පින්වත් ස්වාමීන් වහන්ස, මම අසරණයන්ට අතහිත දෙමින්, දානාදී පින්කම්හි බොහෝ කලෙක සිට නිරත වෙන අයෙක්මි. අතීතයේ දී කාමයේ ආදීනව නොවැටහී කාම මිත්‍යාචාරයේ යෙදී පසුව ඉන් සම්පූර්ණයෙන් ම වැළකී පින්දහම් තව තවත් කරමින් සුසිල්වත්ව දිවිගෙවන කල්හී, පූර්ව අකුසල කර්ම යටපත් කරමින් කුසල් වඩා යහපත් උපතක් ලබාගත හැකි ද?

භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ යමෙක් තම වරද වරදක් වශයෙන් දැක ඊට ධර්ම විනයානුකූලව පිළියම් කිරීම බුද්ධ ශාසනය තුළ දියුණුවක් බවයි. පෙර අකුසල් සිදුවූ කෙනෙකු තිසරණ පන්සිල්හි පිහිටා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ වැඩීම තුළ පූර්ව අකුසල් මැඩලන බලවත් කුසල් උපදවාගත හැකි බව සංඛධම සූත්‍රය, කරජකාය සූත්‍රය ආදි දේශනාවල සඳහන් ව තිබෙනවා. කල්‍යාණමිත්‍ර ඇසුරත්, සද්ධර්ම ශ්‍රවණයන් ලැබීම තුළ දුසිල්වත් ජීවිත ගත කළ අය සිල්වත් වෙනවා. අසමාහිත සිත් ඇති අය සිත සමාහිත කර ගන්නවා. දුෂ්ප්‍රාඥ අය ප්‍රඥාවන්තයන් බවට පත්වෙනවා. එය බුද්ධ ශාසනයක් තුළින් ලොවට සැලසෙන විශාල යහපතක්. ඒ තුළින් සුගතියත්, ධර්මාවබෝධයත් විවෘත වෙනවා. එම නිසා ඔබත් ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා කියන සේඛ බල ධර්මයන් වඩ වඩාත් දියුණු කර ගන්න. පින බලවත් කර ගන්න. එවිට ඒ තුළින් ජීවිතය යහපත් කරගෙන සුගතිගාමීව ධර්මාවබෝධය ලබන්නට අවස්ථාව උදාවෙනවා.