වෛරස් උණක් යැයි සැක කළ කුසුමාවතීගේ උණ රෝගය ඉතා උත්සන්න විය. මුල් දින දෙක තුනේ දී ඉඟුරු කොත්තමල්ලිවලින් සුව කිරීමට උත්සාහ කළ රෝගය දැන් චැනල් කොට ගෙනා බෙහෙත්වලින්වත් සුව නොවන සෙයකි. ඇඳෙහි උඩුබැලි ව වැතිර ඇස් ලොකු කරගෙන දිව එළියට දමාගෙන මොනවදෝ කියන්නට තතනන මව දෙස බලා සිටින සුමනසිරිගේ ශෝකය විශාල ය.

“ඩෙන්න ඩෙනා ඩෙනෝ – කට්ටඩි රාළ එනෝ…” කියාගෙන ම හදිසියේ ම කුසුමාවතී නැගී සිටියා ය. තිගැස්සීමෙන් බියට පත්වූ සුමනසිරි වහා ම තම මව ඇඳෙහි පෙරලා තදකොට අල්ලා ගත්තේ ය. බිරිඳ ද දුවවිත් සුමනසිරිගේ ඇඟේ ම එල්ලිණ. බියට පත් කුඩා දරුවා බෙරිහන් දී හඬන්නට විය.

“ගෑනියේ බය නො වී දරුව ව බලාපන්…” සුමනසිරි මවගෙන් දෑත් ඉවත් නො කර ම බිරිඳට කෑ ගැසුවේ ය.

දරුවා වඩාගත් පද්මිණී ඊ ළඟ මොහොතේ ගෙයින් එළියට පැන උදව් ඉල්ලා කෑ ගසන්නට වූවා ය. ඇගේ ඉල්ලීම හිස් සුළඟේ ගසාගෙන ගියේ හිත්පිත් නැති ලෙස ය.

බලන බලන හැම අත ම වූයේ පාළුවට ගිය හිස් ඉඩම් සහ ජරාවාස ව ගරාවැටෙමින් පවතින ගොඩනැගිලි කිහිපයක් පමණකි. අහල පහළක මිනිසුන් සිටි බවට විනා සිටින බවට කිසිදු ලකුණක් ඉතිරිව ඇතුවා නො වේ.

මේ සුමනසිරිගේ පරම්පරාවේ ඉඩම් ය. සුමනසිරි කුඩා කල ම පියා වූ චාර්ලිස් මිය ගියේ ය. පොල් අක්කර දෙකක් වූ මහ ගෙදර ඉඩමේ ආදායම කුසුමාවතීට සුමනසිරි ව ජීවත් කරගෙන නිවී සැනසිල්ලේ සිටින්නට ප්‍රමාණවත් විය.

ආර්ථික අතින් ප්‍රශ්නයක් නො වී ද හත්දොහේ දානෙට පසුදින සිට ම කුසුමාවතී හමුවේ වූයේ බරපතළ ප්‍රශ්නයකි. මහගෙදර අයිතියට චාර්ලිස්ගේ බාල සහෝදර සහෝදරියෝ එක කඳවුරක් ව නැගී සිටියෙන් කුසුමාවතී අන්ත අසරණ වූවා ය. වැඩි ම කරදරය වූයේ බාල ම සහෝදරයා වූ ගිරිගෝරිස්ගෙනි. විවිධ විසඳුම් සොයා වෙහෙසට පත්ව සිටි කුසුමාවතීට අවසන විසඳුමක් හමු විය. ඇයට නොම්මර එකේ කට්ටඩි රාළ කෙනෙකු ව මුණගැස්සුවේ ඇගේ මාමා විසිනි.
කුසුමාවතී සේක්කු ගෙදරින් ඉදිරි පොල් මුර දෙකක ම සල්ලි ණයට ඉල්ලාගත් මාසයේ අවසන් දිනයක දී ගිරිගෝරිස් තම වත්තේ ම වූ වෙරළු ගසේ එල්ලී සිටියේ නිරුවතිනි. කුසුමාවතීට සැනසුම් සුසුමක් පිටවිණි.

