අපි කිසිම දවසක නොහිතපු විදිහේ අමුතු කථාවක් තමයි අද ලියන්නේ… කවුරුහරි මේ දේ ගැන හිතලා තියෙනවා නම් ඒ පිරිස ඇඟිලිවලින් ගණන් කරලා කියන්න බැරි වෙන එකකුත් නෑ කියලා මට හිතෙනවා…

මීට අවුරුදු තිහකට, හතළිහකට කලින් අපේ බොහොමයක් ගම් පළාත්වලට විදුලිය තිබුණේ නෑ. මිරිස් ටික, කුරහන් ටික ගලේ අඹරා ගත්තා. වී ටික වනේ (වංගෙඩියේ) කොටා ගත්තා. එහෙමත් ගමක තමයි වී මෝලක් තිබුණෙත්. වතුර ටික ළිඳෙන් අරන් ආවා. සමහර වෙලාවට බොන වතුර හොයා ගන්න කළගෙඩි, බෝතල් අරගෙන දුර ඈතට යන්න සිද්ධ වුණ අවස්ථාත් තිබුණා. උයන්න පිහන්න වුවමනා දර ටික පළා ගත්තා, එහෙම නැතිනම් වටපිටාවෙන් වියළි දර හොයා ගත්තා. තෙල් හිඳ ගත්තෙත් සෙක්කුවෙන් හරි අතින් ගාලා කිරි මිරිකලා ඒ කිරි, තෙල් පෑදෙනකල් රත් කරලා හරි තමයි.

ගොඩක් ගොවිබිම් හෑවේ හරකුන්ගෙන්. අපේ ළමා කාලයේ ගොයම් කපපු හැටි අපට මතකයි. ගොඩක් වෙලාවට අත්තම් ක්‍රමයට, ඒ කියන්නේ ශ්‍රම හුවමාරු ක්‍රමයට තමයි යායේ කුඹුරු වැඩ කළේ. කමත් හදලා, කපපු ගොයම් කමතේ ගොඩ ගහලා, හරකුන් ලවා ගොයම් මඩවලා, හුළඟට අල්ලලා කාටු අයින් කරලා අස්වනු ගෙදර ගේන එක බැරෑරුම් කර්තව්‍යයක්. ඒ ඔක්කොම හොයා බලන අතරේ ගෙදර අම්මා උයන්න පළා ටිකත් වැව් තාවල්ලෙන් හරි, දෙනියෙන් හරි, නියරෙන් හරි කඩාගෙනයි ගෙට ආවේ. ඒ කාලේ හිතුමනාපේ ගමන්බිමන් යන්න විදිහක් නෑ. නගරෙට ගිහින් වුවමනා එපාකම් හොයාගෙන එන්න සමහර වෙලාවට දවස ම ගත වෙනවා. හිතුමනාපේ පණිවිඩයක් දීගන්න පුළුවන්කමකුත් නෑ. අන්න ඒ කාලෙට අපි කියන්නේ ‘නොදියුණු කාලේ’ කියලා…

දැන් විදුලිය නැති තැනක් නෑ. මිරිස් ටික, කුරහන් ටික අඹරන්න එක විනාඩියෙන් පුළුවන්. වී වංගෙඩියේ කොටනවා තබා නෑඹිලියේ දාලා හාල් ටික ගරන්නවත් වුවමනාවක් නැති තරමයි. මොකද මෝලෙන් ගල් වැලි ඉවත් කරපු හාල් ලැබෙන නිසා. බත් එක රොස් වෙනව ද ඇට්ටකුණා වෙනව ද කිය කියා බල බලා කල් මරන්න දෙයක් නෑ. රයිස් කුකර් එක ඒ ටික බලා ගන්නවා. ස්විච් එක ඔබනකොට වතුර ටික එනවා. දර පාවිච්චිය හරිම අඩුයි. ගෑස්වලින් හරි, කරන්ට් එකෙන් හරි උයනවා. ගාපු පොල් ටික, පිටි කළ පොල්කිරි ටික පවා කඩේ තියෙනවා.

හාන්නේ ට්‍රැක්ටරවලින්. කමත් නෑ. පිදුරු නෑ. මැෂිමෙන් ගොයම් ටික කැපෙනවා. මැෂිමෙන් ම වී ටික බේරෙනවා. කපපු පළා ටික පවා දැන් විකුණන්න තියෙනවා. හිතුමනාපේ ගමන්බිමන් යන්න පුළුවන්. එක දවසකින් යා ගන්න බැරි දුරක් රටේ නැහැ. හිතූ සැණින් පණිවිඩ දෙන්න පුළුවන් සන්නිවේදන තාක්ෂණයක් තියෙනවා. ඒ හින්දා, අපි මේ කාලෙට කියනවා ‘දියුණු කාලේ’ කියලා.

අපි මුලින් කියපු නොදියුණු කාලෙදි, අපේ අම්මලා රෑට කුප්පි ලාම්පුව පත්තු කරගෙන, පන්වලින් පැදුරු විව්වා. වට්ටි, පෙට්ටි විව්වා. අම්මලා, තාත්තලා පොඩි ළමයිව වටේට තියාගෙන ජාතක කථා කියලා දුන්නා. ජනප්‍රවාදයේ එන රස කථා කියලා දුන්නා. ජන කවි, තේරවිලි කියලා දුන්නා. ඒ වගේ රස මතක මගේ හිතෙත් පිරිලා තියෙනවා. ඒ කාලේ අම්මලා තාත්තලාට පන්සලට යන්න වෙලාව තිබුණා. බණ අහන්න වෙලාව තිබුණා. වන්දනා ගමන් යන්න වෙලාව තිබුණා. සිල් සමාදන් වෙන්න වෙලාව තිබුණා. මල් පහන් පූජා කරන්න වෙලාව තිබුණා.

දැන් මේ තියෙන, දියුණු යැයි අපි කියන කාලේ අපි බොහෝ දෙනෙකුට පන්සලට යන්න වෙලාව නෑ. බණ අහන්න වෙලාව නෑ. වන්දනා ගමන් යන්න වෙලාව නෑ. සිල් සමාදන් වෙන්න වෙලාව නෑ. මල් පහන් පූජා කරන්න වෙලාව නෑ. ඒ හින්දා කන බොන, යන එන, දුවන පනින අතරෙම තමයි ඒ දේවලුත් කරන්නේ.

දැන් හොඳට හිතලා බලන්න…, තාක්ෂණයේ පහසුවෙන් – වැඩි කාලවේලාවක් යොදා නොගෙන අපේ වැඩකටයුතු සිදු කරගන්න පුළුවන් වීම නිසා නේ ද අපි එදාට වඩා අද දියුණුයි කියලා හිතන්නෙත්, කියන්නෙත්? එදා පැය ගාණක් අරන් කරන්න තිබුණු වැඩේ අද මිනිත්තු කිහිපයකින් ඉවරයි. ඉතින්, ඒ විදිහට අපි ඉතිරි කර ගත්ත කාලය කෝ? හරි නම්, ‘කාලය ඉතිරියි. මේ කාලයට මොනවා කරන්න ද?’ කියලා හිතෙන්නනේ ඕනේ. ඒත් අපිට අපේ වැඩවලට කාලය මදි වෙලා නේ ද? එහෙම නම්, දියුණුව කියලා අපි මේ හොය හොයා හඹා යන්නේ මායාවක් පිටුපස්සෙ ද?

තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ මිනිස් ශ්‍රමය, මිනිස් කාලය ඉතිරි කර දුන්නා වුණත්, ඒ ඉතිරි වුණ කාලය ගිලගෙන තිබෙන්නේත් තාක්ෂණය ම තමයි. මිරිස් අඹරන්නේ නැතිව,…… වී කොටන්නේ නැතිව, දර පළන්නේ නැතිව, පයින් යන්නේ එන්නේ නැතිව ඉතිරි වුණ යම් කාලයක් තිබෙනවා ද අන්න ඒ කාලය තමයි ෆේස්බුක් එකෙන්, යූ ටියුබ් එකෙන්, ටීවි එකෙන්, මොබයිල් ෆෝන් එකෙන් ගිලගෙන තියෙන්නේ. ඒ ගිල ගැනීම මොනතරම් දරුණුයි ද කියනවා නම් අන් කවරදාටත් වඩා අද අපට කාලය හිඟ වෙලා…

ෆෝන් එකට හිර වුණ ඇතැම් තරුණ අම්මලා, තාත්තලා, තරුණ ළමයි ඇඟපත හෝදාගන්න ඉඩක් ලබන්නෙත් මහ රෑ. නිසි වෙලාවට කෑමබීමකුත් නෑ. ප්‍රත්‍ය අප්‍රත්‍ය සලකා බැලීමකුත් නෑ. ඉතින් අපට බැලු බැලූ අත අතෘප්තකර කාය මානසික ස්වභාවයන් සහිත, රෝගාබාධ බහුල වුණ සමාජයක් මුණගැසීම පුදුම වෙන්න කාරණයක් විය යුතු ද?

