පින්වත් යොවුන් දූ දරුවනේ, සිතක උපදින සිතුවිල්ලක් කියන්නේ මේ ජීවිතේට ප්‍රබලව බලපාන එකක්. අපේ හිත්වල හටගන්න යහපත් හිතුවිලි වේවා, අයහපත් හිතුවිලි වේවා මේ දෙකම ජීවිතේට ප්‍රබලව බලපානවා. ඔයාලට හිතෙන්න පුළුවන් ‘මේ පොඩි සිතුවිල්ලක් කොහොමද එච්චර ජීවිතේට බලපාන්නේ’ කියලා.

නමුත් අද මේ ලිපිය කියවා අවසන් වෙද්දී ඔයාලටත් හිතේවි, ‘සිතුවිල්ලක් මේ තරම් ප්‍රබලයි නේද?’ කියලා.

ඉතිං සෙනෙහසින් සිහිපත් කරනවා, පොඩි වෙලාවක් ගත කරලා මේ ලිපිගත දිගේ ඉදිරියටම යන්න. මේ ලිපිගතේ මෙතැන් පටන් අකුරු එකිනෙක අමුණන්නේ ‘සිතුවිල්ලක ප්‍රබලත්වය’ ඔයාලගෙ සිතට ප්‍රබලව දැනෙන විදිහට තේරුම් කරලා දෙන්නයි.

සිතුවිල්ලක් – කරපු විපතක්!

සිතක උපදින අයහපත් සිතුවිල්ලක් මොන තරම් ප්‍රබල විදිහට ජීවිතේට බලපානවා ද කියලා තේරුම් ගන්න වැදගත් සිදුවීමක් තමයි දේවදත්තගේ සිදුවීම. ඔයාලා අහලා ඇති මේ කථාව. නමුත් අද මේ කියා දෙන දේ නම් ඔයාගේ හිතට දැනෙන්න නැතිව ඇති. බලන්න!

දේවදත්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට මේ බුදුසසුනේ පැවිදි වුණා. ඉතාම කෙටි කාලෙකින් දේවදත්තට හොඳ සමාධියක් උපන්නා. ධ්‍යානත් උපන්නා. ඍද්ධි පාන්නත් පුළුවන් වුණා. ඔය විදිහේ හොඳ මානසික කුසලතා ටිකක් දේවදත්ත ඉක්මණින් ඇති කරගත්තා.

හැබැයි ඔහොම ඉද්දී දේවදත්තට උපන්නා සිතුවිල්ලක්. ‘මං මේ සඟ පිරිසෙන් කොටසක් මට පක්ෂ කරගන්න ඕන. ඒ උදෙසා සංඝයා ව භේද කරවන්න ඕන’ ඔච්චරයි හිතුණේ. ඒ අයහපත් සිතුවිල්ලේ ප්‍රබලත්වය කොයිතරම් ජීවිතේට බලපෑවා ද…?

මේ සිතුවිල්ල සිතද්දීම දේවදත්තගේ යම්තාක් මානසික කුසලතා තිබුණා ද සමාධි, ධ්‍යාන, ඍද්ධි ආදී ඒ සියල්ල සැණෙකින් වැනසී ගියා. පුච්චලා නැති කළා වගේ ඒ හැමදේම වැනසී ගියා. බලන්න, අයහපත් සිතුවිල්ලක් – කරපු විපතක්!

කයටත් මෙසේ නම් – සිතට…?

මත්පැන් දුම්වැටි ආදී කයට අයහපත් දේවල් තියෙනවා. ඒ දේවල් යමෙක් පාවිච්චි කරලා ඇඟ පරීක්ෂා කරලා බැලුවොත් මේ මේ විදිහේ හානි වෙලා තියෙනවා කියලා දකින්න පුළුවන්.

ඉතිං කල්පනා කරන්න ඔබේ සිත ගැන. ඔබට නොපෙනෙන, නොදැකිය හැකි සිතට හානි වෙන හැටි පෙනේවි ද! නමුත්, මේ කියා දීපු කතාවෙන් තේරුම් ගන්න අපිට නොපෙනුනාට අයහපත් හිතුවිලිවලින් අපිට ගොඩාක් ප්‍රබල හානි වෙන බව. ඔබ බුද්ධිමත් වෙන්න. අයහපත් සිතුවිලිවලින් වැළකිලා, ඔබ ඔබව රැක ගන්න.

සිත කෙතරම් සුවපත් වේවි ද…?

දැන් හිතන්න ඒකෙම අනිත් පැත්ත. කයට පෝෂ්‍යදායී දේවල් දුන්නොත් ඒ කය සුවපත්ව තිබෙන හැටි දකින්න පුළුවන් නේද? ඒ විදිහටම තේරුම් ගන්න හිත ගැන. යහපත් හිතුවිලි ම සිත තුළ උපද්දමින්, යහපත් සිතුවිලි ම පෝෂණය කරමින් නම් ඔබ ඉන්නේ ඔබේ සිත සුවපත් වෙනවා ම යි. ඒ සුවය ඔබේ මුළු ජීවිතේටම ප්‍රබල සුවපහසුවක් මෙලොව පරලොව දෙලොවේදීම ඇති කරනවා.

ප්‍රබල යහපත් සිතුවිලි තුනක්…

යහපත් සිතුවිලි කියලා පමණ කරන්න බැරි තරම් තියෙනවානේ. අද කියලා දෙන්නේ ඔයාලගේ මුළු ජීවිතේම සුවපත් කරවන ප්‍රබල සිතුවිලි තුනක් ගැනයි.
1. මම අද පටන් දිවි තිබෙන තුරාම මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ යනවා.
2. මම අද පටන් දිවි තිබෙන තුරාම මුළු හදවතින්ම ශ්‍රී සද්ධර්මය සරණ යනවා.
3. මම අද පටන් දිවි තිබෙන තුරාම මුළු හදවතින්ම ශ්‍රාවක මහා සංඝ රත්නය සරණ යනවා.

ඔව්! මේ තමයි ඒ ප්‍රබල සිතුවිලි තුන.

මොකද පින්වත් දරුවනේ මේ ලෝකයේ මේ කාලය වන විට ඒ උතුම් තෙරුවන් පවතිනවා. (බුද්ධෝ ලෝකේ සමුප්පන්නෝ හිතාය සබ්බපාණිනං) සියලු සත්වයන්ට හිතසුව පිණිස බුදුරජාණන් වහන්සේ මේ ලොවට පහළ වුණා. (ධම්මෝ ලෝකේ සමුප්පන්නෝ සුඛාය සබ්බපාණිනං) සියලු සතුනට සැප සදාලන, සම්බුදු මුවමඬලින් වදහළ උතුම් ශ්‍රී සද්ධර්මය ලොවට පහළ වුණා. (සංඝෝ ලෝකේ සමුප්පන්නෝ පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං) ලෝ සතුනට අනුත්තර පින්කෙතක් වූ රහතන් වහන්සේලා ප්‍රමුඛ ශ්‍රාවක සංඝරත්නය ලොවට පහළ වුණා.

ඉතිං නුවණ තියෙන මනුස්සයෙක් ඒ තෙරුවන් සරණ කර නොගන්නේ කොහොමද? හදවතින්ම තෙරුවන් සරණ යන්න. එය ඔබේ ජීවිතේ උපදින යහපත් සිතුවිලි අතරේ ගොඩාක්ම යහපත් සිතුවිලි තුනයි.

එහෙමත් සරණ යෑමක්…

එක තරුණයෙක් හිටියා තේරෙන වයසේ ඉඳලා බරපතල අමනුස්ස ප්‍රශ්නයක් තියෙන. ඔහුගේ සමීපයේ ඒ යක්ෂයා ඉන්න හැටි මේ තරුණයාට නිතර පේනවා. ඔහුට මේක වදයක් වෙලා තිබුණේ. නමුත් කිසිම ක්‍රමේකින් මේ යක්ෂයාගෙන් බේරෙන්න බැරි වුණා.

ඔය අතරේ මොහුට යම්කිසි කටයුත්තක් උදෙසා යාළුවෙකුගේ නිවසකට සතියක් විතර නවතින්න යන්න වුණා. ඒ සතියක කාලය මොහු හරී පහසුවෙන් ගත කළා. ඔන්න යළිත් මොහු ඒ යාළුවාගේ ගෙදරින් පිටත් වෙලා තමන්ගේ නිවසට එන්න පිටත් වුණා. පිටත් වෙලා පැමිණෙද්දී තමන්ගේ යාළුවාගේ ගමට ඇතුල්වෙන දොරටුව ළඟ මොහුට පේනවා තමන්ගේ ඇඟට එන යක්ෂයා මඟ බලාගෙන ඉන්නවා.

කලක් තිස්සේ මේ ප්‍රශ්නේ තියෙන නිසා මොහු බය වුණේ නෑ. හැබැයි මොහුට එකපාරටම මතක් වුණා දැන් සතියක් පුරා යාළුවාගේ ගෙදර ඉද්දී මේ යක්ෂයා තමන්ගේ සමීපයේ හිටියේ නෑ නේද කියලා. මොහු යක්ෂයාගෙන් ඇහුවා.

“ඈ! යක්ෂය, උඹ සතියකින් විතරනේ දැක්කේ. ඇත්ත කියාපන් උඹට මේ සතියේ මා සමීපයට එන්න බැරි වුණා නේද?”

යක්ෂයා උත්තර දුන්නා. “කොහේ එන්න ද උඹේ ළඟට. උඹ හිටියේ මහා බලසම්පන්න මනුස්සයෙක්ගේ ගෙදර නොවැ.”

“යක්ෂයෝ මා හිටියේ මගේම මිත්‍රයෙක්ගේ ගෙදර. ඔහුගේ එහෙම බලයක් මා දැක්කේ නෑ. ඔහු මං වගේම සාමාන්‍ය කෙනෙක්.”

“නෑ…! ඔහුගේ බලය නුඹට නොපෙනුනාට අපිට දැනෙනවා. ඔහු හරීම බලවත්ව බුදුන් සරණ ගිය, ධර්මය සරණ ගිය, සඟසරණ ගිය කෙනෙක්. ජීවිතේ තිබෙනා තාක් දිවි දෙවෙනි කොට සරණ යනවා කියලයි ඔහු තෙරුවන් සරණ ගිහිං ඉන්නේ. අනික උදේ දහවල් සවස රාත්‍රී නිතර නිතර තෙරුවන් සරණ යන කෙනෙක්. ඔහුගේ ඒ සරණ අපිට කිට්ටු වෙන්නවත් බැරි තරම් ප්‍රබලයි. හප්පේ! එහෙමත් සරණ යෑමක්.”

එහෙනම් මාත් සරණ යනවා

අර තරුණයා කල්පනා කළා ‘එහෙනං ඉතිං මාත් සරණ යනවා’ කියලා. ඒ මොහොතේම බොහොම ප්‍රබල හිතකින් තෙරුවන් සරණ ගියා. ඔහුගේ ඒ විසඳන්න බැරි අමනුස්ස ප්‍රශ්නය ප්‍රබල හිතකින් තෙරුවන් සරණ යෑම නිසා ඔහුම විසඳා ගත්තා.

ඒ නිසා පින්වත් දරුවනේ, මේ තෙරුවන් සරණ යෑම ගැන ඔයාලා ඇති කරගන්න හිතුවිල්ල පුංචි හිතුවිල්ලක් නෙවෙයි. ඒක ගොඩාක් ප්‍රබල හිතුවිල්ලක්. එබඳු ප්‍රබල හිතුවිල්ලක් එකම එක පාරක් උපන්නත් ඒක ජීවිතේට මහා ආශීර්වාදයක්. මහා ශක්තියක්.

අවසන් මොහොතේ සරණ ගියා…

දේවදත්ත බුදුරජාණන් වහන්සේට නොයෙක් හිංසා පීඩා ආදිය කරමින්, ආනන්තරීය පාපකර්ම දෙකක්ම රැස් කරගෙන ඉද්දී පවා අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඒ පිළිබඳ ව මහාඛීණාශ්‍රව නාගසේන රහත් මුනිඳුන්, මිළිඳු රජු හට මෙසේ පවසා වදාළා.

“මහරජාණෙනි, දේවදත්තයා මරණාසන්න අවස්ථාවෙහි…,

ඉමේහි අට්ඨේහි තමග්ගපුග්ගලං – දේවාතිදේවං නරදම්ම සාරථිං,
සමන්තචක්ඛුං සතපුඤ්ඤලක්ඛණං – පාණේහි බුද්ධං සරණං උපේමි.

‘දේවාතිදේව වූ නරදම්මසාරථී වූ සමන්තචක්ඛු වූ සතපුඤ්ඤ ලක්ෂණයෙන් යුක්ත වූ අග්‍රපුද්ගල වූ බුදුරජාණන් වහන්ස, මම දිවි ඇති තෙක් බුදුරජුන් සරණ යමි’ යි දිවි ඇති තෙක් සරණ ගියේ ය.

මහරජාණෙනි, කොටස් හයකින් යුතු කල්පයෙහි පළමු කොටස ගෙවුන කල්හී දේවදත්ත සංඝ භේදය කළේ ය. ඉතිරි පස් කොටසෙහි නිරයෙහි පැසී එයින් නිදහස් වී ‘සට්ඨිස්සර’ නමින් පසේබුදු වන්නේ ය…”

ඉතිං ඔබත් සරණ යන්න…

ඉතිං පින්වත් දරුවනි, මීටත් වඩා කරුණු දැක්වීම් අවශ්‍ය නැහැ නේද? ඔබ බුද්ධිමත් වෙන්න. අපි ජීවත් වන්නේ ටික කාලයයි! ඒ කාලයෙන් කොතරම් තව ඉතිරිව තිබේ දැයි අපි දන්නේ නෑ. අපි එක එක්කෙනාට ඉතිරිව තිබෙන්නේ එක එක කාල වේලාවන්. නමුත් ඒ සියල්ල අවුරුදු අසූවකටත් වඩා ඉතාම ටික කාලයක්.

ඉතිං පමා වෙන්න එපා! තෙරුවන් සරණ යෑමේ ප්‍රබල හිතුවිල්ල ඔයාලත් ඇති කරගන්න. තෙරුවන් සරණේ පිහිටා තමන්ගේ ගෙවී යන දිවිගමන අසරණ නොවන ජීවිතයක් බවට පත් කරගැනීමට ඔබ හැම දෙනාට උතුම් තෙරුවනේ ආශීර්වාදය ම ලැබේවා!

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.