ඒ සැනසුම් සුසුම සතියකට දෙකකට සීමා විය. ගිරිගෝරිස්ගේ මරණය සම්බන්ධ සැකය නම් වැව්දිය ගංගොඩ යට කරගෙන ගලා ගියේ විය. ඉතිරි සහෝදරයෝ කුසුමාවතී ව එළිපිට ම මරන්නට පැමිණි දා කැලෑ පැන තමාගේත්, සුමනසිරිගෙත් දිවි රැක ගත්තා ය. වෙනත් විසඳුම් කුමට? එවර ඒ පොල් අක්කර දෙකෙන් එකක් සේක්කු ගෙදරට විකුණා තම ජීවිතත්, පොල් අක්කරයක් සහිත මහ ගෙදරත් රැක ගැනීමට සමත් වූවා ය.

චාර්ලිස්ගේ ඉතිරි සහෝදරයෝ මැරී ගියේ නියඟයකට හසු වූ පොල් ඇට්ටි හැකිලෙන්නාක් මෙනි. සියල්ලට ම මාස හයක් ගත නොවිනි. කුසුමාවතී මහ ගෙදර පදිංචියට පැමිණියා ය. ඇයට අරියාදු කරන්නට කිසිවෙකුත් මිහිපිට ඉතිරිව නොසිටියහ.

දින, සති, මාස, අවුරුදු බවට පත්ව ගෙවී ගියේ වේගයෙනි. දෙවන පරම්පරාව උස්මහත්ව සිටියේ විය. කුසුමාවතීගේ ජීවිතය ආයෙම නොසන්සුන් විය. එවර සුමනසිරිගේ ජීවිතයට තර්ජන ආවේ චාර්ලිස්ගේ සහෝදරයන්ගේ දරුවන්ගෙනි. සුමනාවතීට එවරත් පිහිටට සිටියේ කට්ටඩිරාළ ම පමණකි. ඇයට ඒ සඳහා ගාස්තුවක් ගෙවීමට අනවශ්‍ය විය. ගෙවුණු වසර කිහිපය පුරාවට ම ඇය ගාස්තු ගෙවා තිබුණි. එය පහසු ය. තරමක අපහසුවකට තිබුණේ කට්ටඩිරාළ සමඟ දුර ඈත හොර වෙදාගෙන් බෙහෙත් ගන්න ගිය වාර දෙක තුනේ දී වෙදා කියන කතා අසා සිටීම පමණකි. ඉවසා සිටීම පමණකි. වෙදාට ද අවනත වන්නට වීම පමණකි. “මොකද උඹ පත්තිනි අම්ම ද?” වෙදා නොබියව ම ඇසී ය.

ගිරිගෝරිස්ගේ ලොකු පුතා ද එල්ලී මළේ තාත්තා එල්ලී මළ වෙරළු ගසේ ම එල්ලීමෙනි. කලබලේටත්, කේන්තියටත් පත්ව ගස කපන්නට ගිය බාල පුතා ද ගසට ම යට වී ඔත්පල විය. වටා සිටි අනෙකුත් සහෝදර පවුල්වලට ද නොවැළඳුන ලෙඩක් දුකක් නොවන තරම් ය. අවසන සියල්ලන් ම පරාජය පිළිගෙන ඒ ඒ තැන පලා ගියෙන් සුමනසිරි සමඟ කුසුමාවතී මහ ගෙදර සියලු ඉඩම්වලට හිමිකාරිය වූවා ය.

සේක්කු ගෙදරට අඩු මුදලට විකුණූ පොල් ඉඩම් අක්කරය ද නැවත කුසුමාවතීට ම ලැබෙන තැනට ම කටයුතු සැලසූයේ ද කට්ටඩිරාළ විසින් ම ය. කුසුමාවතීගේ දෙවියන් ද අන් සියල්ල ද කට්ටඩිරාළ ම විය.

“ඩෙන්න ඩෙනා ඩෙනෝ – කට්ටඩිරාළ එනෝ..”

