ළා දලු බෝ පත් අතරින් වෙසක් සඳ වතුර හෙමිහිට ගලනවා. සඳ එළිය වැටුන බෝ සෙවණෙ ලස්සනට රටා ඇඳිලා. මල් සුවඳයි, සුවඳ දුම් සුවඳයි අරගෙන පවනැලි එහෙට මෙහෙට යන අපූරුව… පවන මෙච්චරට ම සනීප සිල් සුවඳයි, දම් සුවඳයි ඒ පවනට එකතු වෙලා හින්දා වෙන්න ඇති.

බෝ මළුව පිළිවෙළට ඇමදලා. බෝ මළුවෙ වැල්ල දිගේ මං ඇවිදන් ආවෙ බොහොම හෙමින්. බෝ සෙවණෙ කෙළවරේ පැවිදි රුවක්..! වෙසඟේ බෝ සෙවණ යට බිම්බරක් දස මාර සෙනඟ පරදවා, තුන් ලොව දිනූ අසහාය මුනිරජුන්ගේ ශ්‍රාවක දරුවෙක්… දෑස වසාගෙන… නිහඬ ව… නිශ්චල ව… ශාන්ත ව… උතුම් සිතිවිලි දැහැනක සමවැදී සිටින අපූරුව…! මගේ නෙත විතරක් නෙමෙයි හිතත් එතන නැවතුනා. උන්වහන්සේගේ උතුම් දැහැනට මගෙන් බාධා නො වේවා! බෝ රජුට වන්දනා කරලා මං ටිකක් ඈතට වෙන්න වාඩි වුණා.

මගේ පා සටහන් බෝ මළුවෙ වැල්ල මත ඇඳිලා. හරියට මං ඇවිදන් ආව සංසාරෙ පිය සටහන් වගේ. අද පින්වත් ස්වාමීන් වහන්සේ ධර්ම දේශනයේ දී කියා දුන්නේ, අපි කී තැනක පා තිබ්බ ද? කී තැනකින් පය ගත්ත ද? පය තිබ්බා, පය ගත්තා… පය තිබ්බා, පය ගත්තා… නිරයෙ, ප්‍රේත ලෝකෙ, තිරිසන් ලෝකේ… අපාය මහ ගෙදර වගේ… කාලෙකට පස්සෙ මෙහෙත් ආවා. බොහොම කාලෙකින් දෙව් ලොවත් ගියා. බඹ ලොවත් ගියා. ජීවිතෙන් ජීවිතේ… ලෝකයෙන් ලෝකයට.. ඔහේ ඇවිදන් ගියා. සතුටින් ද? නෑ… කොහෙත් ම නෑ. පුංචි සතුටක්, මහා දුකක්…..

බුදුරජාණන් වහන්සේ වදහළ දේ අපිට අද හවස කියා දුන්නේ, ඔව්… ආත්ම ගණන් කුකුළො වෙලා බෙලි කැපුම් කාලා, ආත්ම ගණන් එළුවො වෙලා බෙලි කැපුම් කාලා, ආත්ම ගණන් ගවයෝ වෙලා බෙලි කැපුම් කාලා, ආත්ම ගණන් ඌරො වෙලා බෙලි කැපුම් කාලා… ඒ හැම වතාවෙ ම ගලා ගිය ලේවලට සතර මහා සාගරේ ජල කඳ පරාදයි. ඒ තරම් ලේ හළපු සංසාරයක්… තව කොච්චර දුර යන්න වෙයි ද?
බෝ සෙවණ යට අර පැවිදි රුව තාමත් නිශ්චලයි. තාමත් නිහඬයි. දෑස පියාගෙන. උන්වහන්සේ උන්වහන්සේගේ උතුම් සිතිවිලි දැහැනේ… අහෝ… මොන තරම් වාසනාවක් ද? ප්‍රියමනාප අම්මා, තාත්තා අත් ඇරලා, දූ දරුවො, බිරිඳ අත්හැරලා… ගේ දොර අත්හැරලා බෝ සෙවණ යට සැනසිල්ලේ… ප්‍රීතියෙන්…

