ගෙවී ගිය දෙදහස් පන්සිය වසරක ලිඛිත ඉතිහාසය විමසා බැලීමේ දී ලොව මිනිස් වාසයන් පවත්නා දේශයන් අතුරෙන් අනභිබවනීය ඉතිහාසයකට උරුමකම් කිය හැකි ජාතිය පහළ වූයේ සිරිලක්දිව යයි එකහෙළා සනාථ කළ හැකි ය- ඊට අවශ්‍ය කරන භූගෝලීය මෙන් ම ඓතිහාසික සාධක ද එමට ය- ව්‍යවහාර වර්ෂ පූර්ව අවුරුදු දහසකට වැඩි කලක් මුළුල්ලේ සිංහල ද්වීපය හැම අතින් ම සිය කිතුගොස ලොව දසත විහිදුවා ආකර්ෂණීය දේශයක් ලෙස වැජඹිණ- ආර්ය ජනාවාස පිහිටුවා ගත් හය වැනි සියවසේ සිට ලොව විශිෂ්ටතම රාජ්‍යය ගොඩනංවා ගත් සිංහලයෝ ස්වකීය දෙරණ ලිය නිපැයූ ස්වාභාවික සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ලබාගෙන ලොව සෙසු රටවල ආකර්ෂණය දිනාගත්හ- සිංහල දේශයේ යශෝ කීර්තිය ලොව දස දෙස වඩාත් ම පැතිර ගියේ ව්‍යවහාර වර්ෂ පූර්ව දෙවැනි තෙවැනි ශතවර්ෂ පමණ කාලයේ දී යැයි නිගමනය කිරීමට පැහැදිලි සාක්ෂි පවතී- ඉන්දියානු සාගරය හරහා මුළු ලොව ම සම්බන්ධ කරන මුහුදු මාර්ග ජාලයේ කේන්ද්‍රස්ථානයක සිංහල දේශය පිහිටා තිබීම ඊට හේතු විය- නැව් ගමනාගමනය ආරම්භ වූ සමයේ සිට ම විවිධ රටවල ජනයා අප රටට පැමිණ ගියහ.

දිව්‍යාවදානයේ විස්තර කරන කතා වස්තුවලින් කියැවෙන්නේ ආදිකාලීන යුගයේ ඉන්දියාව හා සිංහල දේශය අතර පැවති නැව් ගමනාගමනය පිළිබඳ තොරතුරු ය- තලල යවල මුංල මෑල සහල්ල කොල්ලුල උළුහාල් මුතු මැණික් ආදී රුවන් වර්ග ලක්දිවින් රැගෙන ගිය බව දිව්‍යාවදාන කථාවල දැක්වෙයි- ලක්දිව පැවති ඉතා අනඟි රත් හඳුන් වගාව ගැන කියැවෙන විස්තරයන්හි බුදුරජාණන් වහන්සේට සුගන්ධ කුටියක් සෑදවීම සඳහා මෙහි සිට රත් හඳුන් දැව රැගෙන ගිය බව පූර්ණ අවදාන ග්‍රන්ථයේ කියැවෙයි- එහි කතා නායකයා වූ පූර්ණ එකල දේශාන්තර වෙළඳාමේ නියැළුණ අයෙකි- ඔහු අනේපිඬු සිටුතුමන් ඇසුරු කළ බව ද පසු කලෙක බුදුරජාණන් වහන්සේ වෙතින් පැවිද්ද ලැබූවකු බව ද එහි සඳහන් ය- තවදුරටත් මේ පිළිබඳ ව කරුණු දක්වන දිව්‍යාවදානය සිංහල දේශයේ මුහුදුබඩ වෙරළේ නැව් තොටු රැසක් තිබුණ බවත්, බුද්ධකාලීන යුගයේ රුහුණේ සඳුන් වනයකින් සඳුන් දැව විදේශ රටවලට අපනයනය කළ බවත් කියයි- ශ්‍රී මහා බෝධි රෝපණ උළෙලට සහභාගි වන ලෙස රුහුණේ චන්දනගාමයේ විසූ ක්ෂත්‍රියයන්ට දේවානම්පියතිස්ස රජතුමා ඇරයුම් කිරීමේ පුවත ද මෙහි ලා සඳහන් කිරීම වටනේ ය- ආදී සිංහල දේශය හා එහි ජගත් කිතුගොස පැතිර පැවතීම පිළිබඳ පූර්වෝක්ත පූර්විකාව ඉදිරිපත් කරන ලද්දේ මීට දශක හතකට අටකට පමණ පෙර මෙරට අතිශයින් ජනප්‍රියව පැවති දේශාභිමානත්වය කුළු ගන්වන, අද යුගයේ පවා අප සිත් පොබයන ගීතයක රස භාව ගෙනහැර දක්වනු සඳහා ය- ‘ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා’ යනුවෙන් ඇරඹෙන එම ගීතය එච්- ඇම්- වී- තැටියකට ගායනා කරන ලද්දේ එවක ගීත කෝකිලාවකව සිටි ලක්ෂ්මී බායි නම් වූ ගායන ශිල්පිනිය විසිනි- සංගීතය සැපයූවේ විශාරද වින්සන්ට් සෝමපාල මහතා ය- ගීතයේ පද රචනය මෙසේ ය:

“ආදී සිංහලුන් පිට දීප දේස ජය ගත්තා

තමරට දේවල් පිටරට පටවා පිටකාසිය මෙහි ඇද්දා
පිට දීප දේස ජය ගත්තා
පිටරට සිරිතට දිව දික්කරනා අද සිංහල කළු සුද්දා කන්ට අඳින්ටා පිට රටින් එන තුරු
මූදට දත නියවන්නා
ආදී සිංහලුන් – පිට දීප දේස ජයගත්තා

හෙරලි බතල ටික නුපුරුදු අම්මා
රට හාලේ බත කාලා
කිරි නැති හින්දා රටකිරි දීලා සිංහල දරුවො මරන්නා
පිට දීප දේස ජයගත්තා – ආදී සිංහලුන්”

අපරදිග ජාතීන් පැමිණ අපගේ නිදහස් සසුන්පත හා ජන සම්මතවාදී රාජ්‍ය පාලන ක්‍රමය බිඳ දමන තුරු සිංහල දේශවාසීහු අභිමානවත් ජාතියක් වශයෙන් අන් කිසිදු රටකට අත නොපා ජීවත් වූහ- පරගැති භාවය පිළිබඳ අංශුමාත්‍ර හැඟීමක්වත් ඔවුන් තුළ තිබුණේ නැත- එසේ දෙදහස් වසරක් ස්වයංපෝෂිත ජනකායක් වශයෙන් ජීවත් වූ ඔවුන්ගේ පිට දීප දේශ ජය ගැනීම පිළිබඳ වෘත්තාන්තය ලියා නිම කළ හැක්කේ පිටු සිය ගණනක පොතකිනි- දේශපාලනික ආර්ථික සාමාජික සාහිත්‍ය කලා ආදී සෑම අංශයකින් ම ආදි සිංහල ජනතාව ලබා ගත් ජයග්‍රහණ වංශ කතා පොත්වල හා වෙනත් දේශීය හා විදේශීය මූලාශ්‍රයන්හි ලියැවී තිබේ- සිය දේශය කොල්ල කෑ සොලී හමුදා ලුහුබැඳි ගජබාහු රජතුමා සොලී රටට ගොස් දොළොස් දහසක් විදේශ සේනා ලක්දිවට රැගෙනවිත් ඔවුන්ගෙන් වැඩ ගත් ආකාරයත්, ඉන් දශක දහයකට පසු මහා පරාක්‍රමබාහු රජතුමා රාමඤ්ඤ දේශය ආක්‍රමණය කොට එරට සමෙහි පිහිටුවා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තහවුරු කොටගත් ආකාරයත් වංශකතාවල විස්තර කොට ඇත- අතීත යුගයේ විසූ සිංහල ජනකාය සිය රටේ ස්වාභාවික වස්තු සම්පත්වලින් ප්‍රයෝජන ලබාගෙන පිට දීප දේශ ජයගත්තේ කෙසේ ද? ගීතයේ ම පැහැදිලිව කියැවෙන පරිදි ස්වකීය දේශයේ නිෂ්පාදනයන් පිට රටවලට අපනයනය කොට විදේශ මුදල් හෙවත් විදේශ විනිමය තම රටට ගෙන්වා ගත්හ-
‘තම රට දේවල් පිටරට පටවා පිට කාසිය මෙහි ඇද්දා’

