සරියට ගැළපෙන මුතු පොටක් ද තෝරා බෙල්ලේ බැඳගත් විමලා කුමාරිහාමි කාමරයෙන් පිට වූවා ය. මිදුලට බසින්නට ගිය ගමන නැවතූ ඕ ආපසු හැරී ගොස් කුස්සියට එබී බැලුවා ය.
මෙවෙලෙහි කිරිබතක් කපමින් සිටි ජේන් සිය ස්වාමිදුව දැකීමෙන් කලබලයට පත් නොවුණා ම නො වේ.

“ඈ බං ජේන්, ඔය තරම් කිරිබත් කන්දරාවක් කාට කන්න ද?” කුමාරිහාමිගේ දෑස් නළලෙහි මුදුනේ නතරව තිබිණ.

“අද පොල්මුරේ කඩන දවසනෙ. මං ටිකක් වැඩිපුර…..”

“පොල් කඩන්න එන එවුන්ට කිරිබත් ගිල්ලවන්න උඹට පිස්සු ද ගෑනියෙ? මේ ගමේ එකාලට කිරිබත් තමයි ගිල්ලවන්න ඕන. කිසි කමකට නැති වලත්ත හැත්ත. පහළ දෙනියෙ වත්තෙ ඇට්ටි ටික විතරයි. රිලව් වගේ ඔක්කොම හොරාට කඩාගෙන යනව. හාමු මහත්තය හිටිය නම් මම ඕකුන්ට වෙඩි තියෝනව. අසමජ්ජාති හැත්ත. තුහ්.”

ජේන් කරබාගෙන කිරිබත කපන්නට වූවා ය.

“කමක් නැහැ දවාලට හරි කන්න පුළුවන්නෙ. ගමේ එවුන්ට නෑ. මතක තියාගනිං නාස්තිකාර මෝඩි. ඕක ඉවර කරල ගේට්ටුව ළඟට වරෙන්.”

විමලා කුමාරිහාමි බේසම් දෙකක් ද රැගෙන වලව්ව ඉදිරිපසට ඇවිද ගියේ හිත හොඳකින් නම් නො වේ.

බේසම් දෙක බිම තැබූ ඕ ගේට්ටුවෙන් පිටතට පැමිණ පාරට නැමීගිය අතුවලින් වැටුන අඹ එකතු කොට බේසම්වලට දමන්නට වූවා ය. වැඩිපුර තිබුණේ සතුන් කා දැමූ අඹ කොට ය. ඒ බේසම ඉක්මනින් ම පිරුණි. ජේන් ද පැමිණ නිහඬ ව අඹ එකතු කරන්නට වූවා ය.

“මේ වවුල් හැත්තත් ගමේ හැත්ත වගේ ම තමයි. ස්වල්ප විනාශයක් ද මේ දවස ගානෙ කරන්නෙ…”

ජේන්ට හිනාව නතර කරගත නොහැකි වූවා ය. කලාතුරකින් සිනහවෙන ජේන්ගේ සිනහව කුමාරිහාමිගේ කෝපය තවත් උත්සන්න කළේ විය.

“ජේන්, උඹත් මේ ගමේ උන්ට ම යි හරියන්නෙ. වලව්වෙන් කාල වලව්ව විනාශ වෙනවට සතුටුවෙනවා. තොපි ඔක්කොගෙම ජාතකේ වැරැද්ද.”

ජේන්ට මෙවැනි කුණු කතා කොහොමත් පුරුදු ය. දවසට විසි පස් වතාවක්වත් මෙවැනි කතා ඕ අසන්නී ය. කිසිදා කෝප සිත් ඇතිකර නොගන්නා ජේන් මෙවෙලෙහි තමා අතින් වරදක් වූ බව පමණක් සිහි කළා ය. පුරුදු ලෙස හොඳ අඹ ටික තිබූ බේසම ඔසවා ගත් ජේන් නිහඬ ව ම වලව්ව දෙසට ඇවිද යන්නට වූවා ය.

