ම්මා, බිරිය, දියණිය, නැත්නම් මිත්තනිය අද අප සමාජයේ ජීවන බරට පුරුෂයන් සේ එක ලෙස උරදෙමින් සිටින්නීය. ඇය විටෙක සියලු දුක්ඛ දෝමනස්සයන් උසුලන්නීය. තව විටෙක දරු සෙනෙහසින් තැවෙන්නීය. තව විටෙක බේබදු සැමියා ඉදිරියේ දුක් ගැහැට විඳින්නීය. ඒ අතර පවුලේ ආර්ථිකයට උර දෙන්නීය. එසේ සියලු දුක් දොම්නස් විඳිමින් ජීවත්වන ඇය අප්‍රමාදී ව ධර්මයේ නොහැසිරී, ‘අනේ මට පින් කරන්න සල්ලි නැහැනේ’ යැයි කියමින් මැසිවිලි නඟන්නීය. ඒ පිළිබඳ ව මහමෙව්නාව අනගාරිකා අසපුවේ පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ අපි මෙසේ සාකච්ඡා කළෙමු.

*********************************************

අද අප සමාජයේ බොහෝ දෙනා තරඟයකට දුවමින් සිටින්නේ. ඒ අනෙකා පරදා අනෙකා ඉදිරියට යාමයි. මෙහි දී මුදල අපගේ සියලු ගුණධර්ම පෙරලා දමා ඉදිරියට පැමිණ තිබෙනවා. නමුත් අපට මුදලට වඩා වැදගත් වන්නේ අප තුළ දියුණු වන ගුණය යි. මුදලින්, බලයෙන්, හැකියාවෙන් අපට මේ ලෝකයේ යම් යම් දේ හසුරුවාගන්න පුළුවන්කම තිබෙනවා. සල්ලි තිබෙනවා නම් ඕනෑම තැනක පිළිගැනීමක් ලැබෙනවා. ඕනෑම සභාවක ඉදිරියෙන් ඉන්නවා. නමුත් මුදල්, බලය, හැකියාව පෙන්වා යන්න බැරි ගමනක් තිබෙනවා. ඒ ස්වර්ගය සහ මෝක්ෂය යි. ස්වර්ගය සහ මෝක්ෂය යන දෙක ම සත්පුරුෂයන් පමණක් යන ස්ථානයි. එහෙනම් සත්පුරුෂ භූමියට මුදල් අදාළ නැහැ. සල්ලිවලට වටිනාකමක් දෙන්නේ අසත්පුරුෂ ලෝකයා යි. දහමේ හැසිරෙන කෙනෙක් මුදලට වටිනාකමක් දෙන්නේ නැහැ. හැබැයි, යම් කාන්තාවක් දිළිඳු ව දුක් කරදර විඳිමින්, දුකසේ ජීවත් වෙනවා නම් ඇය නිතරම දුකෙන් ඉන්නේ. ඇය ඒ දුක් කරදරවලට මුහුණ දෙන්නේ බොහෝ විට සංසාරයේ කළ අකුසලයක් නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේ ම තවත් කාන්තාවක් මුදල් තබාගෙනත් සතුටින්, සන්තෝෂයෙන් ජීවත් වෙන්නේ නැති නම් ඒකත් ඇයගේ සංසාරේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

