වෙනදා වලාකුළු ද්වාරයන් කඩිමුඩියේ විවර කොට ගෙන අහසට නගින සූර්යයා අද තැන්පත් විලාශයකින්. රන්වන් හිරු කිරණ පහසින් අප භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද සූවාසූ දහසක් ධර්මස්කන්ධය ස්පර්ශ වී වදාළ උතුම් ශ්‍රී දළදා වහන්සේ වැඩ හිඳින කුටිය ඉහළින් තැනුව රන්වන් නෙළුම් කැකුලු පිබිදිලා. ඉන් විහිදෙන රන්වන් කැළුම් දහරින් ඔප වැටෙන සිතිවිලි සමුදාය සිහිගැන්වූයේ රැස් කළ පිනෙන් දෙව් සැප ලත් දිව්‍යාංගනාවකගේ සොඳුරු අතීත කථා පුවතක්. ඒ පුවත සඳහන් වනුයේ විමාන වත්ථු පොත් වහන්සේ තුළයි.

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබළෙමින් ඉන්නෙ හැම දිසාවක් ම බබුළුවන ඕසධී තාරුකාවක් වගේ.”

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නෙ ඇහුවේ ඒ ගැනත් ඒ දෙව්දුව ගොඩක් සතුටු වුණා. මොන වගේ පින්කම්වලින් ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.
“මං අතීත ජීවිතයේ දී මිනිස් ලෝකෙ මනුස්ස දුවක් වෙලා හිටියා. එදා මං බුදුරජාණන් වහන්සේව දැක්කා. උන්වහන්සේට නොකැළඹුන හිතක් තියනවා. හරි ම ප්‍රසන්නයි. කෙලෙස් නෑ. මගේ දෑතින් ම බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන පිණ්ඩපාතය පූජා කර ගත්තා. ඒ පිනෙන් තමා මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන් ම යි මේ සම්පත් ලැබුණේ.”

වෙහෙස මහන්සි වී උපයාගත් අස්වැන්න නෙළාගෙන පිරිසිදු කොට ප්‍රණීත ව සකසා ගත් දන් පිඬක් සම්බුදු රජාණන් වහන්සේට සියතින් ම පූජාකර ගැනීමට තිබුණා නම් කෙතරම් ආශ්චර්යයක් ද?

පිනෙහි අඩුවක් නිසා ම ඒ අළාමක දැකුම, ආශ්චර්යවත් පින් රැස්කර ගැනීමේ අවස්ථාව අපට මඟ හැරී ගොසින්. නමුත් පින ගැන, ධර්මය ගැන, චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ ව කන වැකෙන්නට වූ යුගයක් නැවත එළඹිලා. වසර ගණනාවකට පසු එළඹුණු මේ යුගය ගෞතම බුදු සසුනේ පින් රැස්කර ගත හැකි අවසන් අවස්ථාව නො විය නො හැකි ද?

ඒ බව දන්නා යමෙක් වේ ද ඔහු ප්‍රමාද නො වෙයි. වහ වහා කටයුතු අරඹයි. ඒ කෙසේ ද යත්; ඔහු තෙරුවන් සරණ ගිය උපාසකයෙකු බවට පත්ව බුදු සසුනේ පිළිවෙත් පුරන්නට පළමු පියවර ඔසවයි. ඔහු සුළු හෝ පිනක් රැස්කර ගැනීමට ඇති එකදු අවස්ථාවක් ගිලිහෙන්නට නො දෙයි. සීලය ආරක්‍ෂා කර ගනියි. දන් පැන් පූජාකර ගනියි. ආහාර ගත් පිඟාන සේදු ඉඳුල් ජලය පවා සතෙකුට ආහාරයක් වේවා යි සිතා බැහැර කරමින් එය ද පිනක් රැස්කර ගැනීමේ අහිංසක අරමුණට අත්වැලක් කර ගනියි.

නමුත් යමෙක් ඉන්නවා. ඔහුට අන් උදවිය කථා කරනවා භාවනා වැඩසටහනක් කරා යාමට. ධර්ම දේශනා ඇසීමට යාමට. දන් පැන් පූජා කිරීමට යාමට. වන්දනාවන් උදෙසා සහභාගී වී අප්‍රමාණ පින් රැස්කර ගැනීමට.

එහෙත් මොහු ඊට එකඟ නො වී “අද නො වෙයි හෙට, දැන් වෙලාව නැහැ. වයසට ගියා ම එනවා.” ආදි නොයෙක් හේතු දක්වමින් එවන් මහාර්ඝ අවස්ථා මඟහරිනවා.

කලකට පසුව ඔහුට වැළඳෙනවා රෝගයක්. නැතහොත් ඔහු අනතුරකට පත්වෙනවා. එවන් කරුණක් නිසාවෙන් ඔහුට තමා සිතා සිටි අයුරින් කටයුතු කරන්නට නො හැකි වෙනවා.

“ඔහුගේ පින ඉවර වෙලා…” මේ කියමන නො වේ ද ගැළපෙන්නේ. තමාට හැකි අවස්ථාවේ පිනක් රැස්කර ගත්තේ ද නැහැ. පින් රැස් කරන්නට සිතාගෙන සිටි කාලයේ වෙන යම් හේතුවක් නිසා එය මඟ හැරී ගොසින්. ඇත්තෙන් ම ඔබ මේ කාරණාවට අදාළ සිදුවීම් සමාජයේ කොතෙකුත් දැක ඇති.

භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලයේ දී ද භාග්‍යවතුන් වහන්සේ දැක දැකත්, ඇසුරු කරලාත් ධර්මාවබෝධය නම් නිධානය ලබා ගැනීමට නො හැකි වූ අය බොහෝ සිටින්නට ඇති.

එවන් අසිරිමත් කාලෙක පින් රැස්කර ගැනීමට හැකි වූයේ ‘පිනට’ පින් තිබූ අය හට ම නො වේ ද? පෙර ජීවිතයන්හිදී පහළ වූ බුදුවරයන් වහන්සේලා, පසේබුදුවරුන්, රහතන් වහන්සේලා උදෙසා දන්පැන් පූජා කොට ගෙන, චෛත්‍ය, බෝධි වන්දනා පවත්වා, ධර්මය අවබෝධ වීම පිණිස ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ පින්වතුන් අප ගෞතම බුදුරජුන් කල රහතන් වහන්සේලා, මග ඵලලාභී උතුමන් වහන්සේලා, උපාසක උපාසිකාවන් බවට පත්වුණා. සුගති උපතක් සලසා ගැනීමට තරම් වාසනාවන්ත වුණා. අනේ මටත් අපගේ භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතය චාරිකාවේ වඩින විට දන් පිඬක් උන්වහන්සේගේ පාත්‍රයට පූජා කර ගැනීමට ලැබුණේ නම්… එහෙත් උන්වහන්සේ පිරිනිවන් පා වදාරා අවසන්.

එනමුත් මා කෙසේ හෝ භාග්‍යවතුන් වහන්සේ උදෙසා දානය පූජාකර ගත යුතුයි. උන්වහන්සේ පරිභෝග කරන්නා වූ පාත්‍රයට දන් පිළිගැන්විය යුතු ම යි.

පසුවදා උදෑසන මා හිරුටත් කලින් අවදි වුණා. කිරිපිඬු පිළියෙල කිරීම උදෙසා වෙන්කොට තිබූ සුදු කැකුළු සහල් ගෙන සෝදා එළකිරි මුසු කොට ප්‍රණීත කිරිපිඬු දානයක් සැකසුවා. පිරිසිදුව සකස් කළ සිසිල් පැන්, ඖෂධ පානයක් ලෙස තම්බාගත් බෙලිමල් ද පලතුරු පානයක් හා නැවුම් එළකිරි ද පිළිගැන්වීමට සුදුසු භාජන ද සූදානම් කර ගත්තා. කිරිපිඬු ද පාත්‍රයකට පිළිගැන්වුවා. තෙල්, පහන්තිර, සුවඳ කූරු නෙළුම් මල් හා සුවඳ පැන් ද රැගෙන දළදා මාළිගය ඉදිරිපස නාථ දේවාල භූමියේ අප භාග්‍යවතුන් වහන්සේ දන් වැළඳූ පාත්‍රා ධාතූන් වහන්සේ වැඩ හිඳින චෛත්‍ය වෙත පිය මැන්නා. මල් ආසනය පිරිසිදු කොට චෛත්‍යය වටා සුවඳ පැන් ඉස්සා. සුවඳකූරු හා පහන් දැල්වුවා. මල් ආසනය මත කිරිපිඬු පාත්‍රය ද පැන් හා අනෙකුත් ගිලන්පස ද තැන්පත් කළා. ඒ වටා රතු නෙළුම් මල් පිළිවෙළට ඇතිරුවා.

මේ සියලු පූජාවෝ ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි, පූජා වේවා! යි තුන්වරක් කියා වන්දනා කළා. ඒ වන්දනාවෙන් පසුව පහන් වූ සිතෙහි ඇතිවූයේ එක ම සිතිවිල්ලක්. එනම් මා භාග්‍යවතුන් වහන්සේට පිණ්ඩපාතය දානය පූජා කර ගත්තා යන සිතිවිල්ල යි. බොහෝ වේලාවක් යන තුරු කිසිදු සිතිවිල්ලකට ඒ උදාර සිතිවිල්ල මැඬලා සිතෙහි ඉඩක් ගැනීමට නො හැකි තරමට මා සිත පහන් ව තිබුණා.

සටහන – උත්පලා නඳුනි ලියනගේ