බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම අතිශයින්ම දුර්ලභයි. ඒ ශ්‍රී සද්ධර්මය සරණ ගිය ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයින් වන්නට ලැබීම මිනිසත් ජීවිතයක ලබන පරම දුර්ලභ ලාභයකි. සසර නමැති වියලි කතරක අතරමංව සිටින දෙව් මිනිස් ලෝ සතුනට හමුවන ක්ෂේම භූමිය වනාහී බුදු සසුනයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ලබාදිය හැකි සැනසීම ලොව වෙනත් කුමකින් නම් ලබන්නද!

සදහම් රසයට සමකළ හැකි රසයක් ද නැත. ඒ ප්‍රඥාවට සම කළ හැකි ආලෝකයක් ද නැත. ඒ විමුක්ති සුවයට සම කළ හැකි සැපයක් ද ලොව නැත.

භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් දේශනා කරන ලද අමා නිවන පමුණුවන ශ්‍රී සද්ධර්මය මහ සයුර මෙනි. මහ සයුරෙහි නොයෙක් වටිනා වස්තූන් ඇත්තේය. එහෙයින් අසුරයෝ මහ සයුරට සිත් අලවා වාසය කරති. ඒ අයුරින් ම තථාගත ප්‍රවිදිත ධර්මයෙහි ද නොයෙක් වටිනා වස්තූන් ඇත්තේ ය. ඒ මොනවාද යන වග පහත දෙසුමෙන් මොනවට පැහැදිලි වේ.

“පහාරාදයෙනි, යම් සේ මහා සමුද්‍රයෙහි බොහෝ රුවන්, නොයෙක් රුවන් ඇත්තේ ද එහිලා මේවා රුවන් ය. එනම් මුතු ය, මැණික් ය, වෛරෝඩි ය, හක්ගෙඩි ය, සිලා ය, පබළු ය, රිදී ය, රන් ය, පද්මරාග ය, මසාරගල්ල ය යනාදිය ඇත්තේ ද, එසෙයින් ම පහාරාදයෙනි, මේ ධර්ම විනයෙහි බොහෝ රුවන්, නොයෙක් රුවන් ඇත්තේ ය. එහිලා මේ රත්නයෝ ය. එනම්, සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේවා ය. පහාරාදයෙනි, යම් හෙයකින් මේ ධර්ම විනයෙහි බොහෝ රුවන්, නොයෙක් රුවන් ඇත්තේ ද, එහිලා මේ රත්නයෝ ය. එනම්, සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේවා ඇත්තේ ද, පහාරාදයෙනි, මෙය මේ ධර්ම විනයෙහි ඇති සත්වෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසති.

(පහාරාද සූත්‍රය – අං. නි. 5)

බුද්ධෝත්පාද කාලයක පමණක් ලොවට මතුවන මෙම සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් පංච බල ධර්ම ගැන මෙම ලිපියෙන් විස්තර වේ. පංච බල යනු ශ්‍රද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය හා ප්‍රඥා බලය යි. මේ පංච බල ධර්මයන් ප්‍රගුණ කිරීම ක්‍රමයෙන් නිවන පිණිස ම නැමී පවතින ආකාරය භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම උපමාවෙන් මනාව තේරුම් ගත හැකිය.

“මහණෙනි, ගංගා නදිය පෙරදිගට නැමී, පෙරදිගට නැඹුරු වී ඇත්තේ යම් සේ ද, එසෙයින්ම මහණෙනි, පංච බල ධර්ම දියුණු කරන්නා වූ, පංච බල බහුලව ප්‍රගුණ කරන්නා වූ භික්ෂුව නිවනට නැමුනේ වෙයි. නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි.”

(පාචීනනින්න සූත්‍රය – සං. නි. 05)

“මහණෙනි, වෘක්ෂයක් පෙරදිගට නැමී, පෙරදිගට නැඹුරු වී, පෙරදිගට බර වී තිබේ නම්, ඒ වෘක්ෂය සිඳින කල්හී වැටෙන්නේ කවර ප්‍රපාතයකට ද? වෘක්ෂය යම් දෙසකට නැමුනේ ද යම් දෙසකට නැඹුරු වූයේ ද යම් දෙසකට බර වූයේ ද ඒ දෙසට ම ය. එසෙයින්ම මහණෙනි, භික්ෂුව පංච බල ධර්මයන් වඩන්නේ, පංච බල බහුලව ප්‍රගුණ කරන්නේ නිවනට නැමුනේ වෙයි. නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි.

(රුක්ඛ සූත්‍රය – සං. නි. 5)

බුදුරජාණන් වහන්සේ පංච බල ධර්මයන් හඳුනාගත යුතු ආකාරය ගැන මෙසේ ද දේශනා කළ සේක.

“මහණෙනි, ශ්‍රද්ධා බලය දැක්ක යුත්තේ කවර තැනකද? සතර සෝතාපත්ති අංග තුලය ශ්‍රද්ධා බලය දැක්ක යුත්තේ.

මහණෙනි, විරිය බලය දැක්ක යුත්තේ කවර තැනකද? සතර සම්‍යක් පධාන වීර්යයෙහිය විරිය බලය දැක්ක යුත්තේ.

මහණෙනි, සති බලය දැක්ක යුත්තේ කවර තැනකද? සතර සතිපට්ඨානයෙහිය සති බලය දැක්ක යුත්තේ.

මහණෙනි, සමාධි බලය දැක්ක යුත්තේ කවර තැනකද? සතරක් වූ ධ්‍යානයන්හිය සමාධි බලය දැක්ක යුත්තේ.

මහණෙනි, ප්‍රඥා බලය දැක්ක යුත්තේ කවර තැනකද? චතුරාර්ය සත්‍යයෙහිය ප්‍රඥා බලය දැක්ක යුත්තේ.

(බලදට්ඨබ්බ සූත්‍රය – අං. නි. 3)

සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් එකිනෙකට සම්බන්ධව වැඩෙන ධර්මයන් ය. යමෙක් පංච බල ධර්මයන් ප්‍රගුණ කරන්නේ නම් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ම ඒ සමඟ වැඩෙන ආකාරය බුදුරජාණන් වහන්සේ උපමාවකින් මෙසේ වදාළ සේක.

“මහණෙනි, යම් සේ අහසෙහි විවිධ අයුරින් සුළං හමයි. පෙරදිගිනුත් සුළං හමයි. බටහිරිනුත් සුළං හමයි. උතුරිනුත් සුළං හමයි. දකුණිනුත් සුළං හමයි. දූවිලි සහිතවත් සුළං හමයි. දූවිලි රහිතවත් සුළං හමයි. සීතලෙනුත් සුළං හමයි. උණුසුමෙනුත් සුළං හමයි. ස්වල්ප වශයෙනුත් සුළං හමයි. ඉතා බලවත් ලෙසත් සුළං හමයි.

එසෙයින්ම මහණෙනි, පංච බල ධර්මයන් දියුණු කරන විට, පංච බල ධර්මයන් බහුලව ප්‍රගුණ කරන විට භික්ෂුව තුළ සතර සතිපට්ඨානයත් වැඩීමෙන් පිරිපුන් බවට යයි. සතර සම්‍යක් පධානයනුත්, සතර ඉර්ධිපාදත්, පංච ඉන්ද්‍රියයනුත්, සප්ත බොජ්ඣංගයනුත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයත් වැඩීමෙන් පිරිපුන් බවට යයි.”

(ආකාස සූත්‍රය – සං.නි. 5)

අකුසල් දුරුවන ආකාරයෙන් බලවත් ලෙස පංච බල ධර්මයන් ප්‍රගුණ කළයුතු ආකාරය භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද වදාළ සේක.

“මහණෙනි, යම් සේ පායන කාලයෙහි අවසාන මාසයෙහි උඩට නැගුනු දූවිලි දුමාරය මහා අකල් වැස්සෙන් සැණෙකින් නොපෙනී යයි ද සන්සිඳෙයි ද, එසෙයින්ම මහණෙනි, භික්ෂුවක් පංච බල ධර්මයන් වඩන්නේ, පංච බල ධර්මයන් බහුලව ප්‍රගුණ කරන්නේ, උපනූපන් පාපී අකුසල ධර්මයන් සැණෙකින් අතුරුදහන් කරයි. සන්සිඳුවයි.

මහණෙනි, භික්ෂුවක් පංච බල ධර්මයන් කෙසේ වඩද්දී ද කෙසේ බහුල කරද්දී ද උපනූපන් පාපී අකුසල දහම් සැණෙකින් අතුරුදහන් කරන්නේ? සන්සිඳුවන්නේ?

මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතුව, විරාගී සිතින් යුතුව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතුව, නිවනට නැඹුරු වූ සිතින් යුතුව ශ්‍රද්ධා බලය දියුණු කරයි…. විරිය බලය…. සති බලය…. සමාධි බලය… ප්‍රඥා බලය දියුණු කරයි.”

(මේඝ සූත්‍රය – සං.නි. 5)

යමෙක් පංච බල ධර්මයන් ප්‍රගුණ කරන කල්හි කෙලෙස් දුක් ගිනි නිවී යන ආකාරය බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, මේ දුක් තුනකි. ඒ කවර තුනක් ද යත්, රාග දුක ය, ද්වේශ දුක ය, මෝහ දුක ය. මහණෙනි, මේ වනාහී දුක් තුනයි. මහණෙනි, මේ දුක් තුන විශිෂ්ට ඤාණයෙන් අවබෝධ කරනු පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස පංච බල ධර්මයන් වැඩිය යුත්තේ ය.”

(නීඝ සූත්‍රය – සං. නි. 5)

ලෝකයට ඉතාමත්ම කලාතුරකින් උදාවන බුදු සසුනකදී පමණක් අසන්නට ලැබෙන උතුම් ශ්‍රී සද්ධර්මය දෙව් මිනිස් ජීවිත මැනැවින් සුවපත් කරයි.

සියලු පව් නොකිරීම ද, සත්තිස් බෝධි පාක්ෂික ධර්ම නම් වූ කුසල් දහම් රැස් කරගැනීම ද, තම සිත පිරිසිදු කර ගැනීම ද යන මෙය බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනයයි.

මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පිළිසරණ ලබනු පිණිස සියලු දෙනාටම වාසනාව උදාවේවා!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි