පින්වත් යොවුන් දූ දරුවනේ,

මේ වෙද්දිත් ඔයාලගේ ජීවිතවල නොයෙක් ප්‍රශ්න ඇති. ඔයාලා ඒ ප්‍රශ්නවලට උත්තර හොයමින් ඉන්නවාත් ඇති. ඒත් සමහරවිට අපි ප්‍රශ්නයක් කරගෙන ඉන්නේ ගොඩාක් වැදගත් දෙයක් නෙවෙයි නම්…, ඒ නොවැදගත් ප්‍රශ්නෙට උත්තර හොයද්දී අපිට වැදගත් ප්‍රශ්නයක් විසඳගන්න තියෙන වටිනා ම කාලය නේද අහිමි වෙලා යන්නේ?

ඔව්! ගොඩාක් ජීවිතවල වටිනා කාලය නොවටිනා විදිහට අහිමි වෙලා යනවා. ඔයාලගේ ජීවිතවලට එසේ නොවීම පිණිසයි මේ කාරුණික අවවාදය. ඉතින් ඔයාලත් පොඩි වෙලාවක් ගත කරලා මේ ලිපිගත දිගේ ඉදිරියට ම යන්න. ඔයාලට ජීවිතේ වැදගත් ම ප්‍රශ්නයත් තේරේවි! උත්තරෙත් හමුවේවි!

ප්‍රශ්න තුනක්…

ඒ වෙද්දී සිද්ධාර්ථ කුමාරයාගේ වයස අවුරුදු 29ක්. උයන් ශ්‍රී නැරඹීම පිණිස මේ තරුණ කුමාරයා රථයේ නැඟී යන විට දකින්නට ලැබුණා ජීවිතවලට උරුම ප්‍රශ්න තුනක්.

කුමාරයා දැක්කා හොඳටම වයසට ගිහිං වැහැරුණු ශරීරයක් ඇතිව තමන්ගේ කටයුත්තක්වත් කරගන්න අපහසුවෙන් හිටපු කෙනෙක්.

කෙඳිරිගාමින් සිටින ඒ මහල්ලා දකිද්දී ‘දැන් තරුණ වයසේ හිටියාට මටත් මේ විදිහට වයසට යෑමේ ප්‍රශ්නයක් තිබෙනවා නේද’ කියලා කුමාරයාට ඇති වුණා ප්‍රශ්නයක්.

දෙවැනියට දැක්කේ හොඳටම ලෙඩ වී ගිය ශරීරයක් ඇතිව වෙහෙසට පත් වී සිටින කෙනෙක්. තමන්ගේ කය නිසා තමන් ම විඳවමින් ඉන්න ඒ රෝගී කෙනා දකිද්දී ‘මගේ මේ නිරෝගී බවත් ලෙඩ වීමෙන් නැති වී යන ප්‍රශ්නයක් මට තිබෙනවා නේද’ කියලා කුමාරයාට ඇති වුණා ප්‍රශ්නයක්.

ඊළඟට දැක්කේ මළමිනියක්. නෑ හිතමිතුරන් හඬ හඬා නිසල මළසිරුර අබියස දුකින් සිටිනවා. ඒ හැඟීම් දැනීම් නොමැති මළසිරුර දෙස බලා සිටිද්දී ‘මගේ ජීවිතයත් මරණය නම් වූ ප්‍රශ්නයෙන් යුක්තයි නේද’ කියලා කුමාරයාට ප්‍රශ්නයක් ඇති වුණා.

ඉතිං මේ තමයි තරුණ වයසේ ම බුද්ධිමත් සිද්ධාර්ථ කුමාරයා ජීවිතයේ දුටු ප්‍රශ්න.

ප්‍රශ්නෙ හඳුනගන්න…

තරුණකම කියන්නේ වයසට යෑමෙන් අවසන් වෙන දෙයක්. ඒ නිසා ආඩම්බර වෙන්න තරම් දෙයක් මේ තරුණකමේ ඇත්තේ නෑ.

නිරෝගීකම කියන්නේ ලෙඩ දුක් ඉදිරියේ අවසන් වෙන එකක්. ඒ නිසා නිරෝගීකමෙන් හිතට ගන්න තරම් දෙයක් නෑ. සවි ශක්තිය කියන්නේ සැණෙකින් වෙනස් වෙන්න පුළුවන් දෙයක්, මොකද මේ ශරීරය හරි ඉක්මනින් කැඩිලා බිඳිලා යනවා. ඒ නිසා ඒ කිසිවක් උඬඟු වෙන්න දේවල් නෙවෙයි.

අපි ප්‍රිය කරන දේවල් කියන්නේ කැඩෙන වැනසෙන නැති වෙලා යන දේවල්. අපි ප්‍රිය කරන උදවියත් අහිමි වෙලා යනවා. ඒ නිසා ප්‍රිය දේවලින් සතුටු වීම ජීවිතේ මහා ජයග්‍රහණයක් නෙවෙයි.

හොඳ නුවණින් කල්පනා කරන කෙනෙකුට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් දේ තමයි…, මේ ප්‍රශ්න ආගමකට සීමා කරන්න බෑ. ජාතියකට සීමා කරන්නත් බෑ. වෙන උස් පහත් වශයෙන් බෙදන්නත් බෑ. මේක හැම දෙනාට පොදු ප්‍රශ්නයක්!

ඔන්න ඔය ප්‍රශ්න නුවණින් දැකලා තමයි සිද්ධාර්ථ නම් වූ බෝසත් කුමාරයා 29 හැවිරිදි වියේ දී ගිහි බන්ධන අතහැර මහාභිනිෂ්ක්‍රමණය කරමින් පිළිතුරක් සෙව්වේ. වයස අවුරුදු 35 දී දඹදිව බුද්ධගයාවේ මහබෝ සෙවණේ දී අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයට පිළිතුර පසක් කරගත්තා.

ඒ පිළිතුර තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට ශ්‍රී සද්ධර්මය ලෙස දේශනා කොට වදාළේ. ඇත්ත වශයෙන් ම බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ජීවිතේ කෝටි ප්‍රකෝටි ගණන් නොවැදගත් ප්‍රශ්න අතරේ නොපැටලී, ජීවිතේකට තිබෙන හැබෑම ප්‍රශ්නය හඳුනාගත් මහා ප්‍රඥාවන්ත උත්තමයන් වහන්සේ. සඳ තරු ග්‍රහ තාරකා ගැන හොයමින්, වෙනත් නොයෙක් නොයෙක් දේවල් ගැන පරීක්ෂණ පවත්වමින් නාකි වෙලා මැරිලා යන මිනිසුන් අතරේ බුදුරජාණන් වහන්සේ නාකි වී ලෙඩ වී මිය යාමේ ප්‍රශ්නය මැනැවින් හඳුනගත්තා. සත්‍ය වූ ම ප්‍රශ්නය හඳුනාගැනීම ම බුදුරජාණන් වහන්සේ ගැන සිතේ පැහැදීමක් ඇති කරගන්න කාරණාවක් නොවෙයි ද?

මේ ධර්මය කාටද?

අසිරිමත් නුවණින් ජීවිත ප්‍රශ්නයට පිළිතුර වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ උතුම් ධර්මය දේශනා කරද්දී මේ ධර්මය කාට ද කියලත් දේශනා කළා.

“පඤ්ඤාවතෝ අයං ධම්මෝ, නායං ධම්මෝ දුප්පඤ්ඤස්සාති”

‘මේ ධර්මය තිබෙන්නේ ප්‍රඥාවන්ත තැනැත්තා සඳහා ය, ප්‍රඥාව නැති පුද්ගලයාට නොවෙයි.’

(අනුරුද්ධ සූත්‍රය – අංගුත්තර නිකාය)

ප්‍රඥාවන්තයා ඕනම ආගමක ජාතියක තරාතිරමක සිටින්න පුළුවන්. කුඩා තරුණ මහලු ආදී ඕනම වයසක කෙනෙක් වෙන්නත් පුළුවන්. ප්‍රඥාවන්තයාට ම යි මේ දහම.

සත්‍යය…

ප්‍රඥාවන්තයෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන තේරුම් ගන්නේ ලොවේ ඇති ඇත්ත කියා දෙන දහම කියලයි. සත්‍යය වූ ප්‍රශ්නයත් පෙන්වා දෙන, ඒ ප්‍රශ්නයට ඇති සත්‍යය වූ පිළිතුරත් පෙන්වා දෙන මේ ධර්මයට කිව යුත්තේ ‘සත්‍යය’ කියලයි.

පින්වත් යොවුන් දූ දරුවනේ,

සත්‍යය ලෝකයට දේශනා කළ ‘සත්‍යනාම’ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ කාලයේ අපට ඉගෙන ගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. ධර්මයේ හැසිරෙන්නත් පුළුවන්. මෙබඳු අවස්ථා මේ සංසාරේ නිතර ලැබෙන්නේ නෑ.

බුදු කෙනෙකුගේ දහම පවතින කාලයක ලැබෙන මනුස්ස ජීවිතය අතිශයින් ම දුර්ලභ වූ ක්ෂණ සම්පත්තියක්. හැබැයි මේ ලැබුණු දුර්ලභ මොහොත නොනවත්වා ම අහිමි වී යමින් තිබෙනවා.

අපි හැමෝගෙම ආයුෂ අවසන් වීගෙන යනවා. රෑ දවල් ගෙවෙන්නේ ඉන්න තියෙන කාලය අහිමි කරගෙන. ඒ නිසා මේ දුර්ලභ අවස්ථාවේ ප්‍රයෝජන ලබාගන්න ප්‍රමාද වෙන්න හොඳ නෑ. ප්‍රමාද වුණොත් පසුතැවෙන්න වේවි! හරියට සිරිපා වඳින අදහසින් අහස් ගව්ව දක්වාම ගියපු කෙනෙක්ට සිරිපා වඳින්නේ නැතිව යළි හැරී එන්න වුණා වගේ…

අහස් ගව්ව

සිරිපා වඳින අදහසින් ටිකෙන් ටික සමනල කන්ද නැඟගෙන යන කෙනෙකුට සීත ගඟුල, ඉදිකටුපාන ආදී නොයෙක් තැන් පසුකොට බොහෝ ඉහළට නැගෙනකොටයි ‘අහස් ගව්ව’ හමුවෙන්නේ. කෙනෙක් අහස් ගව්වට ආවා කියන්නේ සිරිපා පියුම වැඳගන්න ළං වුණා කියන එකයි.

අපි හිතමු කෙනෙක් අහස් ගව්වට ම ගිහිං සිරිපා නොවැඳ ආයෙමත් පහළට බැස්සා කියලා. අපරාදේ…, එයා සිරිපා වඳින්න තියෙන අවස්ථාවට හොඳට ම ළං වෙලත් ඒ අවස්ථාව අහිමි කරගත්තා නේද?

අන්න ඒ වගේම යි මේ සංසාර ගමනේ මනුස්ස ජීවිතයක් ලැබීමත්, බුදු සසුනක් මුණගැසීමත් හරියට ‘අහස් ගව්ව’ වෙත පැමිණියා වගේ. බුදුරජාණන් වහන්සේගේ සත්‍යය වූ ශ්‍රී සද්ධර්මයේ පිහිට ලබාගන්න හොඳටම අවස්ථාව ලැබිලා. ඒ නිසා මේ අවස්ථාව ඔයාලා කවුරුත් මඟ හැරගන්න එපා!

මහාමේඝ පුවත්පතේ මේ ‘අහස් ගව්ව’ ලිපි පෙළ ඔබේ ජීවිත ටිකෙන් ටික බුදු සසුනේ පිළිසරණට සමීප කරවීම උදෙසා ම යි ඔබට දායාද වෙන්නේ. ඉතිං මේ ලිපි පෙළ නොවරදවා ම කියවන්න. මේ කියාදෙන වටිනා කරුණු මතකයේ දරාගෙන ඔයාලට ශක්ති පමණින් පුරුදු කරන්න මහන්සි ගන්න.

එවිට සිරිපා වඳිනු පිණිස සමනල කන්ද නැග්ග කෙනෙක් අහස් ගව්වත් පසුකොට සිරිපා පියුමේ ආශීර්වාද ලබාගත්තා වගේ, මේ දුර්ලභ මනුස්ස ජීවිතේ දී අපට හමු වූ සම්බුදුරජුන්ගේ සත්‍යය වූ ශ්‍රී සද්ධර්මයෙන් අපේ ජීවිතෙත් පිහිටක් රැකවරණයක් හදාගන්න අපට වාසනාව ලැබේවි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.