න ඕන මේ සසුනේ මග ඵල උපදවා දෙන හැකියාව තියෙන්නේ ධර්මස්වාමී වූ ශාස්තෘන් වහන්සේට විතර ම යි කියන එක. අන්න ඒකයි පිරිනිවන් පාද්දී ඒ ධර්ම විනය ශාස්තෘන් වහන්සේ හැටියට නායකත්වයට පත් කළේ. ඒ පිරිසිදු බුද්ධ වචනයේ විතර ම යි නිවන් මග තියෙන්නේ. ඉතින් බුද්ධ වචනය අත්හැරලා කාගේ හරි පස්සෙන් ගිහින් එයාගේ පුද්ගලික ටි්‍රක්ස්, උපමා කතා අහලා හිට කෙටි ක්‍රමවලට ලබාදෙන මාර්ග ඵල හැබෑ දේවල් වෙන්නේ කොහොමෙයි? ඒකයි පිරිසිදු බුද්ධ වචනය ම ඉගෙන ගන්ඩ, කතා කරන්ඩ කියලා අපේ ලොකු හාමුදුරුවෝ නිතර කියන්නේ. මහරහතුන් වැටකෙයියා ඉස්ම බිබී බුද්ධ වචනය ආරක්ෂා කළේ ඔය වටිනකම දන්න නිසානේ. ඔය ලොකු ලොකු තනතුරු, නායකත්ව තියෙන කවුරුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාද්දී ධර්ම විනය නායකත්වයට පත් කළා කියලා තේරුම් අරං ධර්ම විනයට ගරු කළා නම් ඊට අනුව තීරණ ගත්තා නම් මේ බුදු සසුන බබළන එක බබළනවා ම යි.”

විදානේ අත්තා කතාව අහවර කරන කොට ම ලොකු උපාසකත් “අද වගේ පොසොන් පෝයක වැඩිය මිහිඳු මහරහතන් වහන්සේ අපිට දායාද කළේ පිරිසිදු බුද්ධ වචනයනේ. සච්ච සංයුත්තයේ ඛජ්ජනීය සූත්‍රයෙන් වගේ ධර්ම දේශනා කරද්දී දහස් ගණන් මග ඵල ලැබුවා කියලා මහාවංශයේ සඳහන් වෙන්නේ. ඒ වගේ අපේ ලොකු හාමුදුරුවෝ කළෙත් මූලික බුද්ධ දේශනා උපුටලා දක්වන එකනේ. ඉතින් ඒකනේ හරි ක්‍රමේ.

හැබැයි ඉතින් එදා වගේ මග ඵල ලබන්නේ නැත්තේ මේ කාලේ මනුස්සයන්ගේ නුවණ අඩු නිසා මිසක් ධර්ම රත්නයේ අඩුවක් එහෙම නෙමෙයි. ඒකත් තේරුම් ගන්න ඕන. හැබැයි අද වුණත් පිරිසිදු ධර්මය ම හරියට කාලයක් පුරුදු කළොත් ටික ටික හරි ප්‍රඥාව වැඩෙනවා ම යි.”

එතකොට සද්ධාවතී උපාසක අම්මා කියනවා “බෞද්ධ උනාට බුදු ගුණයක්වත් දන්නැතුවනේ අපි නාකි වුණේ. ලොකු හාමුදුරුවෝ මේ ආරණ්‍යයට වැඩියට පස්සේ, අපිත් දැන් ශ්‍රද්ධාවෙන් බුදුන් වඳිනවා. සකස් කරලා දන් දෙනවා. කතන්දර ම අහ අහා හිටපු අපි දැන් බුදුහාමුදුරුවෝ වදාළ සූත්‍ර දේශනාත් දන්නවා. ඉතින් ලොකු හාමුදුරුවෝ කියන්නා වගේ හිමීට කලබල නැතිව ගුණධර්ම පුරුදු කරගෙන යමුකෝ. ඉතිරි ටිකත් දියුණු වෙලා සැබෑ මග ඵලයක් ලැබෙයි. මොකද හරි දේනේ පුරුදු කරන්නේ. අනික බුද්ධ ශාසනයක ශ්‍රද්ධා මාත්‍රයක් ඇතිකර ගත්තා කියන්නෙ සුළුපටු දෙයක් යෑ.”

