සසරේ කරන ලද පිනක විපාකයක් වශයෙන් අප සියලු දෙනාම මිනිසුන් අතරෙහි ඉපදීමට තරම් වාසනාවන්ත වුණා. නමුත් ඉපදීමත් සමඟම වයසට යෑමත්, මරණයට පත් වීමත් සියලු සත්වයන්ට උරුම වන – මග හැර යා නොහැකි ධර්මතාවයක්. මෙසේ මිය යන සත්වයන් අතරින් ඉතාම ස්වල්ප දෙනෙකුට නැවතත් සුගතියෙහි දොරටු විවෘත වෙනවා. දිනක් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ නිය සිළ මතට පස් ස්වල්පයක් ගෙන එය මිනිසුන් අතර ඉපදීමට තරම් වාසනාවන්ත වන අල්ප වූ පිරිසට උපමා කොට වදාළා. මිය යන සත්වයන් අතරින් මේ මහ පොළොවෙහි ඇති පස් ප්‍රමාණය බඳු විශාල පිරිසක් නැවත සතර අපායේ උපත ලබන බව ද දේශනා කළා. මෙසේ ඉතා දුර්ලභව ලද මිනිසත් බවත්, ඊටත් වඩා දුර්ලභ වූ බුදු සසුනත් මුණගැසුණ අප ඒ ලද අවසරයෙන් නිසි ඵල නෙළා නොගතහොත් එය කොතරම් අවාසනාවක් ද?

“පින්වත් මහණෙනි, යම් දෙයක් මෙතරම් අනර්ථයක් පිණිස හේතු වෙනවා නම්, කුසල් දහම්වල යෙදීමට ප්‍රමාද වීම තරම් එයට හේතු වන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ කුසල් දහම්වල යෙදීමට ප්‍රමාද වීම මහා අනර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

(අං. නි. 1 – අප්පමාද වග්ග)

සැබැවින්ම මේ මිනිස් ජීවිතය බොහෝම සුළු කාලයකින් ගෙවී යන දෙයක්. වසර සියයක් ගත වන විට බොහෝ දෙනෙක් ජරාජීර්ණව මරණය කරා පියනගනවා. සිතෙන් විශාලෙට මවාගෙන සිටියාට, අපිරිසිදු දේ වැගිරෙන දෙතිස් කුණපයන්ගෙන් යුත් සිරුරක් දරාගෙන, ස්වල්ප වූ කාලයක් තුළ මිනිස් ලොව විඳීමට ඇති මනුෂ්‍ය සැපය ද ඉතාම අල්ප වූ දෙයක්. නමුත්, අපට වඩා සියදහස් ගුණයකින් දීර්ඝ ආයුෂ ඇති, පිළිකුල් මාත්‍රයක් හෝ දක්නට නැති, ස්වර්ණ වර්ණ ඡවිපැහැ යුතු සුගන්ධවත් සිරුරු දරන, එබඳු ම සිරුරැති දිව්‍ය අප්සරාවන් සිය ගණන් පිරිවරාගෙන දිව්‍ය වූ පංචකාමයෙන් සමෘද්ධිමත් ව සිටින ඇතැම් නුවණැති දෙවිවරුන් පවා තමන් ලද ජීවිතයේ අල්ප බවම සිහි කළා. එබඳු අතිශය සුවදායක ජීවිත තුළ පවා සැපයට මුළා නොවී උතුම් දේ සොයා ගියා. එබඳු අතිශය දීර්ඝ දිව්‍ය ජීවිතය පවා නිකරුණේ ගෙවී යා නොදී උතුම් දෙයක් පුරුදු කිරීමට කල්පනා කළ පැණැති දෙවියෙක් දිනක් භාග්‍යවතුන් වහන්සේගෙන් අපූරු ප්‍රශ්න කිහිපයක් විමසුවා.

කිංසු යාව ජරා සාධු – කිංසු සාධු පතිට්ඨිතං
කිංසු නරානං රතනං – කිංසු චෝරේහි දූහරන්ති

“ජරාජීර්ණ වෙලා යනතාක්ම පුරුදු කරන්න හොඳ මොකක්ද? කුමක් මත පිහිටීමද හොඳ? මනුස්සයන්ට තිබෙන මාණික්‍යය කුමක්ද? හොරුන්ට පැහැරගන්න බැරි දේ මොකක්ද?”

(සං. නි. – සගාථ වර්ගය, ජරා සූත්‍රය)

මිනිස්ලොව ඇති ස්වල්ප වූ කාමයට වසඟ වී මංමුළා වන මිනිසුන්ට තමන්ගේ ජීවිතය ගෙවී ගොස් සැඳෑ සමය එළඹෙන තෙක් ම ‘මමත් උතුම් දෙයක් පුරුදු කරන්න ඕනේ.’ කියලා සිතෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිස් අතින් ම මරණයට පත් වෙනවා. අතිශයින් ම ප්‍රණීත වූ දිව්‍ය කාමයට වසඟ වීම ගැන කවර කතා ද? නමුත් දෙව්ලොව පවා මේ ජරා මරණ දුකින් නිදහස් වෙලා නැහැ.

සීලං යාව ජරා සාධු

ඒ දෙවියාගේ පළමු පැණයට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා, “වයසට යන තෙක් ම සිල් රැකීම ම යි උතුම්” කියලා. දෙවියන් අතර සිටියත්, මිනිසුන් අතර සිටියත් සිල්වත් උතුම් ජීවිතයක් ගත කරන කෙනාට සැපය උදා වෙනවා. නමුත් බොහෝ දෙව්මිනිසුන් තාවකාලික කාම සැප සම්පත් හමුවේ සිල්වත් ජීවිතය අත්හරිනවා.

දීර්ඝ ආයුෂ ඇති දෙවියන් පවා ප්‍රමාදී වීම නිසා තමන්ගේ ජීවිතයට යහපත සලසා නොගෙන ම මරණයට පත් වෙනවා. අල්ප වූ ආයුෂ ඇති මිනිස් ලොව ඉපදුණ අප ඇතැම් විට වයසට යනකන් ම රැකියාව සඳහා ම වෙහෙසෙනවා. ඇතැම් අය වයසට යනකන් ම බාහිර දේ ඉගෙන ගන්න මහන්සි වෙනවා. තවත් අය වයසට යනකන් ම තම දූ දරුවන් වෙනුවෙන් ම වෙහෙසෙනවා. සිල්වත් ජීවිතයක් වෙනුවෙන් වෙහෙසෙන්නේ මේ ලෝකයේ කොපමණ ස්වල්ප පිරිසක් ද? එදිනෙදා ජීවිතය තුළ පංචසීලය රකින්න උනන්දු වන්නේ ඉතා ම අල්ප වූ පිරිසක්. පොහොය දින බඹසර සීලය සහිත උපෝසථය සමාදන් වීමට තරුණ වියේ දී ම පුරුදු උනොත් ජීවිතයේ සැඳෑ සමය වන විට විශාල පිනක් රැස් වෙනවා. ඒ පින විසින් ම ඔබව සුගතිය කරා ගෙන යනවා.

සීලය කියන්නේ මහේශාක්‍ය පාලමක්. ඒ පාලම තියෙන කෙනාට සුව සේ ම සුගති ලෝකය කරා පියනගන්න පුළුවන්. දසදිශාවට ම හමා යන ශ්‍රේෂ්ඨ සුවඳ විළවුන් කියන්නේ සීලයට. සිල්වත් කෙනාගේ ගුණ සුවඳ දෙව්ලොව පවා පැතිරෙනවා. දුර ගමනක් යන කෙනෙකුට සාගිනි නිවා ගැනීමට ලැබුණු රසවත් බත් මුලක් වගේ සීලය. මේ විඩාබර සසර ගමනේ දුක්ගිනි නිවා සැපය ළඟා කර දෙන්න සීලයට පුළුවන්. සීලය කියන්නේ දසදිශාවේ ගමන් කළ හැකි සුවපහසු වාහනයක්. සිල්වතා ව සුවසේ සුගතිය කරා රැගෙන යන්න ඒ වාහනයට පුළුවන්- සීලය කියන්නේ අද්භූත ඇඳුමක්. ඒ ඇඳුම හැඳ ගත් කෙනාට කිසිම බියක් සැකක් නොමැතිව විශාරද ව ඕනෑම පිරිසක් මැදට යන්න පුළුවන්. සීලය කියන්නේ මෙලොව පරලොව රැකවරණය සලසන උත්තම ආයුධයක්. මේ ලෝකයේ වෙන කිසිම ආයුධයකින් එබඳු ආරක්ෂාවක් ලබන්න බැහැ. සිත කියන්නේ මහමුහුද නම් සීලය කියන්නෙ වෙරළයි. සිත නමැති මහමුහුදේ පැනනගින කෙලෙස් රළ ගෙඩි සීලය නැමැති වෙරළේ හැපිලා සිඳී බිඳී යනවා. සීලය නමැති වෙරළ තියන තාක් ඒ කෙලෙස් රළ ගෙඩිවලින් කාටවත් හානියක් වෙන්නේ නැහැ. ඇත්තටම සීලය කියන්නේ සියලු යහපත් ගුණධර්මවලට අම්මා කෙනෙක් වගේ. සියලු ගුණධර්ම වැඩෙන්නේ සීලයෙන් පෝෂණය ලබලා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය පිළිපදිමින් ඔබත් වියපත් වන තුරාම, දිවි තිබෙන තුරාම සීලය පුරුදු කරන්න.

සද්ධා සාධු පතිට්ඨිතා

ඒ දෙවියෝ භාග්‍යවතුන් වහන්සේගෙන් දෙවනුව ඇසුවේ “කිංසු සාධු පතිට්ඨිතං” – කුමක් මත පිහිටා සිටීම ද යහපත්? කියලයි. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා “සද්ධා සාධු පතිට්ඨිතා” – ශ්‍රද්ධාව මත පිහිටා සිටින එක තමයි යහපත්. ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි.

“මහණෙනි, යම් සේ රජුගේ ඈත පිහිටි නගරයෙහි අභ්‍යන්තර වැසියන්ගේ ආරක්ෂාව පිණිසත්, බාහිර සතුරු බලවේග නැසීම පිණිසත්, ගැඹුරට සාරා සිටුවන ලද නොසැලෙන නොවෙව්ලන ඒෂිකා ස්ථම්භය ඇත්තේ වේ ද එසේම ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධා ඇත්තේ වෙයි. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහන්නේ වෙයි. එනම් ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක යනුවෙනුයි. මහණෙනි, ශ්‍රද්ධාව නම් වූ ඒෂිකා ස්ථම්භයෙන් යුතු ආර්ය ශ්‍රාවක තෙමේ අකුසලය අත්හරියි. කුසලය වඩයි- සාවද්‍ය දේ අත්හරියි. නිරවද්‍ය දේ වඩයි. පිරිසිදු ජීවිතයක් පරිහරණය කරයි.”

(නගරූපම සූත්‍රය)

ඔබත් අදම ශ්‍රද්ධාව නම් වූ ඒෂිකා ස්ථම්භයට නැගගන්න. එවිට ඔබට කලින් නොපෙනුන දුර ඈත සිටින කෙලෙස් සතුරන් පවා දැක ගන්න පුළුවන්. ඒ සුගතයන් වහන්සේගේ අවබෝධය විශ්වාස කිරීම තුළ මතු ජීවිතවල බොහෝ දුක් විපාක ගෙන දෙන අකුසල්වලින් ජීවිතය මුදවා ගන්නට අවස්ථාව උදාවෙනවා. භාග්‍යවතුන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවට පැමිණි ආර්ය ශ්‍රාවකයාගේත් සතර මහා ධාතූන්ගෙන් සකස් වූ දෙතිස් කුණපවලින් යුතු ශරීරය අනිත්‍ය වෙලා පොළවට පස් වෙලා යනවා, නමුත් හදවතේ රඳවාගත් ශ්‍රද්ධාව වෙනස් නොවී ඊළඟ ජීවිතයටත් පැමිණෙනවා. ඒ නිසා, ඒ ශ්‍රද්ධාව තමයි පුරුෂයා හට උතුම් ම ධනය. භාග්‍යවතුන් වහන්සේ වදාළේ “යේසං මයි සද්ධාමත්තං පේමමත්තං සබ්බේ තේ සග්ගපරායනාති. යම් කෙනෙක් මා කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් ඇති කරගත්තොත්, ප්‍රේම මාත්‍රයක් ඇති කරගත්තොත් ඒ සියලු දෙනා ම සුගතියේ උපදිනවා.” කියලයි. ඔබත් මේ ශ්‍රද්ධා ධනය උපදවා ගැනීමට ප්‍රමාද වෙන්න එපා.

