රට උළු වැසූ නමුත් සිවිලිම් නොගැසූ වහලයේ තැබූ වීදුරුවෙන් සඳ එළිය කදිමට කාමරයට වැටෙයි. මම චිමිනි ලාම්පුව ද නිවා දමා ඇඳේ හාන්සි වුණෙමි. මට නිතැතින් ම සිහි වූයේ ඊයේ පෝය දවසේ සිල් සමාදන් වෙන්නට ගොස් කළ ආයතන අනිත්‍ය භාවනාවයි.

“ඇස, හේතූන් නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… ඇස මම නොවේ… මගේ නොවෙයි… මගේ ආත්මය නොවෙයි…”

ඇසින් දකින දේවල වැදී එන ආලෝක කිරණ ස්වච්ඡය, කණීනිකාව, දෘෂ්ටික කාචය, කාච රසය හරහා ගොස් දෘෂ්ටි විතානය මතට වැටෙයි. එහි ද ඇත්තේ සෛල වර්ග දෙකකි. එතැන හදන්නේත් යටිකුරු ප්‍රතිබිම්බයකි. මොළේට ඒ ගැන පණිවිඩ යන්නේ දෘෂ්ටික ස්නායුව දිගේ ය. ඇස තිබුණාට එළිය නැත්තම් ද රූප බලන්නට නොහැකිය. ඇසට පෙනෙන දේ මොනතරම් මායාවක් ද… කොයිතරම් වෙනස් වෙනවා ද.. ‘මගේ මගේ, ලස්සනයි, කැතයි’ කියා අල්ලා ගන්නට දෙයක් ඇත්තටම නැත…

උසස් පෙළ ලියා වසර ගණනක් ගත වුවත් ජීවවිද්‍යා පොතේ රූප සටහන් සමඟම ලියූ සටහන් පිටු මට මැවී පෙනිණි. සිල් සමාදන් වීමෙන්, භාවනා කිරීමෙන් මෙතරම්ම සතුටක් ලැබෙන බව මා අත්වින්දේ ඊයේය. මා නිහඬ කල්පනාවෙන් මිදුනේ පැමිණි දුරකථන ඇමතුමත් සමඟය. “දුවේ, අත්තම්මාට සුප් එක පෙව්වද? අර ඩිලානි නංගිලාගේ අම්මා, සීලවතී නැන්දා ඊයේ පන්සලේ දී නැතිවෙලාලු. අපි මළ ගෙදරත් මේත් එක්කම ගිහින් එන්නම්.” ඒ අම්මා ය. හැම දේටම කලින් අත්තම්මා ගැන සෙවීම වෙලාවකට මට මහ වදයකි. අත්තම්මා නින්දෙන් ගොරවනු ඇසේ.

පවුලේ අය අවුරුදු නෑගම් ගියේ මාව අත්තම්මාට තනියට නවත්තලාය. අංශභාගය සෑදී එකතැන් වුණු නමුත් හොඳ සිහියෙන් සිටින අත්තම්මාගේ කටයුතු අවසන් කර ඇඳට ගොඩකරත්ම විදුලිය විසන්ධි වීම මට ඉමහත් පහසුවක් විය. එකවිටම මතකය දිව ගියේ සීලවතී නැන්දා වෙතටයි…

ඒත් පෝය දවසකි. මම හතේ පන්තියට ගිය මුල ම ය. මට සිල් සමාදන් වෙන්න වුවමනා විය. ඒ අත්තම්මා අසනීප වූ මුල් දවස්වල ය. බෙහෙත් වෙලාවට කළ යුතු බැවින් අම්මාට මා සමඟ එන්නට බැරි ය. මා සුදු ආච්චිඅම්මා සමඟ යනවාට අම්මා අකමැත්තෙන් නමුත් කැමැති විය. උදේ හතට විතර මා ළමා සාරියෙන් සැරසී තාත්තාත් සමඟ සිල් සමාදන් වෙන්න ගියත් සුදු ආච්චිඅම්මා ඇවිත් සිටියේ නැත. “උදේම එන්න දුවට බෑනේ. ටිකක් දවල් වෙලා එක්කන් එන්න.” කියා කීවේ ද ඇයයි. ඇය නැතිව තනියම ඉඳීම ද කළ නොහැකි දෙයකි. පන්සලේ මමත්, තාත්තාත් සුදු ආච්චිඅම්මා සොයන විට එතැනට ආවේ සීලවතී නැන්දා ය.

“මේ නිහාල් මහත්තයානේ. මට අඳුරගන්නත් බැරි වුණා.” ඇය කලින් ම තාත්තාට කතා කළා ය.

“මම මේ පුංචි අම්මව හොයනවා, දුවව භාර දෙන්න.”

“අද විමලා නංගිව දැක්කේ නෑ, ඉතින් කමක් නෑ දුවව මං බලා ගන්නම්.” සීලවතී නැන්දා මාව බලාගන්නට බලෙන් ම භාර ගත්තා ය. තාත්තා අල්ලන් හිටිය මගේ අත අකමැත්තෙන් අතහැරියේ, “චූටි දුවේ, මේ ආච්චිඅම්මාගේ පොඩි දුව පොඩි නැන්දාගේ පන්තියේ හිටියේ. ඔයාට ඉඳලා ඇති කියලා හිතුණාම වත්තේ මාමාට කෝල් එකක් දෙන්න. මම යන්නේ අක්කර දහයට. මං එන්නම් එක්කන් යන්න.” කියමින් සාක්කුවේ තිබූ දුරකථනය ද මට දුන්නේ ය. මම ද අකමැත්තෙන් වුව ද ඔළුව වැනුවෙමි. තාත්තා පියවර කිහිපයක් ඉදිරියට ගොස් නැවත සාක්කුවෙන් රුපියල් සියයක් ගෙන මට දුන්නේ “අතේ තියා ගන්න” කියමිනි.

සීලවතී ආච්චිඅම්මා ද පෙනුමට සුදු ආච්චිඅම්මා වගේ ය. සුදු ඇඳුම්වලට උඩින් ලොකු උතුරු සළුවක් පොරවා සිටියා ය. දිග කොණ්ඩය හොඳටම කළු නිසා “නැන්දේ” කියා ඇමතීම සුදුසු යැයි සිතුණි. මේ වනවිටත් උදේ දානය ද අවසන්ව තිබූ බැවින් මාව දාන ශාලාවට කැටුව ගිය ඈ මගේ පිඟාන ගෙන ඉඳිආප්ප සහ හොදි කෑමට දුන්නා ය. ලැබුණු යෝගට් එක කෑමට මැලි කළෙන් බෑගයට දා ගන්නට උපදෙස් ලැබිණි. ඒ වන විටත් කිහිප දෙනෙක්ම “දුව කාගේද? දුව කාගේද?” කියා අසනු ඇසිණි. “වත්තේ ගෙදර පුංචි මහත්තයාගේ.” යෝගට් එකක් කමින් ම සීලවතී නැන්දා කීවාය.

ඊළඟට මා කැටුව ඇය ගියේ ධර්ම ශාලාව වෙතටයි. උදේ ධර්ම දේශනාව සිත ගැන කියා දුන් බව මතක ය. නමුත් මට එය අහන්නට තරම් සිතක් නොවීය. කිසිම දිනක මම අම්මා, තාත්තා, අත්තම්මා හෝ නැතුව මෙවැනි ගමනක් ඇවිත් ම නැත. මම සීලවතී නැන්දා දෙස බැලුවෙමි. ඇය හොඳට නිදි ය. එහි සිටි අනෙක් බොහෝ දෙනෙක් ද නිදි ය. පින් අනුමෝදන් කරන වෙලාවේ එකවිටම අවදි වුණු සීලවතී නැන්දා හයියෙන් සාදුකාර දුන්නා ය. ඊට පසුව දණින් නැවී වැඳ ස්වාමීන් වහන්සේලාට වඳින ගාථාව හයියෙන්ම කීවා ය. පිරිකර පූජා කරද්දී “දුව ළඟ කාසි නැද්ද?”යි ඇසුවා ය. මම තාත්තා උදේ දුන් රුපියල් සියය පෙන්නුවෙමි. බලෙන්ම එය උදුරා ගත් සීලවතී නැන්දා පිරිකර ටේ්‍ර එකේ රුපියල් සියය දිගහැර තබා හයියෙන් සාදුකාර දුන්නා ය. ඊට පසුව ඇය “දුවේ, අපි බුදු මැදුරට යමු… දැන් භාවනා කරන වෙලාව.” යි කීවා ය. මම මගේ බෑගය ද ගෙන සීලවතී නැන්දා පසුපස ම ගියෙමි. විස්තර අහන්නට ගත්තේ ඊට පසුව ය.