අද සමාජයට වෙලා තියෙන වින්නැහිය මීට අවුරුදු දෙදහස් පන්සියයකටත් එහා අතීතයේ එක්තරා දවසක දී තපෝදා නදිය අසබඩ දී දෙව්මිනිස් ලෝකයාට අසන්නට ලැබුණා.

එක්තරා දවසක දී සමිද්ධි තෙරුන් වහන්සේ පැන්පහසු වෙන්න තපෝදා නදියට ඇවිදින් ඇඟපත සෝදාගෙන, අඳන සිවුර විතරක් ඇතිව, ඇඟේ තෙත සිඳවමින් සිටියා. ඒ රෑ පහන්වන වෙලාවෙ එක්තරා දෙව්දුවක් මුළු තපෝදාව ම ඒකාලෝක කරගෙන, සමිද්ධි තෙරුන් ළඟට ඇවිදින් මෙහෙම කිව්වා.

“පින්වත් භික්ෂුව, (කම් සැප) නොවළඳා, පිණ්ඩපාතෙ විතරක් වළඳනවා නේද? (කම් සැපත්) වළඳලා, පිණ්ඩපාතෙත් වළඳන එක නරක නැද්ද? පින්වත් භික්ෂුව, (එහෙම නෙවෙයි, කම් සැපත්) වළඳගෙන ම පිණ්ඩපාතෙත් වළඳන්න. ඔබට මේ වටිනා අවස්ථාව මඟ හැරෙන්න එපා.”

ඒ වෙලාවෙ සමිද්ධි තෙරුන් වහන්සේ මෙකරුණ වදාළා.

“අවස්ථාව? මට ඒක තේරෙන්නෙ නෑ. කාලය ආශාවෙන් වැහුණ ම ඇත්ත පේන්නේ නෑ. ඒ…. නිසා මං (කම් සැප) වළඳන්නෙ නැතුව, පිණ්ඩපාතෙ විතරක් වළඳනවා. මට මේ උතුම් අවස්ථාව ඉක්ම යන්න එපා!”

(සමිද්ධි සූත්‍රය – සං. නි. 1)

ඒ තමයි අපට වුණ දේ. තාක්ෂණික ක්‍රමෝපායන් තුළින් අප ඉතිරි කරගත් කාලය යූ ටියුබ් එක බලන, ෆේස්බුක් එක බලන, ගේම් ගහන ආශාවන්ගෙන් වැහිලා………. අපට ඇත්ත පෙනෙන්නේ නෑ. කාමාශක්ත ලෝකයාට ගෝචර නොවන ඒ ඇත්ත කියා දෙන උතුම් ශ්‍රී සද්ධර්මය අහන්න අපට වෙලාවකුත් නෑ. සසර පුරා ම හිත ඉල්ලන ඉල්ලන දේවල් පසුපස දුව දුවා විපතට ම පත් වෙමින් ඇවිද ඇවිදින් දුර්ලභ ව ක්ෂණ සම්පත්තිය ලැබුණු මේ……. අවස්ථාවෙත් අපි කරන්නේ කාලය කා දමන එක නේද…!

ගෙවී ගිය විසි වසර තුළ මොනතරම් නම් මහානීය පින්කම් සිද්ධ වුණා ද… සෑයවල් හැදුණා. මහානර්ඝ විහාර මන්දිර, බෝධි මණ්ඩප, ධර්මශාලා ගොඩනැගුණා. අහසින් මල් පුදමින් ධාතු චෛත්‍යයන් පුද දුන්නා. ඒ සා අසිරිමත් පින්කම් කරන්නට සැදැහැ සිත් උපදවා ගත් ජනයා තුළත් පිළිවෙතින් වැඩී යාමේ විපුල බවක් දකින්න නැති වීමෙත් යම් අර්බුදයක් තිබෙනවා නේද… පිනෙහි විපාක නැත්තේ නොවෙයි; අද තිබෙන ගැටළුව අප පින් කරන්නේ කවර චේතනාවක සිත පිහිටුවාගෙන ද කියන එකයි… විසි එක්වන සියවස ආරම්භයේ දී පින්දහම් කරද්දි බොහෝ දෙනෙකුගේ සිතෙහි තිබුණේ ප්‍රණීත, උත්තරීතර, ශ්‍රේෂ්ඨ අරමුණක්. ඒ තමයි, චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීම. ඒත් අද පින් කිරීමේ අරමුණ පිහිටන්නේ හීන තැන්වල. ලෙඩදුක් අඩුකම, රැකී රක්ෂා කටයුතු සාර්ථක වීම, විභාග. සමත් වීම, ආවාහ විවාහ කටයුතු වගේ හුදෙක් ලෞකික අරමුණුවල එල්බ ගන්නා නූතන අරමුණු දිව්‍ය බ්‍රහ්මතලයකවත් පිහිටන්නේ නෑ. ඉතින්, රැස් කරන පින්වල වැඩි කොටසක් ලෞකික ආශාවන් පිරිමසා ගන්න ම ගෙවී යනවා…

ආශාවන්ට ආශා කරන්න එපා. එතකොට මේ දුර්ලභ ව ලද මිනිසත් ජීවිතය සම්බුද්ධ ශාසනයේ මහානීය ගුණ ශෝභාවන්ගෙන් ආලෝකවත් කරන්නට පහසුයි. මේ ජීවිතය මරණයෙන් කෙළවර වෙනවා. දැන් දැන් ම වුණත් ඒ මරණය අප හමුවට එළඹෙන්න බැරිකමක් නෑ නේ ද!

දඹදිව ඒකච්ඡත්‍ර කොට අධිරජ බවට පැමිණි ධර්මාශෝක රජුගේ යුව රජු දිනක් පාටලීපුත්තයෙහි මුව දඩයමට ගියා. වනාන්තරයේ කෙළිදෙලෙන් වාසය කරන මුවන් ව දකිද්දී ඔහුට මෙහෙ හිතුණා.

‘වනාන්තරයේ තණකොළ කකා ඉන්න මුවන් පවා සතුටින්, කෙළිදෙලෙන් වාසය කරනවා. එහෙම එකේ සැපසේ ලබන සිව්පසය ඇතුව වාසය කරන භික්ෂූන් වහන්සේලාට මේ වගේ සතුටින්, කෙළිදෙලෙන් වාසය කිරීමක් නැත්තේ මක් නිසාද?’

ඔහුගේ මේ සිතුවිල්ල අහපු නුවණැති ධර්මාශෝක අධිරාජයා ඔහුට මෙකරුණ අවබෝධ කරන්නට සිතා මෙහෙම රාජාඥාවක් පැනෙව්වා.

“එම්බා කුමාරය, තොප සත්දිනක් මේ රාජශ්‍රීය අනුභව කළ යුතුයි. මේ සත්දින ඇවෑමෙන් තොප ව ඝාතනයට පත් කරනු ලබන්නේ ය.”

සත් දවසකට පසුව අධිරාජයා හමුවට පමුණුවනු ලැබුයේ වැහැරුණු සිරුරකින් යුතු යුවරජු ව. ඔවුන් අතර මෙවැනි කථාබහක් ඇති වුණා.

“මේ වැහැරිලා සිටින්නේ මක් නිසා ද?”

“දේවයන් වහන්ස, මරණයට ඇති භය නිසා…”

“ඉතින් සත් දවසකින් මැරෙන බව දැන ඔබ කෙළිදෙලෙන් වාසය කළේ නෑ. එහෙමනම්, හැම කල්හි ම මරණසතිය වඩන්නා වූ මේ………… භික්ෂූන් වහන්සේලා හොඳට වළඳා විනෝදයෙන් වාසය කරන්නේ කෙසේ ද?”

ඒ යුවරජු බුද්ධ ශාසනය කෙරෙහි පැහැදුනේ මෙකරුණ ඇසීමෙන්. පසු කලෙක ඔහු ගෞතම සම්බුදු සසුනේ උතුම් පැවිදි භූමියට පත් වුණා.

අප්‍රමාදයට මග තමයි ඒ. බහුල කොට මරණසතිය වැඩීම නිසැකව ම අපට පිහිට පිළිසරණ පිණිස………… පවතිනවා. සිහියෙන්, නුවණින් මේ මගේ ගමන් කළොත් මේ යුගයත් දියුණු යුගයක් බවට පත් වීම වළක්වන්නට කාටවත් බැහැ. ඒ වගකීම තියෙන්නේ වෙන කාටවත් නෙමෙයි, ඔබට… මට…!

සටහන – උදුලා පද්මාවතී.