“මොන ජාතියෙ ගෑනියෙක් ද මන්දා. තුහ් විතරක්…”

විමලා කුමාරිහාමි මෙවලේ ජේන්ට නොඇසෙන සේ කීවා ය.

විමලා කුමාරිහාමි තවත් පැය කාලක් පමණ එතැන ම නැවතී මඟ බලා සිටියාය. වත්තේ වාසය කරන දෙමළ දරුවෝ එකිනෙකා පාර ඈත වංගුවෙන් මතුවන්නට වූහ. කුමාරිහාමි සතුන් විසින් කා ඉතිරි කරන ලද අඹ සහිත බේසම මහ පාර මැදින් තැබුවාය.

“ඔන්න අරගෙන කාපල්ලා. වවුලො දත් ගැහුවට භාගෙකට වඩා කන්න පුළුවන්…”

කුඩා දරුවන් එක රොත්තට අඹ බේසමට එබී පොර කනු දුටු විමලා කුමාරිහාමිගේ සිතේ සතුටක් ඉපදිණි. තමා කරන දේ හරි ය. ඇගේ සතුටට හේතු වූයේ එකී සිතුවිල්ල යි. ඒ සතුට වැඩි වේලාවක් නොපැවතිණි. ඇගේ සිත දැඩි නොපහන් බවකින් පිරුණි.

“කාලකන්නි හැත්තට කෑමක් බීමක් හරියට නැහැ. ඒ උනාට ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්නයි හදන්නෙ..” ඇගේ වචන දරුවන්ට නොඇසිණ.

“මේ කොල්ලනේ, තොපි එකෙක්වත් ගස්වලට පොලු ගහල ගෙඩි කඩනව එහෙම නෙවෙයි. හැමදාම මම උඹලට අඹ දෙනවා. දෙන ඒව මදිවෙලා තව පොලුත් ගහල අහුවුණොත් මම පාරට තියෙන අතුත් කප්පවල තොපේ අතපයත් කඩල දානවා.”

දරුවෝ ජේන් තරමටවත් කුමාරිහාමිගේ සුපුරුදු වචන ගණනකට නොගත්තහ. උන්ට ද ඒවා ඒ තරමට පුරුදු ය.

“කෝ තොපි යනව ද? පින් දීල පලයව්..”

ඈත යන දරුවන්ට ඇසෙන සේ ඕ කෑ ගෑවා ය. පින් දුන් දරුවෙක් නැත.

“කාලකණ්ණි හැතිකරේ…”

හිස් බේසම ඔසවාගත් විමලා කුමාරිහාමි වලව්ව දෙසට ඇවිද ගියේ මවාගත් මහේශාක්‍ය බවකිනි. පොල් මුරේ කැඩීමට පැමිණියෝ මිදුලේ කෙළවරක සිටිනු ඕ දුටු නිසාවෙනි ඒ. පොල්මුරේ කැඩීමට පැමිණි පිරිසට ජේන් තේ හැදුවාය. කුමාරිහාමි ද ජේන් අසල ම වූවා ය. කූඩයෙන් වසා තිබූ කිරිබත් බේසම දෙස බැලූ ජේන් කුමාරිහාමිගේ මුහුණට එබුණි.

“තේ ටික දීපං. හොර හැත්ත දැන් පොල් ටික දෙතුන් පලක හංගල ඇති පස්සෙ ඇදගන්න.”

කුමාරිහාමි මේසයේ පුටුවක් ඇදගෙන හිඳ ගත්තාය.

‘බහිරවයො මීට හොඳ ඇති…’ ජේන්ට සිතුණි.

“ඇයි තේ දුන්නෙ නැද්ද?”

තේ කෝප්ප ටික ආපසු ඔසවාගෙන පැමිණි ජේන් දුටු කුමාරිහාමි ඇසුවා ය.

“තේ එපාලු. කුරුම්බ බිව්ව කියන්නෙ..”