අද සමාජයේ වන්දනාමාන කරන්න, දන්පැන් පූජා කරන්න, වෙහෙර විහාර ඉදි කරන්න, දහම් වැඩසටහන්වලට යන්න සල්ලි තිබෙන අයට එය පහසුවක් කියා අපට පේනවා. සමහර අම්මා කෙනෙකුට දහම් වැඩසටහනකට එන්න ඕනකම තිබෙනවා. නමුත් එන්න සල්ලි නැතිවෙන්න, පහසුකම් නැතිවෙන්න පුළුවන්. එක්කන් එන්න කෙනෙක් නැතිවෙන්නත් පුළුවන්. එහෙම අවස්ථාවක ඇයට සිතෙන්න පුළුවන් ‘අනේ සල්ලි තිබුණා නම් මටත් ඒ පින කරගන්න තිබුණානේ’ කියලා. ඒ වුණාට ඒ අම්මා තමන්ගේ චේතනාව හොඳින් හසුරුවා ගත්තොත් සල්ලිවලින් පින් කරන අයට වඩා මේ දහම් මාර්ගයේ ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙනවා. අපේ බුද්ධ ශාසනය කෙනෙකු ඉතා ම දිළිඳු වුවත්, අනුන්ට අත පා ජීවත් වුවත්, නුවණ මෙහෙයවුවොත් සුගතියට රැගෙන යන ශාසනයක්. අනුන්ට අතපා ජීවත්වෙලා මේ ධර්මය අසා ඒ කෙරෙහි චේතනා පහළ කර මරණින් මතු දෙව්ලොවට ගොස් තමන්ගේ සසර ගමන ආත්ම භාව හතකට සීමා කරගත් උත්තමාවියෝ අපට මේ ශාසනයේ මුණගැහෙනවා. ඒ වගේ ම තල වේළමින් සිටි අම්මලා, එක මලක් ශ්‍රද්ධාවෙන් පූජා කළ අම්මලා, එක කැඳක් පූජා කර ගත් අම්මලා සුගතියේ ඉපදුණා. සසරින් නිදහස් වුණා. ඒ සල්ලි තිබිලා නෙවේ. අනුන්ට දාසකම් කරමින් සිටියදීයි ඔවුන් මේ ධර්මය අවබෝධ කර ගත්තේ. ඒ නිසා බුද්ධ ශාසනයට ඕන කරන්නේ සල්ලි නෙවේ. ප්‍රඥාව යි.

ඛුද්දක නිකායේ දේශනාවක සඳහන් වෙනවා, “මහණෙනි, පින් කරන්න මුල්වන කරුණු තුනක් තිබෙනවා. ඒ දානය, සීලය, භාවනාව යි.” මෙයින් අමාරු ම නමුත් වැඩියෙන් පින් වැඩෙන දේ භාවනාව යි. කුසල් අරමුණක සිත පිහිටුවා ගැනීම යි. ඒකට සල්ලි ඕන වෙනවා ද? නමුත් ලෙහෙසි ම දේ දානය නිසා අද සමාජයේ බොහෝ කාන්තාවන්ට මෙතැන දී තමයි ප්‍රශ්නය මතු වන්නේ. ඇය සිතනවා ‘අනේ මට දන් දෙන්න සල්ලි නැහැනේ’ කියලා. ඔබ සිතන්න කෙනෙක් සියලු පිරිකර සහිතව දානයක් දෙනවා. නමුත් ඇයට ඒ අවස්ථාවේදී චිත්තප්‍රසාදය නැත්නම්, ඒ පින මහත්ඵල මහානිශංස වන්නේ නැහැ. තවත් තැනැත්තියක් මහත් වූ චිත්තප්‍රසාදයෙන් යුතුව අතීතයේ වැඩ සිටි, වර්තමානයේ වැඩ සිටින, අනාගතයේ පහළ වන්නා වූ මහා සංඝරත්නය අරමුණු කරගෙන එක ව්‍යංජනයක් හෝ පිළියල කරගෙන ‘මේ මාගේ දානය ආර්ය සංඝයාට පූජා වේවා!’ යැයි සිතමින් පූජා කරයි නම්, අර මහා දානයට වඩා එයින් පිනක් රැස් වෙනවා. එසේ වන්නේ ඒ චේතනාව ප්‍රබල නිසා. ඒ වගේ ම අපට කරන්න පුළුවන් තව ලස්සන පිනක් තිබෙනවා. යම් කාන්තාවක් තෙරුවන් සරණ යනවා. ඇය “බුද්ධං සරණං ගච්ඡාමි” කියා බුදුරජාණන් වහන්සේ සරණ ගියා ද “ධම්මං සරණං ගච්ඡාමි” කියා ධර්මය සරණ ගියා ද “සංඝං සරණං ගච්ඡාමි” කියා සංඝ රත්නය සරණ ගියා ද, කිසිම හේතුවක් මත තමන් සරණ ගිය තිසරණයට හානියක් කර ගන්නේ නැත්ද, ඇගේ ජීවිතයට ගඟක් ගලනවා වගේ පින් රැස් වෙනවා. ඒවාට අපට මුදල් වැය කරන්න ඕන නැහැ.

