කාලය ගතවන්නේ අපට නො දැනීම ය. වසරක නිමාව සනිටුහන් කෙරෙන විට, වසරක කාලය කෙතරම් ඉක්මනින් ගතව ගියේ ද කියා අපට කල්පනා වේ. ආපසු හැරී බලන විට අප කළ කී දෑ අතරින් ගැඹුරින් සිතට කා වැදුණු සිදුවීම් හැරුණු කොට කාලය සමඟ වියැකී ගිය සිද්ධි දාමයන් එකක් නෑර අපට සිහිපත් වන්නේ නැත. ඒ සියල්ල කාලයේ වැලිතලාවෙන් වැසී ගොසිනි.

මෙලොව සියල්ලන්ගේ ම ජීවිත හා සබැඳුණු සියලූ සිදුවීම් කාලයේ වැලිතලාව මත නිදන් ව ඇත. සියවස් ගණනින් ඈත අතීතයට දිවයන ඒ ඇතැම් සුවිශේෂී සිදුවීම්වල මතක සටහන්, කලින් කලට ස්වකීය කුටුම්භයෙන් හිස ඔසවා, ‘එකල මෙසේ වී ය’ කියා වර්තමානය වෙත පණිවිඩ ගෙන එයි. ඒ පණිවිඩ බොහෝවිට අසම්පූර්ණ ය; අවුල් සහගත ය; නිගමනයකට එළඹීමට ප‍්‍රමාණවත් නැත.

ඒ අතින් සලකා බලන කල කාලයේ වැලිතලාවට වඩා ලිඛිත ඉතිහාසය අප කෙරෙහි කාරුණික ය. මානව සංහතියේ සමස්ත ජීවිත ස්වභාවය ම කේන්ද්‍රීය වෙනස්කම්වලට බඳුන් කළ අසිරිමත් ජීවිත පිළිබඳ නිවැරදි දින වකවානු සහිත ව තොරතුරු ගෙනඒමට ලිඛිත ඉතිහාසය සමත් ය. එහෙත් ලිවීමට වඩා බොහෝ වයස්ගත ඉතිහාසයක් කාලය විසින් සඟවා ඇති බව නො අනුමාන ය.

ධර්මය යටපත් කොට අධර්මයත්, සත්‍යය යටපත් කොට අසත්‍යයත් මේ යුගයේ හිස ඔසවා ඇත. එවන් පසුබිමක, පුහුදුන් ජනයාගේ අභියෝගයට ද සැදැහැති ජනයාගේ ගෞරව බහුමානයට ද පාත‍්‍රවූ, වාචික ව හා ලිඛිතව සඳහන් වන ලෝක ඉතිහාසය, කාලයේ වැලිතලාවෙන් වැසී ගිය ද කලින් කල හිස ඔසවා එහි සත්‍යවාදී බවට සාක්ෂි සැපයීම කෙතරම් ආශ්චර්යයක් වේ ද? එය එසේ ම සිදුවිය…! වසර දෙදහස් හයසිය තිස් හතකට පෙර ඉතිහාසය පසුගියදා ලොවට විවෘතව ඒ ආශ්චර්යවත් සත්‍යයේ උදානය මතු කරන ලදී. ඒ පණිවිඩය සම්පූර්ණ ය; නිරවුල් ය; නිගමන ඇති කරන ලද්දේ ය… මේ මහා භද්‍ර කල්පයේ සිව්වනුව ලොව පහළ වී වදාළ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනුලොව ජන්මලාභය ලද ලූම්බිණි පුණ්‍යභූමිය, කාලයේ පහර කෑමට හසු නො වන අකාලික දහමේ ශාස්තෘවරයාණන් වහන්සේ වෙනුවෙන් නො බිඳලිය හැකි සාක්ෂි සහිතව සිංහ නාද කරන ලද්දේ ය.