ඔව්… ඇත්තටම මේ සංසාරේ එනකොට අම්මලා කී දෙනෙක් අපට හිටිය ද? මුළු දඹදිව ම තියෙන තණ, දැව, දඬු අඟල් හතරෙ කෑලිවලට කපල කපලා, ‘මේ මගේ අම්මා, මේ මගේ අම්මගෙ අම්මා.. මේ ඒ අම්මගෙ අම්මා…’ කියලා එකින් එක අයින් කළොත් දඬු කෑලි ඉවර වෙයි. ඒත් අම්මලගෙ පරම්පරාව නම් ඉවර වෙන්නේ නෑ කියලයි බුදුරජුන් වදාළේ.

මේ මහා පොළොවෙ පස් වෙරළු ගෙඩි ගාණට ගුලි කරලා මේ මගේ තාත්තා, මේ මගේ තාත්තාගේ තාත්තා, මේ ඒ තාත්තාගෙ තාත්තා කියලා එක ගුලියෙන් ගුලිය අයින් කළොත් පස් ගුලි ඉවර වෙයි. තාත්තාලගෙ පරම්පරාව නම් ඉවර වෙන්නේ නෑ කියලයි බුදුරජුන් වදාළේ.

අම්මා නො වුණු කෙනෙක් නෑ. තාත්තා නො වුණු කෙනෙක් නෑ. අද ඒ පරණ අය කවුරුත් අපට මතක නෑ. ඒ තරම් දිගු සසරක්…

අම්මා තාත්තා වෙන් වෙද්දී, ප්‍රියමනාප අය වෙන් වෙද්දී මේ ජීවිතෙත් මං හඬා වැටුණා. මේ සිද්ධිය ම වෙලා කී වතාවක් මං අඬන්න ඇත්ද මේ සංසාරේ..? කොච්චර කඳුළු හළන්න ඇත්ද මගේ නෙතින්..? බුදුරජාණන් වහන්සේ වදාළනේ “අම්මා වෙන් වෙද්දී, තාත්තා වෙන් වෙද්දී, ප්‍රියමනාප අය ඈත් වෙද්දී සතර මහා සාගරය පරද්දන්න අපි කඳුළු හළලා තියෙනවා” කියලා. මේ සසරෙ යන්න යන්න… කඳුළු සයුර තව තව පිරෙනවා විතරයි. කාගෙ ද මේ වදන්..? සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පිරූ බුදු කෙනෙකුගේ අසහාය මුනි වදන්… මොන තරම් සත්‍යයක් පසක් කරනව ද ඒ අසිරිමත් මුනි වදන් මේ ලෝකයට..?

අර බෝ සෙවණ යට, අර පැවිදි රුව තාමත් නිශ්චලයි. තාමත් නිහඬයි. දෑස් පියාගෙන… ඒ උතුම් ශ්‍රාවක සන්තානයේ රැව් පිළිරැව් දෙනවා ඇති මේ අසිරිමත් බුදු වදන්… අම්මගෙන් වෙන් වෙලා, තාත්තගෙන් වෙන් වෙලා, ප්‍රියමනාප අයගෙන් වෙන් වෙලා. ඒත් ඒ නෙතේ කඳුළු නෑ. ඔව්… මං බලාගෙන හිටියා… මොකක්දෝ නිරාමිස ප්‍රීතියක් මුව මඬල පුරා ම පැතිරිලා… විරාගී සතුටක්… බුදුරජුන්ගේ ශ්‍රාවක දරුවන් කිමිදි කිමිදී සැනසෙන දහම් ප්‍රීතිය වෙන්න ඇති ඒ…

මේ දරුවන් ශාසනේට පූජා කළ දෙමාපියන්ට කොයි තරම් පින් රැස් වෙනවා ඇත්ද? මේ ප්‍රියමනාප සත්ගුණ ඇති දරුවො තමන් අත්ඇරලා එනකොට, ඒ දෙමව්පියන්ගෙ නෙතගින් නම් කඳුළක් ගිලිහෙන්න ඇති. අනේ සාදු සාදු…! මේ සසුනට දරුවන් පූජා කරන ඒ දෙමාපියන්ටත් කඳුළින් පිරුණු මේ සසරින් එතෙර වෙන්ට ලැබේවා!

මට හිතාගන්න බෑ අද අසපුවට ආව මම්ම ද මේ ඉන්නේ කියලා. මේ දහම මීට පෙර කවදාවත් මේ විදිහට මට ඇහිලා නෑ. මේ දසුන් මීට පෙර කවදාවත් මේ විදිහට මම දැකලා නෑ. බුදුරජාණන් වහන්සේගේ දහම සත්‍යයක් ම යි… කාමයන්ගෙන් සතුටු වුණු අය මේ දහම අහලා කාමයන්ගෙන් නිදහස් වෙන්න ආස කරනවා. තණ්හාවෙන් බැඳි බැඳී හිටපු අය මේ දහම අහලා තණ්හාවෙන් තොරව ඉන්න ආස කරනවා. නොසංසිඳුනු අය මේ දහම අහලා සංසිඳෙන්න ආස කරනවා. අවිද්‍යාවෙන් අඳුරු වූ ජීවිත ඇති අය මේ දහම අහලා අවිද්‍යා තිමිර පට ඉරලා දාලා විද්‍යාලෝකය ලබන්න ආස කරනවා. ඒ අසිරිමත් වූත්, අද්භූත වූත් ධර්මතාවය නො වේ ද මගෙ හදවතෙත් මේ පහළ වෙලා තියෙන්නේ?

ඔව්… අද අසපුවට එනකොට මගේ හිතේ තිබුණ හීන ලෝකය දැන් කෝ? දැන් නම් හිතන්නත් ලැජ්ජයි. අර හන්දියෙන් හැරිලා එන පාරෙ අලුත් තට්ටු ගෙවල් ටික පහුකරගෙන එනකොට “මගේ ගේත් මේ වගේ හදා ගත්තොත්…” කියලා නො හිතුණා නො වෙයි. බස් එකේ හිරවෙලා තෙරපිලා ෆුට්බෝඞ් එකේ යන්තන් තනි කකුලෙන් පය ගහගෙන හිටපු වෙලාවෙ වේගෙන් පහුකරගෙන ගිය කාර් එක දැක්කම “ලෝන් එකක් අරං හරි වාහනයක් ගන්න ම ඕන” කියලයි හිතුණෙ.

බස් එකෙන් බැහැලා අසපුවට එන තැන හිඟමන් ඉල්ලන ඇවිද ගන්නත් බැරි, මූණ පුරා ගෙඩි පිරිණු වයසක ආච්චි අම්ම දැක්කම හීන ලෝකෙ බිඳිලා ගිහින් පපුව හෝස් ගාල පත්තු වුණා. මගෙ අම්මා වගේ… ඒ අම්මගෙ අතේ නෝට්ටුවකුත් තියලා එතනින් පිට වුණාට ඒ වයසක අම්මගෙ රූපෙ හිතේ මැවි මැවී පේන්න පටන් ගත්තා. අසපුවට ගිහිල්ලා පඩියෙන් වාඩි වුණේ ‘අනේ හතුරෙකුටවත් මේ දුක වෙන්න එපා’ කියලා.

