කරමින් සිටි කටයුත්ත පසෙකලූ ඕ සඳලු තලයේ ජනෙල් කවුලුවට බර වූයේ තව නොබෝ වේලාවකින් නිවස කරා පැමිණෙන තම සෙනෙහෙබර සැමියාණන්ගේ සිනහ රැඳි මුව මඬල දැක ගනු රිසියෙනි. නිවස වෙත පැමිණෙන තම පෙම්බර හිමි සඳුට සෙනෙහෙ රැඳි මිහිරි සිනහවකින් සංග්‍රහ කිරීමට ඕ අමතක නොකළාය.

අනේ… මම මොනතරම් පුණ්‍යවන්තියක්ද? ඇතැම් ස්ත්‍රීන් යුග දිවිය තුළ මොනතරම් දුක් උහුලනවාද? මගේ හිමියාණන් කොයිතරම් දයාවකින්, කරුණාවකින්, සෙනෙහසකින් මාව රැකබලා ගන්නවාද? එපමණක්ද?… ඔහුගේ හදේ බුදුරජුන් කෙරෙහි මොනතරම් නම් පැහැදීමක් තියෙනවාද? සීලවන්ත, ගුණවන්ත මගේ හිමි සඳු නිසා මාත් කොතරම් නම් පින් රැස් කර ගන්නවාද? මිහිරි බුදු බණ පද අහන්න, නිතර දන් පැන් පුදන්න මට මේ තරම්ම නිදහසක් ලැබුනේ මගේ හිමි සඳුගේ කරුණාව නිසාමයි…

සැමියාණන් ගැනම උපන් සිතුවිලි දැහැනක දැහැන් ගතවූ ඈ දුර තියා පැමිණෙන ඔහු දුටු සැණින් පියවි ලොවට පිවිසියාය. වෙනදාටත් වඩා සොඳුරු ශාන්ත බවක් ඔහු තුළින් දිස් වෙතැයි ඈට සිතුණි. ඔහු පැමිණි සන්සුන් ලියොවින් ජනෙල් කවුලුව දෙස මොහොතකටවත් හැරී නොබලා සිටු මාලිගාවට ඇතුල් විය. “ම්… අද මගේ ස්වාමිගේ කිසියම් හෝ වෙනසක් තියෙනවා. අද ඇයි මගේ ස්වාමි ඉවත බලාගෙන පැමිණුනේ?” ඈ වහා පියගැට පෙළ අභියසට පැමිණ සුපුරුදු පරිදි මිහිරි සිනා පාමින් තම හිමි සඳු වෙත දෑත දිගු කළාය. අන් දිනවලදී හෙතෙම ඇගේ සුරත සෙනෙහසින් ගෙන නිවසට ගොඩවදින මුත්…. අද පෙර සන්සුන් බවින්ම ඔහු නිහඬවම නිවසට ඇතුලු විය.

ළබැඳි සෙනෙහසකින් වෙලී හුන් නිසාම ඇයට මේ වෙනස තදින් දැනෙන්නට විය. නමුත් හිමි සඳු කෙරෙහි නොවෙනස් ගෞරව සිතින්ම ඕ වහ වහා මිහිරි බොජුන් සියතින්ම පිළියෙල කළාය. අන් දිනවලදී බොජුන් වළඳින වේලේ මේ පෙම්බර යුවතිපති දෙපල මිහිරි වදන් තෙපලමින් දොඩමලු වුවද, අද… ඔහු නිහඬය. ඉතාමත් නිශ්ශබ්දව සන්සුන්ව අහර වළඳින තම හිමියාණන් දෙස ඈ දෙනෙත් දල්වා බලා සිටියාය.

“මා නොදැනුවත්ව හෝ පෙම්බර හිමිට මා අතින් වරදක් වුනාවත්ද? නැතිනම් ම හිමි සඳුට කුමක් හෝ සිත් පීඩාවක්වත්ද? ම්.. ඒත් ඔහුගේ මුහුණ වෙනදාටත් වඩා ප්‍රසන්නයි. මගේ ස්වාමි සතුටින් ඉන්න බව පේනවා.” නිහැඬියාව බිඳි ඔහු දයාබර වදනින් ඇය ඇමතුවේය. “ප්‍රිය ධම්මදින්නා, අද පටන් මේ සිටු මැදුරේ සැම වස්තුවක්ම, සෑම වගකීමක්ම මා ඔබට පවරනවා.”

“එ.. එතකොට හිමියනි ඔබ?” “මං ධර්මය තුළම ඉන්ට කැමතියි ධම්මදින්නා. මං කිසිම කටයුත්තකට මැදිහත් වෙන්න කැමති නෑ. මං විවේකීව ඉන්ට කැමතියි.”

ධම්මදින්නාවන්ගේ ප්‍රිය සැමියාණන් වූ විසාඛ උපාසකතුමා අද වේලුවනයට ගොස් අප මුණිරජාණන් බැහැ දුටු වේලේ පරම ගම්භීර දහම් කතාවෙන් අභිසෙස් ලැබීය. ලොවට ප්‍රඥා ඇස දෙවන මුනිඳුන් වෙතින් අමා දම් පද සවනත වැකෙද්දී ඔහුගේ මනසේ සොඳුරු පරිවර්තනයක් සිදුවිය. කාම – කෝප සදහටම නැසූ හෙතෙම යළි කිසි ලෙසකින්වත් කාම ලොව නූපදින අනාගාමී ශ්‍රාවකයෙකු බවට පත් විය. එවේලෙහි ඔහු, “මං මේ සෑම දෙයක්ම ධම්මදින්නාට පවරලා බ්‍රහ්මචාරීව වාසය කරනවා…” කියා අදිටන් කරගත්තේය.

තම සැමියාණන්ගේ හදිසි පරිවර්තනයට හේතුව නුවණින් වටහාගත් ඈ තුළ ඔහු කෙරෙහි බලවත් ගෞරවාදරයක් පැන නැංගේය. නුවණැති ධම්මදින්නාවෝ තම හිමි අභියස ඇඳිලි බැඳ ගරු සරු දක්වමින් විමුක්තියම අයැද සිටියාය. “මා පණ නල වන් හිමියනි, ඔබ කෙලපිඩක් සේ බැහැරලන මේ කාම සම්පත් වැළඳ ගැනීමට මා තුළ කිසිම කැමැත්තක් නූපදී. හිමියනි… ඔබ අවසර දෙනවා නම් මම භික්ෂුණීන් අතරට ගොස් උතුම් පැවිදි දිවියක් ගත කිරීමටයි ආසා. මටත් මේ සසර දුකින් අතමිදෙන්නයි ඕන.”

“සාදු සාදු ධම්මදින්නා කොතරම් යහපත් දෙයක්ද? මා එයට බොහෝම කැමතියි.”

මහත් හරසර මැද ධම්මදින්නාවෝ ගෞතම බුදු සසුනේ භික්ෂුණි සංඝයා අතරට එක් වූවාය. පැවිදි බිමට පත්වූ තැන් පටන් එතුමිය අප්‍රමාදී බවටම ගරු කළාය. මගේ ගිහි කල සැමියාණන්ව සිටි විසාඛ උපාසකතුමා ගිහි ගෙදරදීම දුක් දුරු කළා. මම පැවිදි වීත් කෙළෙස් සහිතව ජීවත්වීම සුදුසු නොවේ.. යැයි සිතූ ඕ ආචාර්ය උපාධ්‍යාය භික්ෂූණීන්ගේ අවසර ලැබ රජගහ නුවරින් නික්ම ඈත පිටිසර හුදෙකලා වාසයට ඇලුම් කොට නික්ම ගියාය.

පෙර තමා භුක්ති විඳි ඉසුරු සම්පත් අත්හල ඕතොමෝ පිඬුසිඟා ලද දෙයකින් යැපුනාය. ලද සිවුරකින් සතුටට පත්වූවාය. මහල් මන්දිර වල විඳි සැපයට වඩා උතුම් සැපයක් කටු මැටි ගැසූ කුටිය තුළ ඕ භුක්ති වින්දාය. දිවි දෙවෙනි කොට සිල් සුරකිමින් ගැඹුරු සමවත තුළ කිමිදෙමින් ප්‍රඥාවෙන් කෙළෙස් නසා දැමුවාය. සසරේ පූරිත පින් ඇති ධම්මදින්නා භික්ෂුණිය සව් කෙලෙසුන් නසා නික්ලේෂී අරහත් මුනිවරියක් බවට පත්වූවාය. සුලු කලෙකින්ම පැවිදි කිස නිම කළ එතුමිය හුදකලා වාසය අත්හැර තම ඥාතීන්ට අනුග්‍රහ පිණිස නැවත රජගහ නුවරටම වැඩියාය.

ධම්මදින්නා භික්ෂුණිය මෙතරම් ඉක්මනින් නැවත රජගහ නුවරට පැමිණීම ගැන විසාඛ උපාසකතුමන්ගේ සිතෙහි කනස්සල්ලක් ඇති විය. ඔහුට සිතුනේ අනෙකකි. “අහෝ ධම්මදින්නාවන් මෙතරම් ඉක්මනින්ම හුදෙකලා වාසය අතැර පැමිණියේ… ඇගේ සිත පැවිදි දිවිය ගැන කලකිරීවත්ද? ම්… මම් ම ගොස් මෙය විමසා බැලීම වටී.” යයි සිතූ හෙතෙම කල්පනාබරව භික්ෂූණී අරම වෙත පිය ගනන්නට විය.

ධම්මදින්නා භික්ෂුණිය බැහැදැක ගෞරව දක්වා එකත්පසෙක හුන් හෙතෙම ඇගේ විපිලිසර බව පිළිබඳව එක්වරම විමසීම සුදුසු නැතැයි සිතා ගැඹුරු දහම් පිළිසඳරකට මුල පිරුවේය.

“පින්වත් ආර්යාවෙනි, සක්කාය සක්කාය යැයි පවසයි. භාග්‍යවතුන් වහන්සේ සක්කාය යැයි කුමකට වදහළ සේක්ද?” “පින්වත් විසාඛය, භාග්‍යවතුන් වහන්සේ සක්කාය යැයි වදහළේ පංච උපාදානස්කන්ධයටයි….”

තියුණු සැතකින් ළපටි නෙලුම් දඬු සිඳින්නියක සෙයින් ධම්මදින්නාවෝ ඇසූ ඇසූ දහම් පැණ මැනැවින් විවරණය කරද්දී විසාඛ උපාසකතුමන්ගේ හද දහම් ප්‍රීතියෙන් ඔද වැඩී යන්නට විය. ගිහි කල යුවතිපතීන්ව සිටි මේ නිකෙලෙස් මුනිවරියගේත් අනාගාමී උපාසකතුමාගේත් දහම් හමුව සැබෑම අසිරියක් විය. මින් පෙර කෙදිනක හෝ නොවිඳි ලොව්තුරු මිහිරක් ඒ ඇසුරෙන් ජනිත විය. සසරින් එතෙරටම වැඩම කරන මේ සොඳුරු සව්වන් හද කෙබඳු හැඟීමක් ඇතිදැයි කෙලෙස් ඇතියවුන් කෙසේ නම් දනිත්ද?

ධම්මදින්නා මුනිවරිය දම් සිහ නද පතුරා, “පින්වත් විසාඛ ඉදින් ඔබ කැමති නම් මේ දහම් පැණ තථාගතයන් වහන්සේගේද විමසුව මැනව. තථගතයාණෝ යම් අයුරකින් පවසන සේක්ද? ඒ අයුරින්ම දරාගත මැනව” යි පවසා සිටියාය. මුනිවරියගේ පා වන්දනා කළ හෙතෙම දහම් රසයෙන් කුල්මත්ම මුනිරජුන් වෙත එළඹ, සියලු පුවත් සැල කොට සිටියේය.

සුවඳවත් සඳුන් අරටුවක් මඩිමින් සුවඳම විහිදුවන සෙයින් අප මුනිරජාණෝ තම ළයෙහි උපන් ශ්‍රාවක දියණියගේ ගුණයම ප්‍රකට කරවූ සේක.

“පින්වත් විසාඛ, මාගේ දියණිය ධම්මදින්නා භික්ෂුණිය පණ්ඩිතය. මහා නුවණැත්තීය. විසාඛ, මේ කරුණ ඔබ තථාගතයන් වෙතින් විමසන්නෙහිද මමද එපරිද්දෙන්ම විසඳමි. ධම්මදින්නා භික්ෂුණිය විසින් එය යම් සේ විසඳන ලද්දේද එයම එහි අර්ථයයි.”

පසු කලෙක මේ චූළ වේදල්ල සූත්‍ර දේශනාවම ප්‍රස්තුතය කරගත් භාග්‍යවතුන් වහන්සේ මාගේ ශ්‍රාවක දියණියක වූ ධම්මදින්නා භික්ෂුණිය මේ ගෞතම බුදු සසුනේ ධර්මකථික භික්ෂුණීන් අතර අග්‍ර වන්නේය” යි අග තනතුරු දී වදාළ සේක.

“නිවන් දකින්ටමයි හිතේ ආසාව ඇති වුනේ වෙන දේකට වසඟ වුනේ නෑ මනසින් නිවන ස්පර්ෂ කර ගත්තා, කාමයන් පිළිබඳව හිත බැඳී නැති ජීවිතය ඇති කෙනාට උඩුගං බලා යන්නී කියලයි කියන්නේ.”

තම ජීවිතය තුළ ඇති වුන ආශ්චර්යවත් පරිවර්තනය ගැන මෙසේ උදානයක් පළ කළ මුනිවරිය පිරිනිවනටම වැඩි සේක.

සියලු ගිහි බැඳුම් හැරදමා සසර බන්ධන සදහටම සිඳ දමා උඩුගං බලා ගිය…

සම්බුදු ළයෙහි උපන් දියණියක වී භික්ෂුණි සඟ ගණ සෝබමාන කළ….

ගෞතම බුදු සසුනේ, ධර්මකථික භික්ෂුණින් අතර අග්‍රව…

පිරිනිවන් වැඩි ධම්මදින්නා රහත් තෙරණින් වහන්සේට නමස්කාර වේවා…

මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේ නමක් විසිනි.