ලෝසතුන්ගේ අඳුරු ලෝක ප්‍රඥාලෝකයෙන් එකලු කළ මනුලොව පහළ වූ ආශ්චර්යවත් මනුෂ්‍යරත්නය නම් අප සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන සේක. ගම් නියම්ගම් සිසාරා පා ගමනින් ම වැඩම කළ මහා කාරුණිකයන් වහන්සේ අධර්මය නම් වූ නියංසායෙන් පීඩිත වූ ලෝකසත්වයන් වෙත සදහම් අමා වැසි වස්සවා සුවපත් භාවයට පත් කළ සේක.

අපගේ ශාස්තෘන් වහන්සේ නා නා මිසදිටුවල අතරමං වී සිටින දෙව් මිනිස් ලෝකයා හට පෙර නොඇසූ විරූ විශ්මිත වූ හෙළිදරව්වක් කළ සේක. සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් පමණක් ස්වකීය ප්‍රඥාවෙන් වටහාගෙන අන් අයටත් කියාදෙන ඒ අද්භූත සොයාගැනීම නම් කර්මය යි.

අප සියලු දෙනාම කැමති දුක් කම්කටොලුවලින් තොර වූ සැනසුම්දායක, ශාන්ත ජීවිතයකට යි. එබඳු සියලු සැපසම්පතින් පිරී ඉතිරී ගිය ජීවිතයක් ළඟා කර ගැනීම පිණිස හැමෝම වෙහෙසෙනවා. එනමුත් මේ ජීවිතය පුරාම හැමදාම තිබුණේ සෑහීමකට පත් වීමක් නම් නොවෙයි. දුගී දුප්පතාගේ සිට ලොව සුපතල ධනවතුන් දක්වා සියලු දෙනාම පාහේ තම ආශාවන් සම්පූර්ණයෙන්.ම තෘප්තිමත් කර ගත් බවක් නම් පෙනෙන්නට නැහැ. සිතන පතන සියලු දේම තමන්ට ලැබුණත් හිතේ තව මොකක්දෝ අඩුවක් තියෙනවා. ඇත්තටම තණ්හාවට දාස වුණු මේ ලෝකය හැමදාම අතෘප්තිමත්. තණ්හාවේ තියෙන මේ ස්වභාවය නිසාම බොහෝ අය ජීවිතයේ ආශ්වාදය සොයා ගොස් මිරිඟුව පසුපස ලුහුබැඳ ගිය මුවන් සේ වෙහෙසට පත් වෙනවා. අවසාන- යේ දී නොසන්සිඳෙන ජීවිතයක් නිසා රැස්වන මහා අකුසල් කන්දක් සමඟ මරණය ඉදිරියේ අසරණ වෙනවා.

මෙබඳු තත්ත්වයක් තුළ අපේ ජීවිතයට සැබෑම රැකවරණය සැලසෙන්නේ අපට භාග්‍යවතුන් වහන්සේ ව සරණ යන්නට ලැබීම නිසා. මෙලොව පරලොව පිළිබඳ සැබෑ තතු අවබෝධ කළ භාග්‍යවතුන් වහන්සේ සත්වයා කර්මය ස්වකීය දායාදය කරගෙන සිටින ආකාරය ප්‍රඥාවෙන් දැක වදාළ සේක. සියල්ලම සිදුවෙන්නේ කර්මයට අනුව ය යන මිථ්‍යා අදහස ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ කර්මය – කර්මඵලය කියා දෙයක් නැත යන මිථ්‍යාදෘෂ්ටිය..ද බැහැර කළ සේක. මේ සියලුම මිථ්‍යාවන් අතරින් උපන් සත්වයාගේ ජීවිතය පසුපස ක්‍රියාත්මක වන කර්මය නම් වූ අද්භූත බලවේගයේ සැබෑ ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා වදාළ සේක. එලෙසින්ම කර්මයෙන් නිදහස් වෙන ආකාරය ද අප හට පෙන්වා වදාළ සේක.

දිනක් භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරද්දී තෝදෙය්‍ය බමුණාගේ පුත්‍රයා වූ සුභ නම් වූ තරුණයා පැමිණ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ අසා සිටියා.

“ස්වාමීනි ගෞතමයන් වහන්ස, මෙලොව උපදින මිනිසුන් අතර ඇතැම් අය අල්ප ආයුෂ ඇත්තෝ වෙති. ඇතැම් අය බොහෝ ආයුෂ වළඳති. එසේම ඇතැම් අය බොහෝ ආබාධ සහිත වූ සිරුරු ඇතිව, විරූපී ව අල්පේශාක්‍ය ජීවිත ගත කරති. තවත් පිරිසක් නිරෝගීව සිත්ගන්නා රූප සම්පත්තියෙන් යුතු සිරුරු දරමින් සියලු සැප සම්පත්වලින් ආඪ්‍ය මහේශාක්‍ය ජීවිත ගත කරති.
ඇතැම් අය වටහා ගැනීමේ නුවණින් තොර වූවෝ වෙති. නමුත් සමහර අයෙක් වහා වැටහෙන නුවණ සහිතව උපත ලබයි. මේ ආකාරයට ලෝකය තුළ පෙනෙන විවිධත්වයට හේතුව කුමක්ද?”

එවිට සියල්ල දන්නා, සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මානවකය, සත්වයෝ වනාහි කර්මය දායාද කොට ඇත්තාහ. කර්මය උප්පත්ති ස්ථානය කොටගෙන ඇත්තාහ. කර්මය ඥාතියා කොට සිටිති. කර්මය පිළිසරණ කොට සිටිති. කර්මය විසින් මෙසේ සත්වයන් හීන ප්‍රණීත වශයෙන් බෙදනු ලබයි.”

බුදුරජාණන් වහන්සේ සුභ මානවක විසින් විමසන ලද පැනවලට විසඳුම් ලෙස චූළ කම්මවිභංග සූත්‍රය දේශනා කළ සේක.

“මානවකය, මෙහි යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ප්‍රාණඝාතය කරයි ද සතුන් කෙරෙහි දයා කරුණා නැතිව වසයි ද ඔහු හෝ ඇය ඊළඟ ආත්මයේ බොහෝ දුක් ඇති නිරයේ උපදී. ඉදින්, මරණින් මතු නිරයේ ඉපදුණේ නැත්නම්, යළි ඔහු හෝ ඇය මනුලොව උපත ලැබුවොත් අල්ප ආයුෂ ඇතිව උපදී. සතුන් මැරීමෙන් වැළකී සිටින අය දෙවියන් අතර උපදියි. දෙවියන් අතර ඉපදුණේ නැත්නම්, මනුලොව උපන් කල්හි දිගාසිරි ලබයි.”

ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද වදාළ සේක.

“යමෙක් මෙලොව දී මිනිසුන්ට හෝ සතුන්ට හෝ දඬු මුගුරින්, අවි ආයුධයෙන් හිංසා කරයි ද ඔහු මරණින් මතු නිරයේ උපදියි. මරණින් මතු නිරයේ නොඉපදී නැවත මනුලොව උපදිනවා නම් බොහෝ රෝග පීඩාවන් සහිතව උපත ලබයි.

එසේම සතුන්ට හිංසා පීඩා නොකොට, අතින් වේවා, ගල්ගෙඩිවලින් වේවා, දඬුමුගුරුවලින් වේවා, ආයුධයෙන් වේවා, සතුන්ට හිංසා කිරීමෙන් වැළකී සිටියි ද, ඔහු මරණින් මතු දෙවියන් අතර උපදියි. ඉදින්, දෙවියන් අතර ඉපදුණේ නැති නම් මනුලොව උපන් කල්හි නිරෝග සුව ලබයි.

එසේම යමෙක් වහා කිපෙයි.ද ක්‍රෝධ බහුලව වසයි ද ගැටුන සිතින් වාසය කරයි ද අමනාප සිතින් වාසය කරයි ද සුළු දෙයක් කී විට ද බලවත්ව ගැටෙයි ද, කිපෙයි ද තරහා ඇතිකරගනියි ද, දැඩි බවට පත්ව කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ කරයි ද ඔහු මරණින් මතු නිරයේ උපත ලබයි. ඔහු මරණින් මතු නිරයේ ඉපදුණේ නැත්නම්, මනුලොව උපන් කල්හි අවලස්සන පෙනුමක් ලබයි. එසේම යමෙක් බහුල වශයෙන් තරහ නොගනියිද බොහෝ දෙයක් කිව්වත් නොගැටී, නොකිපී, තරහා ඇතිකරනොගෙන, දැඩි බවට පත් නොවී, කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ නොකර සිටියිද, ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ, මේ අයුරින් සමාදන් වූ ඒ කර්මය නිසා කය බිඳී මරණින් මතු දෙවියන් අතර උපදියි. ඉදින් මරණින් මතු දෙවියන් අතර උපත ලැබුවේ නැති නම් යළි මනුලොව උපන් කල්හි ඉතා මනහර, දුටුවන් පහදවන රූපයක් ඇතිව උපත ලබයි.

එසේම යමෙක් අනිත් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා කරයි ද අන් අයට ලැබෙන ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා කෙරෙහි අමනාප වෙයි ද ඒ හේතු කරගෙන මරණින් මතු නිරයේ උපත ලබයි. ඉදින් මරණින් මතු නිරයේ ඉපදුණේ නැතිනම් යළි මනුලොව උපන් කල්හි අල්පේශාක්‍ය වූ ආනුභාවයෙන් තොර ජීවිතයක් ලබයි. එසේම යමෙක් අන් අයට ඊර්ෂ්‍යා නොකොට අන් අයගේ ලාභ, සත්කාර, කීර්ති ප්‍රශංසා පිළිබඳව උරණ නොවී සතුටු වෙයි ද ඔහු මරණින් මතු දෙවියන් අතර උපදියි. ඉදින් මරණින් මතු දෙවියන් අතර ඉපදුණේ නැත්නම් මනුලොව උපන් කල්හි ඉතා සම්භාවනීය මහේශාක්‍ය කෙනෙක් වෙයි.

එසේම කෙනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට දන් නොදෙයි ද ආහාරපාන, වස්ත්‍ර, යාන, කුටි සෙනසුන්, තෙල් පහන් ආදී දේ පූජා නොකරයි ද, ඔහු මරණින් මතු නිරයේ උපත ලබයි. ඉදින් ඔහු මරණින් මතු නිරයේ ඉපදුණේ නැත්නම් යළි මනුලොව උපන් කල්හි ඉතා දිළිඳුව අල්ප වූ භෝග සම්පත් ඇතිව උපත ලබයි.

එහෙත් නිරතුරු ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට දන් දෙන, දානයෙහි සමාදන් ව සිටින, දන් දීමට ආසාවෙන් සිටින තැනැත්තා දෙවියන් අතර උපදියි. ඉදින් ඔහු මරණින් මතු දෙවියන් අතර ඉපදුණේ නැති නම්, මනුලොව උපන් කල්හි ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වෙයි, මහා භෝග සම්පත් ඇති කෙනෙක් වෙයි.

එසේම යමෙක් අධික මාන්නයෙන් යුතුව, වැඳිය යුත්තන්ට නොවඳියි ද දැක හුනස්නෙන් නැගිටිය යුත්තන්ට, දැක හුනස්නෙන් නොනැගිටියි ද, ආසනයක් දීමට සුදුසු කෙනෙකුට ආසනයක් නොදෙයි ද. මාර්ගයෙහි ඉඩ සැලසිය යුතු කෙනෙකුට ඉඩ නොදෙයි ද, පිදිය යුත්තන් නොපුදයි.ද මෙබඳු දෙයින් රැස් කරන ලද කර්මය නිසාවෙන් ඔහු මරණින් මතු නිරයේ උපත ලබයි. ඉදින් ඔහු මරණින් මතු නිරයේ ඉපදුණේ නැති නම්, මනුලොව උපන් කල්හි අන්‍යයන් යටතේ අසරණව වසන හීන කුලයේ උපදියි. එසේම යමෙක් නිහතමානීව වැඳිය යුත්තන්ට වඳියි ද, දැක හුනස්නෙන් නැගිටිය යුත්තන් දුටු විට හුනස්නෙන් නැගිටියි ද, ආසනයක් දීමට සුදුසු කෙනෙකුට ආසනයක් දෙයි ද. මාර්ගයෙහි ඉඩ සැලසිය යුතු කෙනෙකුට මාර්ගයෙහි ඉඩ දෙයි ද, පිදිය යුත්තන් පුදයි ද ඔහු ඒ කර්මයෙන් දෙවියන් අතර උපත ලබයි. ඉදින් ඔහු මරණින් මතු දෙවියන් අතර නොඉපද මනුලොව උපදියි නම් සම්භාවනීය වූ ගරුබුහුමන් ලබන උසස් කුලයේ උපත ලබයි.

එසේම යමෙක් ‘කුසල් මොනවා ද? අකුසල් මොනවා ද? කුමක් කිරීමෙන් අයහපත වෙයි ද? කුමක් කිරීමෙන් යහපත වෙයි ද? වැළකී සිටිය යුතු වැරදි කවරේ ද? පුරුදු කළ යුතු නිවැරදි දේ කවරේ ද?’ යනාදිය ශ්‍රමණ බ්‍රාහ්මණයින් කරා ගොස් විමසයි ද ඒ කර්මය හේතුවෙන් ඔහු දෙවියන් අතර උපදියි. එසේ දෙව්ලොව නොඉපිද මනුලොව උපදියි නම් මහා ප්‍රඥාවන්තයෙක් වෙයි. යමෙක් මෙසේ කුසල් අකුසල් පිළිබඳව නොවිමසයි ද සේවනය කළ යුතු නොකළ යුතු දේ පිළිබඳව නොවිමසයි ද ඔහු මේ අයුරින් රැස් කළ, මේ අයුරින් සමාදන් වූ ඒ කර්මය නිසා මරණින් මතු නිරයේ උපත ලබයි. ඉදින් නිරයේ ඉපදුනේ නැතිනම් යළි මනුලොව උපන් කල්හි කිසිවක් නොවැටහෙන ප්‍රඥා රහිත කෙනෙක් වන්නේ ය.”

මෙසේ මනුලොව උපදින මිනිසුන් අතර යම් යම් දෛවෝපගත සැප දුක් විඳීම් පවතිනවා. ඔවුන් කර්ම විපාකයන් වශයෙන් ඒ ඒ ජීවිත ගෙවමින් සැප දුක් විඳිනවා. සත්ව ලෝකයේ සියලු උපත්වල උස් පහත් වෙනස්කම් පිණිස භවාන්තර ගණනක කර්මයන්ගෙන් බලපෑම ඇති බව බුදුරජාණන් වහන්සේ දුටු සේක.

යමෙක් සිත කය වචනය මෙහෙයවා යමක් මුදා හරියි ද නැවත එය ඔහු කරා ම එයි. අන්‍යයන් කෙරෙහි වැරදි විනිශ්චයක් කළහොත් තමා ද වැරදි විනිශ්චය ලබයි. අන්‍යයන් කෙරෙහි දුෂ්ට වුවහොත් තමාට ද දුෂ්ට බව මුණගැසෙයි. අන්‍යයන් කෙරෙහි අවංකව යහපත සැලසුවහොත් තමා ද යහපත ලබයි. බාහිර ලෝකයට තමා මුදා හරින දෙය තමාට ම මුණගැසෙයි.

“යාදිසං වපතේ බීජං” – යම් බදු බිජු වපුරයි ද “තාදිසං හරතේ ඵලං” එබඳු ම අස්වැන්නක් ලබයි.

භාග්‍යවතුන් වහන්සේ තරම් කර්මය හා එහි විපාක ගැන දන්නා වෙන කිසිවෙකු ලොව නැහැ. උන්වහන්සේ වදාළේ කර්මය මෙන්ම කර්මයේ විපාක ඇති බවත් පිළිගැනීම, සම්මාදිට්ඨියට අයත් බවයි. කර්මය යනු කුමක් ද කියා භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ අයුරින්.

“මහණෙනි, කර්මය යනු කුමක්දැයි නුවණින් අවබෝධ කට යුත්තේ ය. ‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.’ – මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි. ‘චේතයිත්වා කම්මං කරෝති’ – චේතනාව පහළ කොට කර්ම කරයි. ‘කායේන වාචාය මනසා.’ – කයෙන් වචනයෙන් මනසින් ය.”

බුදුරජාණන් වහන්සේ වදාළ අයුරින් යම් කෙනෙක් තම ජීවිත කාලය පුරා ම ධර්මයට අනුව ක්‍රියා කරයි නම් එය මේ ජීවිතයටත්, පරලොව ජීවිතයටත් යහපත පිණිස පවතිනවා. එම නිසා, මේ ලද උතුම් වූ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතය තුළ හොඳින් තිසරණ සරණේ පිහිටා, සිල්පද හොඳින් ආරක්ෂා කරගෙන, තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මානය දුරු කරගෙන, සිල්වතුන්ට ගුණවතුන්ට උපස්ථාන කරමින්, කල්‍යාණමිත්‍ර ඇසුරෙහි නිති වාසය කරමින්, ජීවිතේ ගෙවන්න නිරතුරුව උත්සාහ කරන්න ඕන. වීර්යය කරන්න ඕන. එසේ ධර්මයේ හැසිරෙන තැනැත්තාට දීර්ඝායුෂ වූත්, අල්ප ආබාධ වූත්, ප්‍රියමනාප රූපවත් වූත් බොහෝ භෝග සම්පත් ඇති වූත්, මහේශාක්‍ය වූත්, පරිවාර සම්පත් සහිත වූත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබෙනු ඇති. මෙසේ, ‘ධර්මයෙහි හැසිරී උතුම් තිසරණ සරණෙහි මනාකොට පිහිටා සීල, සමාධි, ප්‍රඥා දියුණු කරගෙන මේ ගෞතම බුදු සසුනේ දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නෙමු’ යි අපිත් අධිෂ්ඨාන කරගනිමු.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.