ධර්ම දේශනය පටන් අරන්, ස්වාමීන් වහන්සේ කියා දෙනවා… “බුදුරජාණන් වහන්සේ වදාළා, දුකට පත් විරූපී අසරණයෙක් දැක්කා ම ඔබ මේ විදිහට නිශ්චයකට එන්න ඕන. ‘අහෝ මේ සා දීර්ඝ සසරේ අපිත් මේ වගේ දුක් විඳලා තියෙනවා’ කියලා.” උන්වහන්සේ මගේ හිත දැක්කාවත් ද? මට එහෙමත් හිතුණා. කොහොමටත් මේ සියලු ලෝ සතුන්ගේ සිත් සතන් පිරිසිඳ දැකිය හැකි බුදුරදුන්ගේ ධර්මයනේ.. ස්වාමීන් වහන්සේ තව දුරටත් කියා දෙනවා “බුදුරජාණන් වහන්සේ වදාළා, සැප සේ ලස්සනට ඉන්න අය දැක්කා ම ඔබ මේ වගේ නිශ්චයකට එන්න ඕන. ‘අහෝ මේ සා දීර්ඝ සංසාරෙ අපිත් මේ සැප විඳලා තියෙනවනේ’ කියලා.” මගේ තට්ටු ගෙවල්, කාර් බාර් හීන ලෝකෙ… මේ ඔක්කොම හිස් දේවල්.

නොවින්ද සැපකුත් නෑ. නොවින්ද දුකකුත් නෑ. අලුත් කියලා හිතන හැම දෙයක් ම මේ සංසාරෙ පරණ දෙයක්.

හිතට දැනෙන්නෙ පුදුමාකාර සනීපයක්. බෝ සෙවණ යට.. ආ… අර අර… ඒ පැවිදි රුව… හිමීට දෑස විවර කරනවා. දෝත නළලෙ තියලා බෝ රජුට පසඟ පිහිටුවා වන්දනා කරනවා.

පත්කඩය නමලා අතට අරං… වඩින්නයි සූදානම්… නෙත් බිමට යොමාගෙන බෝ මළුවෙන් වඩිනවා… හුදෙකලාව වඩිනවා… පාඩුවෙ වඩිනවා… කොයි තරම් දුර්ලභ ද මා මේ දකින දේ? කිසි ම වටපිට බැලීමක් නෑ… අනුන් ගැන නො සොයන, අනුන් කළ කී දේ නො සොයන, තමා ගැන පමණක් ම සොයනා… මොන තරම් අසිරිමත් ද ඒ තථාගත ශ්‍රාවක දරුවන්. හණි හණිකට මමත් මඳක් ඉදිරියට ගියා.

“අවසරයි ස්වාමීනී, වන්දනා කර ගන්න.”

ඒ ශ්‍රාවක පාද යුග්මය ළඟ මම සිරස තියා වන්දනා කළා. කාරුණික ව මං දිහා බලලා “සුවපත් වේවා!” කියලා මටත් ආශීර්වාද කළා. හඳේ එළියටත් වඩා සෞම්‍ය මෙත් කරුණා සුව දහරාවකින් මගේ මුළු හිත ම නැහැවුණා. මේ ලෝකෙට අඩු දේවල් මෛත්‍රිය, කරුණාව… උන්වහන්සේලා අඩුවක් නැතිව කරුණාව මෛත්‍රිය මේ ලෝකයට දන් දෙන අපූරුව… හරි ම අසිරිමත්..

බෝ මළුවෙ වැල්ල මත උන්වහන්සේ වැඩම කළ පා සටහන් ඇඳිලා. මං මළුවට ඇවිදන් ආව පා සටහන් ඊට විරුද්ධ පැත්තට ඇඳිලා. ඔව්… අපි ආව පාර එක පාරක්.. උන්වහන්සේලා වඩින පාර තව මගක්… සාදු සාදු සාදු..!!! ගුණ දහම්වලට ආකරයක් වූ, මෙත් කරුණා සාගරයක් වූ සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා ඒ සොඳුරු මග සුව සේ වඩිත්වා..!

සොඳුරු වෙසඟේ බෝ සෙවණ යට තුන් ලොව දිනූ, සුගත් මුනිඳුන් ව පුදනා තථාගත ශ්‍රාවක දරුවන්ගේ අසිරිමත් වූ විස්මිත වූ ප්‍රතිපත්ති පූජාවයි ඒ…

මට හිතුණෙ මෙහෙමයි..

‘අහෝ… මටත් ඒ මග යන්නට ඇත්නම්…’

(මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෙහෙණින් වහන්සේනමක් විසින් සම්පාදිතයි.)