අති දීර්ඝ සංසාරයක් පුරා ඔබත්, මමත් පීඩාවට පත් වෙමින්… සුසුම් හෙළමින්… අඬා වැළපෙමින්… විටෙක නිරයේ ගිනි දැල් අතර කල්ප ගණන් දැවෙමින්… තැවෙමින්… මහා අඳෝනා නගමින් පැමිණියේ සිත කියන කියන දේ කළ නිසා ම ය. සිතේ කීකරු දාසයෙක් වූ නිසා ම ය. අදත් ප්‍රමාදයේ ගැලෙමින් සිතේ වහලෙකු ලෙස බොහෝ යටහත් ව සිත කියන කියන දෙය කරන්නට ගියහොත් දුකින් නම් නිදහස් විය නො හැක්කේ ම ය.

ලෝකයේ සියලු ම සතුන් වසඟ වූ සිත ගැන ශාස්තෘන් වහන්සේ වදාළේ වහා සැලෙන, චපල, මොහොතකින් වෙනස් වන මායාකාරී දෙයක් ලෙසටයි. එලෙසින් ම දමනය නොකර ගත්තොත් මහත් විපත පිණිස පවතින එබඳු වෙන දෙයක් නැති බවයි. සර්වඥයන් වහන්සේගේ අනන්ත අපරිමිත ඤාණයෙන් ම ය මේ සිත ගැන අපට කියා දෙන්නේ. තථාගතයන් වහන්සේනමක් පෙන්වා නො දෙන්නට සිත ගැන මෙබඳු දේ අප දන්නේ නැත. “මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා” යනුවෙන් සම්බුදුරජුන් වදාළ ලෙස සියලු ධර්මයන්ට මනස මුල් වෙයි. මනස ම ශ්‍රේෂ්ඨ වෙයි. මනසින් ම හටගනියි.

මේ භද්‍ර කල්පය සොඳුරු වූවකි. ඔබත්, මමත් ජීවත් වන මේ යුගය තුන්ලෝකයක් ඒකාලෝක කළ, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී පෙළහර පෑ, අති උත්තම වූ, අසහාය වූ, ආශ්චර්යවත් වූ, අද්භූත වූ සවන්පත්වලට මී බිඳු පතිත වන්නාක් ලෙස ඒ පාරමී පූරණය කරන සමයේ පවා දහම් දෙසමින් මොනරෙකු ලෙස ඉපිද සිටිය දී තමා ව හසුකර ගන්නට පැමිණි වැද්දාට ද පසේබුදු වන්නට මංපෙත් පාදා දුන්, දෘෂ්ටි නම් වූ අන්ධකාරයට සූර්ය මණ්ඩලයක් ව හිරුගොත් වංශයේ උපන්නා වූ, ගෞතම නම් වූ, අප හැම අන්ධයන් සේ අඳුරේ හිඳින විට සදහට ම අඳ බවින් මිදෙන්නට උපකාර කළා වූ, මෛත්‍රී මූර්තියක් ම වූ ඒ මහාකාරුණිකයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය අතුරුදහන් වන යුගයක් ම ය.

ඉදිරියේ වඩ වඩාත් මුණගැසෙනුයේ සුදු පිරුවට දවටා, මුතුහර පලඳා, කාමයෙන් මුසපත් ව “අපිත් මේ ලෝකයේ ශ්‍රේෂ්ඨයන් වෙමු. ගෞතම ශ්‍රාවකයන් වෙමු.” යි කියා හුදෙක් තථාගතයන් වහන්සේ අසූචි ය කියා වදාළ ලාභ සත්කාර, කීර්ති, ප්‍රශංසා වෙනුවෙන් දහසක් බොරු කියන, දස දහසක් කේළාම් කියන, හිස් වචන ම කියන, තමා හුවා දක්වමින් අන් අයට ගරහන, සිල්වත්, සුපේෂල පිරිසට අප්‍රමාණ වදහිංසා කරමින් තමන්ගේ අසද්ධර්මය ලොවට බෙදන, මහගෙදර වූ අපායට ම නැවත යන්නට සදන පිරිස ම ය. විපරීත වූ සිතට මුළා වූ ඒ සියල්ලන්ට ගෞතම සසුන පමණක් නොව මෛත්‍රී සසුන ද අහිමි වනු ඇත.

සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ අති මහත් ආශ්චර්යවත් වූත්, අද්භූත වූත්, අචින්තනීය වූත් උන්වහන්සේ ම පමණක් දන්නා බුද්ධ විෂය පවා බලෙන් අත්පත් කර ගත හැක්කක් ලෙසින් දෙව්දතුන් සිතුවා සේ ලෙහෙසියෙන් පහසුවෙන් ලබා ගත හැකි දෙයක් ලෙස ගෙන බුදු බව පතන පිරිස් ද සිටින්නේ මාරයාගේ ග්‍රහණයේ ම ය. මේ සිත ද ඇස, කන, නාසය, දිව, ශරීරය යන ආයතන සේ ම මාරයාට අයත්, මාරයාගේ වසඟයේ පවතින දෙයකි. නොමගට පුරුදු කළොත්, අති මහත් විනාශයක් සලසන දෙය සිත ම බව ශාස්තෘන් වහන්සේ වදළ සේක. ඉන්ද්‍රිය අසංවර වීමෙන් වේගයෙන් නොමග යන මේ සිතට අකුසලයක පැටලෙන්නට මහා වෙලාවක් ගත නො වේ.

දස මසක් කුස දරා හිඳ, අපමණ දුක් විඳ මෙලොවට බිහි කොට පණ සේ තමා සුරකින මව මැරීමට තරම් විටෙක මේ සිත කුරිරු ය. බොහෝ වෙහෙස මහන්සි ව මහත් ආදරයෙන් තමා රැකගත් පියා මරන්නට තරම් මේ සිත සැහැසි ය. සියලු ලොවට අභය, අවෛරය දන් දෙන රහතන් වහන්සේලා නසන්නට ද සංඝයා භේද කරන්නට ද මේ සිත සූදානම් ය. දේවදත්ත තවමත් නිරයේ පැහෙනුයේ බුදුරජුන් මරා බුදු වීමට පුළුවන් කියා සිතුණ නිසා ම ය. සිතට වහලෙක් වූ ඔහුට ඒ සිත කීවේ රජෙකු මරා රජකම ගන්නා සේ බුදු බව යනු මේ ජීවිතයේ දී ම බුදුරජුන් නසා ලබා ගත හැකි දෙයක් බවයි. හේ කොතෙක් සිතේ වහලෙක් වී ද යත් නිතර ඇසුණ, සියලු දුක් නිවන අමා දහම ඔහු තුළ වැඩී ගියේ නැත.

තුන් ලෝකයේ ම දැකීම් අතරින් අග්‍ර වූ, දෙතිස් මහා පුරිස් ලකුණින් ශෝභිත, අසූවක් අනුව්‍යඤ්ජන ලක්ෂණ ඇති, බයාම ප්‍රභා මාලාවෙන් සමන්විත, මුව කමල විවර වන විට සුදු බුදුරැස් විහිදෙන දන්ත ධාතූන් වහන්සේලා සතලිසකින් යුත්, පොළොවේ වැලිකැට පරයන ලෙස ඇස්, ඉස්, මස් දන් දෙමින්, විවර කළ දොරින් අනන්ත ජීවිතවල දී දේවදත්ත මේ ජීවිතයේ දී පැතූ ලාභ, සත්කාර, කීර්ති ප්‍රශංසා, සිටු සම්පත් දන් දී ස්වකීය චිත්ත සන්තානය පාරිශුද්ධත්වය කරා ගෙන ආ, මෛත්‍රී මූර්තියක් වූ අප්‍රමාණ ගුණකඳක් ඇති බුදු සමිඳුන් දැක මොහොතකට පැහැදී දෙව්ලොවට ගිය මට්ටකුණ්ඩලී සේ දෙව්ලොව යන්නටවත් පිනක් ලබන්නට, දැක සතුටුවන්නට නො හැකි ලෙස ඒ දෑස් වෛරයෙන් අන්ධ ව තිබුණි. ඒ වෛරය තිබුණේ ඇසෙහි නොව සිතෙහි ම ය. තෙරුවන් ගුණ කියා සත්වයා සසරින් මුදවන මඟ විවර කරලන බුදු පුතෙකු වන්නට මහ කාරුණිකයන් අභිමුව හිඳ වුව ද ඔහුට නොහැකි විය.

තුන් ලොවක් මිහිරි දහමින් සනහා පැය දෙකක් පමණක් සැතපෙමින් සත්වගට සෙත සැලසූ ඒ බුද්ධ ශරීරය පිරිනිවන් පෑව ද ශාරීරික ධාතූන් වහන්සේලා දෙවි මිනිසුන්ට වන්දනීය ධාතූන් ලෙස අදත් වැඳුම් පිදුම් කළ හැකි ලෙස ශේෂ ව පවත්නා පරිද්දෙන් ම සැරියුත්, මුගලන් ආදි මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා ලොවට පිදුම් වූයේ යම් සේ ද ඒ පූජනීයත්වය ලබන්නට දේවදත්තට නොහැකි විය. මහරහත් ධාතූන් අදත් දෙවිමිනිසුන්ගේ අපරිමිත පුදසත්කාර ලබද්දී තවමත් නිරි සතෙක් ව, අති දැවැන්ත ශරීරයක් ඇතිව මහා දුක් අඳෝනා තබමින් නිරි ශරීරය මහත් වූ ගින්නේ බලවත් ව පීඩාවට පත් වද්දී ඔහු කටුක දුක් විඳින්නේ සිතේ කීකරු දාසයෙක් ලෙස දිවි ගෙවූ නිසා ය.

ගිනිගත් වියැළි කතරට මහාමේඝයක් සේ අමා දම් වැසි වැටෙද්දී ඒ සිත නිවාගන්නට දේවදත්තට නොහැකිවීම අතිශය සංවේගජනක ය. කෙනෙකු ශ්‍රද්ධානුසාරීවත් නැති නම් නිරයේ නොවැටී සිටීමට කිසිම සහතිකයක් නැත. ස්ථිර වශයෙන් ම නිරයෙන් නිදහස් වනුයේ ඒ උතුම් අරි අටඟි මගට පිළිපන් සෝතාපන්න ශ්‍රාවකයාට ය.

ජීවිත ආශාව ඇතත්, නැතත් මරණය සිදු වේ. අපට ඇත්තේ සසරේ අනන්ත අප්‍රමාණ වාරයක් මැරි, මැරී ආ ගමනයක් ම ය. අප්‍රමාදී වන්නට සිහි කළ යුතු ම දහමත් මරණය ම ය. පහළට හෙළන හුස්ම පොද නැවත ආපිට ගන්නට පෙර මිය යන්නට වුව ද හැකි බව ය අප සිතිය යුත්තේ. අකුසල් සහිත සිතකින් මේ මොහොතේ මිය ගියහොත් අප කොහේ යාවි ද? අසදෘස මහා දන් දුන් කෝසල මල්ලිකා පවා මරණින් පසු දින හතකට නිරයට ගියේ එක ම එක වරදකින් නම්… සෝවාන් නො වන තාක් අප සිටින්නේ කොතරම් නම් අනතුරක ද?

සිතෙන් ම හට ගත් ලෝකයට සිතෙන් ම මුළා වී යන මේ ගමන සොඳුරු ගමනක් නම් නො වේ. ලොවේ සනාතන සත්‍යය නොපෙනී විකෘති සිතකින් යුතුව යන ගමනේ අති භයානක බව මහා කරුණාවෙන් අපට පෙන්වා වදාළේ බුදු සමිඳාණන් ම ය. ඒ පෙන්වාදීම ද ලොව අතිශය කලාතුරකින් සිදු වන්නකි. ලෝකයට සියලු දුකින් නිදහස් වන මග දෙසන ලොව්තුරා බුදුරජාණන් වහන්සේනමක් පහළ වීම යනු අතිශය දුලබ ව සිදු වන්නකි.

මනා සේ සයුරෙන් එතෙර වූ කෙනෙකු මහා සාගරයෙන් එතෙර වන ආකාරය මනා කොට දනී. අපගේ ශාස්තෘන් වහන්සේගේ ජීවිතය ද එලෙස ය. උන්වහන්සේ මේ මායාකාරී සිතෙන් සදහට ම නිදහස් වී වදාළහ. සිතට ඉඩ නො දී, සිතට වසඟ නො වී ධර්මයට ම පමණක් ඉඩ දුන් සේක.

අපි අනන්ත දීර්ඝ කාලයක් දුක් විඳ විඳ පැමිණියේ මේ සිතත් සමඟ ය. සිත කැමති දේ ලැබෙන විට සතුටු වූයෙමු. සිත අකමැති දේ ලැබෙන විට හඬා වැළපුනෙමු. සිත මුළාවට පත්වන දේ ලද විට එයින් ම මත්ව මෝහනය වී සිටියෙමු. අපි රාගයෙන් දැවී, ද්වේෂයෙන් දැවී, මෝහයෙන් විපරීත දැකුම් ඇති කරගෙන, නැති දේ ඇති ලෙසත් ඇති දේ නැති ලෙසත් මවාගෙන අනිත්‍ය දේ නිත්‍ය යැයි ගෙන, දුක ම සැප යැයි මුළාවෙන් දැක කඳුළු වගුරවමින් ඒ දුක අනුභව කළෙමු. දුක හැදෙන මාවතේ දුකට ම බැඳී, දුකින් ම මුසපත් ව, දුක නම් වූ ලෝකය ලබනු පිණිස ම සතුන් මරා, සොරකම් කොට, වැරදිකාම සේවනය කොට, බොරු කියා, කේළාම් ද කියා, හිස් වචන කියමින් කල් මරා සතුටු ව, පරුෂ වචන කියමින් අන් අයගේ සිත් දූෂ්‍ය කරමින්, අනුන්ගේ දේ කෙරෙහි ද ආශාව ඇති කරගෙන නිරයේ ගොස් කල්ප ගණන් දුක් වින්දේ ද සිත නිසා ම ය.

ඇසින් දකින දේ ගැන තීන්දු තීරණ ගන්නේ සිත ය. කනින් අසන දේ ගැන ද නාසයෙන් දැනෙන ගඳ සුවඳ ගැන ද දිවෙන් දැනෙන රස ගැන ද කයට දැනෙන පහස ගැන ද තීරණ ගනු ලබන්නේ සිත ම ය. සිත ඒ දේවල ආස්වාදයට වසඟ වේ. ආදීනව අපමණ තිබුණ ද මේ සිත පෙන්වා දෙනුයේ අල්පමාත්‍ර වූ ආස්වාදය පමණි. ඒ අල්පමාත්‍ර වූ ආස්වාදය ද සදාකල් පවතින්නක් නොව අනිත්‍ය වූ ස්පර්ශයෙන් හට ගත් වින්දනයක් බව බුදුරජාණන් වහන්සේනමක් විසින් පෙන්වා දෙන තුරු ම කිසිවකු නො දනී.

මේ ජීවිත පැවැත්ම අවිද්‍යාව නිසාවෙන් ඉදිරියට යන වැඩපිළිවෙළක් බව වජ්‍රමය ඤාණයෙන් දැනගෙන ලොවට දේශනා කරනු වස්, ඒ උතුම් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරනු වස් උන්වහන්සේ ස්වකීය ජීවිතය සසර පුරාවට ම කැප කළ සේක. අනන්ත අප්‍රමාණ වර සියලු රජ සැප අතහැර නෙක්ඛම්ම සුඛය පිණිස ම නික්මුණ සේක. මහපොළොවේ වැලි කැට පරයමින් ඇස්, ඉස්, මස්, දන් දුන් සේක. රන්, රිදී, මුතු, මැණික්, දැසි දස්සන්, යාන වාහන, ගව මහීෂාදීන්, ඇතුන්, අසුන් ආදිය පමණක් නොව දාන පාරමිතා පූරණය කිරීම පිණිස සිය ප්‍රාණය සදිසි අඹු දරුවන් පවා දන් දුන් සේක. සීල පාරමිතාව ජීවිත පරිත්‍යාගයෙන් පූරණය කළ සේක. නෙක්ඛම්ම පාරමිතාව පූරණය කළ සේක. වජ්‍රමය අධිෂ්ඨානය බුදු වන මොහොත දක්වා ම නො සැලී තිබුණි. ඉවසීමෙන් නිර්මිත පිළිරුවක් වූ ඒ මහසත්ගේ ශරීර අවයව කැපුව ද ක්ෂාන්තිය අචල ව ලෝකය සිසාරා පැතුරුණි.

පාරමී පූරණය කරන සමයේ පවා කිසිම ආකාරයකින් බොරු නො කී උන්වහන්සේ සත්‍ය වචනයෙන් මරණය කරා ද පැමිණි සේක් ම ය. අල්පමාත්‍ර වූ ද ලාභයක් නොමැතිව විහිළුවට පවා බොරු කියාගන්නා, මානසික වහල් බවේ පතුලේ සිටින මෙවන් යුගයක ඒ සත්‍ය පාරමිතාව ආශ්චර්යයක් ම ය. අසහාය වීර්යය ඇති උන්වහන්සේ සිය ඉලක්කය පූරණය වන තෙක් ම අකම්පිත ය. ප්‍රඥාවට ආකරයක් බඳු වූ, සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ, දසබල ඤාණයන්ගෙන් ද විසාරද ඤාණයන්ගෙන් ද ඍද්ධිවිධ ඤාණයන්ගෙන් ද පරිපූර්ණ වූ හිරු සඳු එළි දහසක් පරදවන ඒ ප්‍රඥාව සත් වග සියලු දුකින් නිදහස් කරයි.

අෂ්ටලෝක ධර්මය ඉදිරියේ අකම්පිත අප මහා මුනිරජාණන් වහන්සේගේ සිත පරිපූර්ණ උපේක්ෂාවෙන් සන්නද්ධ ය. ඒ කරුණා නිධාන වූ සකල සත්ව හිතෝපදේශකයාණන් වහන්සේට පවා, මේ ලොවේ ඇති සනාතන සත්‍යය අවබෝධ කළ ඒ නරශ්‍රේෂ්ඨයන් වහන්සේට පවා ඒ අවබෝධය නොදෙසන්න යැයි අයදින්නට ලෝකපාලක බලවේගය පසු නො බෑවේ ය. සිය සේනාවෙන් පහර දෙමින්, සියලු සත් වග විඩාවෙන් විඩාවට හෙළමින් කාමයෙන් මුසපත් කොට, අකුසලයේ ම අලවා, සා පිපාසාවෙන් හෙම්බත් කොට, තණ්හාවේ කටු ඔටුන්න පලඳා, අලස බවින් ද නිදිමතින් ද සිහි විකල් කොට, භය උපදවා, අයහපතින් මිදී යහපත කරා එන මග තුළ ද සැක සංකා උපදවා, තද පරුෂ බවින් වෙලා, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා, බොරුවෙන් යසස් සොයමින් යන්නට සිත මෙහෙයවන්නට ඔහුට හැකි ය. සිතට වසඟ වූ සියල්ලෝ ම පවිටු මරුගේ ගෝලයෝ ය.

කොතෙක් වහලෙකු ලෙස කීකරු ව මෙහෙකාරකම් කළත්, හිතක් පපුවක් නැති අතිශය දරුණු සාහසික පාලකයෙකු ලෙසින් යළි යළිත් දුක කරා ම මේ සිත අප ව ගෙන යයි. සිතේ හටගත් විරාගයට පවා නොඇලී සිටිය යුතු නම් රාගය ගැන කිව යුත්තක් ම නැත. රාගයට සිත නතු වුවොතින් සිත ගිනි ගනී. දැවෙයි, තැවෙයි. වැරදි කාමසේවනයට පවා ගොස් සතර අපාය නවාතැන්පොළ කර ගත හැකියි. ඒ රාගයෙන් සිත නිදහස් වූ විට අප්‍රමාණ ශාන්තියක් සිතට දැනේ. අනන්ත සැපයක් දැනේ. ද්වේෂය යනු රාගයේ ම අනික් පසයි. ලෝකය පිළිබඳ ඇති අනවබෝධය නිසා ම රාග, ද්වේෂ ඇතිවේ. අනාගාමී ඵලයේදී කාම රාග, පටිඝ සහමුලින් ම ප්‍රහාණය වේ.

රාගයෙන් මිදීම පිණිස මේ කයේ ඇත්ත ස්වභාවය අපට පෙන්වා දුන්නේ අපගේ සම්බුදු සමිඳුන් ම ය. සතර මහා ධාතුවට ම සිත ඇලෙන බව, එයට ම ගැටෙන බව, ඒවාට සිතේ අකුසල් උපදවාලන බව ලෝකයේ වෙන කිසිම ශාස්තෘවරයෙකු කියා දී නැත. මෝහයෙන් මිදීම පිණිස මේ ලෝක සත්‍යය ඒ අයුරින් ම වෙන කිසිවෙකු කියා දී නැත. මේ ලෝකයේ සියලු දේ අනිත්‍ය බව, දුක බව, තම වසඟයේ නොපවතින බව වදාළේ මහාකාරුණිකයාණෝ ම ය. ලෝකයේ බැඳෙනවා නම් බැඳෙන්නට ඇත්තේ අනිත්‍ය දෙයකට ම ය. බැඳුනේ යමකට ද එතන දුක තිබෙන්නේ ම ය කියා අපට කියා දෙන්නට සමත් වූයේ උන්වහන්සේ පමණි.

දුක නම් වූ ලෝකයට සිතින් ම බැඳී, සිතින් ම ඇලී යන ගමනේ සැබෑ ස්වභාවය දකින්නට නම් සිත දැකිය යුතු ය. සිත දකින්නට නම් සිත දමනය කළ යුතු ය. සීලයෙන් රැකවරණ ලැබ, සිහියෙන් යුතු ව, සමාධියෙන් එකඟ කොට බලන් සබඳ මේ සිත දෙස… ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තුළින් ඇවතුම් පැවතුම් සංවර වෙයි. පංචසීලය ආරක්ෂා කිරීම තුළ භය හා වෛර පහක් සන්සිඳෙන බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සීලය ජීවිතයට අතිමහත් ආරක්ෂාවක් සලසා දෙයි. සියලු ලෝකය මුළාවෙන් දකින මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියයන් අසංවර වීම නිසා ම පීඩාකාරී දැවිලි ඇති වේ. අර්බුද ඇති වේ. ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගනිමින්, අනුමාත්‍ර වරදේ පවා බිය දකිමින් වාසය කරන කෙනාගේ ජීවිතය පාරිශුද්ධත්වය කරා ම ගමන් කරයි. ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලය සිව්පසයේ යථාර්ථය කියාදෙයි. ඒවාට සිතේ ඇති ඇල්ම නිරුද්ධ වීම පිණිස ම කටයුතු කරන ආකාරය මනා කොට පෙන්වයි. සිහියෙන් ම සියලු ඉරියව් පවත්වාගෙන යන ආකාරය කියා දෙයි. යාම්, ඊම්, කථා බහ කිරීම්, නිහඬ ව සිටීම, දන් වළඳන විට, වැසිකිළි කැසිකිළි කරන විට පවා සිහිනුවණ පවත්වා ජීවිතයේ ඇත්ත තේරුම් ගෙන අකුසලයන්ගෙන් සිත නිදහස් කර ගැනීමට තථාගතයන් වහන්සේ අවවාද කළ සේක.

මේ දහම් මඟ හුදෙකලා ව සිත දමනය කිරීම පිණිස, ලෝභයත් – දොම්නසත් බැහැර කරමින් සියලු දේ කෙරෙහි ආශාවෙන් තොර වීම පිණිස සිත හික්මවයි. එසේ සිත දමනය කරන්නා සිත ශාන්ත කරවයි. ධ්‍යාන උපදවා ගනී. මෙසේ පළමු, දෙවෙනි, තුන්වන, හතරවන ධ්‍යාන උපදවාගෙන නිවන් මඟේ හික්මෙමින්, සියලු ලෝකයන්ගේ සැබෑ ස්වභාවය දැක ගනී. පරිපූර්ණ වශයෙන් ම මේ දුක නම් වූ ලෝකය අවබෝධ කර ගනී. දුක කෙරෙහි ඇති ඇල්ම පරිපූර්ණ වශයෙන් ම නිරුද්ධ වේ. දුකින් නිදහස් ව අමා නිවන සාක්ෂාත් කරයි. දුක අවබෝධ කළ බවටත්, දුකට හේතුව නැති කළ බවටත්, දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළ බවටත්, ඒ නිවන් මඟ පරිපූර්ණයෙන් ම වඩා නිම කළ බවටත් තමා තුළ ම අවබෝධ ඤාණය ඇති වේ.

යළි යළිත් දුක උපදවන හේතුව නොමැති වූ බවත්, මේ සිතේ සසර පුරා තැන්පත් ව තිබූ කාමය කෙරෙහි වූ කැමැත්ත – කාමාශ්‍රව, යළි යළි මේ පැවැත්මට කැමති වූ බව – භවාශ්‍රව, දුක, දුකට හේතුව, දුක්ඛ නිරෝධය, දුක නැති කරන මග නම් වූ ආර්ය සත්‍යය හතර නොදැනීම නිසා ම මෙතෙක් තමන් සසරේ ආ බව වැටහේ. ඒ අවිද්‍යාවට පළමු ප්‍රහාරය වැදී තමා තුළ වූ වැරදි දර්ශනයෙන්, සියලු මතවාදයන්ගෙන් විනිර්මුක්ත ව සම්මා දිට්ඨිය ලබයි. ලෝකය දුකට අයත් බවත්, දුකෙන් නිදහස් විය යුතු බවත් සම්මා සංකප්ප ලෙස ඒ සිතේ හට ගනී. දුකින් නිදහස් වීම පිණිස, දුක නම් වූ ලෝකය මෙතෙක් පැවැත්වීම පිණිස ගෙන ගිය සියලු ආකාරයේ අධාර්මික කටයුතු නවතයි. නෙක්ඛම්ම සංකල්පයන්, අවිහිංසා සංකල්පයන්, අව්‍යාපාද සංකල්පයන් සිතේ හට ගනී. එබඳු සිතකින් යුතුව වචනය ද පිරිසිදුව භාවිත කරයි. බොරුවෙන්, කේළමින්, පරුෂ වචනයෙන්, දෙලොවට ම වැඩක් නැති හිස් වචන බිනීමෙන් වළකී. මෙය ඔහුගේ සම්මා වාචා යි.

පරම පාරිශුද්ධ කටයුතු පමණක් කැමති හෙතෙම සියලු ප්‍රාණඝාතයෙන් ද සොරකමින් ද වැරදි කාම සේවනයෙන් ද නිදහස් වේ. මෙය ඔහුගේ සම්මා කම්මන්තය යි. දුක නම් වූ ලෝකය පැවැත්වීම පිණිස හේතු වූ සියලු මිථ්‍යා ආජීවයෙන් වැළකී, එනම් ජීවත් වීම පිණිස අනුන් රැවටීම, බොරුවෙන්, කපටිකමින්, මායාවෙන්, වංචාවෙන් කටයුතු කිරීම සිදු නොකර අවංක, පරම පිරිසිදු දිවිපෙවෙතක් ගෙන යාම ඔහුගේ සම්මා ආජීවය යි. සිතේ ඇති සියලු අකුසලයන් දුරින් ම දුරු කිරීම පිණිස, යළි හට නොගැනීම පිණිස, සියලු කුසල් දහම් පරිපූර්ණ කර ගැනීම පිණිස කටයුතු කිරීම සම්මා වායාමය යි. සිත පිරිසිදු කරමින් මේ සියලු කටයුතු කළ විට වැඩෙනුයේ සම්මා සතිය යි. පිරිසිදු දර්ශනයෙන් යුතු කුසල් සිතේ ඒකාග්‍රතාවය සම්මා සමාධිය යි. ඔහු තුළ වැඩෙන නුවණ සම්මා ඤාණය යි. පරිපූර්ණ වශයෙන් දුකින් නිදහස් වීම සම්මා විමුක්තිය යි.

ඉදින්,
“හැම ධර්ම කථාවක් ම තිබෙන්නේ මේ සඳහා ය. හැම ධර්ම සාකච්ඡාවක් ම තිබෙන්නේ මේ සඳහා ය. ගුරුවරු ඇසුරු කළ යුත්තේ මේ සඳහා ය. සවන් යොමුකොට දහම් ඇසිය යුත්තේ මේ සඳහා ය. එනම්, කිසිවකට නො බැඳී සදහට ම නිදහස් වීම පිණිස ය.”

(මහා වග්ගය – අං. නි.)

සටහන – නිලන්ති බෝපගේ