“ඔය… මං කිව්වෙ නැද්ද තොට. ඕකුං තිරිසනුන්ටත් වඩා අන්තයි. උඹ තව කිරිබතුත් ගිල්ලවන්නයි ලෑස්තිය.”

ඔසරි පොට ඉන වටා ඔතාගත් කුමාරිහාමි ජේන්වත් තල්ලු කරගෙන කුස්සියෙන් එළියට පැන්නාය.

ඈතින් ගෝරනාඩුවක් ඇසෙයි. ජේන් තේ ටිකක් ගෙන තොල ගාන්නට වූවා ය. නොදැනී ම ඈට නින්ද පැමිණියේය.

“ජේන් දවාලට උයන්නෙ නැද්ද බං?”

“කුමාරිහාමි” ජේන් ගැස්සී ගොස් අවදි වූවාය.

“උඹ ඔතන නිදි ද? මං ඇහුවෙ දවාලට උයන්නෙ නැද්ද කියල.”

“ඇයි ලොකු හාමු කිව්වෙ දවාලට කිරිබත් කමු කියල.”

“මං එහෙම කිව්වට කිරිබත් ජරාව දවාලට කන්න පුළුවන් ද? ඔය දැනටමත් පිළුණු ගඳ එනව ද මන්ද…”

ජේන් දවාලට උයන්නට වූවා ය. දහවල දොලහයි හතලිහ වෙද්දී කුස්සියට පැමිණි කුමාරිහාමි ජේන්ට කතා කළාය.

“මේක මට පාරට ගිහින් දියං. පියදාසය කොහෙද?”

නිහඬව ම බේසම ඔසවාගත් ජේන් කුමාරිහාමි පස්සේ වැටුණාය.

“බලපං උඹ කරන අපරාද. දැන් ඉතිං ඔතනින් ඕක තියල උඹ පලයං. තව ටිකකින් දෙමළ පැටව් ඒවි.”

“මේව පිළුණු වෙලානෙ…”

ජේන් කීවේ දරුවන් කෙරේ උපන් අනුකම්පාවෙනි.

“ජේන් උඹ උඹේ වැඩක් බලාගනිං මගෙ යකා අවුස්සන්නෙ නැතුව.”

ජේන් ගියා නොව ඉගිල්ලුණා ය.

“ජේන්, අර කලු ගැහිච්ච කෙහෙල් ඇවරියත් ගෙනත් දීල පලයං.”

ඈත යන ජේන්ට ඇසෙන සේ කුමාරිහාමි කෑ ගසා කීවාය. ජේන්ට කරන්න දෙයක් නැත. ඕ කියන කියන දේ කළාය. විමලා කුමාරිහාමි දීග එන විට කාත් කවුරුවත් නැති ජේන් ව ද දෑවැද්දට ගෙනා දේ අතර විය. කලාතුරකින් ජේන්ට ආදර සැලකිලි ද නොලැබුණා ම නො වේ. නින්දාවේදීත්, ප්‍රශංසාවේදීත් ජේන්ගේ සිත වැඩිමනක් පෙරලුනේ නැත.

වෙනසක් නැතිව ම කාලය ගෙවිණි. ජේන්ට මෙලොව සිටි එක ම ඥාතියා ද අවසන් නින්දට වැටී ඇත. ඕ විමලා කුමාරිහාමිගේ මිනී පෙට්ටිය ළඟ නොනවත්වා ම හඬා වැටුණාය.

ගමට ම මඟුලක් මෙනි. පුතා සුරේන් හාමු ගමට ම කන්න දුන්නේ දන්සැලක් මෙනි. ගම්මු ආවේ කුමාරිහාමිට ගෞරව කරන්නට නොව කන්නට ය. සුරේන් සිය හිතවතුන්ට ගම්මුන්ගේ සැලකිල්ල ගැන පුරසාරම් ඇද බෑවේ ය.

“හාමු බුදුවෙන්නෝන. අනේ අපිට හරි කරුණාවයි…” ගම්මු කියද්දී සුරේන් හාමුගේ ද සිත සතුටින් පිරුණි.

කරුණාවේ රඟ සුරේන් හාමුට තේරුනේ මිනිය අස් කළ දිනයට පසුදා ය. වත්ත පුරා ම ඉඳුල් දමා ඇත. වත්ත පමණක් නොව වලව්ව ද ඉඳුල් ගඳින් පිරී ඇත.

කුලියට ගත් මිනිසුන් කිහිප දෙනෙකුත්, පියදාසත් වත්ත මනා ව පිරිසිදු කළහ. ජේන් වලව්ව පිරිසිදු කළාය. ඉඳුල් ගඳේ නම් අඩුවක් නොවුණි. හත් දවසේ දානයත් අවසන් විය.

ජේන් උයන්න තරමටවත් උනන්දු නො වූවා ය. ඉව්වත් කන්නේ ද නැත. අනුකම්පා කළ පියදාස සුරේන් හාමුට ජේන් ගැන කීවේය.

“ජේන් කාල බීල ඉන්න. දැන් මාවත් බලාගන්න ඉන්නෙ ජේන් විතරයි.”

එවෙලේ නම් ජේන්ගේ අඳුරු මූණට එළියක් වැටිණි.

තවත් දවසක් ගෙවිණි. දෙමහල් වලව්ව පුරා ම ඉඳුල් ගඳ පැතිරෙන්නට විය. වඩාත් දැඩිව දැනුණේ ජේන්ගේ කාමරය පිහිටි දෙසිනි. ජේන් කාමරයේ නැති වේලාවක් බලා සුරේන් හාමු කාමරයට ඇතුල් විය.

“ජේන්…”

සුරේන් හාමුගේ කටහඬ කවදාවත් නොවූ තරමින් වලව්වේ අස්සක් මුල්ලක් නෑර ම පැතිර ගියේ විය. ජේන් පමණක් නොව පියදාස ද බියපත් ව සුරේන් හාමු ඉදිරියේ නතර වූහ.

“ජේන් මේ මොනවද..? මොකද මේ ඉඳුල් පුරවගෙන ඇඳ යට..?”

සුරේන්ගේ කෝපයෙන් පිරුණ දෑස් දරාගැනීමට අසමත් වූ ජේන් බිම බලාගත්තා ය.

“ජේන් කතා කරනවා. මොන මඟුලකට ද මේ ඉඳුල් පුරවගන්නෙ. මුළු වලව්ව ම ගඳ ගහනවා.”

“මන් දන්නෙ නෑ…”

ජේන් කීවේ බිම බලාගෙන ය.

“ඇයි මේ කාමරේ ඉන්නෙ වෙන කවුරු හරි ද?”

“මං තමයි. ඒත්…”

“ඒත් නෙවෙයි. මොනව විකාරයක් ද මේ කරල තියෙන්නෙ? උඹත් අපෙ අම්මට ම හරියන ගෑනි. කුණුවෙච්ච දෙයක්වත් විසි කළේ නැහැනෙ එයත්.”

සුරේන් හාමු තරමක් සන්සුන් විය.

“අම්ම කෙනෙක් වගේ මාව හදපු නිසා නෙවෙයි නම් මං අද ම ජේන් ව ගෙදරින් යවනවා. දැන් දෙන්නම මේ කාමරේ අස්කරල හොඳට නාල කරල අම්මගෙ ඇඳුම් අරගෙන හොඳට ඇඳල කරල මගෙ ඉස්සරහට එන්න ඕන.”

“හාමුගෙ ඇඳුම් මට එපා.”

ජේන් ජීවිතේ පළමුවට අකීකරු වචනයක් කීවාය.

“නෑ උඹ අඳින්න ම ඕන. නැත්නම් යවනවා වලව්වෙනුත්…”

කාමරයෙන් පිට වුණ සුරේන් කෙළින් ම ගියේ සිය මවගේ කාමරයට ය. ජේන්ට ඇඳුම් තෝරා දීමේ අදහසක් ඔහුට විය.

කාමරයේ දොර හරිද්දී ම සුරේන්ගේ නාස් පුඩු හැකිළී ගියේ ය. මවගේ කාමරය ජේන්ගේ කාමරයටත් වඩා ඉඳුල් ගඳ ය.

සුරේන්ගේ විමසුම් දෑස් කාමරයේ හැම අඟලක් පුරා ම පැතිරුණි. එහෙත් ඉඳුල් කිසිවක් නැත. ඉවසිය නොහැකි ගඳක් ඇත.

“පියදාස…”

සුරේන් හාමු උමතුවෙන් මෙන් කෑ ගැසුවේ ය. පියදාස කාමරයට ඇතුල්ව හිස බදාගෙන සිටින සුරේන් හාමුව දැක බියපත් විය.

“චුටි හාමු මොකද මේ…?”

“මට මොකුත් නෑ. ඒත් බලපං මේකෙ ඉඳුල් ගඳ…”

දින දෙක තුනක සිට පියදාසගේ සිතේ ඇති වූ සැකය තහවුරු විය. ඔහු සුරේන් හාමුට කාරණය සැල කළේ බියෙනි. සුරේන් හාමුට ද පියදාසගේ කතාවට විරුද්ධ වීමේ හැකියාවක් නොවිණ.

“මං දන්න මිනිහෙක් ඉන්නවා. මිනිහා දක්ෂයා. ගිහින් බලමු. ඌ මොනව හරි කරල මේකෙ අගක් මුලක් හොයල දෙයි.”

කට්ටඩියාට කරන්න දෙයක් ඉතිරි නොවිණි. ඔහු වලව්වට පය තබත් ම ජේන් හූ කියාගෙන ඔහුගේ ගමන වළක්වන්නට ඉදිරියට ආවා ය. හූ හඬත් සමඟ ම මුළු වලව්ව ම ඉඳුල් ගඳින් පිරී ගියේ මොහොතකිනි.

“තෝ පල.. තෝ පල.. අඩියක් තියන්නෑ වලව්වට. මම විමලා කුමාරිහාමි…”

කට්ටඩියා බිය නො වී ය. සුරේන් හාමුත්, පියදාසත් පුදුමයට පත් වූහ.

“කුමාරිහාමි ද? ආ ඒකට කමක් නැහැ. මොකද මේ තරම් ගඳ…?”

කට්ටඩියාගේ පැනයට සුරේන් හාමුගේ සිත රිදිණ. නමුත් කරන්නට දෙයක් නැත.

“මං දුන්න විදිහට මට ලැබුණා. උඹට ඒකෙන් වැඩක් නැහැ. තෝ පලයං. ඔව් දැන් ම පලයං…”

ජේන් විමලා කුමාරිහාමි වාඩිවෙන පුටුවේ හරිබරි ගැසී ඉඳ ගත්තාය.

කට්ටඩිරාල කොතෙක් කරුණු කීව ද මව් ප්‍රේතිය ව බැඳ මුහුදේ දැමීමට සුරේන් එකඟ නො වී ය. වලව්ව පියදාසට කැමති දෙයක් කර ගන්නට පැවරූ සුරේන් ජේන් ව වැඩිහිටි නිවාසයකට භාර දී විදෙස්ගත විය.

වලව්ව දිනෙන් දින ගරා වැටේ. ඉඳුල් ගඳ පෙර සේ ය. මරණින් පසුව පියදාසත් වලව්වේ ම පදිංචිව සිටිනු ගැමියන් කිහිප දෙනෙකු ම දැක තිබුණි.

නිමි.

පසුවදන –
සංසාරික සත්වයා කර්මය තමාගේ දෙය කරගෙන සිටී. තම දෑවැද්ද කරගෙන සිටී. තමන්ගේ උප්පත්ති ස්ථානය කරගෙන සිටී. තම ඥාතියා කරගෙන සිටී. තම පිළිසරණ කරගෙන සිටී. තමන් කරන්නා වූ යහපත් වේවා, අයහපත් වේවා කර්මය තම දෑවැද්ද වශයෙන් පසුපස එන්නේය.