highlights of the week
Home » NEW ARTICLES » ලෙඩ ඇඳෙත් සුවඳ දුන් අමා වැස්සෙන් තෙමුන මල් කැකුළ
අමා වැස්සෙන් තෙමුන මල් කැකුළ

ලෙඩ ඇඳෙත් සුවඳ දුන් අමා වැස්සෙන් තෙමුන මල් කැකුළ

ඉර බැහැගෙන යන්න හෝරා කිහිපයක් තිබිය දී මම හණිකට ගොඩවුණේ සමන්පුරේ මහා ඉස්පිරිතාලෙටයි. ඒ මගේ යහළුවෙක් බලන්න හිතාගෙන. කඩි රැලක් වගේ එහාට මෙහාට යන සෙනඟ අතරේ මට යන්න පාරත් හොයාගන්න අපහසු වුණා.

“සමන්ත මල්ලී…”

ඔන්න ඔය අතරේ තමයි මගේ නම කියලා කවුදෝ මට කථා කරනවා ඇහුණේ. මමත් පොඞ්ඩක් නතර වුණා. සෙනඟ අතරින් මගේ ළඟට එන නිරෝෂා අක්කා දැක්කේ මම ඒ වෙලාවෙයි. නිරෝෂා අක්කාගේ මුහුණේ තිබුණේ හරි ම දුක්බර බවක්. දෑස් කඳුළෙන් තෙත්වෙලා.

“ඇයි නිරෝෂා අක්කා මේ දුකින්?”
මට ඉබේටම ඇසුණා. නිරෝෂා අක්කා කියූ කථාවෙන් මගේ මුළු හදවත ම නිසල වී ගියා.

“අනේ මල්ලි මගේ දුව…”

“ඇයි දුවට මොකද වුණේ?”
මම ඇසුවා. දුවගේ තත්ත්වය බරපතළයි කියලා මට හැඟුනේ ඇයගේ කථාව සම්පූර්ණයෙන් ම කිව්වට පස්සේ.

මම බලන්න ගිය ලෙඩා ව බලන එක මඳකට කල් දමලා මම හණිකට නිරෝෂා අක්කාගේ දුව බලන්න ගියා. රෝස ම රෝස පාට පුංචි සුරඟනක් බඳු, දුටුවන්ගේ සිත් සනහන මුව මඩලක් තියෙන පුංචි දෝණිගේ ඇඟ හැමතැනට ම බට ගහලා. අවුරුදු පහළොවක් විතර වුණ මේ පුංචි දුවට මේ වගේ ඇබැද්දියක් වේවි කියලා කවුද දන්නේ. හැබැයි මේ තත්ත්වයේ වුවත් ඇය හොඳ සිහියෙන් කතා කරනවා.

“ආ…. සමන්ත මාමා මාව බලන්න ඇවිල්ලා..”

“ඔව් මම දුව බලන්න ආවා… දුවට දැන් කොහොමද?”
මම පුංචි දෝණිගෙන් ඇසුවා.

“මම නම් හොඳින් ඉන්නවා මාමේ…”

මට හරි පුදුමයි. ශරීරයේ පෙනහලු නරක්වෙලා ජීවිතයත් මරණයත් අතර සිටින පුංචි දුවක් ඉතා හොඳ සිහියෙන් පිළිතුරු දෙනවා.

“දුවට දැන් හොඳ ද? කවුද ආවේ දුව බලන්න?”
ඇගේ හිස අතගාමින් මම එසේ ඇසුවා.

“මාමේ… මට අද හරි ම සතුටු දවසක්. අද පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩියනේ…”
පුංචි දෝණි මුවගට සිනහ නංවමින් කථාකරන විදිය මම අහගෙන හිටියේ පුදුම ශෝකයකින්.

“ස්වාමීන් වහන්සේලා මට සිල්පද ගැන කියලා දුන්නා. මට හරි ම සතුටුයි. මම සත්තු මරලා නෑ. සොරකම් කරලා නෑ. මම මගේ පංතියේ යාළුවොත් එක්ක හරි ම හොඳින් හිටියේ. මම විහිළුවටවත් බොරු කියලා තියෙනවා කියලා මට මතක නෑ. කේළාම් කියලත් නෑ.”

ඇත්තටම පුංචි දැරිවියක් තම ශරීරයේ මහත් වූ රෝගයක් තබාගෙන මේ විදියට කථා කරනකොට කාගෙ නම් හදවත සසල නො වේවි ද? මම ඉතා සතුටින් ඇගේ වදන් පෙළට කන් යොමා සිටියා.

“මාමේ මට ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ගැන කියලා දුන්නා, බුදුරජාණන් වහන්සේ අපි වාගේ පුංචි ළමයින්ට ගොඩාක් ආදරෙයිනේ… පුංචි ළමයිට ගොඩාක් පිහිට වෙලා තියෙනවානේ…. අර,…. සොහොනේ ගැටගහලා හිටපු සෝපාක අරං ගිහින් පැවිදි කරලා පිහිට වුණානේ… සුනීතටත් පිහිට වුණානේ…. එතකොට මට්ටකුණ්ඩලීටත් දිව්‍යලෝකේ යන්න අපේ බුදුරජාණන් වහන්සේ පිහිට වුණා නේ ද? දන්නවානේ මාමා….”

බලන්න… පුංචි දැරිවියක් අන්ත අසරණව සිටින වේලාවක මේ වගේ වදන් පෙළක්. මට නම් හරි ම පුදුමයි.

“අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ බුදුගුණත් නිතර ම සිහි කරන්න කියලා ඒ ස්වාමීන් වහන්සේලා මට කිව්වා.”
හදට දැනෙන වේදනාව සඟවාගෙන ඒ පුංචි දුවගේ සතුටු වදන් පෙළ මම අහගෙන හිටියා.

