වසන්තය උදා වී තිබේ. තුරුලතාදිය පවා පැරණි පත් බිම හෙළා දමා ළා පත්වලින් සැරසෙමින් සිටී. තුරු හිස් මල් ඵලවලින් බර වන මේ කාලය නවමු, අපූර්ව පාරිසරික සෞන්දර්යයක් චිත්‍රණය කරන්නා වූ කාලයකි. අලුත් වීම ගැන ගහට වැලට, සතා සීපාවුන්ට නොදෙවෙනි උනන්දුවකින් අප සමාජය ද උත්සුක වන කාලසීමාවක් ලෙස ද මෙය හඳුන්වා දීමේ වරදක් නැත.

අලුත් ඇඳුම් පැලඳුම් සමඟ අලුත් යැයි සලකනා අවුරුද්දකට ලාංකේය ජන සමාජය සූදානම් වීමේ මෙකී සම්ප්‍රදායේ ආරම්භය මතභේදාත්මක වුව ද නූතනයේ එය බොහෝ ජනයා විසින් අනුගමනය කරනු ලබන්නක් වන නිසා, එයට අරුත් පිරිපුන් බවක් සලසාලීම වඩාත් සුදුසු වනු ඇති බව අපගේ අදහසයි. එහෙත්, බෞද්ධයන්ගේ සැබෑ නව වසර යනු බුද්ධ වර්ෂයක ආරම්භය බව අප මැනැවින් සිහි තබා ගත යුතු ය. නව බුද්ධ වර්ෂයේ ආරම්භයට තදාසන්නව ම පවත්නා මේ වසන්ත කාලයේ දී ජීවිතය අරුත්බර ව අලුත් කර ගන්නා පිළිවෙතින් යුතු වීම අපට නිසැකව ම යහපත පිණිස පවතී.

ගෙවල් දොරවල් ආදිය පවා විශේෂයෙන් විමසා බලා පිළිසකර කරවා, අලුත්වැඩියාවන් සිදු කොට අලුත් බව ඔප් නැංවෙන ආකාරයෙන් කටයුතු කරන්නා සේ ම අපගේ ජීවිත ද මැනැවින් විමසා බලා, පිළියම් යෙදිය යුතු තැන් හඳුනාගෙන පිළියම් යොදා අලුත් කර ගන්නට මෙය සුදුසු කාලයක් ම වේ. මන්ද මේ කාලය පුරා ද බෞද්ධ ජන සමාජයක දක්නට ලැබෙනා මානව හිතවාදී හැසිරීම් රටාවනට ඉඩ හිමි වන බැවිනි.

කාලයක් පුරා සිත්හි පවත්නා නොහොඳ නෝක්කාඩු බැහැර කොට හිතමිතුරු ව ඒකරාශී වීමටත්, ප්‍රණීත භෝජනයන්ගෙන් ආගන්තුක සංග්‍රහයන් සිදු කරලීමටත්, පවුලේ සියලු දෙනා එකට එක්ව සෙනෙහස බෙදා හදා ගැනීමටත්, මාපිය – වැඩිහිටි උපස්ථානය තුළින් නොමඳ ව පින් රැස් කර ගැනීමටත් ඉඩ ලැබෙනා කාලයක් ලෙස මෙය දකිමින් නුවණ මෙහෙයවා පිනෙන් පිරී යන්නට අප උත්සුක වීම වැදගත් ය.

සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය වනාහී තමා තුළට ගළපාගෙන දැකිය යුත්තකි. තමා තුළ පවත්නා වහ වහා අකුසලයට වැටෙන ස්වභාවයන්හි අඩු වැඩි බව කාටවත් වඩා හොඳින් දැන ගත හැක්කේ ද දැක ගත හැක්කේ ද තමන්ට ය. දහම් කැඩපත තුළින් දකිමින් අප අප ව හඳුනාගත යුතු වේ. තමා තුළ පවත්නේ රාග බහුල බවක් ද ද්වේෂ බහුල බවක් ද මෝහ බහුල බවක් ද නොඑසේ නම් වරින්වර මේ සියලු අකුසල මූලයන් තමා තුළ බලවත් වනවා ද යන්න පිරික්සා බලන්නට එයින් අවස්ථාව සැලසේ. ඒ අකුසල මූලයන්හි පිහිටා යම්තාක් සිතින් කයින් වචනයෙන් වැරදි සිදු කරන ලද්දේ ද ඒ සියල්ල දුක් විපාක උපදවන බවත්, අයහපත පිණිස පවතින බවත් නුවණින් දකින්නට හැකි තරමට දහම් දැනුම පිරිපුන් නම් තමාගේ යහපත කැමැත්තෙන් අප කළ යුත්තේ ඒ වැරදි සිදු වන ස්වභාවයනට වැට බඳිමින්, පිළියම් යොදමින්, පිළිසකර කිරීම් සිදු කරමින් අලුත් වීම යි…!

සම්බුද්ධ ශාසනය තරම් ජීවිත අලුත් කර ගන්නට අත්‍යන්තයෙන් ම ගෝචර වූ ක්ෂේමභූමියක් ලොව නැත. දහස් ගණනින් මිනිසුන් මරා දැමූවන්, කම් සැපයෙන් මුසපත් වී බහුල කොට අනාචාරයේ හැසිරුණවුන්, සොරකමට දඬුවම් ලබා උල හිඳුවා සිටියවුන්, නීච සැඩොල් කුලයේ ඉපිද අසූචි කත් අදිමින් සිටියවුන්, සිහි විකල් වන තරමේ අපමණ දුක් පීඩා විඳින්නට සිදු වී ඇඟේ වස්ත්‍ර ගිලිහී ඇති බවක් පවා නොදැන නිරුවතින් දුවගෙන පැමිණියවුන්, කටුක දුක් පීඩා උහුලනු බැරිව දිවි නසා ගන්නට සිතා ගෙල වැලලා ගන්නට ගියවුන්, එමතුදු නොව රාජ රාජ මහේශාක්‍ය සැප සම්පතින් ආඪ්‍ය ව කාමභෝගී සැපතින් පිරී ඉතිරී ගිය ජීවිත ගත කළවුන් පවා අකුසල් මුල් නසන, කුසල් දහම්හි පරතෙරට පත් වන, දෙවි බඹුනගේ පවා වන්දනාමානයට යෝග්‍ය වන ශ්‍රේෂ්ඨ ජීවිත උපදවා ගත්තේ මේ දහම් මග ප්‍රගුණ කිරීමෙනි. මේ සා ජීවිත විපර්යාසයන් ඉපිදවූ අන් දහමක් ලෝකයේ නැත.

අප අලුත් වන්නට ඉටා ගත යුත්තේ මේ දහම තුළ ගුණධර්මයන්ගෙන් වැඩී යමිනි. පුරපස සඳක් සේ දිනෙන් දින ගුණ ශෝභාවන්ගෙන් පිරී යන්නට හැකි පරිදි දහම අප තුළට පමුණුවා ගන්නේ නම් සෑම දවසක් ම සෑම මොහොතක් ම අප සසර පුරා පොදි බැඳගෙන පැමිණි ක්ලේශ මූලයන් නසාලන්නට මග කියන සුබ නැකැතක්, සුබ මුහුර්තියක් බවට ම පත් වනවා නොවේ ද…!