අපේ අම්මා, ඇගේ ගම, ගමේ යන පාර, ගමේ සීයා ආච්චි, ලොකු අම්මලා මාමලා, එහේ වතු ගැන, ඒවාගේ වවා තියෙන භෝග, ආදායම්, පොඩි නැන්දාගේ කාර් එක, මෙහේ වතු, එයාට දුරින් ඥාතී වන ඇමතිතුමා, ළඟ දී හයේ පාරවල් හයක් ගහපු කෙනා, මගේ මල්ලී…. එය මා පිළිතුරු දන්න-නොදන්න ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක්ම විය. මට එය සැබැවින්ම මහා කරදරයක් විය. ක්‍රමයෙන් මා දෙන පිළිතුරු කෙටි වත්ම ඇය මගෙන් දුරකථනය ඉල්ලුවා ය. පුංචි පොතක් කොහේදෝ සිට එළියට ගත් ඇය පොඩි දුව ලෙස ලියා තිබූ අංකයකට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙස කීවා ය.

“දුවේ මම සිල් ගන්ඩ ආවා. අද දානේ හොඳයි. ඉඳිආප්පයි පරිප්පුයි, රස සම්බෝලෙකුයි තිබුණා. යෝගට් එකකුත් දුන්නා. උඹ අර ඉඩම් කෑල්ල ලියවා ගත්තා ද? ඔප්පුව හදලා කොහොම හරි අස්සන් කරවා ගනින්.. නොතාරිස් නෝනා ළඟට යන්න කලින් මාත් එක්ක වරෙන් යන්න පඬුරක් ගැට ගහන්න…” ඒ කථා මට නොතේරේ.

මම බුදු මැදුරේ ජනේලයෙන් එළිය බැලුවෙමි. වැඩි පිරිසක් තැන තැන වට වී කථා කරති. දෙතුන් දෙනෙක් පිරිත් පොත බලති. හය දෙනෙක් විතර බෝධිය වටේ පේළියට ඇවිදිති. එක් ආච්චි අම්මෙක් උස් හඬින් කකුල් නව නවා ඇවිදින විදිහක් ගැන කියා දෙයි. මාත් එය අනුකරණය කරන්නට සිතුවා පමණි. “දුවේ මේක නැවතුනා.” යි සීලවතී නැන්දා තාත්තාගේ දුරකථනය මට දුන්නා ය. “ආ… නැන්දේ, සල්ලි ඉවර වෙලා.” මම හෙමින් කීවෙමි. “අපරාදේ යන දවස කතා කරගත්තේ නෑ නෙව.” යි ඇය කීවා ය.

ඈතින් දවල් බුද්ධ පූජාව වඩම්මයි. ඇය මාත් ඇදගෙන ඒ දෙසට වේගයෙන් ගියා ය. ප්‍රවේශමට තබා තිබූ බෑගය අමතක වූයෙන් එය ගෙන ඒමට ආපහු ගිය මම ද සීලවතී නැන්දා ළඟට දුව ආවෙමි. බුද්ධ පූජාව උඩින් ම අත තිබූ ඇය වැඳ හයියෙන් සාදුකාර දුන්නා ය. පැන් වීදුරුව හොඳටම සෙලවුණු නමුත් පැන් බිමට හැළුණේ නැත. ඇය මාව ද එසෙව්වා ය. මට ද එලෙසම වඳින්නට උපදෙස් ලැබිණි.

ඊළඟට තිබුණේ දවල් දානයයි. ව්‍යංජන මට මතක නැත. නමුත් කරවල බැදුමක් විය. මට එය විශේෂයක් නොවුණි. නමුත්, සීලවතී නැන්දා “දුවේ පන්සල් ඇවිත් කරවල කන්න හොඳ නෑ.” කියමින් සත්තුන්ට කෑම අයින් කරන්නට එන අක්කාගේ භාජනයට කරවල බැදුම ගෑවුණු බත් ඇටයක් වත් ඉතිරි නොවන ලෙස දැම්මේ “මීට පස්සේ පන්සල් එනකොට පාට ඇඳුම් නැතුව සුදු පාට ඇඳුමක් ඇඳන් එන්න.” කියා ඇයට ද උපදෙස් දෙමිනි.

දවල් දානයෙන් පසු මා බෝ මළුවට ආවේත් සීලවතී නැන්දා සමඟමයි. මට දැන් ඇය හැර අන් සරණක් නැත. මා එකවිටම දැක්කේ සඳුනි අක්කාගේ අම්මා ය. ඇය වෙනත් ගමනක් යන ගමන් පන්සල් ඇවිත් සිටියා ය. ආවාස ගෙය ළඟට ගොස් ඇගේ බෑගයෙන් පොත එළියට ගනු දැක මම ද සීලවතී නැන්දාගෙන් මගේ පොතත් අත්සන් කර දෙන ලෙස ඉල්ලා සිටියෙමි.

“මේ පොත් අස්සන් කරන්නේ බෝධි වන්දනාව ඉවර වෙලා. ළමයි එනවා පෝලිමට… මම එහෙම සිල් ගත්තු ඒවාට අත්සන් කර ගත්තා නම් දැන් පොත ලොකුයි මෙච්චර.” මට පොඩි මාළු-ලොකු මාළු සෙල්ලම මතක් විය. ඇය ස්වාමීන් වහන්සේ ලවා පොත අත්සන් කරවා දුන්නා ය. පොතේ පන්සලේ දම් පාට සීල් එක ද තිබ්බේ සඳුනි අක්කාගේ අම්මාගේ ඉල්ලීමකට අනුවයි.

“කොහේද බං යන්නේ, දැන් සමිතිය පටන් ගන්න වෙලාව.” ඒ රොසලින් නැන්දා ය. “එනවා එනවා බං, මේ දුවගේ වැඩකට ගියා. ඉක්මණට යෝජනාව ස්ථිර කරපන්.” සීලවතී නැන්දා කීවා ය. රොසලින් නැන්දාත්, තවත් නැන්දලාත් විස්තර අහන්න පටන් ගත් නමුදු මම යන්තම් සිනාසීම පමණක් ම කළෙමි.

“දුවේ, මට සමිතියට යන්න තියෙනවා. ඔයා මෙතැන බංකුවට වෙලා වාඩිවෙලා ඉන්න. තාත්තා එනවානේ එක්කන් යන්න.” ඒ සමිති ශාලාවේ මිටි බංකුවකි. මා සිටියේ පිටිපස්සේ නිසා හරියට පෙනුනේද කියන දේවල් ඇහුණේ ද නැත. සීලවතී නැන්දා පොතක් බලාගෙන මොනවාදෝ කියවා ඉඳ ගත්තාය. ඊළඟ පෝයට කරන සල්පිලක් ගැන ද ඇසුණි.

මට දැන් සිටියා හොඳටම ඇති ය. ඔළුවත් රිදෙන්නට විය. ගෙදර යාමට වුවමනා ය. තාත්තාට කෝල් එකක් දෙන්න කීව නමුත් ෆෝන් එකේ දැන් සල්ලි ද නැත. තාත්තා අතට දුන්නු සල්ලි ද නැත. පන්සලේ සිට ගෙදරට දුර කිලෝමීටර් දෙකකට වැඩි මිසක අඩු නැත. මම පොත බෑගයේ තිබෙනවාදැයි දෙතුන් විටක් බලා බංකුවෙන් නැගිට්ටේ නැවත කිසි දිනක සිල් ගන්නට නම් නොඑන්නට සිතාගෙන ය.

