මේ මිනිස් ලෝකයේ ජීවත්වන අප හැමදෙනාම සසරේ කුමක් හෝ සීලයක් ආරක්ෂා කළ නිසාවෙන් මේ මිනිස් ලෝකයේ සද්ධර්මය ඇසෙන මානයේ ඉපදුණා. ඇතැම් කාන්තාවක් සසරේ සිල් රැකලා ඒ හුරුව නිසා මේ ජීවිතයේ සීලයට දිවිපුදා බොහෝම සිල්වත්ව ජීවත් වෙනවා. ඇතැම් පිරිසක් දුස්සීල වීමේ ආදීනව දැකලා ඒ ගැන අහල පවට බය උපදවාගෙන සිල්වත් වෙනවා. තව පිරිසක් සසරේ දී සීලයට අනුග්‍රහ කරල නැති නිසා බොහෝම දුෂ්කරවයි සිල් රැකීම සිදු කරන්නේ. මෙසේ සිල් රැකීමේ දී ඇතිවන විවිධත්වයන් සහ දුෂ්කරතා පිළිබඳව අප මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ සාකච්ඡා කළා.

පින්වත් මෑණියන් වහන්ස, අද සමාජයේ බොහෝ දෙනා සිල් සමාදන් වීමටත් සමාදන් වූ සිල්පද රැක ගැනීමටත් මැලිකමක් දක්වනවා. මෙවන් පසුබිමක් තුළ තමා සමාදන් වූ සීලය රැකගැනීමට කාන්තාවක් කළ යුතු මූලික දේ කුමක් ද?”

වර්තමානයේ කාන්තාවක් වේවා, පුරුෂයෙක් වේවා බොහෝ කැමැතියි ඉඳුරන් පිනවන්න. මේ ජීවිතය විඳින්න ඕන. සතුටින් ඉන්න ඕන. මේ ජීවත්වන කෙටි කාලයේ හොඳින් හෝ නරකින් හෝ කාලා බීලා සතුටින් ඉන්න ඕන කියලා බටහිර ලෝකයේ තිබෙන ඉඳුරන් පිනවීම කියන ඒ ආකල්පය තදට අද වර්තමානයේ ලංකාවේ කාන්තාවගේ සිත තුළටත් රිංගාගෙනයි තිබෙන්නේ. ඒ වගේ ලෝකයක තමයි අපි බොහෝම පරිස්සමෙන් ගමන් කළ යුතු වන්නේ. ඒ ලෝකයේ සදාචාරය, සීලය, සංස්කෘතිය ආදී දේ ගැන කතා කරන්නට පරිසරයක් නැහැ. ඒ නිසයි සීලය සමාදන් වීමත්, සමාදන් වූ සීලය රැකගැනීමත් බොහෝම දුෂ්කරව කළ යුතු වන්නේ.

ඒ වගේම යම් කාන්තාවක් මේ හැම අභියෝගයකට ම මුහුණ දීලා සසර ගැන ලොකු බයක් ඇතිකරගෙන ‘අනේ මමත් මේ ඝෝර සසරින් එතෙර වෙන්න ඕන’ කියලා හැඟීමක් ඇති කර ගත්තොත් ඇය ඒ අදහස බොහෝම රහසිගතවයි කළ යුත්තේ. කලණමිතුරන් සමඟ පමණක් ඒ පිළිබඳව සාකච්ඡා කරමින්, සමාජයට එය රහසක් කරගෙන තමාගේ සීලය රැකගන්න මහන්සි වෙන්න ඕන. එයට හේතුව, බහුතර ලෝකය දුස්සීලයි. පාපකාරීයි.

අද සමාජය සීලය ගැන කතා කරන්නේ නැහැ. සීලයට ප්‍රශංසා කරන්නෙත් නැහැ. සීලය ජීවිතයට වටිනා දෙයක් කියා සමාජයේ කතාවක් වගේම පිළිගැනීමකුත් නැහැ. සමාදන් වූ සිල්පද රැකගැනීමට තම සිතෙන් වගේම බාහිරෙන් තිබෙන්නෙත් බාධාවක්. එනිසාම අද වනවිට සිල් රැකගැනීම බොහෝම දුෂ්කර වෙලා තිබෙනවා. එනිසා තමා සමාදන් වූ සීලය රැකගැනීමට ඔබ මූලිකව ම කළ යුත්තේ නිතර නිතර ධර්මය ශ්‍රවණය කිරීම යි. එතකොට තෙරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධාවක් ඇතිවෙනවා. භාග්‍යවතුන් වහන්සේ මෙලොව පරලොව දැකලයි සීලයේ ආනිශංස වගේම දුස්සීල වීමේ ආදීනව වදාළේ. සතුන් නොමැරීම, අන් සතු දේ සොර සිතින් නොගැනීම, වැරදිකාම සේවනයෙන් වැළකීම, බොරු නොකීම, ප්‍රමාදයට හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම සීලයක්.

ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළා, භික්ෂුවක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්, උපාසකයෙක් හෝ උපාසිකාවක් වෙන්න පුළුවන් නිතරම කල්පනා කළ යුතු කාරණා කීපයක් තිබෙන බව. ඒ, ‘මම වයසට යන කෙනෙක්’, ඒ වගේම, ‘මගේ කාය ශක්තිය නැතිවෙලා මේ තිබෙන නිරෝගි බව නැතිවෙලා මම ලෙඩවෙන කෙනෙක්.’ ‘මම හැමදාම ජීවත් වෙන්නේ නැහැ. මම මරණයට පත්වෙන කෙනෙක්.’ ‘මට ප්‍රියමනාප අයගෙන් වෙන් වෙන්න සිදුවෙනවා.’ ‘මම කයින්, වචනයෙන්, මනසින් කරන කියන දේ මම දායාද කරගෙ-නයි සිටින්නේ. මට එයින් ගැලවීමක් නැහැ. කර්මය තමා මගේ ඤාතියා. මම වැරදි දෙයක් කළොත් ඒ දේ මට රැගෙන යන්න වෙනවා.’ කියා නිතර සිහි කරන්න කියා වදාළා. භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ කරුණු නිතර නිතර සිතන කාන්තාවට වේවා පුරුෂයාට වේවා යොවුන් මදය, ජීවිත මදය වගේම ආරෝග්‍ය මදය කියන මද තුන දුරුවෙනවා කියා. ත්‍රිවිධ දුෂ්චරිතයට හේතුව මේ ත්‍රිවිධ මදය බවයි උන්වහන්සේ වදාළේ. එසේනම් ලෝකයේ කවුරුන් හරි දුස්සීල වෙනවා නම් ඒ කෙනා තුළ මේ මද තුන බහුල වශයෙන් තිබෙනවා. එහෙම නම්, ඔබ සිල්වත් වෙන්න කැමැති නම් මේ කරණු නිතර සිහි කරන්න.”

තමා සමාදන් වූ සිල්පදයක් දැන හෝ නොදැන කැඩුණොත්…

“ඔබ සමාදන් වූ සිල්පද අතරින් එකක් හෝ කැඩුණු බව දැනුන විට ඒ ගැන පසුතැවෙමින්, දුක් වෙමින් නොසිට වහාම එම සිල්පදය සමාදන් වී තම පණ දෙවැනි කොට නැවත ආරක්ෂා කරන්න. එසේ සංවර වූ සැණින් ඔබ සිල්වත්. ඒ වූ අඩුපාඩුවට පිළියම් කර කර, නැවත නැවත සකස සකසා ඒ සීලය රැකිය යුතු වෙනවා. ඒ වගේම, සිල්පද රැක ගැනීමට වීර්යයක් නැත්නම්, ශක්තියක් නැතිනම්, මානසිකව හයියක් නැත්නම් නිතර නිතර සිහිකරන්න උත්තම භාවයට පත් වූ රහතන් වහන්සේලා ව සහ රහත් තෙරණින් වහන්සේලා ව. උන්වහන්සේලා තමන්ගේ ජීවිත නිවැරදි කර ගත් හැටි සිහි කරන්න ඕනැ. පිප්ඵලී මානවකගේ ප්‍රිය බිරිඳ භද්‍රා කාපිලානිගේ චරිතය ඔබට නිතර සිහි කරන්න පුළුවන්. ඔබ වගේ ගිහි ගෙදර සිටිද්දී ඇය උතුම් ලෙස බඹසර රැකපු හැටි සිහිකරන්න. වැරදි සිතක්වත් ඇය උපදවාගෙන නැහැ. එතරම් ම පිරිසිදු යි. ඒ වගේම, අපගේ යශෝදරා තෙරණිය සසර පුරා ම බඹසර රැකපු අයුරු, සත්‍ය වචන කතා කළ අයුරු ආදී උන්වහන්සේලාගේ ජීවිත තුළ තිබූ සිල්වත් බව සිහිකරමින් සත්‍යක්‍රියා කරමින් තමන්ගේ ජීවිතයට ආරක්ෂාව සලසා ගන්න අදටත් ඔබට පුළුවන්කම තිබෙනවා.

වරදින් මිදුන කාන්තාවක් ලෙස ඔබට සිරිමා උපාසිකාවගේ ජීවිතයත් නිතර සිහි කරන්න පුළුවන්. සිරිමා කියන්නේ නගර ශෝභිණියක්. රූප සුන්දරියක්, වෛශ්‍යාවක්. ඇය ජීවත් වුණේ තමන්ගේ ශරීරය විකුණලයි. ඒ කාලයෙත් ඒ රැකියාවට වැදගත්කමක් තිබුණේ නැහැ. ගැරහීමක් පමණයි තිබුණේ. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසුණාට පසුව එතුමියගේ ජීවිතය බොහෝ සේ වෙනස් වුණා. එතුමියගේ ජීවිතය බඹසරට හරවා ගත්තා. එවිට එතුමියටත් නොයෙක් අකටයුතුකම් සිදුවන්න ඇති. ඒ රැකියාව නතර කරන විට ඇයටත් නොයෙක් අභියෝගවලට මුහුණ දෙන්න සිදුවෙන්න ඇති. ඒ හැම අභියෝගයක් ම මැඩගෙන ඇය බොහෝ සිල්වත් වුණා. සංඝරත්නයට හරි ලස්සනට දන් බෙදුවා. ඇය තරුණ වියේ වියේ.දී.ම ම කළුරිය කරලා දෙව්ලොව ඉපදුණා.”

කාන්තාවක් තමාගේ ජීවිතයේ හදාගත යුතු ම දෝෂ ​මොනවාද ?

කාන්තාවක් බොහෝ විට පුරුෂයාට වඩා කෙලෙස් අධික තැනැත්තියක්. ඒ වගේම ලෝක සම්මතයටත් කියනවා කාන්තාව ඊර්ෂ්‍යාව වැඩි තැනැත්තියක් කියලා. බොහෝ විට කාන්තාවක් කාන්තාවකට ඊර්ෂ්‍යා කරනවා. කාන්තාවට බොළඳ සිතිවිලි වැඩියි. ඒ බොළඳ බවත් සමඟ තමන් ආශා කරන දේ තමන්ට නොලැබී යන විට ඊර්ෂ්‍යාව ඇතිවෙනවා. තමන් අකමැති කෙනාට එය ලැබෙනකොට එයට ගැටෙනවා. ඒ නිසාම බොහෝ කාන්තාවන් සිතින් අකුසල් රැස්කර ගන්නවා වගේම බොහෝ දුක් විඳිනවා. සමාජයේ නීචයි කියලා නීර්ණය කර තිබෙන අණවිණ කොඩිවින ආදිය තවත් කාන්තාවකට කාන්තාවක් විසින් ම කරනවා. ඉක්මණින් කිපෙන කාන්තාව බොහෝ විට එකටෙක කරනවා. පුංචි දෙයින් ඇය බොහෝ ලෙස කඩා වැටෙනවා. මූණ එල්ලාගෙන, ශෝකී ව, හඬා වැළපිලා කටයුතු කරනවා. ඒ වගේ ස්ත්‍රී දුර්ගුණ දුරු කරගන්න ආර්ය ශ්‍රාවිකාවක් කටයුතු කරන්න ඕන. ඔබ කොතරම් කැමැති වුවත් ඔබට නොලැබුණ දෙයට කම්පා වෙන්න එපා. නොලැබුණ දේ ම සිත සිතා කල්පනා කරමින් නොසිට ලැබුණ දෙයින් සෑහීමකට පත් වෙන්න. තමා කළ කී දේ තමා තමාට ලැබෙන්නේ. සසරේ කළ පින සහ පව අනුවයි බිරිඳ, ස්වාමියා, දරුවන් මුණගැසුණේ. ඒ නිසා හැම දෙයක් ගැනම උපේක්ෂාවට පත්වෙන්න. ලැබුණ දේ ගැන සතුටට පත්වෙන්න. බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා වැඩ සිටි කාලයෙත් දුර්භික්ෂ තිබුණා. වසංගත තිබුණා. ආර්ථික දුෂ්කරතා තිබුණා. එවැනි සිදුවීම් සිදුවෙද්දීත් ඒ කාලයේ සිටි පින්වත් කාන්තාවන් සිත ශක්තිමත් කරගෙන තමන්ගේ ජීවිතවලට ධර්මය ගළපා ගත්තා. අපත් එලෙස කටයුතු කරන්නට නම් ස්ත්‍රී දුර්ගුණ දුරුකරලා ශක්තිමත් සිතක්, පිරිසිදු, සොඳුරු සිතක් උපදවා ගන්න මහන්සි වෙන්න ඕනෑ.”

නයනා නිල්මිණී.