එසේ නම් උදේ පාන්දර නිවසේ අම්මා අවදිව පිරිසිදු වී නිවසේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහනක් දල්වා, පැන් භාජනයක් පූජා කර තෙරුවන් සරණ යනවා නම්, ඇයට උදේ පාන්දරින් ම පුණ්‍ය ගංගා තුනක් ජීවිතයට එකතු වෙනවා. ඒ දේ කරන්න බොහෝ අම්මලා කම්මැලියි. නමුත්, ‘අපට පින් කරන්න සල්ලි නැහැ’ කියමින් මැසිවිලි නගනවා. මහා පින්කම් ගැන හීන මවනවා. තුනුරුවන් සරණ යෑම ලොකු පිනක් කියා ඇය දන්නේ නැහැ. පින් ගඟක් ගලනවා කියා දන්නේ නැහැ. නමුත් ‘මම තෙරුවන් සරණ ගිය ශ්‍රාවිකාවක්’ කියා සිහිකරන්න පුළුවන් නම්, සැබෑ ලෙස ම එය සිහි කළ විට සතුටක් ඉපදෙනවා නම්, ඒ පින් ගඟ කවුරු නම් නවතාලන්න ද?

ඒ වගේම ඇය පුරුදු කරනවා මම දැන දැන සතෙකුගේ ජීවිතයක් තොර කරන්නේ නැහැ කියා. මේක ලෙහෙසි වැඩක් නෙවේ. ගෙවල්වලට කූඹියන්, මකුණන්, මදුරුවන් ආවොත් ඉක්මනට ම කරන්නේ බෙහෙතක් විදිනවා. වගාවට සතෙක් ආවත් බෙහෙත් විදිනවා. ‘ජීවිතය ගියත් සතෙක් මරන්නේ නැහැ’ කියා පොරොන්දු වෙන ඇය නිවසට මදුරුවෙක් ආ විට කලබල වෙනවා ද? අපි විදින එක බෙහෙතකින් කෝටි ගාණක් සතුන් මැරෙනවා. නමුත් තිසරණ සරණ ආරක්ෂා කරන ශ්‍රාවිකාවක් නම්, කිසිදු හේතුවක් නිසා එවැනි ක්‍රියාදාමයකට යොමු වන්නේ නැහැ. ඇයට ධර්මය ගැන තිබෙන්නේ කෙතරම් චිත්ත ප්‍රසාදයක් ද යත්, ඇය පිරිත් පොත් වහන්සේ අතට ගෙන පිරිසිදු ජල භාජනයක් පිළියෙල කරගෙන ඒ ජලය ඛන්ධ පිරිතෙන් බොහෝ වාරයක් පිරිත් කර ඒ පිරිත් පැන් එක විශ්වාසයෙන් ඉස ඒ සතුන් ඉවත් කර ගන්නවා. සමාදන් වූ සිල්පද කඩා ගන්නේ නැහැ. ඒ එකක් ගානේ පුණ්‍ය ගංගාවක්, කුසල ගංගාවක් ගලනවා.

ඇය අන්සතු දේ ගන්නේ නැද්ද, බොරු කියන්නේ නැද්ද, වැරදි කාම සේවනයේ යෙදෙන්නේ නැද්ද, මත්වන දේ පාවිච්චියෙන් වැළකෙනවා ද ඒ ජීවිතයට පුණ්‍ය ගංගාවන් එක දිගටම ගලනවා. අද බොහෝ කාන්තාවන් වැරදි කාම සේවනයෙන් වැළකෙමි කියන සිල් පදය කිසිදු තැකීමක් නැතිව කඩා දමනවා. තමන්ගේ ස්වාමියාගෙන් සතුටුව ඇයට ඉන්න පුළුවන් නම් ඇයගේ ජීවිතයට පින් ගඟක් ගලනවා. ඒ සඳහා මුදල් අවශ්‍ය වන්නේ නැහැ.