“මාමේ… මට මෛත්‍රී භාවනාව නිතර ම කරන්න කියලා කිව්වා. ඒ ස්වාමීන් වහන්සේලා මට මෛත්‍රී භාවනාව කරන විදියත් කියලා දුන්නා. හරි ම කරුණාවන්තයි. මම දැන් නිතර ම මෛත්‍රී භාවනාව කරන්න පුරුදු වෙනවා…. එතකොට මට දිව්‍යලෝකේ යන්න පුළුවන් වෙයි නේ ද මාමේ….”

ඒ වදන් අවසන් වෙනවාත් සමඟ ම මම තදකරගෙන සිටි වේදනාව එළියට පැන්නා. මාගේ ඇස් දෙක කඳුළින් තෙත්වී ගියා. ඇය ළඟ සිටි කාලය පැයකුත් වෙලා මට දැනුනෙම නෑ.

“දැන් ලෙඞ්ඩු බලන්න ආපු අය එළියට යන්න…”
ඒ වාට්ටුවේ ආරක්ෂක අංශයේ නියමය.

මම නැවතත් පුංචි දෝණි දෙස බලා පිටවන්නට යනවාත් සමඟ ම “තෙරුවන් සරණයි මාමා” කියලා මා හට සමුදෙන්නට ඇය අමතක කළේ නෑ.

නිරෝෂා අක්කාත් එළියට විත් නිවසට යන්නට පිටත් වුණා. මා දුක්මුසු හදින් යුතුව සිටින ලොවක සිටින සේයි මට දැනුණේ.

ඇත්ත, මේ ලෝකේ ඉපදෙන කවුද ලෙඩ නො වන්නේ? කවුද නො මැරී ඉන්නේ? මේ මොහොතේ මේ ලෝකයේ ඉපදෙන පුංචි කිරිකැටියාගේ පටන් මරණ මංචකය අබියස සිටින සෑම අයෙකුට ම අයත් වන ඉරණම රෝගයයි, ජරාවයි, දුකයි. අවසන මරණය යි. දුක ම උරුම කරගත් සත්වයන් මේ දුකින් මිදෙන මඟකට පා නො තබන්නේ ඇයි? ඔවුන් සිතා සිටින්නේ මා නොමැරෙනවා කියා යි. මා ලෙඩ නො වෙනවා කියා යි. මා වයසට නොයනවා කියා යි. මේ වාගේ වත්මන් සමාජයට සම්බුදු වදනින් ගන්නට ඇති ප්‍රයෝජන මොන තරම් ද?

රෝගයට කැදැල්ලක් වුණු මේ රූපය අල්ලගෙන දඟලන්න පටන් අරන් කොච්චර කල් ද? තවත් දඟලන්නේ එයට ම නො වේ ද? භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් පුංචි හදවතක් සැනසුන අපූරුව හරි ම අගෙයි. ඇයි අපිට බැරි? ඔබ මේ ගෙවන්නේ ජීවිතයේ අවසන් කාලය වෙන්න ඇති. නැත්නම් තරුණ කාලය වෙන්න ඇති. ඔබ තවම ළාබාල කෙනෙකු වෙන්න ඇති. මොහොතක් සිතන්න… අපි සියලු දෙනා ම මැරෙනවා. ඒක ඇත්තයි. අපි ලෙඩ වෙලා මැරිලා ගියොත් අපි හරිහම්බ කර ගත්ත මොනවත් අපි අරගෙන යන්නේ නෑ. හැබැයි අරන් යන්න දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ අපි කර ගන්න හොඳ නරක. අපි අපේ ජීවිතයේ කරගෙන තියෙන්නේ නරක දේ නම් දැන් දැන් ම යහපතේ හැසිරීමයි කළ යුතු වන්නේ.

අපි යහපත් දේ අපේ ජීවිතයට ළං කරගෙන සිටිනවා නම්. අපි කුසල් දහම්හි නියැලී සිටිනවා නම් ඒ දේවල් තව තවත් සිදු කරන්න උනන්දු වීම හරි ම වැදගත්. එවිට අපේ මරණයත්, මරණින් මතු දිවියත් සැපවත් වෙනවා.
තමාට පිහිටට සිටින්නේ තමා ම යි. අන් අයෙකු නො වෙයි. තමා තමාට පිහිට සලසා ගත යුත්තේ අපගේ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තුළින්. ඒ නිසා හොඳින් ධර්මය ශ්‍රවණය කරන්න ඕන. ඒ ධර්මය තමාගේ ජීවිතයට ගළපා ගන්න ඕන. දුර්ලභ ම මනුෂ්‍ය ජීවිතයේ දී දුර්ලභ ව ලද බුද්ධ ශාසනයේ දී අපි අපට යහපත සලසා ගනිමු. මේ ගොරතර සසරින් නිදහස් වන්නට ධර්මයේ ම හැසිරෙමු. ධර්මයෙන් පිහිට සළසා ගනිමු.

තෙරුවන් සරණයි!

සටහන – සංජීව ධර්මදාස
(මෙහි එන්නේ මා මුහුණදුන් සත්‍ය කතාවක් ඇසුරින් ගෙතුන ලිපියකි. නම් ගම් මනඃකල්පිතයි)

Leave a Reply

Your email address will not be published.

x

Check Also

අරහං ය මගේ බුදු – පියාණන් වහන්සේ

සුගත වූ බුදුරජුන් ලොවේ නිකෙලෙස් උතුමෙකි, උන්වහන්සේ ව රාගයෙන් බැඳ දැමිය නො හැකි ය