පාරේ ද කවුරුවත් ම නැත. නමුත් මට හිතන්නට බොහෝ දේ ඇත. අපේ ගෙදර කිසිම විටක අනුන්ගේ දෙයක් කතා වුණේ නැත. අනුන්ගේ දේවල් කියන්නට අපේ ගෙදරට කිසිම කෙනෙක් ආවේද නැත. නමුත් ඉස්කෝලේ වෙන සියලු දේ අම්මාට කිව යුතුව තිබිණි. පොඩිම හොරයක් වුවත් ඇය අල්ලන්නේ ක්‍ක්‍ඔඪ කැමරාවෙන් බලාගෙන මෙනි. නමුත් ඉඩම් හිමි වැවිලිකරුවෙකුවූ තාත්තාගේ වතුවල වැඩ කළ අයගේත්, ගමේ අයගේත් ලෙඩට දුකට මුලින්ම බැලුවේ අම්මාත්, අත්තම්මාත් ය.

මතක විදිහට මම තුන වසරේ ය. ඉස්සර ඉස්කෝලේ අපේ පන්තියේ හිටපු නදීකාගේ ආච්චිඅම්මා හැමදාම සවසට අපේ ගෙදර එන්නට ගත්තේ හිස් මල් වට්ටියක් ද අරගෙන ය. ඒ ගමේ ම විස්තර කියා වතුසුද්ද මල් කඩාගෙන යන්නට ය. ඒ ද සෙල්ලම් කර අවසන්ව, අමතර පන්ති නොගිය මටත් මල්ලීටත් අම්මා පාඩම් කියා දෙන්නට පටන් ගනිද්දී ම ය. දවසක් අත්තම්මා වැට දිගටම වතුසුද්ද හිටෙව්වා ය. “අපේ කිරිඅම්මා කිව්වා ඔයාගේ අම්මයි, අම්මාගේ නැන්දම්මයි දෙන්නම එකයි කියලා.” ඉස්කෝලේ දී නදීකා මට කීවාය. කෙසේ නමුත් ඒ ආච්චිඅම්මා ආයෙ මල් හොයාගෙන අපේ ගෙදර ආවේ නැත.

“මම මේ සතියෙත් අනුරාධපුරේ ගියා. ඔයාටත් කිරිඅම්මාත් එක්ක එන්න තිබුණා.” ඒ නදීකා ය. අත්තම්මා අසනීප වෙන්නට පෙර හැම පෝයටම සිල් සමාදන් වෙන්නට ගියා ය.

අපේ අම්මා මාව හෝ මල්ලීව අත්තම්මා සමඟ වන්දනා ගමන් හෝ සිල් සමාදන් වෙන්නට හෝ ඇරියේ නැත. ඒ අපි දෙන්නාගෙන් අත්තම්මාගේ නිදහස නැති වන බව කියා ය. ඒත් මේ විදිහට නම් අපේ අත්තම්මා සිටියා වෙන්නටම බැරිය. අත්තම්මා සිල් සමාදන් වූ දවසට පසු දින කියා දුන් බණ කතා අපිටත් කියා දෙයි. අපි ගෙදර සියලු දෙනාම හවසට මල් කඩා බුදුන් වඳින්නෙමු. රෑට රූපවාහිනිය නොදැමූ අපේ ගෙදර ගුවන්විදුලියේ අටට පැවැත්වූ ධර්ම දේශනාව ද අත්තම්මා අනිවාර්යයෙන් ම අසයි. අත්තම්මා සිල් සමාදන් වෙන්න ගොස් අනුන්ගේ විස්තර කථා කර කර ඉන්නවා වීමත් වෙන්නට බැරි දෙයකි. නමුත් එතැන සිටි වැඩි දෙනෙක් කළේ ඒ දේයි. ඒත් දැන් මට අත්තම්මා ගැනද ඇත්තේ සැකයකි.

“චූටි දුවේ, මං කීවනේ මට කෝල් එකක් දෙන්න කියලා. ඇයි දුන්නේ නැත්තේ? මම හෙව්වා හැමතැනම.” මම එයට පිළිතුරු නොදී, “ඔළුව රිදෙනවා.” කියමින් බයික් එකට නැග්ගෙමි. මිදුලට යත්ම ආවේ මල්ලීයි.

“හූ හූ ආව ද… ඔයා සිල් ගත්තාම දෙන ලකුණු දහය අරගෙන පන්තියේ පළමුවෙනියා වෙන්න හදන්නේ නැතුව පාඩම් කරා නම් ඉවරයිනේ. ඔයා ඉතින් ලකුණු දෙකකින් ලොකු ඉස්කෝලේ පන්තියේ දෙවැනියානේ. මට අද කරපු පේපර් එකටත් සීයෙන් සීයයි. මම නම් පන්තියේ පළමුවෙනියා.” සීලවතී නැන්දා බෑගයට දා ගන්නට දුන් දියවී තිබුණු යෝගට් එක දීමෙන් මල්ලීගේ කට වහන්නට මට පුළුවන් විය.

නමුත්, කථාව ඇත්ත ය. ඉස්කෝලේ සාරධර්ම සංවර්ධන වැඩසටහන යටතේ පෝයට සිල් සමාදන් වූ ළමයින්ට වාර විභාගයේ දී ලකුණුවලට අමතර ලකුණු දහයක් එකතු කරයි. එයට ඉස්කෝලෙන් ලබා දුන් පොතේ ස්වාමීන් වහන්සේ අත්සන් කළ යුතුය. ගොඩක් ළමයිට ඒ ලකුණු දහය තිබුණු නමුත් ඉස්කෝලේ එකදු ළමයෙක්වත් අද පන්සලේ සිල් සමාදන් වී සිටියේ නැත.

එළියේ ටැංකියෙන් කකුල් සෝදා ගත් මම කෙළින්ම කාමරයට ගියෙමි. අත්තම්මාගේ කාමරයේ සිට අම්මා ආ නමුදු වෙනදාට මෙන් ආදර පිළිගැනීමක් නැත. ඒ වෙනුවට ඈ තාත්තාට කේන්තියෙන් බණින්නට විය. “පුංචි අම්මා ආවේ නැති බව දැන දැනත් ළමයා තියලා ඇවිත්නේ. ළමයි කියන කියන පදේට නටන්න ගත්තාම ලොකු වුණාම අපිට උන්ගේ පදේට නටන්නයි වෙන්නේ.”

“ළමයින්ට හොර වැඩ කරන්න උගන්නනවා.” අත්තම්මා ද ඇඳේ සිට ම තාත්තාට බණින්නට විය. තාත්තා හොර වැඩ කරන්නට ඉගැන්වූයේ ම නැත. උදව් කළේද නැත. හොරට පොත අත්සන් කරන් එන්න ස්වාමීන් වහන්සේ මුණගැහෙන්න බැරි බවත්, සුදු ආච්චිඅම්මා සමඟ ඕනිම නම් යන ලෙසත් කීවා පමණක්ම ය. මා උදේම ලෑස්ති වූ නිසා වත්තට යන ගමන් පන්සලට එක්කන් ගියා පමණ ය. සුදු ආච්චිඅම්මාගෙන් එන්න ද කියා ඇහුවේ ද මා ය.

අම්මා හෝ අත්තම්මා තාත්තාට බණිනවා මම දැකලාම නැත. බැණිල්ල ඉවර කරන පාටක් ද නැත. මම ඇඳට වී පොරවන රෙද්ද ඔළුවේ ඉඳන් පොරවා ගතිමි. මට ඇඬෙන්නට විය. ඇඬුවොත් අනිවාර්යයෙන් අම්මා ගහනවාම ය. අම්මා මල්ලීටත්, මටත් ගහන්නේ බැණ්නාම අහන් නොයිද අඬන විටයි. ඒ නිසා මම ඇඬුම හංගාගෙන රෙද්ද ඔළුවේ ඉඳන් ම පොරවා ගතිමි. තාත්තාගේ කිසිම සද්දයක් නැත.

අම්මාගේත්, අත්තම්මාගේත් බැණුම නතර වූයේ බූලා ගෙයි සාලයට ඇවිත් බුරන්නට පටන් ගත් නිසාවෙනි. මෙහෙම සද්දයක් කිසිදාක ඇසී නැති නිසා මහ හයියෙන්ම ඌ බුරන්නට විය. පැය භාගයකින් විතර ඔළුවේ කැක්කුමට ගාන තෙල් බෝතලය අරගෙන ආ තාත්තා ඇඳේ ඉඳගෙන ඔළුවට තෙල් දාන්නට විය. “චූටි දුවේ, පන්සිල් ගන්න. සිල් මුදවලා ද ආවේ?”

“සිල් සමාදන් වෙන්නේ උදේ හයට කලින්, ඊට පස්සේ සිල් සමාදන් වෙන්න හොඳ නෑ.” සීලවතී නැන්දා එසේ කීවේ රොසලින් නැන්දා “දුව ව සිල් සමාදන් කළා ද?” කියා ඇසූ විටයි. ගෙදර සියලු දෙනා සිතා සිටින්නේ මම සිල් සමාදන් වුණා කියා ය. සිදු වූ දේ ගැන මට දුක ය. තාත්තාටත් බැණුම් අහන්නට වුණේ මං නිසා ය. පස්සේ වෙලාවක තාත්තා මට අවවාද කරන බව නම් ස්ථිරය. සිල් සමාදන් වූ බවට පොතේ අත්සන් කර ඇති නමුදු ඒ හොර ලකුණු නොගෙන මම තනිවම පාඩම් කර ඊළග වාරයේ දී පන්තියේ පළමුවැනියා වන බව තරයේ ම සිතාගත්තෙමි.

මම පියවි සිහියට ආවේ ගෙදර ත්‍රීරෝද රථයේ නලා ශබ්දයෙනි. තවමත් කරන්ට් ඇවිත් නොමැති නිසා දුරකථනයේ ටෝච් එළියෙන් දොර අරින්නට ගියේ හෙටට අපට යෙදී ඇති පේරු දානය පූජා කර සීලවතී නැන්දාටත් පින් දෙන්නට සිතමිනි.

පසු සටහන…

නේක දුක් විඳිමින් සසර සැරිසරන සත්වයින් වන අප හට දහම් පද අසන්නට, සිල් සමාදන් වන්නට ලැබෙන්නේ ඉතාමත් ම කලාතුරකිනි. ඉපදුණු සත්වයා මැරෙන විට රැගෙන යන්නේ කළ කුසල් හා අකුසල් පමණක්ම ය. පෝය දිනට උපෝසථ සීලය සමාදන් වීම යනු සැබැවින්ම සිතකින් සිතා ගත නොහැකි තරම් නිධානයක් තැන්පත් කිරීමක් වැනිම ය. නිසි ලෙස තැන්පත් කළහොත් පසුකලෙක ප්‍රයෝජනයත් තමන්ට ම ය. එනමුත් බොහෝ විට එය හුදෙක් උතුරු සළුවක් පොරවාගෙන යෙදෙන රංගනයකට සීමාවීම අතිශය අභාග්‍යසම්පන්නය. මේ ධර්මය ගතට නොව සිතටය. එනිසා, දෙතිස් කථාවෙන් වැළකී, සිල් සමාදන් වන අර්ථය මෙනෙහි කොට උතුම් නිවනින් සැනසී වදාළ ඒ රහතන් වහන්සේලා අනුගමනය කරමින් සිල්පද සමාදන් ව උපෝසථ දිනය කුසලයෙන් ම පුරවා ගන්නට සියල්ලන්ට ම සිත් පහළ වේවා!

නදීන් දිල්ශාන්