මේ උදාවන්නේ බක් මාසය යි. සැණකෙළි කාලය යි. අලුත් අවුරුද්දක් ලබනවා කියන්නේ පරණ අවුරුද්ද අවසන් වීමයි. ඉතාම දුර්ලභව ලැබුණ මිනිස් ජීවිතය ක්‍රමයෙන් මරණය කරා ළඟා වීමයි. ‘උදාවන සැණකෙළි කාලයේ දී ආර්ය ශ්‍රාවක අප කටයුතු කළයුත්තේ කෙසේද?’ යන්න මහමෙව්නාව අනගාරිකා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ මෙසේ සාකච්ඡා කළා.

“පින්වත් මෑණියන් වහන්ස, සාමාන්‍ය ලෝකයේ දී සුබ අසුබ යනුවෙන් ව්‍යවහාරයේ යෙදෙනවා. සද්ධර්මය තුළත් සුබ අසුබ කියා යෙදෙනවා. මේ දෙකේ වෙනස කෙබඳු ද?”

“මේ ප්‍රශ්නය බුද්ධ කාලයේ දී ඒ සමාජයටත් තිබුණා. මේ සුබ, අසුබ කියන වචනයට සමගාමීව ව්‍යවහාර වන මංගල, අවමංගල, යහපත, අයහපත කියන වචන මිනිසුන් වගේම දෙවියන්ටත් තෝරා බේරා ගන්න බැරි වුණා. ඒ කාරණය තෝරා දුන්නේ දෙවි මිනිසුන්ගේ ශාස්තෘ වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ යි. ඇතැම් දෙනා දකින දේ සුබයි කිව්වා. ඇතැම් අය කනට ඇසෙන දේ සුබයි කිව්වා. ඇතැම් දෙනා කිව්වා අතට ස්පර්ශ වෙන දේ සුබයි කියලා.

කෙනෙක් සුබ මොහොතකින් යම් වැඩක් පටන් ගන්නේ ඒ දේ හරියයි කියන බලාපොරොත්තුවෙන්. දියුණුවක් කරා යන්න. එනිසා ඇතැම් දෙනා තමන් සිතන පතන දේ කරා වේගයෙන් ගමන් කරන්නයි සුබ නැකත, සුබ වෙලාව, සුබ රාශිය බලන්නේ. භාග්‍යවතුන් වහන්සේ ධර්මය තුළින් ජීවිතය ජය ගන්න සුබ කාරණා තිස්දෙකක් මහා මංගල සූත්‍රයේ දී පෙන්වා වදාළා. ඒ දේශනාවේ මුලින් ම මෙහෙම සඳහන් වෙනවා.

අසත්පුරුෂ බාලයා ඇසුරු කරන්න එපා. තමා පවෙහි යොදවන, තමාගේ ගුණධර්ම වසන තමාගේ ධනය විනාශ කරන, තමාව නරකට ඇබ්බැහි කරන, තමාගේ ජීවිතය අඳුරට ඇදගෙන යන යහපත, අයහපත නොදකින තෙරුවන් සරණේ පිහිටා නැති පුද්ගලයා ඇසුරු කරන්න එපා. බාලයන් ඇසුරු නොකිරීම තුළින් තමාගේ ජීවිතයට සම්පූර්ණයෙන්ම සුබ කාරණා විවෘත වෙනවා. අසුබ කාරණා වැහිලා යනවා. සත්පුරුෂයෙක් ඇසුරු කළා නම් ජීවිතේ දියුණුවට යනවා. එහෙම නම් සාමාන්‍ය සමාජයේ සුබ අසුබ කියන දේ ගැන ඇසෙන් දකින්න ඕන, කනෙන් අසන්න ඕන, ස්පර්ශයෙන් දැනගන්න ඕන, මේ සුබ මොහොතින් සුබ කටයුත්ත පටන් ගන්න ඕන කියා අපි සිතුවාට එයින් සුබ ඵලයක් ලබන්න බැහැ. මොන තරම් සුබ කරුණු අනුගමනය කළත් අසත්පුරුෂයෙක් ඇසුරු කළොත් පිරිහෙන එක වළක්වන්න බෑ.

මේ පිළිබඳ සුන්දර දේශනාවක් අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් වෙනවා. “පින්වත් මහණෙනි, යම් කෙනෙක් උදේ කාලයේ කයින්, වචනයෙන්, මනසින්
යහපතේ හැසිරෙනවා නම් ඔහුගේ සුබ උදෑසන එය යි. ඒ වගේම මධ්‍යහ්න කාලයේ සිතින්, කයින්, වචනයෙන් යහපතේ හැසිරෙනවා නම් ඔහුට එය සුබ දහවලක්. යම් කෙනෙක් රාත්‍රි කාලයේ සිතින්, කයින්, වචනයෙන් යහපතේ හැසිරෙනවා නම් එය සුබ රැයක්.”එසේනම් පැහැදිලියි කය යොදවලා ප්‍රාණඝාතය කරනවා නම්, සොරකම් කරනවා නම්, වැරදිකාම සේවනයේ යෙදෙනවා නම්, මත්පැන් පානය කරනවා නම් ඒ හැම මොහොතක්ම අසුබ වෙලාවක්. ඒක ඔහුගේ ජීවිතයේ දියුණුව වැනසීම සිදුවන වෙලාව.

ඒ වගේම නිතරම අනුන්ට ඊර්ෂ්‍යා කරනවා නම්, අන් අයගේ දියුණුව පිරිහේවා කියා සිතනවා නම්, මොවුන්ට නම් හරියන්න එපා කියලා විනාශය පතනවා නම්, අධික ලෝභයෙන් පෙළෙනවා නම්, මිථ්‍යාදෘෂ්ටික ව ඉන්නවා නම් තෙරුවන ගැන පැහැදීමක් නැත්නම්, අකුසල් සහගත කරුණු යම්තාක් සිතනවා ද උදේ වේවා, දවල් වේවා, රාත්‍රියේ වේවා ඒ හැම මොහොතක් ම ඔහුට අසුබ වෙලාවක්. භාග්‍යවතුන් වහන්සේ වදාළා උතුම් දහම් මඟේ සීලයේ හික්මෙන උතුම් මුනිවරු උදෙසා යම් කෙනෙක් මනාකොට දන්පැන් පූජා කරයි ද එසේ දන් දෙන වෙලාව ඔහුට සුබ නැකතක්. සුබ මංගල්‍යයක්. සුබ උදෑසනක්. ඒක තමා සුබ අවදි වීම, සුබ මොහොත, සුබ මුහුර්තිය කියන්නේ. එහෙම නම් විරාගී උතුම් මුනිවරුන් සිහිකරමින් යම් කෙනෙක් දන්පැන් පූජා කරයි ද ඒ ඔහු සිත කය වචනයෙන් යහපතේ හැසිරෙන වෙලාව යි. ඒක ඔහුට සුබ නැකතක්. සුබ මංගල්‍යයක්. තමාට ලැබුණ කය අකුසලයට වැටෙන්න නොදී කුසලයේ පිහිටා මේ කය හසුරුවනවා නම්, තමාගේ වචනය කුසල් මත පිහිටා අකුසලයට නොවැටී වචනයෙන් යහපත ලෝකයට දන් දෙනවා නම්, සිතට සිතෙන සෑම අරමුණක්ම අනෙක් අයගේ යහපත කල්පනා කරනවා නම්, අන් අයගේ සැපය කල්පනා කරනවා නම්, අන් අයගේ දියුණුව කැමැති වෙනවා නම්, මේ සිත මනා ලෙස කුසල් දහමේ හසුරුවනවා නම් ඒක සුබ මොහොතයි. ඒ ඔහුගේ සුබදායක දියුණුවක්. කොයි තරම් නරක වෙලාවක වුණත් ශ්‍රාවකයාට ධර්මය පුරුදු කිරීම තුළ දියුණුව කරා ම යන්න පුළුවන්.”

“මෑණියන් වහන්ස, බක්මහ උදාවෙත්ම ඇතැම් අයගේ ජීවිත සුබ නැකත්, සුබ නිමිති, සුබ වේලාවන්ගෙන් පිරී යනවා. ඒ අතර සිටින ආර්ය ශ්‍රාවක, ශ්‍රාවිකාවන් මේ බක්මහේ උදාවෙන සුබ නැකැත් සමඟ කටයුතු කළ යුත්තේ කෙසේ ද?”

“භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලයේත් සැවැත්නුවර වාසය කළා තෙරුවන් සරණ ගිය පිරිස වගේම, තෙරුවන් සරණ නොගිය කෝටි දෙකකට අධික පිරිසක්. ශ්‍රාවකයා තෙරුවන් සරණේ පිහිටා කටයුතු කළ යුත්තේ කොහොමද කියලා අංගුත්තර නිකායේ තුන්වන පොත් වහන්සේගේ සඳහන් උපාසක චණ්ඩාල නම් සූත්‍ර දේශනාවේ තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ එම සූත්‍ර දේශනාවේ වදාළා, තෙරුවන් සරණ ගිය කෙනෙකු උපාසක චණ්ඩාලයෙක් වන්නේ කොහොම ද? උපාසක පියුමක් වන්නේ කොහොම ද කියලා. උපාසක චණ්ඩාලයා කියන්නේ උපාසක සැඩොලා කියන අර්ථයයි. ඔහු උපාසක නමින් පෙනී සිටියාට ශ්‍රද්ධාවක් නැහැ. දුස්සීලයි. සුබ නැකැත්, සුබ නිමිති, කුතුහලය දනවන කාරණා සොයමින් යනවා. කර්ම විපාකය ගැන විශ්වාස කරන්නේ නැහැ. සියලුම පුද පූජාවන්ට සුදුසු ගුණයෙන් අග්‍ර උතුමන් වැඩ ඉන්න මේ බුදු සසුනෙන් බාහිර දානය දෙන්න සුදුසු අය හොයනවා. කාට දන් දුන්නත් පින් රැස් වෙන නමුත්, අනුත්තර පින්කෙත නම් වූ සංඝයා – අනන්ත විපාක ලැබෙන, මහත් ඵල පින් රැස් වෙන අසීමිත ගුණයෙන් යුක්ත බව තේරුම් අරන් නෑ. ඔහු මම බෞද්ධ, මම තෙරුවන් සරණ ගිය කෙනෙක්, මම දන්පැන් පූජා කරන කෙනෙක් කියා කිව්වත් ඉහත කරුණුවලින් සමන්විත පුද්ගලයා උපාසක කසළයෙක්. කසළ කියන්නේ ඉවත් කරන දෙයක්. පිළිකුල් දෙයක්. චණ්ඩාල කියන්නේ නීච මනුස්සයෙක්. ඔහු මම උපාසකයෙක් යැයි සිතා සිටියත් බුද්ධ වංශය තුළ නීච කෙනෙක්.

කුතුහලයෙන් යුක්තව නැකැත් ආදිය සරණ යද්දී ගිලිහෙන්නේ කර්ම-කර්ම ඵල විශ්වාසයයි. අද අප සමාජයේ සිටින බෞද්ධ යැයි කියා ගන්නා ඇතැම් දෙනා කරන වරදක් මේක. ඔවුන් සිතනවා නැකතට වැඩ ඇල්ලීම තුළින් අපේ වැඩ සාර්ථක වෙයි, නැකතට ළිපි ගිනි මෙළෙව්වොත් අපි දියුණු වෙයි, නැකතට ස්නානය කිරීම, හිසතෙල් ගැල්වීමෙන් අපට ලෙඩදුක් කරදර නැතිවෙයි කියන මිථ්‍යාදෘෂ්ටියට බැස ගන්නවා. සම්බුදුවරයෙකුගේ සීමා රහිත අවබෝධය, හේතු ඵල ධර්මතාවය ගැන කල්පනා කරන්නේ නෑ. එහෙම සිතන, කරන සියලු දෙනාට ම සිදුවන්නේ උපාසක චණ්ඩාලයෙක් වෙන්න.

ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළා කොහොමද පුද්ගලයෙක් උපාසක රත්නයක්, මාණික්‍යයක්, පියුමක් වන්නේ කියලා. ඔහු ශ්‍රද්ධාවෙන් යුක්තයි. කරදර කම්කටොළු දුක්පීඩා එන විට, ජීවිතයේ නොසිතපු අසනීපවලට මුහුණ දෙන විට, පටන්ගත් ව්‍යාපාර වැනසී යන විට, ඔහුට සිහි වන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. එවිට තෙරුවන් සරණේ දුක සේ හෝ අටලෝ දහමට මුහුණ දෙනවා.

ඒ වගේමයි නොසිතූ ලෙස දියුණුවට පත්වෙන විට, හැම දෙයක්ම යහපත්ව විසඳෙන විට තෙරුවන ඒ අයගේ ලෝකයෙන් බැහැරව යන්නේ නැහැ. එවිටත් සිහි කරන්නේ ‘අනේ මම භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක්. මම මේ අටලෝ දහමට මුහුණ දීලයි ඉන්නේ.’ කියායි. මෙසේ සිතමින් හැමදේම ධර්මය තුළට බහා බලනවා. ධර්මය තුළින් පිළිගන්නවා. ලැබෙන ලාබයට, සැපයට මත් වෙන්නේ නෑ. ඒ ලාබයත් අනිත්‍ය වෙන්න පුළුවන් කියන අවබෝධයෙන් ඉන්නවා. ඒ උපාසක රත්නයක්. සිල්වතෙක්. ‘මේ සුබ දවසේ මත්වතුර ටිකක් පානය කළාට වරදක් නැහැ.’ වගේ ළාමක සිතිවිලි ඔහු සිතන්නේ නැහැ. උත්සව අවස්ථාවක වුණත් උපාසක රත්නය තමන්ගේ සිල් ගුණය නිසා බබළනවා. මඩ ගොඩ මැද ඒ පියුම පිපෙනවා. ඒ මඩ ගොඩෙන්ම පියුම පෝෂණය වෙනවා. නමුත් මඩ නොතවරවාගෙන පියුම බබළනවා. දුස්සීල ලෝකයා අතර ඔහු සීලවන්තව වාසය කරනවා. සුබ නැකත්, සුබ නිමිති වගේ බාහිර කරුණුවලින් ජීවිතයේ යහපත සොයන්නේ නැහැ. මම යහපතක් කළොත් යහපතේ විපාක මට තිබෙනවා. අයහපතක් කළොත් අයහපතේ විපාක මට විඳින්න වෙනවා, සසරේ මම ඇවිදගෙන එද්දී මම පින් විතරක් නොවේ කළේ. මනුස්ස ලෝකයේ උපත පින්, පව් මිශ්‍රව ලබාදෙන උපතක් බව සිතමින් ජීවිතයට එන ප්‍රශ්න අභියෝග සෑම දෙයක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් දකිමින් තෙරුවන කෙරෙහි පැහැදීමෙන් තමාගේ ජීවිතයට යහපත සලසා ගන්නවා. ජීවිතයට එන ප්‍රශ්න අභියෝග, ජය පැරදුමට නොසැලී මුහුණ දෙන්න මහන්සි ගන්නවා.

එනිසා මේ උදාවන බක් මහේ නැකැත්, සුබ නිමිති, කේන්දර සරණ යාම තුළින් මම තෙරුවන් සරණ නසා ගන්නවා ද? නැත්නම් කර්මයට දාස වෙලා සිටින මම, තෙරුවන් ගුණ හදවතේ දරාගෙන, ඒ සරණ රැකගෙන, අටලෝ දහමට මුහුණ දී තෙරුවන් සරණ නසාගන්නේ නැතිව මගේ ජීවිතයට උදාර පිනක් රැස්කර ගන්නවා ද කියන ප්‍රශ්නයට උත්තර සෙවීම ඔබට බාරයි.”

සාකච්ඡා සටහන – නයනා නිල්මිණී.