පඤ්ඤා නරානං රතනං

තුන්වන පැනය ලෙස ඒ දෙවියා ඇසුවේ

“කිංසු නරානං රතනං” මනුස්සයන්ට තිබෙන මාණික්‍යය කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා “පඤ්ඤා නරානං රතනං – මිනිසුන්ගේ මාණික්‍යය කියන්නේ ප්‍රඥාවටයි” මේ ලෝකයේ මිනිසා සතු වටිනා ම දෙය, මිල කළ නොහැකි මාණික්‍යය නම් ප්‍රඥාවයි. බුදුසසුන තුළ ප්‍රඥාවන්ත ශ්‍රාවකයා මෙලොවත් සැපයෙන් සිටිනවා, පරලොවත් සැපයට පත් වෙනවා, සසර දුකිනුත් නිදහස් වෙනවා.

“දුප්පත්, පොහොසත් කාටත් අරමුණු වලින් ස්පර්ශය ඇති වෙනවා. නුවණැති, මෝඩ කාටත් අරමුණු වලින් ස්පර්ශය ඇති වෙනවා. මෝඩ තැනැත්තා නුවණ නැති නිසා ම ඒ ස්පර්ශයෙන් දුක් විඳිනවා. දුක සේ නිදා ගන්නවා. නුවණැති මුනිවරයා කොයි ස්පර්ශයක් ලැබුන ත් අකම්පිතව ඉන්නවා.

මෙයින් පැහැදිලිව පේනවා සල්ලිවලට වඩා ප්‍රඥාව අග්‍ර බව. ඒ ප්‍රඥාවෙන් ම යි මේ දුක අවසන් කළ හැක්කේ. නමුත් මෝහය නිසා භවයේ ඇලුන සත්වයන් පව් ම රැස් කරනවා.”

(රට්ඨපාල සූත්‍රය – ම. නි. 2)

අන් සියලු සම්පත්වලින් පිරී ඉතිරී ගිය දිවියක් ලැබුව ද ප්‍රඥාවෙන් දුප්පත් ජීවිතය අවුල් ජාලයක්- මොහොතින් මොහොත අඳුර කරා ම යි ඒ ජීවිතය ගමන් කරන්නේ. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළේ.

“පින්වත් මහණෙනි, යම් ඥාති පරිහානියක්, භෝග පරිහානියක්, කීර්ති ප්‍රශංසාවල පරිහානියක් වේ ද එය ඉතා අල්ප වූ පරිහානියකි. නමුත් පිරිහීම් අතරින් මහත් ම පිරිහීම වන්නේ මේ ප්‍රඥාවෙන් පිරිහීමයි.”

(අං. නි. – ඒකක නිපාතය)

ඒ ප්‍රඥා ප්‍රදීපය තමන්ගේ ජීවිතය තුළ දල්වා ගැනීමට නම් නිවන කරා පමුණුවන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කන් යොමා ඇසිය යුතුයි. අප්‍රමාදී ව නුවණින් විමසිය යුතුයි. සැබැවින්ම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තිබෙන්නේ ප්‍රඥාවන්තයින් උදෙසාමයි. දුෂ්ප්‍රාඥයන් උදෙසා නම් නොවෙයි.

පුඤ්ඤං චෝරේහි දූහරන්ති

ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේගෙන් අවසාන වශයෙන් විමසනවා “කිංසු චෝරේහි දූහරන්ති?” සොරුන්ට පැහැරගන්න බැරි දේ කුමක්ද? එයට පිළිතුරු ලෙස භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. “පුඤ්ඤං චෝරේහි දූහරන්ති” මේ ලෝකයේ යමෙක් පින් රැස් කරනවා නම් ඒ පින කිසිම සොර සතුරෙකුට සොරකම් කරන්න බැරි විදියට තැන්පත් කරපු නිධානයක්. ඒ පින අනුගාමික නිධානයක්. එනම්, තමා යන යන තැන තමා සමඟම සෙවණැල්ල මෙන් පසුපස පැමිණෙන නිධානයක්. මෙලොව අතහැර පරලොව කරා යද්දීත් ඒ පුණ්‍ය නිධානය පසුපසින් පැමිණ සැපය ම සලසා දෙනවා. ඒ නිසයි පුංචි පිනකටවත් අවමන් කරන්න එපා කියන්නේ. මේ ලෝකයේ සිටින නුවණැති කෙනා හරියට වතුර බිංදුව බිංදුව වැටිලා කළයක් පිරී යනවා වගේ තමන්ගේ ජීවිතය පිනෙන් පුරවා ගන්නවා, සිල්පදත් රැක ගන්නවා, ශ්‍රද්ධාවත් දියුණු කරගන්නවා, ප්‍රඥාවත් වඩලා ගෞතම සසුනේ සනාතන රැකවරණය ලබනවා…!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.