බුදුරජාණන් වහන්සේගේ ආශීර්වාදය ලද දේශයේ පහළ වූ මුතු මැණික් ආදී මහාර්ඝ සම්පත් මෙන් ම ඉස්තරම් අවි ආවුද මෙවලම් පිට රටවලට යවා අර්ථ සම්පත සරුකර ගැනීමට එදවස සිංහලයා සමත් විය- සිංහල දේශයේ සිට යැවූ ඩැමස්කස් කඩු මිසරයල ඊජිප්තුව ආදී මැද පෙරදිග රටවල බෙහෙවින් ජනප්‍රිය වී තිබුණ බව දේශ සංචාරක වාර්තාවල දැක්වේ- සහලින් ස්වයංපෝෂිත වූ පැරණි ලක්වැසියන් චීනය, ජපානය ආදී රටවලට සහල් අපනයනය කර ඇත- එදවස සිරිලක් දේශය පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් කීර්ති නාමයක් අත්පත් කොට ගෙන තිබුණි-

ගත වූ සියවසක කාල පරිච්ඡේදයක් ඇවෑමෙන් අප රටට සිදු වී ඇති නැස්පැත්තිය ලක්ෂ්මි බායිගේ ගීතයේ සෙසු අන්තරා ඛණ්ඩ තුනෙන් නිර්දය ලෙස මතු කෙරෙයි- අතීතයේ ලෝක පූජිත වූ දේශයකට වර්තමානය වන විට අත් වී ඇති ඛේදනීය ඉරණමට වගකිව යුත්තේ කවරහු ද? නිවට නියාලු බවට පත් වීම, මන්ද පෝෂණය, ජීවනය උදෙසා පිටරැටියනට අතපෑම දවසින් දවස උග්‍ර වෙමින් පවත්නා නමුදු ඒ ගැන කතා කරන්නකු, සොයා බලන්නකු නැත- ලක්ෂ්මි බායිගේ මේ ගීතය සියවසකට අධික කාලයක් මුළුල්ලේ අප පත් වී ඇති විපත හඬ ගා කියන්නකි; එහෙත් එය බීරි අලින්ට කරන ගී ගැයුමක් ද වෙයි-

‘පිට රට සිරිතට දිව දික් කරනා අද සිංහල කළු සුද්දා’

ගීතයේ දෙවැනි අන්තර් ඛණ්ඩයෙන් මතුවන මේ නිර්දය ඇමතුම එදාට මෙන් අදට ද එක සේ වලංගු වෙයි- පිරිහෙන දැයක අනාගත ස්වරූපය දැකීමට තරම් ගීතයේ රචකයා හා ගායිකාව සමත් වී ඇති අයුරු ඉන් විශද වෙයි- ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා හා මෑත යුගයේ බිහිව අකාලයේ නිහඬ කරවූ ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ ද නිර්දය ලෙස හෙළා දුටුවේ අනුකාරක සිංහලයන්ගේ – කළු සුද්දන්ගේ මේ හීන දීන ගතිය යි- ගීතයෙන් ප්‍රබලව මතු කෙරෙන එක් විශිෂ්ට ලක්ෂණයක් නම් පරගැති සිරිත් විරිත් කරපින්නා ගත්තවුන්ගේ හීන දීන ගති ලක්ෂණ හෙළා දකිමින් ආදි සිංහලයන්ගේ අදීන බව ඉස්මතු කොට දැක්වීම යි- ‘ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා’ යන යෙදුම සැම ගීත ඛණ්ඩයක් අවසානයේ ම යොදා තිබීම මේ ගීතයේ විශිෂ්ට ලක්ෂණයකි-

‘හෙරලි බතල ටික නුපුරුදු අම්මා
රට හාලේ බත කාලා – කිරි නැති හන්දා රට කිරි දීලා
සිංහල දරුවො මරන්නා’

සිංහල ජනතාව ආදි කාලයේ සිට ම බත් නැති නම් ඒ වෙනුවට හෙරලි බතල තම්බා ආහාරයට ගැනීමට පුරුදු වී සිටියහ- ඔවුන් කොස් ගස හැඳින්වූයේ බත් ගස වශයෙනි- කොස් වාරයට ගමේ දැරියන් පුෂ්ටිමත්ව වැඩෙන බව ගැමියන්ගේ මතයකි- ලෝක යුද්ධ නිසා ආහාර හිඟ වූ කාලයේ ලක්දිව පුරා කොස් ගස් වැවීමේ වගා ව්‍යාපාරයක් ආරම්භ කළේ පානදුරේ ආතර් වී දියෙස් මහතා ය- ඒ නිසා ම එතුමා ‘කොස් මාමා’ වශයෙන් ප්‍රචලිත වී ය- මෑතක් වන තුරු ම ගම්බද ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධාන ආහාරයක් වූ හෙරලි බතල ආදිය 17 වැනි සියවස යුගයේ දී බොහෝ දෙනා ආහාරයට ගත් අයුරු රොබට් නොක්ස් සිය ග්‍රන්ථයෙන් පැහැදිලි කරයි- ලංකාවාසීන්ගේ ආහාරයෙන් සැලකිය යුතු කොටසක් කොස්වලින් පිරිමසාගත් බව ඔහු පවසයි- ඔහුගේ කියුමක් මෙසේ ය: “කොස් ගෙඩි පලු කොට කපා මදුලු වෙන් කොට ගෙන තම්බා බත් වෙනුවට කුස පුරා අනුභව කරති- ඔවුන් කොස් කන්නේ අප රට වාසීන් ‘ටර්නිෆ්’ හෝ ගෝවා කන්නාක් මෙනි- විශාල ලෙස හටගත් කොස් ගෙඩියක් හත් අට දෙනෙකුට සෑහෙයි- පැසී ඉදුණු කල; වැල හෝ වරකා වූ කල සුමධුර රසයෙන් යුක්ත වූ මෙය සමහරුන් නොපිස ම කනු ලැබේ- පැසුණු කොස් ඇට පාටින් හා සුවඳින් පමණක් නොව රසයෙන් ද අපේ රටේ ‘චෙස්නට්’ ගෙඩිවලට සමාන ය” (එදා හෙළදිව – රොබට් නොක්ස් 8 පරිච්ඡේදය පි- 78)

හෙරලි – බතලවල ගුණය නොදන්නා අද යුගයේ අම්මලාටත් රොබට් නොක්ස්ගේ මේ කියුම තම හිත්හි දරා ගැනීම වටනේ ය – සිංහල දරුවන්ගේ වර්ධනය එදා ඇති වූයේ දේශීය පෝෂ්‍යදායි ආහාර ගැනීම නිසා ය- ‘රට’ හැම දේ උසස් කොට සැලකීම නිසා අද බොහෝ දරුවෝ මන්ද පෝෂණයෙන්, බුද්ධි හීනත්වයෙන් පෙළෙන බෙලහීනයෝ වෙති- සමහරු බ්‍රොයිලර් කුකුළන් මෙන් වැඩී අකාලයේ මිය යති-

ගීතය අවසන් වන්නේ වර්තමානයේ සිංහල ජාතිය පත්ව ඇති පරාදීනත්වයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමිනි-
‘පිටරට හාලේ බත් ටික නැත්නම් බඩගින්නේ සිංහලයා – අන්තිමේ දී බුදියන පැදුරත් දැන් දැන් පිටරටින් එන්නා’

මීට අවුරුදු හැට හැත්තෑවකට පෙර පැවති මේ පසුබිම අලලා නිර්මාණය වුණ මේ ගීතයේ පරම නිෂ්ටාව අත් විඳිය හැක්කේ වර්තමාන ආර්ථික සාමාජික පරිසරය තුළ ය-
ගව පොහොර, කොම්පෝස්ට් පොහොර යොදා කුඹුරු වපුරා ‘රුක්මල් පිපුණු’ සරු අස්වැන්නක් ගොවිතැනින් ලද රන්වන් බැත අපට අහිමිව ගියේ උදලු – නඟුල් භාවිතය බැහැර කිරීමත්, කම්මැලිකමත්, වස විස යෙදූ බීජ හා පොහොර භාවිතයට පුරුදු වීමත් නිසා ය- අද කුඹුරේ සියලු මෙහෙවර ඇති රෝදවලට – ‘භූතයන්ට’ භාර දී ඇත- සම්ප්‍රදායික ‘අත්තම – කයිය’ ශ්‍රම හුවමාරුව බැහැර කිරීම හේතුවෙන් එකිනෙකා කා කොට ගන්නා තැනට වැටී ඇත- උදපදව්වට අසල්වාසීන් නොමැති නිසාත්, අලසකම නිසාත් කුඹුරු වැඩ අත්හැර දැමූ ගොවියෝ ‘සුපර් මාර්කට්’ කරා ගොස් පිටරට හාල් කිලෝවක් දෙකක් ගෙනැවිත් එදා වේල පිරිමසා ගනිති- එසේ නැති නම් කඩෙන් ‘කොත්තුවක්’ ගෙනැවිත් බෙදාහදාගෙන කති- ලක්ෂ්මි ගායිකාවගේ යුගයේ කොත්තු කන තත්ත්වයට රට පිරිහී තිබුණේ නැත- රට පත්ව ඇති දීන භාවය කොතෙක් ද යත් අන්තිමේ දී බුදියන පැදුරු ද ගෙන්වන්නේ පිටරටවලිනි- පැදුර වූ කලී නිවසක තිබෙන ඉතා සරල භාණ්ඩයක වුව ද ගැමි ගෙදර පැවති සෞන්දර්ය වස්තුවකි- ‘පන්නන් කරන අඟනෝ කාටත් පිරියා’ යනුවෙන් එදවස ජන කවියෝ පන් කපන කතුන් හැඳින්වූහ- ‘පන්නන් කතුරල පැදුරු මාලය’ පැදුරු විවීම අරභයා අතීතයේ මෙරට නිර්මාණය වූ විශිෂ්ට ගණයේ ජනකවි පොත් ය- පිලේ – පැලේ පැදුර වූ කලී අප රට ගැමි ගෙදර පැවති ඉතා සරල භාණ්ඩයකි- පන් – ගල්ඇහැ- තුන්හිරියා වැටකේ ඉඳිකොළ යන පන් වර්ගවලින් වියූ රටා මලු පැදුරු ආදිය එදවස හැම ගෙදරක ම දක්නට තිබුණි- අපගේ ජන කවිවල නිතර සඳහන් වුණ පැලේ පැදුර ගැන මහගම සේකර කවියා ලියූ නිර්මාණයකින් උදුරා ගත්තකි පහත දැක්වෙන්නේ :

“ඇවිද ලඳු දෙනි කැලෑ බිම්වල ඇහිඳ විත් තුන්හිරිය පන්කොළ යොදා කුකුළු සායම් කොළ හා රතු
වියා නෙක් විසිතුරු රටා පැදුරු රටාවක් බව මේ මහා විශ්වය කුඩා කල සිට ම මට කියා දුන් අම්මා ඔබ ය”

රටා පැදුරු වියා විශ්වයේ රටා මැවූ අම්මලා අද බුදියන්නේ සින්තටික් පැදුරු මත ය- පන් පැදුරක් ඇති ගෙයක් අද කලාතුරකින්වත් දක්නට නොලැබීම සිංහල දේශයට අද අත් වී ඇති විපත කියා පාන්නකි- හැම අංශයකින් ම පිට දීප දේශ දිනා ජය කෙහෙළි නැංවූ ජාතියක් අනුකාරක කෑදර මජර පාලන තන්ත්‍රයක් විසින් විනාශ කර දැමූ අයුරු කියා පෑමට ලක්ෂ්මී බායිගේ මේ ගීතය මහරු නිදසුනක් වන්නේ ය-

– දයාපාල ජයනෙත්ති