ලාංකේය ජීවන සම්ප්‍රදාය තුළ ‘පවුල’ යනු සුවිශේෂී ඒකකයකි. සම්බුදු දහමින් ද පෙරදිග චින්තනයෙන් ද ලද ආභාෂය තුළ පවුල යනු ආදරය දයාව කැටි වුණු, ගෞරවයෙන් රැක බලා ගත යුතු සජීව වස්තුවක් ලෙස අප සමාජයේ මුල් බැසගෙන තිබේ. මාපිය දූදරු සබඳතා මුල් කොට ගත් මේ සජීව කුටුම්බය හුදෙක් එහි පමණක් නොව සමස්ත සමාජයේ ද ඉදිරි ක්‍රියාකාරීත්වය පිණිස නිසැක හේතුවක් ද වේ.

නමුත්, අද සමාජය සිසාරා වේගයෙන් පැතිර යන පිළිලයක අක්මුල් පවුල් ඒකකය වසා ඔඩු දුවන අයුරක් පෙනී යයි. මේ පිළිලය නම් මත්ද්‍රව්‍ය උවදුර යි. 2022 වර්ෂාවසානය වන විට පාසල් දූ දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ අගයක පවත්නා බව පෙනී යන සිදුවීම්
ගණනාවක් ම වාර්තා කෙරිණි. පවුලේ ද රටේ ද අනාගතය බාර ගත යුතු ව සිටින දරුවන් මත් රකුසාගේ ග්‍රහණයට නතුව විනාශමුඛයට පැමිණෙන්නේ නම් මානව වර්ගයාගේ යහපත, හිතසුව කැමැති කිසිවෙකුට ඇස් කන් පියා සිටින්නට නොහැකි ය. මෙය කිසිසේත් ම නිහඬ ව බලා සිටිය යුතු කාලයක් නොවේ.

පාසලේ පන්තියක උගන්නා දූ දරුවන් කාගෙන් විමසුව ද ඔවුන් අනාගතයේ සමාජය පිළිගත් උසස් වෘත්තියක නියැළෙන උගත් පිරිසක් වන්නට කැමැත්තෙන් සිටින බව අසන්නට ලැබෙනු නිසැක ය. ගුරුවරුන් ද දෙමාපියන් ද දරුවන්ගෙන් අපේක්ෂා කරන්නේ ද එය ම වන අතර එකී අරමුණ මුදුන් පමුණුවා ගන්නට ඔවුහු දරුවනට නිරන්තරයෙන් අවවාද අනුශාසනා ද කරන්නෝ ය. එසේ වීත්, දරුවන් ඉතා වේගයෙන් මත් උවදුරෙහි ගොදුරු බවට පත් වන්නේ ඇයි? මෙය පොදුවේ අප සියලු දෙනා විචක්ෂණශීලී ව විමසා බැලිය යුතු කරුණකි.

මෙහිලා ප්‍රකට ව පෙනෙන කාරණයක් වන්නේ නූතන තාක්ෂණික මෙවලම් සමඟ අති සමීප ඇසුරක් පවත්නා දරු පරපුර එහිලා එතරම් හුරුපුරුදුකම් නැති දෙමාපියන්ගේ අදහස්වලට හිස නමන්නට දැඩි ප්‍රතිරෝධයක් දක්වන බව යි. දරුවනට අනුව දෙමාපියන් යනු යල් පැන ගිය අදහස් ඇති, යාවත්කාලීන වූ හැකියාවන් නැති පිරිසකි. එනිසා, ඔවුන්ගේ අදහස්වලට නම්‍යශීලී වීමේ අර්ථයක් නැතැයි සිතා තම සිතැඟි අනුව පවතින්නට දරුවෝ උත්සුක වෙති. තාක්ෂණික භාවිතයෙහිලා දරුවන් ඉදිරියෙන් සිටිනා බව සත්‍යයක් වූව ද ජීවිත සාර්ථකත්වය උදා කර ගැනීමෙහිලා තාක්ෂණය බලවත් ම හේතුසාධකය නොවන බව තේරුම් ගන්නට තරම් ඔවුන් බුද්ධියෙන් මුහුකුරා ගොස් නැත. මාපිය – දූදරුවන් අතරට එළඹ සිටින මේ දුරස් භාවය මත් උවදුර වැනි සමාජ ව්‍යසනයන්ගේ පහසු ගොදුරක් බවට දරුවන් පත් කර ගනිමින් සිටිනා බව අප තේරුම් කර ගත යුතු ය.

මේ ව්‍යසනයන්ගෙන් දරුවන් මුදවා ගන්නට අප කළ යුත්තේ කුමක් ද? දෙමාපිය ගුරුවර වැඩිහිටියන් ද සත්පුරුෂ උතුමන් ද දෙවිවරුන් ද හදවතින් ම ආශීර්වාද කරනු ලබන ජීවිත ඇත්තවුන් බවට දරුවන් පත් කරලීම යි. ඔවුනගේ ජීවිත යහපත් ගුණධර්මයන්ගෙන් ඔප් නැංවෙන අයුරින් ආදර්ශයෙන් ද අවවාදයෙන් ද මඟ කිව යුත්තෝ අප ය. කුඩා දරුවා තුළින් මහා සමාජ ප්‍රතිරූප දැකීම දෙවැනි තැනට ගෙන, ඔවුන් තුළින් ගුණගරුක – සිල්වත් පරපුරක් බිහි කරලීම සමස්ත වැඩිහිටි සමාජයේ මුඛ්‍ය අරමුණ විය යුතු ම ය. ප්‍රකෝටිපතියන්, සමාජ ගමන තීරණය කරනා බලවතුන් ලෝකයේ බිහි වීම යම් තරමකින් දුර්ලභ වන්නේ ද කල්‍යාණ ගුණ ඇති යහපත් මිනිසෙකුගේ බිහි වීම එයට කිසි ලෙසකින්වත් සමපාත කළ නොහැකි තරමින් අතිශයින් සුදුර්ලභ ය. මන්ද, ගුණධර්මයන්ගේ විපුල භාවයට පත් වීමට පරිපූර්ණ මඟ පෙන්වන සම්මා සම්බුද්ධ ශාසනයන් ලෝකයේ පහළ වන්නේ අතිශය කලාතුරකින් වන නිසා ය. අප දරුවනට දායාද කළ යුත්තේ ඒ සුදුර්ලභ භාවය යි.

නුවණැති, සත්පුරුෂ ගුණ ඇති ගුරුවර දෙමාපිය වැඩිහිටියන්ගේ අවවාදයෙහි හික්මීම තමාට යහපත පිණිස ම හේතු වන බව දරුවන් ද නිති සිහි කළ යුතු ය. මදයට, ප්‍රමාදයට හේතුවන අසත්පුරුෂ සේවනයෙන් බැහැර වී පිරිසිදු ජීවිත උපදවා ගන්නට ඔවුනගේ ආශීර්වාදය ඔබට ඒකාන්තයෙන් ම උපකාරක ය.