එදා අපේ ආච්චි බණ පොතක් කියවමින් උන්නේ. මාත් ගිහින් ආච්චි ළඟ වාඩි වුණා. අපේ පංතියේ ළමයෙක් කියාපු කතාවක් නිසයි මට ආච්චිගෙන් මේක අහන්ට සිතුණේ.

“ආච්චියේ… මේ…. ආච්චියේ, දැන් අපි නිදාගන්ට ගියහමත්, උදේ නැගිට්ටාමත්, කවුරුහරි මුණගැසුනාමත්, අනිත් සෑම දේකදීමත් ‘නමෝ බුද්ධාය’ කියනවා නේ. අපේ පංතියේ ළමයෙක් කිව්වා ඒක වැරදිලු. ඒක අපි අලුතින් හදාගත් එකක්ලු. ඒක ඇත්තක් ද ආච්චියේ..?”

එතකොට ආච්චි කොක්හඬලා හිනාවුණා. ආච්චිගේ ලාස්සන හිනාව නවත්තාගන්ටත් ටිකාක් වෙලා ගියා.

“ඇයි ආච්චි… ඔයතරම් හිනැහෙන්නේ?”

“නෑ… පුතේ… මට මේ හිනාගියේ ඒ දරුවා ගැන නොවෙයි. කවුරුහරි මෝඩ වැඩිහිටියෙක් ඔය දරුවා නොමග යවා තියෙනවා. ආං ඒ වැඩිහිටියාගේ මෝඩකොම ගැනයි…. පුතේ ඒ දරුවා අඩු ගණනේ දහම් පාසලේදීවත් පාළි භාෂාවේ ‘වරනැගීම’ ඉගෙනගෙන නැතුවා ඇති.

පුතේ සම්ප්‍රදාන විභක්තිය තියෙනවා නේ. ඒ විභක්තියේ ‘බුද්ධ’ ශබ්ද වරනැගෙන්නේ ඒක වචනයේ දී ‘බුද්ධාය, බුද්ධස්ස’ කියලයි. බහු වචනයේ දී ‘බුද්ධානං’ කියලයි. දැන් අපි ‘නමෝ’ කියනවානේ. ඒකේ තේරුම ‘නමස්කාර වේවා’ කියන එක. ‘බුද්ධාය’ කියන්නේ ‘බුදුරජාණන් වහන්සේට’ කියන එක. එතකොට පුතේ ‘නමෝ බුද්ධාය’ කියන එකේ තේරුම ‘බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!’ කියන එක. කවුරුහරි ඒක වැරදියි කියනවා නම් ඒ කෙනා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන්ට අකැමති, අසත්පුරුෂයෙක්, බාලයෙක්, ළාමක හිතක් ඇති පිරිහී ගිය පුද්ගලයෙක්.

පුතේ… මට සද්ධර්මාලංකාරයේ ඇති ලස්සන කතාවක් මතක් වුණා. ඕං අහගන්ටකෝ එහෙනං මේ කතාව’

පුතේ ඔයාලා දන්නවා නොවැ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්ට කලියෙං මිනිසුන්ගේ ආයුස වරුස විසිදාහ කාලේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඉතින් පුතේ ඒ අපේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ ඒ බුදුසිරුර ආදාහනය කළාම ධාතූන් වහන්සේලා විසිරුනේ නෑ. එතකොට දෙවියෝත් මිනිස්සුත් ඒ සියලු ධාතූන් වහන්සේලා තැන්පත් කොරලා හිටං එක මහාසෑයක් දඹදිව කසී රටේ සේතව්‍යා නුවර ඉදිකළා. මෙය රන් ගඩොල්වලින් හදා තිබුණේ. ‘රන්දාගොබ’ කියාලයි ඒ කාලේ කීවෙ පුතේ.

ඉතින් පුතේ ඔය කාලේ නයි නටවන අහිකුණ්ඨික මනුස්සයෙක් සෑම තැන ම ගොහිං නයි නටවා මිනිසුන්ව විනෝදයට පත් කොරලා එයින් ලැබෙන දෙයින් ජීවත් වුණා. දවසක් මේ අහිකුණ්ඨිකයා ඔය සේතව්‍ය නුවරට කිට්ටුව ඇති ගමකට නයි නටවන්ට ගොහිං ඒ ගමින් හොඳට සැලකිලි ලැබුණු නිසා ටික කලක් එහෙ නැවතුනා.

ඔය ගමේ හැමෝම තුනුරුවන් සරණ ගියපු උදවිය. එයාලා අවදි වෙනකොට, නිදියන්ට යනකොට, හැම දේකට ම‘නමෝ බුද්ධාය’ කියලා තමුන්නේ එක ම ශාස්තෘන් වහන්සේ ව සිහිකොරනවා. අහිකුණ්ඨිකයා මිසදිටු මිනිහෙක් පුතේ. ඒ මිනිහාට මේක විහිළුවක් වගේ වුණා. මිනිස්සු කියන ‘නමෝ බුද්ධාය’ කියන වචනේ මේකා විහිළුවට ගත්තා. විහිළුවට අරගෙන හිටං ඔච්චමට වාගේ මේකාත් හැමදේට ම ‘නමෝ බුද්ධාය’ කියන්ට ගත්තා.

දවසක් පුතේ මේ අහිකුණ්ඨිකයා තව අලුත් නයෙක් අල්ලාගන්ට ඕනෑ කියලා හිතාන තැනින් තැන නයෙක් ඉන්නවා ද කියා සොයා බැලුවා. අනේ පුතේ එදා නාගලෝකෙන් දිව්‍යනාගරාජයෙක් අපගේ කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේගේ රන්දාගොබට වන්දනා කොරන්ට ආවා. කඩුපුල් මල්, සඳුන් මල්, පිච්ච මල් ඒ රන්සෑය වටේ තියා පූජා කොළා. හැබැයි පුතේ ඒ නාගරාජයා මල් පූජා කොළේ මනුස්ස වේශයෙන්.

ඊට පස්සේ කාටවත් ම නොපෙනෙන්ට ආයෙමත් නයි වේශය අරගෙන ඒ ආසන්නයේ තිබුණු තුඹසකට රිංගුවා. එතකොට ම අහිකුණ්ඨිකයා තඹ කරඬුවකට රිදී හවඩියක් දාන්නැහේ මේ ලස්සන සුදු නාගයා තුඹසට රිංගනවා දැක්කා. දැක්ක ගමන් එතෙන්ට දුවගෙන ඇවිත් නයි අල්ලන මන්තරේ ජප කොරන්ට පටන් ගත්තා.

එතකොට පුතේ නාගරාජයා හොඳටෝ ම කිපුනා. ‘හහ්… මේකා එනවා මට මතුරන්ට. හිටපිය තෝ මරනවා’ කියලා දත් විලිස්සාගෙන තුඹසෙන් එළියට පැන්නා. අහිකුණ්ඨිකයා භය වෙලා පස්සට විසික්කා වුනා. විසික්කා වෙලා ඒකා පණ එපා කියලා දුවන්ට තියාගත්තා. නාගරාජයාත් පස්සෙන් පන්නනවා. අහිකුණ්ඨිකයාත් පස්ස බල බලා දුවන නිසා ගලක කකුල පැටලී බිම වැටුනා. එතකොට ම කලින් අනුන්ට අපහාසයට, ඔච්චමට කිය කියා උන් ‘නමෝ බුද්ධාය’ කියන වචනය මේ අහිකුණ්ඨිකයාගේ කටින් හයියෙන් කියවුණා.

‘නමෝ බුද්ධාය’ යන වචනය නාගරාජයාට ඇහුණා විතරයි ‘අනේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක උපාසකයෙක්ට නොවැ මං මේ හදි කටින්ට ගියේ. අයියෝ තව ඩිංගිත්තෙන් මට නොවැ පාපේ වෙන්නේ’ කියලා තමන්ගේ කෝපය සන්සිඳුවාගෙන අහිකුණ්ඨිකයාට මෙහෙම කිව්වා.

“අනේ මිත්‍රයා…. මට සමාවෙයං… මං හිතුවේ ඔයා මිසදිටුවෙක් කියලයි. අපේ භාග්‍යවතුන් වහන්සේට ඔයා ‘නමෝ බුද්ධාය’ කියා වන්දනා කොරනකොට මයෙ ඇඟපත සතුටින් සිහිල්වෙලා ගියා. භය වෙන්ට එපා යාළුවා. ඔයා කියපු ‘නමෝ බුද්ධාය’ කියන මිහිරි වචනය මට තවමත් ඇහෙනවා වගෙයි. අපි වගේ අය කවරදාකවත් ‘අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවන්ට හිරිහැර කරන්ට කැමති නෑ. ඒ නිසා මං ඔයාට තෑග්ගක් දෙනවා. මේං මේ දිව්‍ය රන් මල් තුන අරගන්ට. ඕවා හරීයට වටිනවා.

ඉතින් යාළුවා…. ඔය මල් තුනෙන් එක රන් මලක් ඔයාට පිං පිණිස අපගේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ රන්දාගොබට පූජා කොරන්ට. තව රන්මලක් මට පින් පිණිස රන්දාගොබට පූජා කොරන්ට. අනිත් මල විකුණාගන්ට. එයින් ලැබෙන ධනය ඔයාට ජීවිත කාලෙ ම සැපසේ වාසය කොරන්ට හොඳටෝ ම ඇති.

දැන් ඔයා ඔය අහිකුණ්ඨික ජීවිතේ අත්හරින්ට. ළඟ තියාගෙන ඉන්න නයි ටිකත් නිදහස් කොරන්ට.”

“අනේ නාගරාජය, මටත් සමාවෙන්ට. මයෙ අතින් බරපතළ වැරැද්දක් වුණා. මං ඇත්තෙන් ම බුදුරජාණන් වහන්සේ සරණ ගොහින් හිටියේ නෑ. මං ‘නමෝ බුද්ධාය’ කියලා අනිත් අයට ගරහන්ටයි කිය කියා හිටියේ. මට දැන් තේරුණා බුදුරජාණන් වහන්සේ සරණ යාම තමයි හරි.”

“ඔව් මිත්‍රයා…. එහෙනම් ඔයා දැන් ම ගොහින් අර දාගොප් වහන්සේ වන්දනා කොරලා වෙච්චි වැරැද්දට සමාව ගන්ට. ඉන් පස්සේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි’ කියා ත්‍රිවිධ රත්නය සරණ යන්ට. ඉන් පස්සේ ඔය රන් මල් දෙකත් පූජා කරන්ට. ආයෙ මිසදිටු පැත්තට හැරෙන්ට එපා” කියා අවවාද කොරලා නාගරාජයා නාගභවනට ගියා.

ඉතිං පුතේ ඒ අහිකුණ්ඨිකයා අර රන්මල් තුනෙන් රන්මල් දෙකක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍යයට පූජා කර ගත්තා. අනිත් මල විකුණා ගත්තා. අහිකුණ්ඨික රස්සාව අත්හැරියා. ළඟ හිටපු නයි නිදහස් කළා. තමාත් දරුපවුලත් එක්ක හොඳට කා බී දන් පින් කරගෙන සිල් රැකගෙන වාසය කළා. එදා පටන් ඒ අහිකුණ්ඨිකයා ‘නමෝ බුද්ධාය’ කියලා විතරක් නොවෙයි පුතේ, ‘නමෝ ධම්මාය, නමෝ සංඝාය’ කියලා ත්‍රිවිධ රත්නයට ම වන්දනා කොරන්ට පටන්ගත්තා.

ආං… ඒ නිසා පුතේ ඔයාගේ යාළුවාට කියා දෙන්ට එක එක්කෙනාගේ පව් කතා පිළිගන්ට එපා ය කියලා. ‘නමෝ බුද්ධාය’ කියා බුදුරජාණන් වහන්සේට කරන වන්දනාවටත් ගරහන අය, දැන් මනුස්ස ලෝකයේ හිටියාට සතර අපායේ දොරටු ඇරගෙන එයාලා ඉන්නේ. මනුස්ස ලෝකෙන් චුතවෙච්චි ගමන් බුදුකෙනෙකුට ගරහපු පවින් උපන් කර්මෙන් තමයි එයාලා දුගති චාරිකාව පටන්ගන්නේ.”

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