ඒ වගේ ම ඇය කිසිදු කරුණක් නිසා බොරුවක් කියන්නේ නැහැ. කෙනෙක් බොරුවක් නොකියා සිටිනවා නම්, එය උතුම් දෙයක්. අපේ බෝධිසත්වයන් වහන්සේ සංසාරයේ පෙරුම් පුරාගෙන ආ එක ම ආත්මයකවත් බොරුවක් නම් කියා නැහැ. බොරුවක් කියන්න පුළුවන් කාන්තාවට අනෙක් ඕනෑම දෙයක් කර ‘කළේ නැහැ’ කියා කියන්න පුළුවන්. එනිසා ‘මම නම් බොරු කියන්නේ නැහැ’ කියන සිල්පදය සමාදන් වෙලා රකිනවා නම්, පින් ගඟක් ජීවිතයට ගලනවා.

ඒ වගේ ම අන්සතු දේ ගන්නේ නැත්නම්, මත්පැන් පානයෙන් වැළකී සිටිනවා නම්, ඒ ප්‍රතිපත්තිය රකිනවා නම්, පින් ගඟක් ගලනවා. අඩු ගණනේ මාසයකට වතාවක් හෝ රහතන් වහන්සේ මුළු ජීවිත කාලය ම ගෙව් ආකාරයට උපෝසථය සමාදන් වෙලා දවස පුරා නුවණින් යුතුව රකින්න ඇයට පුළුවන්. ඇයට බොහෝ මුදල් නැතිවෙන්න පුළුවන්. දරුවන්ගේ කුස පුරවන්න අනන්ත අප්‍රමාණ ප්‍රශ්න තිබෙන්න පුළුවන්. නමුත් ආර්ය ශ්‍රාවිකාව සමාදන් වූ සිල්පද නම් කඩන්නේ නැහැ. දිවි හිමියෙන් සිල්පද රකිනවා. එවිට නිරන්තරයෙන් පුණ්‍ය ගංගාවල් ඇයගේ ජීවිතය හරහා ගලා බසිනවා.

අද අපේ සමහර අම්මලා කියනවා “උපෝසථ දවසට රෑට නොකා ඉන්නේ කොහොම ද? අපි බෙහෙත් බොනවා. එතකොට ඇඟ ගැහෙනවා. එළි වෙනකොට අපි මැරිලා තියෙයි.” කියලා. එක වේලක් නොකා සිටියාට මැරෙන්නේ නැහැ. එසේ මැරෙනවා නම් අපි පුංචි දෙයටත් තරහ වෙලා නොකා සිටි වාර කොතරම් ද? දුක හිතුණා ම, අසනීප වුණා ම නොකා සිටි වාර ගාණ සිහි කළොත්? එනිසා උතුම් සීලයක් වෙනුවෙන් තම දිවි පරදුවට තබා පසුදා උදෑසන වෙනතුරු දස කතාවෙන් යුක්ත ව, බඹසර පිරිසිදු ව, විකාර ද් නැරඹීමෙන් වැළකී උපෝසථය ආරක්ෂා කරගෙන සිටියොත් ඇයගේ ජීවිතයට පහුවෙනිදා උදේ වනවිට පින් ගඟක් ගලා බැස තිබෙනවා. සල්ලි නැතිව පින් කරන්න බැහැ කියා බොහෝ දෙනා සිතන්නේ දාන සිතිවිල්ල නිස යි. නමුත් ධර්මයට අනුකූලව සිතනවා නම්, දානය සම්බන්ධ ව එසේ විය යුතු නැහැ. ඇය ධාර්මික ව උපයන දේ කොටසක් අඛණ්ඩ ව පූජා කරන්න පුළුවන් නම් එය යි වටින්නේ.

විමානවත්ථුවෙහි සඳහන් වෙනවා “මම එක් ස්වාමීන් වහන්සේනමකට එක පලතුරු ගෙඩියක්, පැන් වීදුරුවක්, ඉදිකටුවක් පූජා කර ඒ පිනෙන් සුගතියේ ඉපදුණා” කියලා. එසේ නම් ඇය ලොකු දන් පූජා කරගෙන නෙවේ සුගතියේ ගියේ. ඇගේ චිත්තප්‍රසාදය බලවත් වූ නිසයි. එසේම ඒ දානය පිළිගත්තේ නිකෙලෙස් උත්තමයෙක් වූ නිසයි.

ඔබ දන්නවා දුටුගැමුණු රජතුමා ලංකාව එක්සේසත් කර රජ මාළිගයේ සිටියදී කරඬුවක තිබුණ රන් පතක් හමු වුණා. ඒ රන්පතේ ලියා තිබුණා නමින් දුටුගැමුණු කියන රජෙක් පහළව දිව්‍ය ස්වභාවයෙන් යුතු සුන්දර නවමහල් ප්‍රාසාදයක් කරවා සඟ සතු කර පූජා කරනවා කියා. රජුට එය දුටු විගස ප්‍රීතියෙන් පිනා ගොස් සතුටුව සංඝයා මුණගැසෙන්න ගියා. ගොස් වන්දනා කර කියනවා “මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලියවා තිබෙන රන් පතක් හමු වුණා. එහි සඳහන් වෙනවා මා විසින් ප්‍රාසාදයක් කරවා පූජා කරන බවට. ස්වාමීනි, මට මේ ප්‍රාසාදය ඉදිකරන තුරු ඉස්පාසුවක් නැහැ. එනිසා ඔබවහන්සේලා පුළුවන් නම් මට මේකට හොඳ සැලැස්මක් සාදා දෙන්න. හැබැයි මේ සැලැස්ම මිනිස් ලෝකයේ තිබෙන එකක් නො විය යුතුයි. ඔබවහන්සේලාට මහා ඍද්ධි තිබෙනවානේ. දෙව්ලොවට වැඩම කොට දෙව් විමානයක සැලැස්මක් මට ගෙනත් දෙන්න.” කියා ආරාධනා කළා. ඍද්ධිමත් රහතන් වහන්සේලා අටනමක් තව්තිසාවට වැඩියා. තව්තිසාවේ තිබෙන විමානෙන් විමානය බලමින් යන විට රන්, රිදී, මුතු, මැණික්වලින් බබළන සුන්දර ඉතාමත් ලස්සන විමානයක් දුටුවා.

රහතන් වහන්සේලා ඒ විමානය අසල නැවතුනා. උන්වහන්සේලා දුටුවා දහසක් දිව්‍ය අප්සරාවෝ ඒ විමාන ඇතුළේ නටනවා. ගයනවා. මේ විමානය කූටාගාර දහසකින් දිලිසෙනවා. ඉතින් රහතන් වහන්සේලා ‘මේ විමානය අපේ රජතුමාගේ ප්‍රාසාදයට හොඳයි’ කියා සිතා ඒ විමානයේ අයිතිකරු ගැන විපරම් කළා. සුන්දර දෙවඟනක් ඇවිත් රහතන් වහන්සේලාට වන්දනා කළා. “ස්වාමීනි, මම තමයි භරණී දෙව්දුව.” රහතන් වහන්සේ වදාළා, “දෙව්දුව, මේ විමානය සුන්දරයි. ඔබ මෙතරම් සැප විඳින්නේ මිනිස් ලොවදී ජීවිතය හසුරුවාගත් පිළිවෙළ කුමක් ද? ඔබ කුමන නම් පිනක් කර ගත් තැනැත්තියක් ද?” කියා.

භරණී දෙව්දුව කියනවා, “ස්වාමීනි, මම මේ දෙව්ලොවට ගෞතම බුද්ධ ශාසනයේදී පින් කර ආ තැනැත්තියක් නෙවේ. මීට බුද්ධාන්තර කල්පයකට කලින් මිනිසුන්ගේ ආයුෂ විසිදහසක් වූ කාලයේ කාශ්‍යප නමින් බුදුරජාණන් වහන්සේනමක් ලොව පහළ වුණා. මම ඒ කාලයේ මිනිස් ලෝකයේ ඉතා දුප්පත් දාසියක්. ඒ ජීවිතයේදීත් මගේ නම භරණී. මම වැඩ කළ නිවසේ ස්වාමියා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට මසකට දාන අටක් බාරගෙන තිබුණා. එනිසා ඒ නිවසට නිතර ම තථාගතයන් වහන්සේ වඩිනවා. සංඝරත්නය වඩිනවා. ඉතින් ස්වාමීනි, මම තමයි සියලු දාන සැකසුවේ” කියලා කිව්වා.

දැළි කුණු තැවරුන වස්ත්‍ර ඇඳගෙන, දැළි කුණු තැවරුණු මුළුතැන් ගෙයක ඉතා ම දුකසේ යි ඇය කටයුතු කළේ. ඇය ලක්ෂ ගණන් භික්ෂූන් වහන්සේලා උදෙසා දානය සැකසුවා. අනුන් යටතේ වුවත් ඇය මහත් වූ ශ්‍රද්ධාවෙන් දානය පූජා කළේ. ඇය නිතර ම සිහි කළා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට මම දානය පිළියෙල කරනවා කියා. බුදුගුණ සිතමින් සියලු වැඩ කළා. බුදුරජාණන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක, මහා ප්‍රඥා ඇති සේක ආදී ලෙස බුදු ගුණ සිත සිතා එළවළු කපනවා. බුදු ගුණ සිතමින් බත පිසිනවා. ඇය ඉතා ම සුන්දර ලෙස සිත සකසා ගත්තා. ඒ නිසා ම පිනත් සැකසී ආවා. ඇය පිසූ දානය අනෙක් අය පිළිගන්වන විට ඈ දුරට වෙලා ‘මගේ දෑතින් පිළියෙල කළ දානය බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝ රත්නයට පූජා වේවා!’ යැයි කියමින් එය අනුමෝදන් වුණා. පරලොවට ගෙනියන්න දෙයක් ඇය රැස්කර ගත්තා.

ඒ වගේ ම ඒ දෙව්දුව කියනවා, “ස්වාමීනී, මගේ ජීවිතයේදී මම සුදනන් ඇසුරු කළා. ඒ නිවසට බුදුරජාණන් වහන්සේ වැඩියා ම නිවසේ උදවිය උන්වහන්සේ සමීපයෙහි වාඩි වෙනවා. මම ඈතට වෙලා බුදුරජාණන් වහන්සේ වදාරණ දහම් පදය අසනවා. දරා ගන්නවා. දහම් පද වචනයෙන් පුරුදු කර ගන්නවා. මනසින් හොඳින් මෙනෙහි කරනවා. අවබෝධයෙන් ගළපා ගන්නවා. නැවත මුළුතැන්ගෙට ගොස් වැඩ කරනවා.”

ඒ දෙව්දුවගේ අදහස අද කාන්තාවන්ටත් වටිනවා. ඇය සිතනවා දරුවෝ පාසල් ගියාම, රැකියාවෙන් විශ්‍රාම ගත්තාම, නිදහසක් ලැබුණදාට මේ ධර්ම මාර්ගය පුරුදු කරනවා කියලා. නමුත් වෙලාවක් එනතුරු බලා නොසිට, තිබෙන තිබෙන වෙලාවට ඇසූ දහම් කරුණු මෙනෙහි කරනවා නම්, ඇයට කාලයේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. අතුපතු ගාද්දී ඇසූ ධර්මය මෙනෙහි කරනවා. නුවණින් විමසනවා. බුදු ගුණ, දම් ගුණ, සඟ ගුණ සිහි කරනවා. අනිත්‍ය, අසුභය සිහි කරනවා. ඒ දෙව්දුව රහතන් වහන්සේලාට පවසනවා, “ස්වාමීනි, මම හොඳට සුදනන් ඇසුරු කරලයි මෙහේ ආවේ” කියලා. එහෙම නම් ඇසුර කියන්නේ යම් පුද්ගලයෙක් ඇසුරු කර ඒ උතුමන්ගෙන් යමක් අරගෙන ඒක පුරුදු කරගන්නට තිබෙන හැකියාව යි. ඇය කියනවා, “ස්වාමීනි, මම සත්පුරුෂයන් ඇසුරු කළා පමණක් නො වේ, මම හොඳින් තෙරුවන් සරණ ගියා. තිසරණය කිලිටි කරගත්තේ නැහැ. ඒ වගේ ම ස්වාමීනි, මගේ හදවත වගේ පන්සිල් රැක්කා. සියලු දෙනා වගේ ම මමත් මරණයට පත් වුණා. ඒ ක්ෂණයෙන් මම ඉතා සුන්දර සැප ඇති මේ දිව්‍ය විමානයේ දහසක් අප්සරාවන්ට අධිපතිනිය වෙලා උපන්නා” කියා. ඒ දෙවඟන මනුස්ස ලෝකයේ ජීවිතය ගත කළ ආකාරය ඉතාමත් සුන්දරයි.