කුසුමාවතී දිගට ම එය කියයි. වරෙක එය දැඩිව නැගේ. වරෙක කෙඳිරි ගෑමකි. පද්මිණි යටි සිතින් සිනාසිනි. සුමනසිරි වික්ෂිප්තව බලාසිටියේ මේ සිදුවන්නේ කුමක්දැයි වටහාගත නො හැකි ව ය.

“කට්ටඩිරාළ මට කතා කරනවා. මට යන්න වෙනවා. ඔව් මට යන්න ම වෙනවා.” කෑගැහිල්ල නැවතූ කුසුමාවතී  දොඩවන්නට වූවා ය. සුමනසිරි යටිතොල විකාගෙන හිස සලන්නට විය.

“කට්ටඩිරාළට කියලා අම්මට නූලක් දාමු” පද්මිණි කීවේ අවංකව ම ය. ඇය දුක් ගත්තේ නැන්දනියටත් වඩා ස්වාමියා පිළිබඳ ව ය.

“ඔව් ඒක තමයි කරන්න තියෙන්නේ. මේක මේ වෛරස් උණක් නෙමෙයි. දැනුයි මටත් තේරෙන්නේ.”

පසුදා උදෑසන ම සුමනසිරි කට්ටඩිරාළ සොයා ගියේ මව ළඟ තම සේවකයන් දෙදෙනෙකු ව ම රැඳවීමෙන් අනතුරුවයි. රැය පුරා දොඩමින්, දඟලමින් වෙහෙසට පත්ව සිටි කුසුමාවතී එවෙලෙහි සිටියේ තද නින්දේ ය. සුමනසිරිට ද පුරුදු පාරකි. කට්ටඩිරාළගේ නිවස සොයා ඔහු යතුරුපැදිය වේගයෙන් පැදවූයේ ය. නිවසට ළං වෙත් ම කිසියම් කලබලකාරී බවක් සුමනසිරි දුටුවේ ය. යතුරුපැදිය නතර කොට නොබැස ම සුමනසිරි නිවැසියෙකුව ඇමතුවේ ය.
“ගුරුන්නාන්සේ ව මුණගැහෙන්නයි.”

සුමනසිරි දෙස විමසුම් බැලුම් හෙළුෑ නිවැසියා සුමනසිරිට වඩාත් ළං විය.

“ඇයි.. ආරංචි වුණේ නැද්ද?”

“නැහැ.. මොකක්ද?”

“ගුරුන්නාන්සේ මළා. හත්දොහේ බණ අදනේ”

කිසිවක් ම නො කී සුමනසිරි යතුරුපැදිය පණගන්වා ගියාටත් වඩා වේගයෙන් තම නිවස බලා යතුරුපැදිය පැදෙව්වේ ය.

සුමනසිරි යතුරුපැදිය වත්තට ඇතුල් කරත් ම ඉදිරියට දිව ආවේ පද්මිණී ය. හිටිවන ම තිරිංග තද කළ සුමනසිරි පද්මිණී දෙසට විමසුම් නෙත් යොමු කළේ කලබලයෙනි.

“අම්මා ගියා” පද්මිණී හඬාගෙන ම කීවා ය.

“කොහේද? ඇයි අරුන් දෙන්නා හිටියෙ නැද්ද?” සුමනසිරි යතුරුපැදිය තදින් අල්ලාගෙන පොළවේ සිට ගත්තේ ය.

“නැහැ දෙයියෝ.. අම්මා නැති වුණා. කට්ටඩිරාළ ගෙනියන්න ඇවිත් ඉන්නවා කියලා ඇස් දෙක පියාගත්තා. එච්චරයි.”

සුමනසිරි දෑතින් ම හිස බදාගනිද්දී ග්‍රහණයෙන් ගිලිහුණු යතුරුපැදිය ඉදිරිපසට විසි වී බිම පෙරළින…

පසුවදන: මෙය ප්‍රබන්දයක් වුව ද යථාර්ථය ද මෙයම ය. ස්වාමියෝ කිසිකලෙකත් ස්වකීය දැසිදැස්සන්ව අත් නොහරිනු ඇත. එහෙයින් කිසිවෙක් කිසිවෙකුට දාස නොවෙත්වා!

– මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි