ගෞතම බුදු සසුනේ උපාසක ශ්‍රාවක පිරිසට මිණුම් දණ්ඩ බඳු වූ, පූර්වාදර්ශය වූ, අනාගාමී ආර්ය ශ්‍රාවක උපාසක පිරිවර අතරින් ධර්ම කථික බවින් අග්‍රස්ථානය ලද චිත්ත ගෘහපතිතුමාගේ අපූර්ව ශ්‍රාවක චරිතයෙන් බිඳක් අපි මෙසේ දැන ගනිමු.

මච්ඡිකාසණ්ඩ නගරයට අකල් වර්ෂාවක් ඇදහැලුණා. ඒක නිකම්ම වර්ෂාවක් නෙමෙයි. පස්වනක් සුගන්ධ පුෂ්පයන්ගෙන් යුතු වර්ෂාවක්. මුළු මච්ඡිකාසණ්ඩ නගරය ම මල් සුවඳින් සුවඳවත් වුණා. බැලු බැලූ අත මල් පතිත වෙලා. හරිම සුන්දරයි. හැබෑටම මේ හිටිහැටියේ හටගත් අපූරු මල් වර්ෂාවට හේතුව කුමක් ද?

ඇයි දන්නේ නැද්ද? මච්ඡිකාසණ්ඩයේ මහ සිටුතුමාගේ මැදුරේ කුමාරයෙක් ඉපදිලා නොවැ. ඒ පින්වන්ත කුමාරයාගේ පින් තේජසටයි පස්වනක් මල් වර්ෂාවක් ඇද හැලුනේ.

මේ විදිහටයි අතීතේ කාශ්‍යප බුදුරජුන්ගේ සසුන ලොව පවතින සමයේ නිකෙලෙස් මහ තෙරුන් වහන්සේනමකට පුද සත්කාර කළ පින්වන්තයෙකුගේ උපත සිද්ධ වුණේ. මහ සිටුතුමත්, සිටු දේවියත් මේ පින්වන්ත පුත් කුමාරයාගේ උපතින් බොහෝ සතුටට පත් වුණා. “ඈ.. හැබෑවටම දේවි.. අපේ පුත් කුමාරයා තමුන්ගේ නමත් අරගෙන ම නොවැ ඇවිදිල්ලා තියෙන්නේ.. මුළු නගරයම විසිතුරු කරවාගෙන උපන් නිසා අපි පුතාට ‘චිත්ත’ කියලාම නම තබමු.” ඔය විදිහට තම මවුපිය දෙපළගෙන් ඒ පින්වන්ත කුමාරයාට ‘චිත්ත’ යන නම ලැබුණා. චිත්ත කුමරු ක්‍රමයෙන් වැඩිවියට පැමිණිලා කාලයාගේ ඇවෑමෙන් තම පියාණන්ගේ කළුරිය කිරීමත් සමඟ මච්ඡිකාසණ්ඩයේ සිටු තනතුරට පත් වුණා. චිත්ත ගෘහපතිතුමා නගරයේ ප්‍රධාන සිටු තනතුරේ ඉන්නා සමයේ තමයි තුන්ලොව එළිය කළ අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ උතුම් සම්බෝධිය සාක්ෂාත් කොට වදාළේ. පුරා සති හතක් අමා නිවනේ ඵල සමවත් සුවය විඳිමින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේට ඒ සත් සතිය ඇවෑමෙන් සහම්පති බ්‍රහ්මරාජයා දම් දෙසීමට ආරාධනා කළා. ඒ අනුව බරණැස් වන මිගදායේ දී දසදහසක් ලෝ ධා කම්පා කරවමින් අපගේ බුදුරජාණන් වහන්සේ උතුම් දම්සක ප්‍රවර්තනය කරනු ලැබුවා.

බරණැස් වන මිගදායේ ගත කළ සමයේ දී බුදුරජාණන් වහන්සේ අමා දහම් දෙසා නික්ලේෂී හදවත් ඇති රහතන් වහන්සේ 60 නමක් බිහිකොට වදාළා. ඒ හැටනම අමතා බුදුරජාණන් වහන්සේ වදාළේ දෙනමක් එක මගකින් නොවැඩ බොහෝ ජනයාට හිත සුව පිණිස මුල, මැද, අග පිරිසිදු උතුම් නිවන් මග කියාදෙන ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් සදහම් චාරිකාවේ හැසිරෙන ලෙසයි.

එසේ දහම් චාරිකාවේ වඩින භික්‍ෂූන් අතරින් මගධ රටට අයත් වූ මච්ඡිකාසණ්ඩ නගරයට වැඩම කළේ මහානාම මහරහතන් වහන්සේ. නගරයේ ප්‍රධාන සිටු වූ චිත්ත ගෘහපතිතුමා මහානාම මහරහතන් වහන්සේගේ සංවර වූ ඉරියව් පැවැත්ම දැක මහත්සේ පැහැදුනා. ඉතාම ගෞරවයෙන් තම සිටුමැදුර වෙත වැඩම කරවා දන් පැන්වලින් උපස්ථාන කළා. එහි දී මහානාම මහරහතන් වහන්සේ දන් වළඳා අවසන දෙසූ භුක්තානුමෝදනා දම් දෙසුම අසා බුදු සසුනේ අතිශයින් ම පහන් වී ගිය සිත් ඇතිකර ගත් චිත්ත ගෘහපතිතුමා මහානාම මහරහතන් වහන්සේට වන්දනා කොට මේ අයුරින් ඉල්ලා සිටියා.

“ස්වාමීනී, ආර්යයන් වහන්සේට සුව සේ වැඩ සිටීමට සුදුසු මාගේ අම්බාටක නම් වනයක් ඇත්තේ ය. ස්වාමීනී, අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ වන පියසේ වැඩ වසන සේක්වා! අපි ඔබවහන්සේට නිබඳව සිව්පසයෙන් උපස්ථාන කරන්නෙමු.” නිහඬ ව ම චිත්ත ගෘහපතිතුමාගේ ආරාධනය පිළිගත් මහානාම තෙරුන් වහන්සේ මච්ඡිකාසණ්ඩයේ අම්බාටක වනයේ වැඩවාසය කළා. නිති තෙරුන් වහන්සේගේ උපස්ථානයට පැමිණෙන චිත්ත ගෘහපතිතුමා ඉතා ආසාවෙන් ඒ සොඳුරු දහම් පද ශ්‍රවණය කළා. මහත් වූ ධර්ම ගෞරවයෙන් ඒ දහම් පද මතක තබා ගත්තා. යළි යළිත් වචනයෙන් පුරුදු කරමින් ඒ දහම් අමතක වන්නට නො දී රැක ගත්තා. ඉතා ආසාවෙන් ඒ දහමේ අරුත් මෙනෙහි කළා.

මේ අයුරින් ගාම්භීර ධර්මයට ආසාවෙන් සවන්දෙන චිත්ත ගෘහපතිතුමාට මහානාම මහරහතන් වහන්සේ ආයතන තුළින් දුක සැකසෙන ආකාරය මැනවින් පහදමින් ධර්මය දේශනා කළා. ඒ දම් දෙසුම අසා අරුත් විමසන චිත්ත ගෘහපතිතුමාගේ ප්‍රඥාව මෝරා ගියා. ගිහි ශ්‍රාවකයෙකු ලෙස ඔහු අනාගාමී ඵලය සාක්ෂාත් කළා.

බුදුරජුන්ගේ උපාසක ශ්‍රාවක පිරිස අතරේ සොඳුරු ශ්‍රාවකයෙකු වූ චිත්ත ගෘහපතිතුමා ඉතාමත් විසාරද යි. ඒ විසාරද බවට හේතුව දොස් රහිත ජීවිතය යි. කොටින් ම එකල ශාස්තෘවරයෙකු ලෙස ප්‍රතිඥා දුන් නිගණ්ඨ නාථපුත්ත හටත් චිත්ත ගෘහපතිතුමා ධර්මය ඉස්මතු කරමින් කරුණු සහිතව නිග්‍රහ කළා. ඇතැම් දහම් කරුණු සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා දොස් සහිත ලෙස අර්ථ පැවසූ අවස්ථා තිබුණා. ඒ අවස්ථාවල මනා දහම් දැනුමකින් යුතු චිත්ත ගෘහපතිතුමා ඉතාම නිහතමානීව ඒ දහම් කරුණු අර්ථ නිවැරදි කොට තෝරනු ලැබුවා.

මේ නිසා ම අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ බුදු සසුනේ උපාසක පිරිස අතරේ ධර්මකථිකයන්ගෙන් අග්‍රස්ථානයට පත්කළෙත් මේ මච්ඡිකාසණ්ඩයේ වාසය කළ චිත්ත ගෘහපතිතුමාවයි. සංයුත්ත නිකායේ සළායතන වර්ගයේ චිත්ත සංයුත්තයේ, චිත්ත ගෘහපතිතුමා ඇසුරු කරගත් සිදුවීම් කිහිපයක් ම සඳහන් වෙනවා. එහි අචේල සූත්‍ර දේශනාවේ චිත්ත ගෘහපතිතුමා තමා ගැන ම කළ අපූරු සිහනදක් බඳු කරුණු දැක්වීමක් සඳහන් වෙනවා. ඒ වනවිට චිත්ත ගෘහපතිතුමා බුදු සසුනේ සිත් පැහැදී වසර තිහක් ගත වී තිබුණා. ඉතින් එතුමාට ආරංචි වුණා තමන්ගේ පැරණි යහළුවෙක් වෙන කස්සපයෝ මච්ඡිකාසණ්ඩයට ඇවිදිල්ලා ඉන්නවා ය කියලා.

ඔහුගේ නම කස්සප වුණාට දැන් ඔහුව හඳුන්වන්නේ අචේල කස්සප කියලයි. අචේල කිව්වේ වස්ත්‍ර අඳින්නේ නැති නිසයි. ඉතින් නිර්වස්ත්‍රව තපස් රකින පැවිද්දකින් පැවිදි වූ තම මිත්‍රයා වන අචේල කස්සපයන් බැහැදැකීමට චිත්ත ගෘහපතිතුමා පැමිණුනා. පැමිණිලා ආ ගිය තොරතුරු යම් පමණක් කතා කරලා පැත්තකින් වාඩි වුණා. ඉතින් ඒ මොහොතේ අචේල කස්සප තවුසාගෙන් චිත්ත ගෘහපතිතුමා ප්‍රශ්න විමසුවා.

“ස්වාමීනී, කස්සපයෙනි. ඔබ වහන්සේ දැන් ඔය පැවිද්දට පැමිණිලා කොච්චර කලක් ගතවෙනව ද?”

“ගෘහපතිය, දැන් මගේ පැවිද්දට අවුරුදු තිහක් පමණ වෙනවා.”

“ඉතින් ස්වාමීනි, දැන් ඔය තිස් අවුරුද්දක කාලයේ දී යම්කිසි උත්තරීතර මනුෂ්‍ය ගුණයක් සාක්‍ෂාත් කරගෙන සුවසේ වාසය කිරීමක් ඔබ වහන්සේට තිබෙනවා ද?”

එතකොට ඒ අචේල කස්සප තවුසා බොරු පුරාජේරු කියන්නට ගියේ නෑ. ඇත්තම කිව්වා. ඔහු කිව්වේ මේ විදිහටයි.

“ගෘහපතිය, මේ තිස් අවුරුද්දක පැවිද්දට පත්වෙලා මේ හෙළුවත්, මොණර පිල්කළඹත්, හිස මුඩු කිරීමත් හැර මං ලබපු විශේෂ ගුණයක් නම් ඇත්තේ නෑ.”
එසේ පැවසූ විට චිත්ත ගෘහපතිතුමා අචේල කස්සප නම් නිරුවත් තවුසාට මෙහෙම කිව්වා.

“ඇත්තෙන්ම ස්වාමීනි කස්සපයෙනි, යම් හෙයකින් ඔබට තිස් අවුරුද්දක කාලයක් මුළුල්ලේ හෙළුවැල්ලත්, හිස මුඩු බවත්, වැලි පිස දමන මොණර පිල්කළඹත් හැර වෙන කිසිදු උත්තරීතර ඤාණ දර්ශනයක් ලබා සුව සේ විසීමක් නොවූයේ නම්, අහෝ! පින්වත් කස්සපයෙනි, මා සරණ ගිය ධර්මය මැනවින් දේශනා කොට වදාළ බව නම් ඒකාන්තයෙන් ම ආශ්චර්යය යි. ඒකාන්තයෙන් ම පුදුම සහගතයි.”

මේ ප්‍රකාශයෙන් පුදුමයට පත් අචේල කස්සප චිත්ත ගෘහපතිතුමාගෙන් මෙසේ ප්‍රශ්න කළා.

“ඈ..! පින්වත් ගෘහපතිය, හැබෑවටම ඔබ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ධර්මය තුළ උපාසකයෙකු ලෙස හික්මෙන්න අරගෙන දැන් කොයි තරම් කල් වෙනව ද?”

“මමත් ස්වාමීනී, දැන් තිස් අවුරුද්දක විතර කාලයක සිට බුදු සසුනේ උපාසකයෙක්.”

“ඉතින් ගෘහපතිය, ඔබට පුළුවන් වුණා ද ඔය තිස් වසරක කාලයේ උපාසකයෙකු ලෙස ලබාගත් යම් උත්තරීතර ඤාණ දර්ශනයක් තුළ සුව සේ වාසය කරන්න? ”

“ස්වාමීනි, ඇයි නැත්තේ? මං නම් කැමති තාක් කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත වූ, විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන එයට පැමිණ වාසය කරන කෙනෙක්.

ස්වාමීනී, මම කැමති තාක් විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් ම තම අභ්‍යන්තරයේ බලවත් පැහැදීමෙන් යුතුව, සිතේ එකඟ බවින් යුතුව, විතර්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන කෙනෙක්.

ස්වාමීනී, එමෙන්ම මම ප්‍රීතිය කෙරෙහි නොඇල්මෙන්ම සිහියෙන් යුතුව නුවණින් යුතුව කයින් සැපය ද විඳිමින් උපේක්‍ෂාවෙන් යුතුව වාසය කරනවා. ආර්යයන් වහන්සේලා විසින් උපේක්‍ෂාවෙන් යුතු සිහියෙන් යුතු සැප විහරණය කියා වර්ණනා කළ යමක් ඇත්ද, ඒ තුන්වන ධ්‍යානය උපදවාගෙන වාසය කරන කෙනෙක්.

ස්වාමීනී, මං කැමති තාක් කාලයක් සැපය ද ප්‍රහාණය කිරීමෙන්, දුක ද ප්‍රහාණය කිරීමෙන්, පළමුවෙන් ම සොම්නස් fදාම්නස් දෙක නැති කිරීමෙන් දුක් සැප රහිත වූ උපේක්‍ෂාවෙන් යුතු පාරිශුද්ධ සිහිය ඇති ඒ සතරවෙනි ධ්‍යානයත් උපදවාගෙන වාසය කරන කෙනෙක්.

ඇත්තෙන්ම ස්වාමීනී, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේට පෙර මා කළුරිය කළොත් භාග්‍යවතුන් වහන්සේ මා පිළිබඳව ‘යම් කෙලෙස් බන්ධනයකින් යළි මේ ලෝකයට ආපසු එනවා නම් ඒ විදිහේ කෙලෙස් බන්ධනයක් මේ චිත්ත ගෘහපතිතුමාගේ ජීවිතයේ නෑ’ කියන මේ විදිහේ ප්‍රකාශයක් වදාරණ සේක් ය කියන කාරණේ ආශ්චර්යයක් නම් නො වෙයි.”

ඔය ආකාරයෙන් පිළිතුරු දුන්නට පස්සේ ඒ අචේල කස්සප තවුසා බොහෝම පැහැදී ගිය සිතින් මෙහෙම ප්‍රකාශ කළා.

“අහෝ! පින්වත මේ උතුම් ශ්‍රී සද්ධර්මය මැනවින් දේශනා කළ ධර්මයක් බව නම් ඒකාන්තයෙන් ම ආශ්චර්යයි. ඒකාන්තයෙන් ම පුදුමයක් ම යි. යම් හෙයකින් සුදුවත් හඳින ගිහි ශ්‍රාවකයන් ඔය ආකාරයෙන් උත්තරීතර මනුෂ්‍ය ධර්මයක් වන ඤාණ දර්ශන විශේෂයක් සාක්‍ෂාත් කරගෙන පහසුවෙන් වාසය කරනවා නම්, ගෘහපතිතුමනි, මාත් මේ ධර්ම විනය තුළ හික්මීමට මේ උතුම් සසුනේ පැවිදි බව ලබා ගන්නම්. උපසම්පදාව ලබා ගන්නම්.”

ඒ අචේල කස්සප තවුසා ඔය විදිහට චිත්ත ගෘහපතිතුමාගේ උපකාරයෙන් බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබා ගත්තා. නොබෝ කලකින් ම රහතන් වහන්සේනමක් බවට පත් වුණා.

ඇත්තෙන්ම මේ විදිහේ උපාසක චරිත නිසා මේ ගෞතම බුදු සසුන කොතරම් බැබළුණා ද! අන්‍යාගමික පිරිස පවා විස්මයට පත් කළ, ඍජු ගති ඇති, උපාසක පද්මයක් වූ චිත්ත ගෘහපතිතුමාගේ තතු අසා පහන් සිතින් උදාර ශ්‍රාවක චරිතයක් ගොඩ නඟාගන්නට හැම දෙනාට වාසනාව උදාවේවා!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි.