වේළී වැටුන කොළ සර සර හඬ නංවමින් ගලවා දමමින් හමා ගිය වියළි සුළඟට ගිනි කාෂ්ඨක අව්වේ උණුසුම තුරන් කරන්නට බැරි වුණා. රත් වූ වාතය සිසිල් කරන්නට වේගයෙන් කැරකෙන විදුලි පංකාව නිසා මුළු ඇඟ ම ගිනියම් කරගෙන නැගෙන වේදනාව යන්තමින් උහුලන්නට ඇයට පුළුවන් වුණා. ඈ ඇඳට වෙලා ටික කාලයක්. ජීවිතය රැඳිලා තියෙන්නේ බෙහෙත් නිසා ම වගේ.

ආහාර ගන්නට පිරියක් වගේ ම පහසුවක් ද ඈට තිබුණේ නෑ. ඇඳට වෙලාම ගෙවන ඔත්පල ජීවිතේ ඈට හුරුයි. ඒත් අද වෙනදාට වඩා ඇයට අමාරුයි. ඇය අමාරුවෙන් හුස්ම ගන්න හඬ ඇහුණ ඇගේ දරුවන් ඈ වටා එකතු වුණා. සියොළඟින් දැවෙන වේදනාවත්, දරුවන්ගේ කෑ ගැසීමත් අතර සිහි එළවා ගන්ට අමාරුවෙන් වගේ ඈ දැඟළුවා. සියලු ඝෝෂා මැද පිරිත් සජ්ඣායනයක්. ඈ ඊට හොඳින් කන් දුන්නා.

‘ම්… ඇය පිටත් වන්නට සූදානම්. ඇගේ මනුස්ස ජීවිතය අවසන්. මා යා යුතුයි ඈ රැගෙන එන්නට…’

“ඔබ එන්න මා සමඟ. දුර ගමනක් යන්න තියෙනවා ඔබට…

මිනිස් ලෝකෙදි ඔබේ නම එතනා නේ ද?”

“ඔ.. ඔව් ඔබ කවුද? මාව කොහෙද ගෙනියන්නේ? මට මගේ දරුවෝ දාලා එන්න බෑ.”

“ම්… ඔබ මිනිස් ලෝකෙන් පසුව ඉපදෙන තැනටයි රැගෙන යන්නේ. නමුත් මා නොවෙයි රැගෙන යන්නේ. ඔබ ම යි ඔබ නැවත උපදින ස්ථානය තීරණය කර ගෙන ඇත්තේ. ඔබ දැන් ඔබ සඳහා වන මේ යානයට ගොඩ වන්න. ඔබ එක් රැස් කළ දෑ මෙහි තියෙනවා.”

“මා රැස් කළ දෑ? ඒ මොනවා ද? මා සෑදූ නිවස, මිලට ගත්තු ඉඩකඩම්, රන් භාණ්ඩ… ඒවා මට ගෙනියන්න පුළුවන් ද?”

“ම්… නැහැ ඒවා නො වෙයි. ඔය කළු පාටට තියෙන්නේ ඔබ රැස් කළ අකුසල කර්ම. ඔය සුදු පැහැයට තියෙන්නේ ඔබ රැස් කළ කුසල කර්ම.”

“එතකොට මං ආසාවෙන් එකතු කළ කිසි දෙයක් මට දැන් ගෙනියන බැරි ද? එතකොට මං මරණින් පස්සේ ජීවිතේ සැපෙන් ඉන්නේ කොහොමද? මට වියදමට මුදල්, සැප පහසුව ඒවා කොහොමද මං උපයා ගන්නේ? ම්.. මං කොහෙද උපදිනවා කිව්වේ?”

“මා එය දන්නේ නෑ. ඉතා සුළු මොහොතකින් ඔබට එය දැන ගත හැකියි. ඔබට කියන්න පුළුවනි ද ඔබ මනුස්ස ජීවිතේ ගත කළ ආකාරය?”

“ඔව්… මා අවසාන කාලේ හිටියේ ඔත්පල වෙලා. මීට තරුණ කාලේ බොහොම ජවයක් තිබුණේ. මං රැකියාවක් කළා. ස්වාමියා සමඟ එකතු වෙලා අපට ම කියලා ගෙයක් හදා ගත්තා. අපට හිටියා දූ දරුවො තිදෙනෙක්. එයාලට හොඳට ඉගැන්නුවා. රැකියා හොයලා දුන්නා. විවාහ කරලා දුන්නා. සමාජයේ හොඳ නම්බුකාර විදියට අපි ජීවත් වුණේ.”
“ම්… ඇත්තට මට පේන විදියට ඒවායින් නම් මේ මොහොතේ ප්‍රයෝජනයක් ගන්න බැරි වේවි.”

“ඔබ කියන්නේ ඇත්තක් ද? ම්… ඔය අතරේ පිංකම් නො කළා නො වෙයි. දාන මාන පූජා කර ගත්තා. ඇඳුම්, සල්ලි, කෑම බීම නැති බැරි අයට දුන්නා. අපි කවදාවත් කාටවත් කරදර හිරිහැර කරපු උදවිය නෙවෙයි. අපි ඉතින් විශේෂයෙන් පව් කළෙත් නෑ, විශේෂයෙන් පින් කළෙත් නෑ.”

“ඒකත් එහෙම ද? හොඳයි… හොඳයි… ඒත් ඔබ දන්නව ද ඔබ මොන ආගම දහමක් ද ඇදහුවේ කියලා?”

“මං උපන්නේ බෞද්ධාගමික පවුලක. අපි පන්සල් ගියා. නැකැත් කේන්දර බැලුවා. ග්‍රහ අපල විශ්වාස කළා.”

“ම්… ඔබ සැබෑ බෞද්ධයෙක් නෙවෙයි එහෙනම්. තෙරුවන් සරණ ගිය උදවිය ඔය වගේ දෑ කරන්නේ නෑ නෙව. උතුම් තිසරණය ම යි සරණ කොට ගෙන සිටින්නේ.
ඔබ දන්නවා ද දැන් මිනිස් ලොව සැබෑවට ම බෞද්ධයෙකු වෙන්නටත්, ධර්මයේ හැසිරෙන්නටත් අවස්ථාව තිබෙන බව? දැන් මිනිස් ලොව පාරිශුද්ධ ධර්මය අහන්න ලැබෙනවා. අවබෝධයෙන් ම පින්කම් කරන්න, ධර්මයේ හැසිරෙන්න පුළුවන් කාලයක් උදා වෙලා. නමුත් ඔබට එය මගහැරුනා නො වේ ද?”

“අනේ ඔය ඇත්තම ද? මං හිතාගෙන හිටියේ අපි හොඳින් ජීවත් වුණා කියලා.

අනික ඉතිං හැමදාම පන්සල් යන්න පුළුවනෑ. රාජකාරි, ගෙදර දොර වැඩ, දූ දරුවන්ගේ වැඩ අතරේ බණ භාවනාවට කොයින් ද වෙලාවක්? පෝය නිවාඩු දවසට ඉතිං විනෝද ගමන් යනවා. ගෙට ම හිර වෙලා නොවැ ඉන්නේ.

මා යි, ස්වාමිය යි හිතාගෙන හිටියේ ටිකක් වයසට ගියාම පින්කම් කර ගන්ට. සිල් ගන්ට. ඒත් මගෙ ස්වාමියාට හෘදයාබාධයක් හැදුණා හදිසියේ ම. එයා නැති වුණා. මං තනි වුණා. පෝය කීපයක් නම් සිල් සමාදන් වුණා.

එකවර ම මාත් අසනීප වුණා. ඔත්පල වුණා. ඇවිද ගන්න බැරුව පින්කම් කොහොම කරන්න ද? රේඩියෝ එකෙන් බණ ඇහුවා. ඒත් ඉතිං මේ අහනවා, මේ මතක නැහැ. භාවනා කරන්න පටන් අරන් සුළු මොහොතකින් නින්ද ගිහින්. තරුණ කාලේ වගේ නො වෙයි. වයසට ගියාම වාරු නැහැ නොවැ. පින්වත ඔබට කියන්න පුළුවන් ද ඊට හේතුව?”
“හොඳයි. එදිනෙදා වැඩ කටයුතු කරගෙන ජීවත් වීම ප්‍රමාණවත් නැහැ කියලා දැන් වැටහෙනවා නේ ද?

තමාට පිහිට පිළිසරණ ඇතියි කියලා රැස් කරපු, හදපු වඩපු කිසි දෙයක් මරණෙදි පිළිසරණක් වෙන්නේ නෑ. ඔය අන්තිම ප්‍රශ්නෙට හේතුව බුදුරජාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය, ආර්ය මහා සංඝරත්නය යන උතුම් තිසරණය පිළිබඳ තිබෙන අල්ප අවබෝධය.

‘බුද්ධ ධර්මය’ විෂය ඔබ භාවිත කළේ විභාග සමත් වන්න. රැකියාවක් ලබා ගැනීමට සුදුස්සෙක් වීමට.

ඒ වගේ ම යි උතුම් තිසරණයේ පිහිට පිළිබඳව ගොඩනැඟී තිබෙන අල්ප විශ්වාසය. ඇත්ත…. අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ මොහොතේ සිට මේ උතුම් ධර්මයට මොන තරම් අකටයුතුකම් වුණා ද? ඒ ගැන සිහි කරන්ටත් බෑ. ඇඟ කිළි පොලා යනවා.

ම්… ඒවායින් කාරි නෑ. නමුත් බොහෝ කාලෙකට පස්සේ දැන් ඒ උතුම් ධර්මය විවර වෙලා තියෙනවා. මනුලොව මිනිසුනේ… ඒ දහම් සයුරින් පැන් බී සසර දුක නම් වූ පිපාසාව සන්සිඳුවා ගනු. සසරින් එතෙර වෙනු.”

“අනේ සාදු…! සාදු…! මා හටත් ඒ ලාභය ලැබුණා නම්.. අනේ මං අසරණ වෙන්නේ නෑ නොවැ.”

“හා… දැන් කරන්න දෙයක් නෑ. ඔබ දැනටමත් පමා වැඩියි. ඔබ දැන් යා යුතුයි. නමුත් මෙය කියවන ඔබට එසේ නොවේවා! ශ්‍රද්ධා ලාභය ලබාගෙන දහමේ හැසිරෙන්න. යමෙක් සැඩ ගං පහරට වැටුනොත් ඒ ගඟ පහළට කොහොමත් ගසාගෙන යනවා. ඒ නිසා උඩුගං බලා පීනන්ට වීරිය ගන්ට.”

සටහන – උත්පලා නඳුනි ලියනගේ