නේපාලය ද පාකිස්තානය ද ඉන්දියාව ද වූ කලී පෙර එක්ව පැවති මහා අධිරාජ්‍යයකි. සොළොස් මහා ජනපදයන්ගෙන් යුතු වූ මහා භාරත දේශයට මෙකල බෙදී වෙන් වී ඇති මේ රටවල් තුන ම අයත් විය. ක‍්‍රි. පූ. හයවන සියවසේ දී ලොව පහළ වූ මහා ප‍්‍රඥලෝකය දෙව් මිනිසුන්ට විමුක්තිය සලසාලමින් අසූ වසරක් පුරා ජීවමාන වූයේ ඒ මහා භාරත දේශයේ ය.

ක‍්‍රි. පූ. තුන්වන සියවසේ දී සොළොස් මහා ජනපදයන් ඒකච්ඡත‍්‍ර කොට මහා අධිරාජයෙකු වූ ධර්මාශෝක අධිරාජ්‍යයා සම්බුද්ධ ශාසනය කෙරෙහි අතිශයින් ම පැහැදුණු සිත් ඇත්තෙකු විය. තථාගතයන් වහන්සේ ජීවමානව වැඩසිටි උත්තම බුද්ධ භූමීන් සොයා ගොස්, ටැම් ලිපි පිහිටුවීමෙන් ද සිද්ධස්ථාන ඉදි කිරීමෙන් ද ඒ ඓතිහාසික උරුමය සුරැකීම පිණිස මහා කාර්යභාරයක් ඉටු කළේ ඔහු ය.

රාජාභිෂේකයෙන් විසි වසරක් ගතවූ කාලයේ ඔහු කිඹුල්වත් නුවරත්, දෙව්දහ නුවරත් අතර පිහිටි (වර්තමානයේ නේපාලයේ බටහිර නාරායි ප‍්‍රදේශය) ලූම්බිණි සල් උයනට පැමිණියේ බෝසත් කුමරුන් ජන්මලාභය ලද පූජ්‍ය ස්ථානය වන්දනා කරනු පිණිස ය. හෙතෙම ලූම්බිණි ග‍්‍රාමයට තමන් පැමිණි ගමන ගැන සටහන් කොට එකී ගම් පෙදෙස රජයේ බදුවලින් නිදහස් කොට ටැම්ලිපියක් පිහිටුවේ ය. එකී ටැම් ලිපිය ක‍්‍රි. පූ. 249 වැන්නේ පටන් ක‍්‍රි. ව. 2014ක් වන අද දක්වා ම ලූම්බිණියේ නැගී සිටිමින් අතීතාවලෝකනයක යෙදෙන්නේ ය.

වර්ෂ 1896 දී කඞ්ගාර් සම්ෂියර් රානා නැමති නේපාල ජාතික පුරා විද්‍යාඥයා විසින් මේ අශෝක ස්ථම්භයත්, එය පිටුපසින් තිබූ පැරණි ගොඩනැගිල්ලේ නටඹුනුත් සොයා ගැනීමෙන් පසුව සම්බුදුරජාණන් වහන්සේගේ ජාතචේතිය ලෝ වැසියන්ගේ අවධානයට පාත‍්‍ර විය. ඒ පුරාවිද්‍යා සාධක පවා දිවගියේ ක‍්‍රි. පූ. තුන්වන සියවස දක්වා පමණක් වූ නිසාවෙන් සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ ක‍්‍රි. පූ. හයවන සියවසේ ය යන ථේරවාද පිළිගැනීමට එයින් එතරම් රුකුලක් ලැබුණේ නැත. එහෙත් බුදුසමයත් සමග ගොඩනැගුණ අද්විතීය ශිෂ්ටාචාරයක් වූ සිංහලයේ වංශකථාව පවා පවසා සිටියේ සම්බුදු උපත ක‍්‍රි. පූ. හයවන සියවසේ දී සිදු වූ බව ය.

1978 වසරේ දී නේපාල රජය විසින් ලූම්බිණි පුදබිම ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානයට ලක් වන ස්ථානයක් ලෙස ලෝකපූජිත ව්‍යාපෘතියක් දියත් කරන ලදී. 1997 වසරේ දී යුනෙස්කෝ (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය) මඟින් ලූම්බිණිය ලෝක උරුමයක් ලෙස නම් කෙරිණි.

බෞද්ධ ඉතිහාසය පුරාවිද්‍යාත්මක සාක්ෂි තුළින් සනාථ කිරීමේ උත්සාහයක නියැලෙමින් කලක් මුළුල්ලේ ගවේෂණයන්හි නියැළුන, එංගලන්තයේ ඩර්හැම් සරසවියේ උපකුලපති, පුරාවිද්‍යා අංශාධිපති මහාචාර්ය රොබින් කනින්හැම් ප‍්‍රමුඛ පහළොස් දෙනෙකුගේ කණ්ඩායමක් වසර තුනක් පුරා ලූම්බිණියේ මායාදේවි විහාරය තුළ කැණීම් කටයුතුවල යෙදුණේ නො මඳ අපේක්ෂාවන් සහිතව ය. වසරකට දෙලක්ෂ පණස්දහසක් පමණ වන විදේශිකයන්ගේ ද පන්ලක්ෂ හතළිස්දහසක් පමණ වන ස්වදේශිකයන්ගේ ද වන්දනාමානයට පාත‍්‍ර වන මේ පුදබිමේ සිදු කරන ගවේෂණයන් බැතිමතුන්ට අපහසුතා ඇතිනොවන ආකාරයට මහත් ඉවසීමෙන් යුතුව සිදුකළ යුතු විණි. එහෙත් 2013 වසරේ ඉල් මාසයේ අග භාගය වනවිට ඔවුහු ඒ නො මඳ කැපවීම්වල ද ඉවසීමේ ද අමිල ඵල නෙළා ගත්හ.

මායාදේවි විහාරයේ මධ්‍යයෙන් ආරම්භ කළ ඔවුන්ගේ කැණීම්වලින් සොයාගන්නට ලැබුණේ දැනට නටඹුන්ව ඇති ගඩොලින් කළ ඉදිකිරීම්වලට පෙර මෙම ස්ථානයේ දැවයෙන් කළ, පියස්සක් රහිත ඉදි කිරීම් පැවති බවයි. මධ්‍යගත ව්‍යුහයක් සහිත යම් අවකාශයක් ආවරණය වන පරිදි වැටක් ආකාරයෙන් කළ දැවමය ඉදිකිරීමක සාධක එහි ඉස්මතු විණි.

ගඩොල් ආවරණයට පහතින් වූ කහ මැටිවලින් සමන්විත ස්තරයේ කණු සිටවූ සිදුරු හයක් ද ඒ සිදුරුවල පැවති දැවී ගිය අඟුරු ද සොයාගැනීමට ගවේෂකයෝ සමත් වූහ. මේ අඟුරු කාබන් කාලනිර්ණයට බඳුන් කිරීමෙන් පසුව ස්ථිරව ප‍්‍රකාශ කෙරුණේ මෙම දැව කොටස් ක‍්‍රි. පූ. පස්වන සහ හත්වන සියවස් අතර පැවති ඒවා බව ය. එනම් මෙම දැව ආවරණය ඉදි කර ඇත්තේ ක‍්‍රි. පූ. හයවන සියවසේ පමණ ය. එසේ ම දැව ආවරණය සහිත වූ ප‍්‍රදේශය අවට පසේ දකින්නට ලැබෙන රැළි සහිත, තරංගාකාර පාංශු රටාවන් නිසා ඒ පසෙහි ගසක මුල් ගමන් කර ඇති බව පැහැදිලි වී ඇත. එනම්, මේ දැව නිර්මාණය කිසියම් වෘක්ෂයක් මැදි කොට, බෝධිඝරයක් මෙන්, පියස්සක් රහිත ව ක‍්‍රි. පූ. හයවන සියවසේ ඉදි වූවකි.

බෞද්ධ ඉතිහාසය පිළිබඳ වෘත්තාන්තය ද බෞද්ධ ඉදිකිරීම් පිළිබඳ පුරාවිද්‍යාව ද සමපාත වී මේ යොමුවන්නේ එකම කාරණාවක් දෙසට ය. එනම් බෝසත් කුමරුන් මනුලොව උපත ලද මොහොතේ බෝසත් මවට උපකාරී වූ සාල වෘක්ෂය නිශ්චිතව ම මේ ස්ථානයේ පිහිටි බවත්, සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිය දී ම ඒ සාල වෘක්ෂය ආරක්ෂා කෙරෙන ඉදිකිරීම් සිදු වී ඇති බවත්, එසේ ම නිසැක වශයෙන් ම සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ ක‍්‍රි. පූ. හයවන සියවසේ දී බවත් ය…! එපමණක් නො වේ; මේ ඉතිහාසයෙන් පටන්ගෙන ලියැවුණ සිංහලයේ වංශකථාව ද සැබෑවක් බව ය…!

මේ බුද්ධභූමීන් වන්දනා කළ චීන ජාතික ෆාහියන් ස්වාමීන් වහන්සේගේ (ක‍්‍රි. ව. 405 – 411) සහ හා චීන ජාතික හියුංසියැං ස්වාමීන් වහන්සේගේ (ක‍්‍රි. ව. 629 – 646) ලිඛිත සටහන්වලින් තහවුරු කෙරෙන්නේ උන්වහන්සේලා ලූම්බිණිය වන්දනා කරන සමයේ මේ පූජනීය වෘක්ෂය එහි ජීවමානව තිබූ බව ය. එසේ නම් ධර්මාශෝක අධිරාජයා එහි පැමිණෙන විට ද බෝසත් උපත සිදු වූ සාල වෘක්ෂය එහි පවතින්නට ඇත. එසේ නො වුණා නම් ඔහු ටැම් ලිපිය පිහිටවිය යුතුව තිබුණේ සාල වෘක්ෂය පැවතියේ යැයි විශ්වාස කළ තැනක ය. එහෙත් සාල වෘක්ෂයත්, ඒ වටා නටඹුන් වූ බෝධිඝරයත්, වෙනත් ගෘහ නිර්මාණත් එහි ජීවමානව වූ නිසා ඒ සියල්ල මඟ හරවා මඳක් එපිටින් වන්නට ‘සම්බුදු උපත සිදු වූ ලූම්බිණිය මෙය ය’යි සනිටුහන් කොට ඔහු ශිලා ස්තම්භය පිහිටවූ බව නිසැක ය.

තවදුරටත් විමසිලිමත්ව සලකා බලන කල්හි බොහෝ විට මේ සුවිශේෂී සාල වෘක්ෂය වටා ආරක්ෂිත ආවරණත්, සිද්ධස්ථානත් බිහිවන්නට ඇත්තේ තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටිය දී ම විය යුතුය යන කාරණය ඉස්මතු වේ. තිලොව දිනූ ස්වකීය අතිජාත පුත‍්‍ර රත්නය උපන් ස්ථානය, එකල රාජශ‍්‍රීයෙන් ඔදවත් වූ සුදොවුන් රජු විසින් ම පුද පූජා පිණිස වෙන් කොට, ආරක්ෂිත විධි විධාන ද සැලසුවා විය නො හැකි ද?

සියවස් ගණනක් මුළුල්ලේ සැඟව ගොස් තිබූ මේ උත්තම බුද්ධ භූමිය ගෞතම සම්බුද්ධ ශාසනය තුළ යළි පණ නැඟුවා සේ ම මතු දිනෙක ඒ ඉදිකිරීම් සිදු වූ පූජනීය ඉතිහාසය ද යළි නිරවුල්ව ඉස්මතු වනු ඇතැයි සුවහසක් බොදුනුවන් වෙනුවෙන් අපිදු අපේක්ෂා සහගත වන්නෙමු.

කාලයේ පහර කෑමෙන් විනිර්මුක්ත වූ අකාලික දහමේ ශාස්තෘවරයාණන් වහන්සේ උපන් භූමිය කාලයේ වැලිතලාවෙන් ඉහළට ඔසවා යළි අප දෙනෙත් හමුවේ ජීවමාන කළ සියල්ලන්ට ම අප‍්‍රමාණව පුණ්‍යානුමෝදනා වේවා! ඒ උත්තම ජාතචේතියට අපගේ ශීර්ෂ නමස්කාරය වේවා!

සටහන
භාරත සූරියබණ්ඩාර