එහෙම නම් ඔබ සිතන්න මේ මිනිස් ආයුෂ එතරම් දීර්ඝ නැහැ. අපට පොඩි කාලය යි තිබෙන්නේ. ඒ ටික කාලයේ තිබෙන දුක් ඉවසමින් නිති පන්සිල් රකිනවා නම්, පුණ්‍ය ගංගා ගලනවා. ඒවාට මුදල් වැය වෙන්නේ නැහැ. ඒ වගේ ම අපි නිරන්තරයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා! කියා මෙත් සිත වැඩුවොත්, මෛත්‍රී සහගතව ජීවිතය ගත කළොත් ඒ සෑම මොහොතක ම පුණ්‍ය ගංගාවල් ගලනවා. සමහර පුද්ගලයන් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව සිහි කර කර කොතරම් කාලයක් ගෙවා දමනවා ද? එහෙම ලෝකයාට අපි මෙත්සිත වඩනවා නම්, අපට සැකසෙන චේතනාව සුන්දර එකක්. පින් ගඟක් ඒ ජීවිතයට ගලනවා. ඒ වගේ ම අසුරු සැණක් අපි අනිත්‍ය භාවනාව වැඩුවොත්, ඒ මොහොතේ අප්‍රමාණ පිනක් රැස් වෙනවා. හේතුඵල දහම අනුව අනිත්‍යතාවය බුද්ධ ශාසනයක පමණයි සිතන්න පුළුවන්. එනිසා මේ ලැබුණ වෙලාවේ ‘මට සල්ලි නැහැනේ’ කියමින් නොතැවී, අලසව ප්‍රමාදීව නොසිට නිරන්තරයෙන් ජීවිතයට පුණ්‍ය ගංගාවල් රැස්වන අයුරින් කටයුතු කරන ආකාරය බුද්ධ ශාසනයේ අපට කියා දී තිබෙනවා. සල්ලි සමඟ ගනුදෙනු කරන්නේ මේ මනුස්ස ලෝකයේ පමණයි. දිව්‍ය ලෝකයේ හෝ නිරයේ හෝ ප්‍රේත ලෝකයේ හෝ සල්ලි සමඟ ගනුදෙනුවක් නැහැ.

එනිසා මනුස්ස ලෝකයෙන් ඉහළ ලෝකයකට යන්න ගුණ සම්පත් දියුණු කර ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. භරණී ඉතා ම ඉවසීමෙන් නොගැටී සිටි ආකාරය ඉතා සුන්දරයි. එය දෙව්ලොව යාමට හොඳ සුදුසුකමක්. ඒ වගේම මෙත්සිත වැඩීම, ධර්මය ශ්‍රවණය කිරීම, තුනුරුවන කෙරෙහි පැහැදීම, සත්පුරුෂ ඇසුර, දෙව්ලොව ඉපදීමට හොඳ සුදුසුකම්. ඒ කිසි දෙයකට මුදල් යන්නේ නැහැ.

එනිසා පෙර ජීවිතවල දන් දීමේ අඩුවක් නිසා මේ ජීවිතයේ වස්තු සම්පත් නැතිවෙන්න පුළුවන්. නමුත් තම තමන්ට පුළු පුළුවන් ආකාරයට දෙයක් පූජා කරගන්න. ලැබෙන මුදලින් කොටසක් බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරගත්තොත් දානමය පිනයි රැස් වෙන්නේ. එනිසා ඔබ තිසරණ සරණ ගිය පින, සීලමය පින නිතර සිහි කරන්න. මෙත් සිතේ පින ඕනෑම අවස්ථාවක රැස් කරගන්න පුළුවන්. ‘මුදල් නැහැ’ කියා සිත වට්ටා ගන්නේ නැතිව අහිංසක ව තිසරණය සරණ ගොස් සිල්පද රැකගෙන සිටියොත් ඔබටත් සුගතියට යන්න පුළුවන්. එනිසා සල්ලි නොමැති වීම ධර්මයේ හැසිරෙන්න බාධාවක් නො වේ කියා ඔබ අවධාරණය කරගන්න ඕනෑ.

සාකච්ඡා කළේ – නයනා නිල්මිණි