රීස් ඩේවිඩ්ස් මහතා ලාංකිකයන් විසින් විශේෂයෙන් සිහිපත් කළ යුතු පඬිවරයෙකි. ඔහු අතින් සිදු වූ භාෂා සාහිත්‍ය පෝෂණයට හා ශාස්ත්‍රීය සේවාවට පදනම වැටුනේ ලංකාවේ දී ය. ඔහුගේ සිත බුදුදහම කෙරෙහි මෙන්ම පාලි භාෂාව ප්‍රධාන පෙරදිග භාෂාවන් වෙතත් ඇදී ගියේ ලක්දිව සිවිල් සේවයේ යෙදී සිටින විට ය. ලක්දිව පැවිදි පඬිවරයකුගෙන් පාලි භාෂාව උගත් මේ පඬිවරයා කිසිම විද්වතෙකු විසින් නොකරන ලද සේවාවක් එම භාෂා සාහිත්‍ය වෙනුවෙන් සිදු කළේ ය.

යුරෝපයේ පිහිටුවන ලද පාලි පොත් සමාගම (The Pali Text Society) රීස් ඩේවිඩ්ස් නාමය අමරණීයත්වයට පත් කරයි. පාලි භාෂාවෙන් රචිත මුළු මහත් ත්‍රිපිටකය ම එක්තැන් කොට එහි චිරජීවනය සැලැස්වූයේ මෙතුමාගේ මූලිකත්වයෙනි. එපමණක් නොව බුදු දහම පිළිබඳවත්, පාලි භාෂාව පිළිබඳවත් පර්යේෂණ කටයුතුවල නියුතුව එම ආගම හා භාෂාව කෙරෙහි යුරෝපය තුළ විශිෂ්ටතම ප්‍රබෝධයක් ඇති කළේ ද මේ කීර්තිධර පඬිවරයාගේ පුරෝගාමීත්වයෙනි. මෙතුමා ඇති කළ මෙම පාලි පොත් සමාගම බිහි නොවන්නට අද පවත්නා බොහෝ පොත පත අභාවයට යාමට ද ඉඩ තිබුණි.

මේ අනුව විමසන විට බුදු සමය වෙනුවෙන් හා පාලි සාහිත්‍යය වෙනුවෙන් ද රීස් ඩේවිඩ්ස් මහතාගෙන් සිදුවී ඇති අමරණීය සේවාව අනුස්මරණය කිරීම එතුමන්ට කරන විශාල ගෞරවයක් වනවා පමණක් නොව අධ්‍යයන අධ්‍යාපන කාර්යන්හි හා ශාස්ත්‍රීය පර්යේෂණ කටයුතුවල නියුක්ත වූ සකල විද්‍යාර්ථීන්ගේ ම ධෛර්යයට හා ප්‍රබෝධයට හේතුවන්නක් බව විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

1965 වර්ෂයේ දී කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙහි උපකුපති ධුරය හොබවමින් වැඩ සිටි කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්ථවිරයන් වහන්සේ එකල තැබූ උක්ත සටහන අප පූර්විකාවක් කොට ගන්නේ රීස් ඩේවිඩ්ස් පඬිවරයා විසින් සිදු කළ මහානීය ශාසනික මෙහෙවර පිළිබඳ ඔබව දැනුවත් කරන්නට ය.

විල්ඩර්ස් පඬිතුමා විසින් යුරෝපයේ දල්වන ලද බෞද්ධ ධර්ම ප්‍රදීපය නිවී යන්ට නොදී දිගු කලක් පවත්වා මහත් ප්‍රභාවයෙන් යුක්ත කරන ලද්දේ තෝමස් විලියම් රීස් ඩේවිඩ්ස් නමැති මහ පඬිවරයා විසිනි. ඇෆ්. බී. ඒ. ඩී. ඇස්. සී; පී. එච්. ඩී; එල්. එල්. ඩී. ඩී. ඇල්. ආදී ඉතා උසස් ශාස්ත්‍රීය උපාධි ලැබූ මේ මහතා ද විල්ඩර්ස් මහතා මෙන්ම දේවගැතිවරයකුගේ පුත්‍රයෙකි. එංගලන්තයේ ක්ලෝවැස්ටර් පෙදෙසේ විසූ ටී. ඩබ්. ඩේවිඩ්ස් නමැති දේවගැතිතුමාට දාව 1843 මැයි මස 12 වෙනිදා උපන් මේ තෙමේ බ්‍රස්ටන්හි පාඨශාලාවට ගොස් නීතිඥයකු වීමට තිබුණු අදහස හැරදමා බ්‍රෙයිලෝ විශ්වවිද්‍යාලයට පැමිණ එහි ‘ස්ටැන්ස්ලර්’ නම් පඬිතුමාගෙන් සංස්කෘත ඉගෙන පී. එච්. ඩී. උපාධිය ලැබී ය. 1864 දී ලක්දිව සිවිල් මෙහෙයට පත්වූ හෙතෙම පළමුකොට ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික ලේකම්තැන මෙන් වැඩ කෙළේ ය.

උගතකුව සිටි බැවින් නොබෝ කලකදී සිංහල හා දෙමළ තරමක් දුරට ඉගෙන ගත් මේ තෙම පසුව විනිශ්චයකාර ධුරයට පත් විය. (ගාල්ලේ?) දිස්ත්‍රික් විනිශ්චයකාරයා ව සිටිය දී මෙතුමා ඉදිරියට බෞද්ධ විහාරයක් පිළිබඳ නඩුවක් පැමිණියේය. ඒ නඩුවේ සාක්ෂිවල දී විනය නීති පිළිබඳ ලිපියක් උසාවිය ඉදිරියට ගෙනා විට අධිකරණ ශාලාවේ සිටි කිසි නීතිඥයෙකුට හෝ අනිකෙකුට එහි තිබෙන භාෂාව තේරුම් කළ නොහැකි විය. බෞද්ධ ශුද්ධ ලියවිලි තිබෙන්නේ මේ පාලි භාෂාවෙන් යයි දැනගත් මේ තෙමේ වහාම ඒ භාෂාව ඉගෙන ගන්ට අදහස් කෙළේය. ඒ සඳහා ගුරුවරයෙකු සෙවීමේදී බෙන්තර විසු යාත්‍රාමුල්ලේ ධම්මාරාම ස්ථවිරතුමා මොහුට හමුවිය. මේ ගුරුවරයාගෙන් ඉගෙනීම ලබන අතර මේ මහතා පුරාවිද්‍යා පරීක්ෂක ධුරයට පත් කරනු ලැබීය. එංගලන්තයට ගිය පසු 1881 දී පැවැත්වූ කථාවක මේ ස්ථවිරතුමන් ගැන ඒ මහතා මෙසේ කීය:

“උන්වහන්සේ පළමුවර මා වෙත පැමිණෙන විට මාරයාගේ හස්තය උන්වහන්සේ වෙත දිගු කොට තිබුණි. දුක් ගෙන දෙන අසාධ්‍ය රෝගයකින් (මේ රෝගය නම් මුත්‍ර කෘච්ඡාව බව දැනගන්ට තිබේ.) මරණයට ළංවෙමින් සිටි එවැනි අවස්ථාවකදීත් තමාගේ අමාරුකම් නොසලකා ආගන්තුකයෙකුට ඉගැන්වීම සඳහා මා වෙත පැමිණීම ගැන මම උන්වහන්සේට කෘතඥ වීමි.”

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුරයට පත් මේ තෙමේ ශිලාලිපි පිටපත් කෙළේ ය. අනුරාධපුරයේ බොහෝ තැන් පෑදුවේ ය. සීගිරිය සොයා ගත්තේ ය. ඒ අතර ලක්දිව බෞද්ධ ඉතිහාසය ද ඉගෙන ගත්තේ ය. මෙසේ ක්‍රියාකරන අතර වැඩිහිටි නිලධාරියකු හා නොගැළපීමක් ඇතිවී 1872 දී සියරටට හැරී ගියේය. එහිදී නීතිය ඉගෙන 1877 දී මීඩල්ටැම්පල්හි අධිනීතිඥයෙක් විය. නමුත් ඔහු නීතියට ඇල්මක් නොකළ බැවින් බෞද්ධ පොත් ඉංග්‍රීසියට නැගීමේ යෙදුණේ ය. 1875 දී රාජකීය ආසියාතික සමිතියේ සඟරාවෙහි ‘පරාක්‍රමබාහු රජුගේ ශිලාලිපි’, ‘සීිගිරි හෙවත් සිංහ පර්වතය’ ආදී ලිපි පළ කරවී ය.

මේ මහතා ලක්දිව හැරයන්ට අවුරුදු අටකට උඩදී විල්ඩර්ස් මහතා එංගලන්තයට පැමිණ සිටියේ ය. ඒ කාලයේ දී ම ස්පැන්යි හාඩ් මහතා සිංහල පොත් ආශ්‍රයෙන් බුද්ධාගම ගැන ලියූ පොත් දෙකක් පළව තිබිණ. ඩැන්මාර්ක් රටේ ෆවුස්බෝල් මහතා ද වටිනා බෞද්ධ ග්‍රන්ථයන් පළ කරමින් සිටියේය. 1872 – 1876 යන වර්ෂවල දී විල්ඩර්ස් මහතාගේ පාලි අකාරාදිය පළ විය. 1869 වර්ෂයේ සිටම රීස් ඩේවිස් මහතා විල්ඩර්ස් මහතාට ආධාර කරන්නෙක් විය. ලංකාවේ දී සැදුණු කැළෑ උණෙන් බොහෝ පීඩා විඳි නමුත් ඩේවිඩ්ස් මහතා පාලි භාෂාව ඉගෙනීම අත්නොහළේය. තමා ලක්දිවින් ගෙනා දීපවංශය මුද්‍රණය කරවීමට සිතමින් ඉන්නා විට ඉන්දියා ඔෆිස් මහා කාර්යාලයේ විනය පිටකය මුද්‍රණයට පිළියෙල කරමින් සිටි ‘ඕල්ඩන්බර්ග්’ මහතා එතුමා වෙත පැමිණ දීපවංශ මුද්‍රණය ගැන කථා කෙළේ ය. තමා ඒ වෙනුවෙන් එක්කොට තිබුණු දේ ඒ ආචාර්යතුමාට පෙන්නූ විට ඒ මහතා මහත් ප්‍රීතියට පත් වීය.

1877 දී රීස් ඩේවිඩ්ස් මහතා ලක්දිව පුරාණ මැණුම් හා කාසි Ancient Coins and Measures of Ceylon නමැති පොත පළ කරවී ය. බෞද්ධාගමේ සාරාංශය උපුටා සංග්‍රහ කළ The Buddhism (බෞද්ධාගම) නමැති පොත 1878 දී මුද්‍රණයට පැමිණවී ය. ඒ පොත කෙතරම් ජනප්‍රියවීදැ යි කියතොත් 1914 වෙන විට එය විසිතුන් වරක් මුද්‍රණය කරන්ට සිදුවිය. ‘නිර්වාණය සම්පූර්ණ විනාශයක් නොවේ’ යයි පළමුවෙන් යුරෝපයේ පළ කර හරින ලද්දේ මේ පොතෙනි. මේ කෘතියේදී රීස් ඩේවිස් මහතා මෙසේ අවධාරණය කොට දක්වයි. “නිවන යනු ව්‍යවහාරයේ ඇති අර්ථයෙන් උච්ඡේදය නොවේ. ආධ්‍යාත්ම තත්ත්වයකි. මෙලොව දී ම, මේ ජීවිතයේ දී ම ළඟාකර ගත හැකි දහමකි.”

ෆවුස්බෝල් මහතා ශුද්ධ කොට පළ කරවූ ජාතක අටුවාවේ මුල් කොටස මේ මහතා විසින් ඉංග්‍රීසියට නගන ලදින් 1880 දී පළ විය. ඊළඟ වර්ෂයේ දී “පෙරදිග ශුද්ධ පොත් Sacred Books of the East යන පොත් පෙළේ 11 වෙනි පොත වශයෙන් තෝරාගත් බෞද්ධ සූත්‍ර කීපයක පරිවර්තනයක් මේ මහතා විසින් පළකරවන ලදී. ඒ පොත් පෙළේම පළ වූ විනය පොත් තුනක පරිවර්තනයන් සඳහා මේ මහතා ඕල්ඩන්බර්ග් පඬිතුමාට සහාය විය.

මෙසේ ක්‍රියාකරන අතර යුරෝපයේ නොයෙක් පුස්තකාලයන්හි තැන්පත්ව තිබුණු, මුද්‍රණයට නොපැමිණි ත්‍රිපිටකයට අයත් පාලි පොත් මුද්‍රණය කරවීම සඳහා පාලි පොත් සමාගම The Pali Text Society නමැති සමිතිය 1882 දී ආරම්භ කෙළේ ය. මුලදී බොහෝ අපහසුවෙන් ගෙනගිය මේ සමිතිය මගින් කෙතරම් ලෝකාර්ථ සිද්ධියක් වී ද යන්න දැන් බොහෝ දෙනෙකුත් දන්නා කාරණයකි. දැන් අවුරුදු 140ක් ගතවීත් නිරුපද්‍රිතව පවත්නා මේ සමිතිය විසින් ත්‍රිපිටක පෙළපොත් හා එම අටුවා පොත් කාණ්ඩ 141ක් මුද්‍රණයට පමුණුවා තිබේ. (මෙයින් ඇතැම් පොත් කාණ්ඩවල පිටු 400-500 පමණක් ඇත්තාහ.) මෙපමණකින් නොනැවතුණු සමිතිය ඒ පොත්වල ඉංග්‍රීසි පරිවර්තන ද පළ කිරීමට පටන් ගෙන දැන් කොටස් 28ක් පළකොට තිබේ. අන්‍ය සමිති ලබා පළකරවූ පරිවර්තන කොටස් 16ක් ද ඇත්තාහ.

මේ සමිතිය නමැති වෘක්ෂයේ හටගත් ඉතා අගනා ඵලය නම් විල්ඩර්ස් මහතාගේ පාලි අකාරාදිය පළවූ තැන් සිට අවුරුදු 40ක් මුළුල්ලේ රීස් ඩේවිඩ්ස් මහතා ඇතුළු පඬිවරුන් කීප දෙනෙකුන්ගේ උත්සාහයෙන් සම්පාදිත වූ පාලි ඉංග්‍රීසි මහා ශබ්ද කෝෂයයි.

1882 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පාලි මහාචාර්යය තැන මෙන් පත්කරනු ලැබූ මෙතුමා 1904 දක්වා ඒ තනතුර දැරීය. 1885 සිට 1904 දක්වා රාජකීය ආසියාතික සමිතියේ ලේකම්තැන ද පොත්ගුලේ භාරකාරයා ද වෙමින් තවත් නොයෙක් ශාස්ත්‍රීය කටයුතුවල යෙදුණි. මිලින්ද ප්‍රශ්නය සම්පූර්ණයෙන් ඉංග්‍රීසියට නැගූ මේ මහතා එහි 1 වෙනි කොටස 1890 දී ද දෙවෙනි කොටස 1894 දී ද පළකර වීය. සම්පූර්ණ දික්සඟිය ඉංග්‍රීසියට නගන ලදින් 1 වෙනි කොටස 1889 දී ද දෙවෙනි කොටස 1910 දී ද තෙවෙනි කොටස 1921 දී ද පළවූහ.

1894 දී අමෙරිකාවට පැමිණි ඒ මහතා එහි හාවර්ඩ් විශ්වවිද්‍යාලයේදී ‘බෞද්ධාගම, එහි ඉතිහාසය හා සාහිත්‍යය’ සම්බන්ධ කථා පන්තියක් පැවැත්වීය. ලක්දිව සිටි නමුත් ඉන්දියාව නොදැක සියරටට හැරී ගිය බැවින් ඉන්දියාව දැකීමට බලවත් ආශාවක් ඇති කර ගත් ඒ මහතා 1899 – 1900 යන වර්ෂ දෙක අතරෙ දී ඉන්දියාවට පැමිණ බුද්ධගයාව ආදී බෞද්ධ ශුද්ධස්ථානයන් බැලීමට ගියේ ය. බුද්ධාගම පැතිර තිබුණ භාරතීය රටවල් පිළිබඳව මෙතුමා ලියූ බෞද්ධ භාරතය හෙවත් Buddhist India නමැති පොත මේ ගමනේ ප්‍රතිඵලයකි. පළමුවෙන් 1903 දී මූලික වූ මේ පොත අදත් ආධුනිකයන්ට මහත් වැඩ සාදා දෙමින් අගයෙන් අඩු නොවී ම පවතී. ඒ ගමනේ දී එකල අග්‍රාණ්ඩුකාර ව සිටි කර්සන්සාමි වෙත ගොස් ඉන්දියා ඉතිහාසය පිළිබඳ පොත් පෙළක් පළකරවීමේ පිළිවෙළක් පෙන්වා සිටියෙන් 1900 දී ආසියාතික සමිතියේ කාරක සභාව විසින් ඒ පිළිවෙළ පිළිගන්නා ලදී.

1904 දී මේ මහතා මැන්චැස්ටර්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ සමාන ආගම් පිළිබඳ ආචාර්ය ධුරය භාරගත්තේ ය. මේ ආචාර්ය ධුරය එංගලන්තයේ පළමුවෙන්ම පිහිටුවන ලද්දේ මේ අවස්ථාවේ දී ය. 1905 දී මෙතුමා ලන්ඩන් නගරය අත්හැර මැන්චැස්ටර් නුවර පදිංචියට ගියේ.ය. 1908 දී පුරාණ බුද්ධාගම Early Buddhism නැමැති පොත ලියා පළකර වීය. ‘ඉන්දියාවේ කේම්බ්‍රිජ් ඉතිහාසය’ නමැති පොතේ පළ කරවීම සඳහා බෞද්ධයන්ගේ පුරාණ ඉතිහාසය ද ලියාදුන්නේ ය.

1908 දී ඩැන්මාර්ක් රටේ කෝපන්හේගන් නුවර පැවැත්වූ ප්‍රාචීන භාෂා පිළිබඳ මහා සම්මේලනයේ දී ජාත්‍යන්තර සම්බන්ධයක් ඇතිකොට පාලි මහා ශබ්දකෝෂයක් පිළියෙළ කිරීම සඳහා එක් එක් අකුරට අයත් වචන එක්කිරීමට නොයෙක් රටවල සිටි පඬිවරුන්ට බාරදෙන ලදී. නමුත් ප්‍රථම මහා යුද්ධය නිසා එහි කටයුතු බොහෝ සේ ප්‍රමාද විය. වයසින් හා උපාධිවලින් පිරුණු රීස් ඩේවිඩ්ස් පඬිතුමා 1915 දී මැන්චැස්ටර් නුවර හැරගියේ ය. එයින් යන්ට පෙර ඇඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් ඇල්. ඇල්. සී. උපාධිය, කෝපන්හේගන් ෂැෆ්පිල්ඩ් විශ්වවිද්‍යාලය දෙකෙන් බී. ඇස්. සී. උපාධිය ලබා තිබුණි. 1902 දී පිහිටවූ ශිල්පශාස්ත්‍ර පිළිබඳ මහා විද්‍යාලයේ ආදි කර්තෘවරයා මෙතුමා ය.

1912 දී ග්‍රීසියේ ඇතැන්ස් නුවර පැවැත්වූ ප්‍රාචීන ශාස්ත්‍රඥයන්ගේ මහා සම්මේලනයට පැමිණීමට එරට ආණ්ඩුවෙන් ආරාධනා ලත් එතුමා එහි ගියේ ය. එහිදී බොහෝ ශාස්ත්‍රඥයන්ගේ ගරු සම්භාවනා ලබා සියරටට හැරී ගිය ඒ මහතා සරේ දිස්ත්‍රික්කයේ විජ්ස්ටෙඩ් ගමේ නැවතී මැන්චැස්ටර් ගාඩියන් පත්‍රයට වැදගත් ලිපි සපයන අතර පාලි ආකාරාදියේ වැඩවල යෙදී සිටියේ ය. ඒ කාලයේදී ඒ කටයුත්තට ඩබ්. ස්වීඩ් නම් මහතෙකු ද සහාය කර ගත්තේ ය.

ඩේවිඩ්ස් පඬිතුමා ජීවත්ව සිටිය දී ශබ්ද කෝෂයේ කොටස් තුනක් පමණක් පළ කරන්නට හැකිවූ බැවින් අවුරුදු 40ක් මුළුල්ලේ පඬිවරුන් කීපදෙනෙකුන්ගේ උත්සාහයෙන් සම්පාදනය කළ මේ බැරෑරුම් වැඩේ අවසන් කිරීම අන්තිමේ දි ආචාර්ය ස්ටීඩ් මහතා වෙත පත් විය. මහලු වයසේ වේදනා උපදවන රෝගවලින් පෙළී සිටියදීත් මේ පඬිතුමා ශබ්ද කෝෂයේ කටයුතුවලට නිතරම ස්වීඩ් මහතාට උපකාර විය. තමාගේ යහපත් වැඩවල ප්‍රතිඵල දකිමින් ප්‍රීතිමත්ව සිටි මෙතුමා අසූවෙනි වයසේ දී 1922 දෙසැම්බර් 27 වෙනිදා නියුමෝනියා රෝගයෙන් මරණයට පත් විය.

ලන්ඩන්හි ප්‍රාචීන මහා විද්‍යාලය පිහිටුවීමට මෙතුමාගේ නොපසුබට උත්සාහය හේතු වූ බව වාර්තාවල දක්වා තිබේ. ඉගැන්වීම හා පොත්පත් ලිවීම කරන අතර ම මේ මහතා නොයෙක් විට බුද්ධාගම පිළිබඳ ප්‍රසිද්ධ කථාවන් පැවැත්වී ය. නොයෙක්විට කම්කරු ජනයාට බුද්ධාගම දේශනා කළ බවත් අසන්නට ලැබේ. වෘද්ධාවස්ථාවේ දී රෝගීව සිටගෙනත් පාලි අකාරාදියේ වැඩ සම්පූර්ණ කිරීමට කෙතරම් උත්සාහවත් ව සිටියේ ද යත් ඇතැම්විට පෑන අතේ තිබිය දී ඇස්දෙක පියවී යන බව කියා තිබේ. එතුමන් සමග ඒ වැඩවල යෙදී සිටි ආචාර්ය ස්ටීඩ් මහතා විසින් පාලි ශබ්දකෝෂයේ 4 වෙනි කොටසේ සංඥාපනයේ මෙසේ දක්වා තිබේ. “එතුමා අවුරුදු පහක් රෝගීව සිටි නමුත් වැඩ කිරීමට ඇති ආශාව කිසිසේත් අඩු නොවී ය. සිතේ පැහැදිලිකම් නොවැසී තිබුණි. මා ආ සෑමවිටම එතුමා සතුටට පත් විය. ශීත කාලයේ ඇතැම් සන්ධ්‍යාවල දී එතුමාගේ චිස්ටෙඩ්හි පිහිටි ගෙයි වාඩි වී අපි දෙදෙන නොයෙක් විට බෞද්ධ න්‍යාය ශාස්ත්‍රය හා පාලි භාෂාව ගැන කථා කෙළෙමු. එකල්හි ඔහුට තිබුණු සියලු වේදනා යටපත් වූහ. ඇස් දීප්තිමත් වී මූණ ද බැබළුණේ ය.”

මේ මහතා ලක්දිව සිටි කාලයේ දී මොටෝරිය තබා දුම්රියවත් මෙහි නොතිබුණි. එකල ගමන් කිරීම අශ්වරථ ආදියෙනි. මේ මහතා අසකු පිට නැග ඇතැම් විට ගමන් කළ බව පෙනේ. එසේ ගිය ගමනක විස්තරයක් එතුමා විසින් පොතකට ලියා දුන් සංඥාපනයක දක්නා ලැබේ. ඒ පොත නම් මේරි ඇල්. සෙලොක් නමැති ග්‍රන්ථ කර්තෘවරිය විසින් 1910 දී බාලයන්ගේ ප්‍රයෝජනය සඳහා ලියූ ජාතක කථා ඇතුළත් එකකි. එය මෙසේයි.

“එක් රාත්‍රියක දී ගාල්ලේ සිට කොළඹට අසු පිටින් ගමන් කළ සැටි මට සිහි තිබේ. මාර්ගය මූදු වෙරළ දිගේ ය. වම් පැත්තේ ඉන්දියන් සාගරය විය. දකුණු පැත්තේ ගණන් කළ නොහැකි තරම් පොල්ගස්වල මුදුන් උයන් වැනි තණබිම් මත්තෙහි වැනෙමින් තිබුණාහ. ඒ ගස් යට ඒ මේ තැන ගම්වැසියන්ගේ කුඩා ගෙවල් වූහ. එක් තැනක දී තණබිමක රැස්ව හුන් පිරිසක් දැක මේ සඳපහනැති රෑ ඔවුහු කුමක් සඳහා පැමිණ සිටිත්දැයි දැනගැනීම පිණිස මම එහි ගියෙමි. එහි අණ්ඩාකාර ලෑලි තට්ටුවක් තිබුණි. කහ සිවුරු පොරවාගත් භික්ෂූහු පුස්කොළ පොත් උකුලේ තබාගෙන වාඩිවී ලත්හ. එක්නමක් නැගිට එහි සිටි පිරිසට කථාවක් කෙළේ ය. මේ දේශනා කළේ ජාතක කථාවකි. තමන්ගේ ඉතා හොඳ ඇඳුම් ඇඳ ගත් බාල මහලු ස්ත්‍රී පුරුෂයෝ රාත්‍රිය මුළුල්ලේ මැලිකමක් නැතිව සතුටින් යුතුව මේ කථාවන් ඇසුහ. ඇතැම් විට ඔවුහු ළඟ ඉන්නා අයවලුන් සමග සෙමින් සෙමින් කථා කළහ. ඇතැම්විට සෙමින් නැගිට ගොස් කැමති විට හැරී ආහ. මේ අවස්ථාවන්හි ගෞතමයන් වහන්සේගේ ඉගැන්වීමට එකඟ වූ කරුණාසහගත තත්ත්වය මෘදු වූ සඳ එළිය සමග ඔවුන් කෙරෙහි දකින්ට තිබුණි.”

උපතින් බෞද්ධයෙකු නොවී නමුදු පතිරූප දේශයක සේවයේ නියැලීමට ලද අවස්ථාවේ සම්බුදු දහම කෙරෙහි සිත පහදවා ගනිමින් ශ්‍රද්ධාවට එළඹ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස රීස් ඩේවිඩ්ස් පඬිතුමා සිදු කළ අනුපමේය මෙහෙවර ශාසනලැදි සත්පුරුෂයන්ගේ පැසසුමට බඳුන් විය යුතු ම ය. සම්බුදු සසුනෙහි පැවැත්මට උර දෙමින් එතුමන් රැස් කළ පින්වල ආනුභාවයෙන් වහ වහා සසර කෙළවර දකින්නට එතුමාණන්ට හැකි වේවා!