සොඳුරු රත් පැහැ වලා රේඛා සැඳෑ ගගනත නේක රූ රටා මවද්දී සුවිසල් මන්දිරයේ සත්වැනි මහලේ සඳලුතලයේ සිට පිටත බලා සිටි ඈ හෙළුෑ සුසුම්පොද හිස් වා තලයට මුහු විය. ‘අනේ පව්. එයා තාම දර පළනවා.’ ඇගේ සරාගී නෙතු බැල්ම එකඑල්ලේ යොමුව තිබුණේ සිටු මැදුරේ මුළුතැන්ගෙය අසල දර පළමින් සිටි හැඩිදැඩි තරුණයා වෙතයි.

දෙහදේ කෙමෙන් මෝරා ගිය සෙනෙහස අබියස මාපිය සෙනෙහසට පිටු පෑ ඇය ඔහු සමඟ රහසේ ම පැන ගියේ පෙම්ලොව සිහින මාලිගයේ කිරුළ දැරීමට ය. සැබැවින්ම දුක නොහඳුනන නමුත් ඕ දුර ඈත දිළිඳු පැල තුළ ඔහු හා සැප දුක බෙදා හදා ගනිමින් අමුතු ම මිහිරක් වින්දා ය. තමා මව් පදවි දැරීමට සැරසෙන බව දැනගත් දා ඈ සතුටු කඳුළු හෙළුවා ය. ඔහුගේ රැකවරණය ඈ වෙත තව තවත් ලැබෙන්නට විය. නමුත්… දරුගැබ කෙමෙන් මෝරා යද්දී කියාගත නොහැකි බරකින් ඇගේ හදවත වෙලෙන්නට විය. මෙතුවක් කල් සිහි නොවූ සිටුමැදුර වරින්වර සිහි වන්නට විය. ‘අනේ මගේ අම්මා මේ වෙලාවේ මා ළඟ සිටියා නම්…’

බැරි ම තැන ඈ හඬ අවදි කළා ය. “ස්වාමීනි, මට හරි බයක් දැනෙනවා. දරුවන් බිහි කරන්න මව්පියන් ළඟට ගියොත් හොඳයි.”

ඔහු නීච කුලයේ දාසයෙකි. කළ වරද ද බරපතළ ය. කෙසේ නම් සිටුමැදුරට මුහුණ දෙන්න ද? ඈට කිසිලෙසකින්වත් ඔහුගේ අනුමැතිය නොලැබුණි.

“ස්වාමී, මට සමාවෙන්න. මම අම්මා ළඟට යනවා.” හදවතින් හඬා වැටෙමින්, ගැබ් බරක් දරා ගත් ඈ හොර රහසේ ම පිටත් වූවා ය. පැල්පතේ ඈ නොමැති බව දුටු ඔහු සැලෙන හදින් ඈ සොයා යන්නට විය. ඔහුගේ රැකවරණය නොලැබ සිටිය දී ම මහමගදී පුත් කුමරකු බිහි කළ ඈ, ඔහු එහි පැමිණි පසු සිඟිති පුතු ළයෙහි හොවාගෙන ඔහුගේ වාරුවෙන් සෙමෙන් සෙමෙන් පැල්පත දෙසට ගමන් කළා ය. සිඟිති සිනා මැද කාලය ගතවෙද්දී ඈට සිටුමැදුර අමතක විය. නැවත මව් සෙවණ ඈට සිහි වූයේ දෙවන දරුගැබ මෝරා ගිය විට ය. කොතෙක් කීව ද ඔහු සිටුමැදුරට යන්නට අකමැති ය. ‘කරන්න දෙයක් නෑ. මම තනියම හරි මාලිගාවට යනවා.’ කඳුළැලි සලමින්, සිඟිති පුතු ඇකයේ දරමින්, මහමෙරක් වන් බරක් හද දරා ගනිමින් ඈ නැවතත් ඔහුට නොකියාම පැල්පතෙන් බැස නික්මුණාය. හාත්පස අහස් කුස සිසාරා අඳුරු වැහිවලාවෝ තෙද පතුරද්දී තැතිගත් ඈ වෙහෙස නොබලා පය ඉක්මන් කළා ය. කෙසේ නමුත්……. පසුපසින් හඹා ආ ඔහුට ඈ මුණගැසුණි. දරුවා බිහිවෙන ලකුණු දැනෙත් ම ඈ බියපත් මුවැත්තියක සේ ඔහු දෙස බලා, “ස්වාමී… ඉක්මනින් කොළ අතුවලින් සෙවණක් හදන්න. දැන් වහීවි. දරුවා බිහි වෙන්නයි යන්නේ.” යි කීවා ය.

ඔහු වහා වනයට වැදුණි. ඔහු පමාවෙන මොහොතක් පාසා ඇය නොසන්සුන් විය. අකාරුණික සුවිසල් වැහි බිඳු ඇයට පහරපිට පහර දෙන්නට විය. ධාරානිපාත වැස්සට තෙමෙමින්, ළය දවන දුක් ගින්දරකින් දැවෙමින්, දිවි තොර වන තරමේ වේදනාවක් උසුලමින් ඔහු ගිය මග දෙස බලා ඇය සිඟිති පුතු බිහි කළා ය.

“අනේ! වන දෙවියනේ ඔහුට කරදරයක් නම් වෙන්න එපා.” යැයි පතමින් ගවදෙනක සේ බිම දණ ඔබා දරු පැටවුන් දෙදෙනාම ළයට තුරුල් කර ගනිමින්, කඳුළැලි සලමින්, අකල් වැස්සට තෙමෙමින් රැය පහන් වනතුරු ඈ සිටියා පුදුම ය!

කෙමෙන් අරුණලු නැගෙද්දී වැස්ස ද තුරල් වී තිබුණි. සැලෙන හදින්, මලානික ගතින් දරු දෙදෙනා.ද රැගෙන ඈ ඔහු සොයා යන්නට ද වූවා ය. නමුත්… හෝරා ගණනකට පෙර ඇයගෙන් සදහටම සමුගෙන තිබූ ඔහුගේ සිරුර ඒ වන විට ද නිල් පැහැ වී තිබුණි.

“අනේ මගේ පණනල වන් ස්වාමී… මං නිසා නේද ඔයාට මේ දුක අත්වුණේ. මේ කිරිකැටි පුතුගේ මූණවත් නොබලා ස්වාමී අපව හැර ගියා නේද..?” වනස්පති වෘක්ෂයන්ගෙන් ගහන මූසල වනපෙතට හැර ඇගේ විලාපය කාට නම් ඇසෙන්න ද?

ඈ සිත දැඩිකොට ගත්තා ය. කඳුළු පිස දමා ගත්තා ය. ‘පැල්පත දිහාවට ආයෙ කුමට නම් යන්න ද? මං මව්පියන් ළඟටම යනවා.’ ඈ නගරය දෙසට යන මාවතට යොමු විය. පෙරදින වට මහ වැස්සට අචිරවතී මහ නදිය දෙගොඩ තලා පිටාර ගලා යයි. පෙරදින දරුවකු බිහි කළ, ශෝක හුළෙන් පහර කා සිටින, නිරාහාර ව හෙම්බත් වී සිටින ඇයට දරු දෙදෙනා ම රැගෙන එකවර එයින් එතෙර විය නොහැකිය.

“පුතේ, මං මල්ලියව එගොඩින් තියලා එනකං මෙතනම ඉන්න හොඳේ…” යි සිඟිති පුතුගේ හිස සිප සැනසූ ඈ පෙර දින බිහි කළ ළදරුවා ළයට තුරුලු කොට සැඩ ගංදිය පහර කපමින් හෙමින් හෙමින් එතෙර වූවා ය. ආරක්ෂිත තැනක වැරහැල්ලක එතූ ළදරු පුතු තැබූ ඈ නැවත සෙමෙන් සෙමෙන් මෙගොඩ එන්නට විය. ගංදිය මැද දී ඇයට අමුත්තක් දැනුණි. කිරිකැටියා ගැනීමට උකුස්සෙකු මාන බලන බව දුටු ඈ කලබල විය. දෑත් උඩට ඔසවා ගත් ඈ “හෝ හෝ…” හඬින් කෑ ගැහුවේ උකුස්සා එළවා හරින්නට.ය මෙගොඩ සිටි සිඟිති පුතු සිතුවේ අම්මා ඔහුට කතා කරනවා කියා ය.

අහෝ! සිඟිති පා පොඩි සැඩ ගංදිය මත තැබුවා පමණි. සැඩදිය රළින් හේ ගසාගෙන යන්නට විය. සිඟිති දෑත් උඩට ඔසවමින් “අම්මා…” යැයි විලාප තබමින් ගං දියේ පෙනී නොපෙනී යන පුතු දෙස ඈ වරෙක බලයි. තවත් වරෙක තියුණු නිය අතර සිරවී උකුස්සා විසින් ඩැහැගෙන යන කිරිකැටියා දෙස බලයි. ඇගේ දෑස් ඉදිරිපිටම නෙතු සඟලවන් දරු පැටවුන් දෙදෙනා ම නොපෙනී යන්නට විය.

ඇයට හඬන්නටවත් කල්පනාව නැත. කෙසේ හෝ ඇය ගඟින් එතෙර වූවා ය. ඉවෙන් මෙන් නගරය දෙසට කෙමෙන් කෙමෙන් ඇදෙන්නට ඈ නගර සීමාවේ දී “අසවල් සිටු නිවාසය කොයි ඉසව්වේ ද?” කියා මගියෙකුගෙන් විමසුවේ අඩ සිහියෙන් මෙනි.

“ඊයේ රාත්‍රියේ ධාරානිපාත වැස්සට ඒ සිටු මාලිගය කඩා වැටුණා නොවැ. අර ඈත දුමක් පේනවා නේද, අන්න ඒ සිටු පවුලේ ඔක්කොම එකට දැවෙන දර සෑයේ දුම තමයි ඒ.” ඇයට සිහිනයකින් මෙන් එය ඇසුණා මතක ය. වරෙක ඈ අඬයි. වරෙක ඈ සිනාසෙයි. වරෙක ඈ බලාගත් අත බලාගෙන සිටියි. “මගේ කිරිකැටි පුතා කෝ? අනේ මගේ ස්වාමියා කොහෙද ගියේ? මගේ අම්මා දැක්ක ද?” සොඳුරු ලොවක කිරුළු පලඳින්නට සිහින මැවූ ඇයට දැන් තමා කවුද කියාවත් මතක නැත. හැඳිවත ගිලිහී ගිය බව ද මතක නැත. කොපමණ කලක් ගෙවුණා ද කියාවත් මතක නැත. කෑවා ද බීවා ද කියාත් මතක නැත. “පිස්සියක් පිස්සියක්…” කොතෙකුත් දෙනා කීව.ද ඈට එය වගක් නැත.

පෙර කළ පින් බලයෙන්දෝ ඈ නොදැනුවත්වම දෙව්රම් වෙහෙර දෙසට ඇදෙන්නට විය. විනයක්, සංවරයක් නැත්තියක සේ නග්න වූ සිරුරෙන් උවැසි උවැසියන් අතරින් ඈ ඉදිරියට ඇදෙයි. යුගාන්තයේ පෑයූ සුරත් හිරුමඬල සේ බබළමින්, ලෝසත අමා සයුරේ ගිල්වමින්, සකල දුක් ගිනි නිවාලන මහා කාරුණික වූ මුනිරජුන්ගේ මුව මඬල විවර විය.

“පටාචාරා… සිහි උපදවා ගන්න.” ඇයට එය ඇහුණා හොඳට මතක ය. සිදු වූ සියල්ල ඇයට දැන් මතක ය. ලැජ්ජා භය උපදවා ගත් ඈ ලද…. සළුවකින් ගත වසා මුනි පා කමල අබියස වැඳ වැටී දුක තුනී වන තුරු ම ඉකිගසා හඬන්නට විය.

“පටාචාරා… මේ දිගු සසරේ ඔබ හෙළුෑ කඳුළැලි සතර මහා සාගර ජලයට වඩා වැඩි ය. මව්ගේ වියෝවෙන් ඔබ හැඬුවා පටාචාරා…

පියාගේ වියෝවෙන් ඔබ හැඬුවා පටාචාරා… පුතා මැරෙද්දි, ස්වාමියා මැරෙද්දි සාගරයේ ජලයට වඩා මේ සසරේ ඔබ හැඬුවා පටාචාරා… මේ දුක අවබෝධ කරගන්න…”

ඒ සියල්ලම හොඳින් ඇසුණා මතක ය. බුරබුරා නැගෙන ගිනි කඳක් සිසිල් දිය දහරකින් නිවා දමන සෙයින් කාරුණික බුදු වදනින් ඈ හද නිවී සිහිල් විය.

“ස්වාමීනි, මටත් මේ දුකෙන් නිදහස් වෙන්න ඕන.” බුදු කරුණාවේ පහස ලද ඈ සිහි උපදවා, නුවණ උපදවා සන්සුන් ගමනින් භික්ෂුණී ආරාමයට ගොස් උතුම් භික්ෂුණියක් බවට පත් විය.

නැවත නැවතත් මුනි වදන් සිහි කළ ඕ තොමෝ මව්පියන් සොයනු වෙනුවට, ස්වාමියා සොයනු වෙනුවට, දරුවන් සොයනු වෙනුවට, විදසුන් අරමුණ ම සොයා යන්නට විය. දුකින් සිහිය නසා ගත් ඈ දැන් සිහියෙන් යුතු ව දුක නසන්නට වූවා ය. රිදුම් දෙන අතීතය දෙස නුවණින් බලන ඈ සසරින් මිදෙන්නට වෙර දරන්නට වූවා ය.

එදින එතුමිය බවුන් වඩනු වස් කුටියට පිවිසෙන්නට පෙර දෙපා දොවන්නට විය. බඳුනෙන් දිය ස්වල්පයක් ගෙන දෙපයට දැමූ විට මඳ දුරක් ගසාගෙන ගොස් පොළොවට උරා ගනී. “ආ… මේ විදිය.ම තමයි. සමහර උදවිය පුංචි කාලේ මැරිලා යනවා.” කිරිකැටි සිනා නැගූ දරු පැටවුන් දෙදෙනා ගැන යථාර්ථය ඇයට වැටහෙන්නට ඇත. දෙවන වරටත් ඈ දෙපයට දිය ඉස ගත්තා.ය. එවර මඳ දුරක් ගලා ගිය ජලය පොළොවට උරා ගති.

“ආ… මේ විදිහටමයි සමහර උදවිය තරුණ කාලෙත් මැරෙනවා.” තම පෙම්බර සැමියා ව, සොහොයුරා ව සිහි වී ඔවුන්ගේ ඉරණම ඇයගේ නුවණට වැටහෙන්නට ඇත. තෙවන වර දෙපයට දැමූ දිය ඉදිරියට ම ගලා ගොස් කෙමෙන් පොළොවට උරා ගති. “මේ වගේ තමයි සමහරු වයසට ගිහිල්ලයි මරණයට පත් වෙන්නේ.” මහලු මාපියන් ලෝ දහමට මුහුණ දුන් අයුරු ඇගේ නුවණට පෙනෙන්නට ඇත.

ජලයත්, මරණයත් නිසා ම බිහිසුණු ඉරණමකට මුහුණ දුන් ඈ ජලයත්, මරණයත් මුල්කොට නුවණ අවදිකරවා එකඟ වූ සිතින් අඩ පළඟින් වැඩ හිඳ දැහැන් වඩනු වස් පහන නිවීමට වැටිය පහළට ඇද්දා ය. පහන් සිළ නිවී යත් ම ඈ නැණ මඬුල දැල්විණි. අවිදු අඳුර පහව ප්‍රඥාලෝකය උදා විය. නැවත සසරේ මව නිසා හෝ පියා නිසා හෝ ස්වාමියා නිසා හෝ දරුවන් නිසා හෝ කිසිවෙක් නිසා හෝ ඈ නොහඬන්නී ය. දුක්බර සසර ගමන නිමා විය. තථාගත ළයෙහි උපන් ශ්‍රාවක දියණියක් බවට පත් වූ උත්තම පටාචාරා රහත් තෙරණිය ගෞතම බුද්ධ ශාසනයේ විනයධර භික්ෂුණීන් අතර අග්‍ර වූ සේක.

වෙහෙසකර දිවියක දෛවයේ දරුණු පහරින් පීඩිත ව සිටි ඕ තොමෝ කාරුණික මුනිරජුන් සෙවණේ දහම් සිසිලෙන් නිවී ගිය පසු භික්ෂුණී සඟ ගණට ආලෝකය සදන්නට විය. බිහිසුණු සසරින් එතෙරට ම යා ගන්ට නිරතුරුවම අනුශාසනා ලබා දෙන්නට විය.

භික්ෂුණී සඟගණට උතුම් කලණ මිතුරියක වූ පටාචාරා රහත් තෙරණියගේ ඔවදනට හිස නමා උතුම් තෙරණිවරු බුද්ධ ශාසනය තුළ දුකින් මිදී ගියහ. ඒ මුනිවරියෝ සුරාසුර යුද්ධය ජය ගත් තව්තිසා දෙවියන් සක්දෙවිඳු ව පිදූ සෙයින් ඒ උත්තමාවියව පුදන්නට වූහ.

ගෞතම බුද්ධ ශාසනයේ විනයධර භික්ෂුණීන් අතර අගතැන්පත්, පිරිනිවන් පා වදාළ අපගේ පටාචාරා රහත් තෙරණින් වහන්සේට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේ නමක් විසිනි.