එතකොට ලොකු උපාසක මෙහෙම කිව්වා. “හරියට හරි ශ්‍රද්ධාවතී උපාසක අම්මේ. ඕං ඔය ශ්‍රද්ධා මාත්‍රය තමයි අර තර්කයට ගළපලා කියන බණ අහලා අපේ ඇත්තෝ නැති කර ගන්නේ. භාග්‍යවතුන් වහන්සේ තර්කයෙන් මේ ධර්මය අවබෝධ කරන්ඩ බෑ කියලා වදාළා නම් (අතක්කාවචරෝ – මහා වග්ගපාළි) මැරෙනකන් තර්කෙන් අල්ලන්න හැදුවත් බෑ බෑ ම යි. අහුවෙන්නේ හුළං තමයි. අන්තිමට පිම්බිලි උඩ ගිහින් ‘ඔය භාවනා ක්‍රම වැරදියි. ඔහොම බෑ’ කිය කියා ලොකු හාමුදුරුවන්ට චෝදනා කළොත් ඒ චෝදනාව වදින්නේ ලොකු හාමුදුරුවන්ට විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේටයි, නිර්මල ධර්මයටයි තමයි චෝදනා කරන්නේ. ලේසි පාපයක් නෙමෙයි ඕං. ඒ නිසා සද්ධාවතී, ඔය මැගලින්ලා කැතරින්ලා ඇවිල්ලා උඹලටත් බෝලෙ බස්සයි. ඔය කරුණු මතකෙ තියාගෙන ඇත්ත නැත්ත තේරුම් අරං පණටත් වඩා පරිස්සමෙන් ඔය ශ්‍රද්ධාව රැක ගන්න ඕන ඕං..”

ඔය අතර විදානෙ අත්තා ආරණ්‍යයට නගින පඩිපෙළ පැත්ත බලද්දී දැක්කේ ලොකු හාමුදුරුවෝ එක අතකින් සූත්‍ර පොත් වහන්සේනමක් ඇකයේ තියාගෙන, අනික් අතින් කුඬේ බිම තිය තිය පඩියෙන් පඩිය බහින සුන්දර දර්ශනය. විදානෙ අත්තා සතුටින් ඇස් දල්වගෙන “අනේ සාදු සාදු…. ආං… ලොකු හාමුදුරුවෝ වඩිනවා” කියලා කලබලේට හැරමිටියේ එල්ලීගෙන නැගිට්ටා. “ලොකු උපාසක, ඔහේ පා කමල දෝවන්න මං මේ ලේන්සුවෙන් පිහදාන්නම්” කියලා කරේ තිබුණ තුවා පොඞ්ඩ අතට ගත්තා. “හා කට්ටිය ම කියමු සඟ ගුණ… සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ….”

ඒ මිහිරි සඟ ගුණ රාවය සමන්ගිරි කන්ද ආරණ්‍යයේ කඳු මුදුන දෙසින් ලොකු හාමුදුරුවන්ගේ සිවුර පිසදාගෙන ආ සුළං රැල්ලක දැවටී බැස යන පොසොන් සඳේ සිසිලස සමඟින් මුසුවී මිහින්තලා පව්වත් පිසගෙන තව්තිසා දෙව්ලොවට ම හමා ගියා. ඒ මිහිරි සුගන්ධයෙන් ප්‍රීතියට පත් සක්දෙවිඳුත්, තව්තිසා වැසි දෙවියොත් ලක්දිවට පරම පිවිතුරු බුද්ධ වචනය දායාද කළ උතුම් මිහිඳු මහරහතන් වහන්සේටත්, අද දක්වා ම නිමල බුදු වදනින් ලක් මෑණියන් සැනසූ සියලු සංඝරත්නයටත් නමස්කාර කළා.

සාදු! සාදු!! සාදු…!!!

සමන් ගිරේ ගිරි අරණින් – නැගුනා වූ සම්බුදු වදනින්
සිහිවිය මට ඒ උත්තම මුනිඳුන් – මහමෙව්නා උයනේ වැඩ ඉඳිමින්
තිළිණ කළෝ නිමල බුදු වදන් – සාදු සාදු අපි නමදිමු
ඒ අති උත්තම සම්බුදු සමිඳුන් – සමඟින් අති උත්තම සිරි සදහම්
සහ උත්තම මිහිඳු මාහිමියන් – හා අපගේ ආදර ගුරු දෙවිඳුන්…..

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි