01. පින්වත් ස්වාමීන් වහන්ස, නොයෙක් සුභ කටයුතුවල දී බෞද්ධයන් විසින් සජ්ඣායනා කරනු ලබන උතුම් ජයමංගල ගාථා දේශනා කරන ලද්දේ කිනම් අවස්ථාවක ද යන්න පහදා දෙන්න.

උතුම් ජයමංගල ගාථා සම්බුද්ධ චරිතාපදානයෙහි, සුවිශේෂී අවස්ථා කිහිපයක් සඳහන් කරමින් “අනුත්තරෝපුරිසදම්මසාරථී” ගුණය විශේෂයෙන් ඉස්මතු කරමින් පැරණි මහතෙරුන් වහන්සේලා විසින් සකස් කර පිරුවානා පොත් වහන්සේට ඇතුළත් කොට තිබේ. ඍද්ධි ප්‍රාතිහාර්ය ද ආදේශනා ප්‍රාතිහාර්ය ද අනුශාසනී ප්‍රාතිහාර්ය ද උපයෝගී කර ගනිමින් භාග්‍යවතුන් වහන්සේ අකීකරු දෙවි මිනිසුන් ද යක්ෂ, නාගාදීන් ද මහා කරුණාවෙන් යුතුව, විස්මිත ප්‍රඥාවෙන් යුතුව දමනය කොට දහමේ හික්මවන අයුරු ය ඒ ගාථාවන්ගෙන් කියැවෙන්නේ. එමෙන් ම සසරේ පිරූ මහා පාරමී පුණ්‍ය බලයෙන් මාරසේනා පරාජයට පත්කොට සම්බුද්ධත්වය ලැබූ අයුරු පළමු ගාථාවේ සඳහන් වෙනවා. ඒ සෑම ගාථාවක් අවසානයේ ම ‘තං තේජසා භවතු තේ ජයමංගලානි’ යනුවෙන් “ඒ තේජසින් ඔබට ජයමංගල්‍ය වේවා” කියා සම්බුදු බල මහිමයේ සත්‍යානුභාවයෙන් ආසිරි පැතීම කරනවා. බොහෝ කාලයක පටන් විවාහ වන නව යුවතිපති යුවළට සෙත් පැතීම පිණිසත්, නොයෙක් සුභ කටයුතුවලදීත් මෙම ජයමංගල ගාථා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් විසින් භාවිත කරනවා. මහත්ඵල මහානිසංශ ලැබෙන ලෙස සිංහල තේරුමක් සමගින් සජ්ඣායනය කළ හැකි අයුරින් “මහමෙව්නාවේ පිරුවානා පොත් වහන්සේ” සකස් කොට තිබෙනවා. ජයමංගල ගාථාවල අවසන් ගාථාවත් එහි තේරුමත් එහි සඳහන් වන්නේ මෙලෙසයි.

“ඒතාපි බුද්ධජයමංගල අට්ඨගාථා – යෝ වාචකෝ දිනදිනේ සරතේ මතන්දි
හිත්වාන නේක විවිධානි චුපද්දවානි – මොක්ඛං සුඛං අධිගමෙය්‍ය නරෝ සපඤ්ඤෝ”

“සම්බුදුන්ගේ ජයමඟුල් යුතු අටකි ගාථා – යමෙකුන් කියත් නම් බැතින් එය සෑම දවසේ
තිබෙනා නොයෙක් උවදුරුත් හැම පහව යන්නේ – නුවණැති පින්වතා උතුම් නිවනත් ලබන්නේ”

 

02. පින්වත් ස්වාමීන් වහන්ස, පෝයට සිල් සමාදන් වන, නිතර දන් පින් කරන, නිති පන්සිල් රකින වැන්දඹු දෙපළක් (පුරුෂයා මියගිය බිරිඳක් / බිරිඳ මියගිය පුරුෂයෙක්) ඉඳහිට අඹුසැමියන් මෙන් සත්භාවයෙන් හැසිරීම වරදක් ද? තුන්වන සිල්පදය කැඩෙනවා ද?

මෙය පැහැදිලි ව ම වැරදි කාමසේවනයේ යෙදීමකි. මන්ද යත් භාග්‍යවතුන් වහන්සේ ධර්ම විනය තුළ පෙන්වා දෙන ආකාරයට සැමියෙක් සිය විවාහක බිරිඳ ඉක්මවා හැසිරීමත්, බිරිඳක් සිය විවාහක සැමියා ඉක්මවා හැසිරීමත් තුළ තුන්වන සිල්පදය උල්ලංඝනය වන බැවිනි. සැමියා / බිරිඳ මිය යාම එහි දී නිදහසට කරුණක් නො වේ. තව ද ඔබ වරද සාධාරණීය කිරීම පිණිස “සත්භාවය” යන වචනය පාවිච්චි කළත්, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ “කාම සඤ්ඤාවෙන් තොරව, කාම දැවිල්ලෙන් තොරව, කාම පිපාසාවෙන් තොරව, කාම විතර්කයන්ගෙන් තොරව කාමසේවනය කළ නො හැකි බවයි” එම නිසා මෙහි දී අනුකම්පාවේ වේශයෙන් රාගය නමැති අකුසලය ක්‍රියාත්මක කළත් මේ අනුව වරින් වර ඔබේ සීලය කැඩී යයි. එම නිසා පෝයට සිල් සමාදන් වන, ධර්මය අසන, දන් පින් කරන ඔබ දෙදෙනාට ම බ්‍රහ්මචාරී පංචසීලය ආරක්ෂා කිරීමට මහඟු අවස්ථාවක් ලැබී ඇත. සැමියා / බිරිඳ මියගොස් ඇති බැවිනි. වීර්යයෙන් යුතුව සිහිනුවණින් බඹසර සුරකිමින් දහම් මගේ පිළිවෙත් පුරන්නට උත්සාහ ගන්න. එය මහත්ඵල මහානිශංස කුසලයකි. සසර පුරාවට අපි අනන්ත වාරවල දී කාම සේවනයේ යෙදී ඇත්තෙමු. එනමුත් නො හැකි වූයේ දුර්ලභ වූයේ බ්‍රහ්මචාරී බව සුරැකීම යි. එබැවින් ඉතාමත් ම කලාතුරකින් ලද මේ ක්ෂණ සම්පත්තිය තුළ ඒ ශ්‍රේෂ්ඨ චර්යාව පුරුදු කර ගැනීමට අධිෂ්ඨාන කර ගන්න. බඹසර සුරකිමින් පිළිවෙත් පුරන්න. එය දෙදෙනාට ම විශාල යහපතක් උදාකරනු ඇත.

 

03. පින්වත් ස්වාමීන් වහන්ස, ජීවිතයේ මුහුණදීමට සිදුවන විවිධ ප්‍රශ්න ගැටලු නිසා සමහරුන් තමන් විසින් ම ජීවිතය විනාශ කර ගනී. මෙලෙස සියදිවි හානි කර ගැනීම නිසා නැවත මිනිස් භවයක් ලැබීමට නො හැකි ද? එසේ සියදිවි නසාගන්නේ පෙර කරන ලද අකුසලයක් නිසා ද?

“දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ” “කිච්ඡං මච්චාන ජීවිතං” ආදි සම්බුද්ධ දේශනාවන්ට අනුව සංසාරගත සත්වයෙකුට මිනිස් ජීවිතයක් ලැබීම යනු දුර්ලභ වූ ත්, ලබාගැනීමට දුෂ්කර වූ ත් කාරණයකි. සතර අපායේ වැටුනු කෙනෙකු යළිත් මිනිස් ජීවිතයක් ලබාගැනීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභ බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒ ආකාරයෙන් සසරේ පිනකට ලැබුණු මිනිස් දිවිය “මනස්ස උස්සත්ථාය මනුස්සා” යනුවෙන් පෙන්වාදෙන ආකාරයට ගුණධර්මවලින් පෝෂිත උසස් මානසිකත්වයක් කරා ගෙනයාමට යි අප මහන්සි ගත යුත්තේ. එසේ නොමැතිව ද්වේෂය නමැති අකුසල මූලයට යටවී මෝහය තුළින් සිය ජීවිතය නසාගැනීම බරපතළ විපාක උදාකර දෙන අකුසලයක් බවට පත්වී නිරයේ, තිරිසන් ලෝකයේ, අසුර, ප්‍රේත ආදි දුගති උපතක් කරා යාමට බොහෝ විට සිදුවේ. එවිට සිදුවන්නේ දුරදිග නො බලා ප්‍රශ්නවලින් පැනයාමට ගත් ඉතා අනුවණ ක්‍රියාමාර්ගය නිසා සිය දහස් ගුණයකින් වැඩි ප්‍රශ්නවලට දුක්ඛිත ඉරණමකට මුහුණ දීමට සිදු වීමයි. අපාය සංවත්තනික සූත්‍රය, චුල්ලකම්මවිභංග සූත්‍රය ආදි දේශනාවන්ට අනුව සසරේ ප්‍රාණඝාත කර්මය සිදු කොට තිබීම සියදිවි නසා ගැනීමට කර්මානුරූපව බලපාන්න පුළුවන. නමුත් බොහෝ විට එයට හේතුවන්නේ පාපමිත්‍ර ආශ්‍රයෙන් ජීවිතය නොමඟට යොමුවීමත්, අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමත් ය. එම නිසා සියදිවි නසාගැනීමේ මානසිකත්වය සහිත කෙනෙකු කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා මුණගැසී දහම් උපදෙස් ලබාගෙන ජීවිතය සුමඟට යොමුකරමින් එම පීඩාකාරී මානසිකත්වයෙන් මිදී ජීවිතයට විශාල යහපතක් උදාකර ගත හැකියි. මා පෞද්ගලිකව එසේ සියදිවි නසාගැනීමට ආසන්නව ඉතා දැඩි මානසික අසහනයෙන් පෙළුණු සිව්දෙනෙකු පමණ කාරුණික දහම් උපදෙස් ලබාදීමෙන් සුමඟට යොමු කළ අතර අද ඔවුන් ගිහි ජීවිතය ද සාර්ථක කරගෙන දහම් මගේ පිළිවෙත් පුරන්නේ ඉතා සුවදායී මානසිකත්වයකිනි. මෙහි දී අප ඔවුන්ට ඉවසීමෙන් සවන් දී අනුකම්පාවෙන් කරුණු කියා දීම කළ යුතුයි.

 

04. පින්වත් ස්වාමීන් වහන්ස, මා විවාහ වීමට සිටින කෙනා පොහොය දින කිහිපයක දී ම අසපුවට ගෙන්වා ගැනීමට මා උත්සාහ කළ ද වැඩ කටයුතු හේතුවෙන් පැමිණිය නො හැකි බව කියයි. ඔහුට සිල් ගැනීම හා සූත්‍ර දේශනා ශ්‍රවණය කිරීමේ වැදගත්කම පිළිබඳ කියා දීමට සුදුසු ඔවදනක් මා හට කියා දෙන්න.

මෙහි දී යහපත පිණිස උපක්‍රමශීලී ව කටයුතු කිරීම ප්‍රතිඵලදායක වේවි. බිම්බිසාර රජතුමා ඛේමා බිසවට ධර්ම දායාදය ලබා දුන්නේ වේළුවනාරාමය බැලීමට යාමට සිත් උපදවන ගීත ශ්‍රවණය කරන්නට සැලැස්වීමෙනි. අනේපිඬු සිටුතුමා සිය පුතණුවන් සුමගට යොමු කරලූයේ ජේතවනාරාමයට යාමට පොළඹවා මුදල් පරිත්‍යාග කිරීමෙනි. එම නිසා ඔබතුමියත් විවාහ වීමට සිටින සහකරුට විවාහය පිණිස ආශීර්වාද ලබා ගැනීම සඳහා බෝධි වන්දනාවකට, සෙත් පිරිත් සජ්ඣායනාවක් වැනි යමකට අසපුවට යාමට යෝජනා කරන්න. එහි දී පින්වත් ස්වාමීන් වහන්සේනමක් ලවා ධර්ම කරුණු කියාදීමට අවස්ථාවක් ලබාගෙන, පෝයට සිල් සමාදන් වීමේ වැදගත්කමත්, ධර්මයේ හැසිරීම තුළ විවාහ ජීවිතයත්, ව්‍යාපාර කටයුතුත් සාර්ථක වන අන්දමත් ඔහුට පහදා දීමට ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන්න. තව ද ඔහුට කියවීම සඳහා “දියුණුවේ රන් දොරටුව” “ඔබේ සිත සමග පිළිසඳරක්” වැනි සදහම් පොත් ලබාදෙන්න. එමෙන් ම ඉතා ම මෛත්‍රියෙන් යුතුව සුහදශීලී ව විවාහ ගිවිස ගැනීමට පෙරත්, පසුත් ඔහු සමග කටයුතු කරන්න. එම ව්‍යාපාර කටයුතුවලටත් හැකි උපරිම සහයෝගය ලබා දී සප්තභරියා සූත්‍රයේ සඳහන් ආකාරයට බිරිඳකගෙන් ඉටුවිය යුතු සියලු යුතුකම් වගකීම් හොඳින් ඉටුකරන්න. ක්‍රමක්‍රමයෙන් ඔහුත් ධර්මයට සිත පහදවාගෙන දහමේ හැසිරෙන ජීවිතයක් ගොඩනගා ගනීවි.

 

05. පින්වත් ස්වාමීන් වහන්ස, සාමූහිකව තෙරුවන් වන්දනාවේ යෙදෙන විට හෝ භාවනා කරන විට දී හෝ අකුසල් සිතුවිලි පහළ වුවහොත් එය සිහියෙන් දැනගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් කෙටියෙන් මෙනෙහි කරමින් වන්දනාව හෝ භාවනාව දිගට ම සිදු කිරීම තුළින් එම අකුසලය නිසා විපාක හටගැනීම වැළකේ ද?

නිරන්තරයෙන් අකුසල් සිතුවිලි පහළ වන විට එය සිහියෙන් දැනගෙන ඒවා ප්‍රහාණය කිරීම පිණිස මේ අකුසලයක්, දුක් විපාක දෙන එකක්, හිතසුව පවතින දෙයක් නො වේ කියා සිතීම තුළ ඒවා ප්‍රහාණය වෙනවා ද? අයහපත් විපාක ඇතිවීම වළකිනවා ද? කියා කරුණාවෙන් පහදා දෙන්න.

අකුසල් සිතුවිලි ඇතිවූ විටක දී “මෙය අකුසලයක්, දුක් විපාක ලබාදෙන්නක්, හිතසුව පිණිස පවතින දෙයක් නො වේ” කියා මෙනෙහි කොට එය බැහැර කිරීම කළ හැකි බව ද්වේධා විතක්ක නම් සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. එමෙන් ම මනසට එන අකුසල් අරමුණු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් කෙටියෙන් මෙනෙහි කොට බැහැර කිරීමත් සුදුසුයි. විතක්ක සණ්ඨාන නම් සූත්‍ර දේශනාවේ දී අකුසල් විතර්ක දුරු කළ හැකි ක්‍රම 5ක් භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දී තිබෙනවා.
..1.. යම් කාරණයක් මුල් කරගෙන හිතන්න පටන් ගන්නකොට ආශාව සහිත වූත්, තරහ සහිත වූත්, මුළාව සහිත වූත් පාපී අකුසල් සිතිවිලි උපදින්න පුළුවනි. එතකොට තමන්ගේ අවධානය ඒ අරමුණින් ඉවත් කර වෙනත් කුසල් අරමුණක් හිතන්න පටන් ගන්න ඕනෑ. එතකොට අකුසල් සිතිවිලි නැතිවෙලා ගිහිල්ලා තමා තුළ ම සිත පිහිටනවා. තැන්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිමත් වෙනවා.

..2… පාපී අකුසල් සිතිවිලිවල භයානක පැත්ත ගැන නුවණින් විමසන්ට ඕනෑ. “මේවා තමයි අකුසල් සිතිවිලි, මේ අකුසල් සිතිවිලි හොඳ දේවල් නම් නො වෙයි. මේ අකුසල් සිතිවිලිවලින් අන්තිමට ලැබෙන්නේ දුක විතරයි” කියා. එහෙම ආදීනව විමසද්දී අකුසල් සිතිවිලි නැතිවෙලා ගිහින් කුසලය තුළ සිත එකඟවෙනවා.

…3… පාපී අකුසල් සිතිවිලි මෙනෙහි නොකර ඉන්නට ඕනෑ. එවිටත් අකුසල් සිතිවිලි නැතිවෙලා ගිහින් තමා තුළ ම සිත එකඟ වෙනවා. තැන්පත් වෙනවා. සමාධිමත් වෙනවා.

..4… පාපී අකුසල් සිතිවිලි සකස් වෙවී පිහිටන ස්වභාවය විමසන්න ඕනෑ. පාපී අකුසල් සිතිවිලි සකස් වෙන තැන අල්ලාගෙන විමසනකොටත් ඒ අකුසල් සිතිවිලි නැතිවෙලා ගිහින් කුසලය තුළ සිත එකඟ වෙනවා.

…5.. කුසල් සිතින් අකුසල් සිතට හොඳ හැටියට නිග්‍රහ කරන්න ඕනෑ. තදින් පෙළන්නට ඕනෑ. හොඳට වෙහෙසවන්නට ඕනෑ. එවිටත් පාපී අකුසල් සිතිවිලි බැහැර වෙලා කුසලය තුළ සිත එකඟ වෙනවා. සවිස්තරව මෙම කරුණු තේරුම් ගැනීම පිණිස මජ්ඣිම නිකාය 1 පොත් වහන්සේගේ විතක්ක සණ්ඨාන සූත්‍රය කියවන්න.