රැකී රක්ෂා කරන්නේ ද අධ්‍යාපනය ලබන්නේ ද තව තව බොහෝ දේ කරන්නේ ද ජීවිතය ජය ගන්නට ය. සුවසේ ජීවත් වන්නට ය. ඒ වගේම, කිසිවෙකුට අත නොපා ජීවත්වීම සඳහා ය. නමුත් අපි සියලු දෙනා ම කායික ව මෙන්ම මානසිකව ද දුක උරුම කරගත්තෝ වෙමු. අප මුහුණපානා දුක් ගැහැටවලට අප කරන කියන කිසි දෙයකින් නොවෙනස් විසඳුමක් නැත්තේ ය. යමෙක් බුදුන් සරණ, දහම් සරණ, සඟුන් සරණ ගියේ ද ඔහුට හෝ ඇයට නම් ජීවිතය අසල ම විසඳුමක් ඇත.

මා මේ කියන්නට යන්නේ මගේ ජීවිතයේ වූ සැබෑ සිදුවීමකි.

පිළියන්දල පදිංචි මම රැකියාව සඳහා කොළඹ ප්‍රදේශයට දිනපතා ගමන් කරන්නෙමි. බොහෝ රථවාහන තදබදය පවත්නා වෙලාවක අප කොළඹට පැමිණෙන නිසා ගමනාන්තය සඳහා අපට පැය එකහමාරක් පමණ ගතවෙයි. ගමන් පහසුව සඳහා මා රැකියාවට පැමිණෙන්නේ කාර්යාලීය ප්‍රවාහන සේවාව සපයන බස් රථයකිනි.

මගේ ජීවිතයේ ඉතා වැදගත් සංධිස්ථානයක් මෙසේ කොළඹට ගමන් කරන පැය එකාහමාර තුළ මුණගැසින. ඒ මා, මගේ යහළු යෙහෙළියන්ට අමෘතය දන් දුන් නිසාවෙනි.

මේ රථයේ ගමන් කරන්නේ විවිධ වයස් කාණ්ඩයන්ට අයත්, විවිධ අදහස් ඇති, විවිධ සැරසීම්වලට කැමැති, විවිධ වෘත්තීන්වල යෙදෙන පිරිස් ය. ගිහි ජීවිතයේ බොහෝ බැඳීම්වලට සිරවී සිටින මේ සියලු දෙනා බොහෝ විට තම තමන්ගේ ලෝකවල තනි වී පාර දෙපැත්තේ ඇති නොයෙකුත් දේ නරඹමින් ඒවා සමඟ විටෙක ගැටෙමින්, විටෙක ඇලෙමින් ගමනාන්තය දක්වා පැමිණේ. තවත් සමහර දෙනා පාන්දර අවදිව දරුවන්ගේ වැඩ, නිවසේ වැඩ අවසන් කොට රථයට නැග මහන්සිය සංසිඳුවා ගැනීම පිණිස කොළඹට එනතෙක් සුවසේ නිදයි. තවත් දෙනා තම තමන්ගේ ජීවිතවල ඇති ප්‍රශ්න කරදර කථා කරයි. ඒ වගේම තරුණ බොහෝ දෙනා තමන්ගේ ස්මාර්ට් දුරකථනය සමඟ ගනුදෙනු කරයි. එහි ඇති ගීත අසමින් ඒ ගීත මුමුණමින් ගමන අවසන් කරන පිරිස ද ඒ අතර නැතුවා නොවේ.

ඒ පිරිස් අතර මම මා ගැන ද විමසුවෙමි. ජීවිතයට කලාතුරකින් මුණගැසෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේනමක් මට මීට බොහෝ කලකට පෙර මුණගැසුණි.

උන්වහන්සේගේ මඟ පෙන්වීම මගේ ජීවිතයට සතුට රැගෙන ආවේ ය. එනිසා ම මම කොළඹට එන මේ රථයේ සියලු දෙනා අතරින් කලාතුරකින් ලෝකයට පහළ වී වදාළ භාග්‍යවතුන් වහන්සේගේ ඒ සුමධුර දේශනා මගේ දුරකතනය හරහා ශ්‍රවණය කරන්නට පුරුදු වී සිටියෙමි. ඇලෙන – ගැටෙන පිරිස අතර, නින්දට බර පිරිස අතර, අරමුණක් නොමැතිව පාර දෙපැත්තේ බලා සිටින පිරිස අතර මම ඒ දහම් ගඟුලෙන් බිඳක් අසන්නට තරම් වාසනාවන්ත වී සිටියෙමි. එහි මිහිර විඳිමින් සිටියෙමි. ඒ මිහිර මේ රථයේ සිටින අනෙක් පිරිසට ද දීමට හැකිනම් කෙතරම් හොඳදැයි මම බොහෝ වර සිහි කළෙමි. එවිට ඔවුන් පවින් වැළකී පින් පුරවා ගනීවි යැයි මගේ සිතේ නොමැකෙන සිහිනයක් තිබුණි.

එක් දිනක් යෙහෙළියක් මා අසුන්ගෙන සිටි ආසනයේ අසුන් ගත්තා ය. ටික දුරක් යනවිට ඇය මා දෙස බලා, “ඔයා සිංදු අහනවා ද? කාගේ සිංදු අහන්න ද වැඩියෙන් කැමැති?” යැයි මගෙන් විමසුවා ය. කිසිවක් නො කී මම මගේ කනේ තිබූ එක් ඉයර්ෆෝනයක් ඇයට දිගු කළෙමි. එය කනේ තබා ගත් ඇයගේ සුන්දර මුහුණ එක්වරම අඳුරු විය. “මේ ඔයා බණ ද අහන්නේ?” අසමින් වහා එය ගලවා නැවත මට ලබා දී දෑස වසා ගත්තී ය. ඉන්පසු ඇය මා අසල වාඩි වීමට පැමිණියේ නැත. නමුත් මා මගේ උත්සාහය අත්හැරියේ ද නැත.

පසු දිනක තවත් යෙහෙළියක් මා අසල අසුන් ගත්තා ය. මම මුල, මැද, අග ඉතා පිරිසිදු පැහැදිලි ඒ ධර්මය අසන්නට ඇයට ශක්තිය ලැබේවා යැයි සිතමින් එක් ඉයර්ෆෝනයක් ඇයට ලබා දුන්නෙමි. මගේ සිතට එදා සතුටක් ඇති වුණි. ඇය ගමන අවසන් වනතුරු ධර්මය ඇසුවා ය. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ලෝණඵල සූත්‍රය ඇසුරින් කියා දුන් පටු සිත හා පුළුල් සිත පිළිබඳ ධර්මයට ඇය හොඳින් සවන් දුන්නා ය. ගමන අවසානයේ දී මට පින් දී ඇය බැස ගියා ය. මගේ අදහස කුඩාවට ඵල දරමින් තිබුණි. පසුදාත් ඇය මගේ අසුනේ ම හිඳගනිමින් “අදත් දේශනාවක් අසමුදැ?” යි යෝජනා කළා ය. මගේ සිතේ සතුට දෙගුණ තෙගුණ විය. ‘සුන්දර ධර්මය රැව්පිළිරැව් දේවා!’ යි සිතමින් එදා අපි ධර්මය ශ්‍රවණය කළෙමු. ඇය ධර්මය අසන්නට පුරුදු විය. ඇයගේ උපන්දිනයකට අනෙක් මිතුරියන් බොහෝ තෑගි දෙද්දී මම ලොකු ස්වාමීන් වහන්සේගේ කුඩා දහම් පොත් කිහිපයක් ඇයට තෑගි කළෙමි. එම පොත් ඇගේ ජීවිතයේ පින්තොටක ආරම්භය විය.

දැන් මහමෙව්නාවෙන් පිරසිදු ධර්මය අසන සත්පුරුෂ යෙහෙළියක් මගේ ළඟින් සිටියි. අප දිගටම කල්පනා කළේ නිකරුණේ අනෙක් පිරිස ගෙවා දමන මේ කාලයෙන් ප්‍රයෝජනය ගන්නේ කෙසේ ද කියා යි.

ඉන්පසු අපි බස් රථයේ අවසන් පේළියේ අසුන් ගන්නට පුරුදු වුණෙමු. ටික කලක් ගත වෙද්දී, මා දන්නා තරමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ සුමධුර ධර්මය මගේ ගුරු දෙවිඳුන් කියා දුන් පරිදි ම ඒ පිරිසට කියන්නට මා මැළි වූයේ නැත. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදුගුණ කියන්න තරම් මට ශක්තිය ලැබුණි. ටික කලක් ගතවද්දී මගේ යෙහෙළියෝ මට අපූරු යෝජනාවක් කළෝ ය. “අපි පුංචි රේඩියෝවක් ගනිමු. එතකොට අපි ඔක්කෝටම බණ අසන්න පුළුවන් නේද?” ඒ යෝජනාවෙන් මගේ සිතේ ඇති වූ සතුට නිම්හිම් නැති විය. පසුවදා ම මම ඒ සඳහා ක්‍රියාත්මක වුණෙමි. මගේ දුරකතනයට ඩවුන්ලෝඩ් කරගෙන එන ඒ අසිරිමත් දේශනා මම පැය දෙකකට ආසන්න කාලයක් ඔවුන්ට අසන්නට ලබා දුන්නෙමි. සියල්ලෝම බොහෝ ම කැමැත්තෙන් ධර්මය අසන බව මට වැටහුණි. ඒ නිසාම මම තව තවත් උනන්දු වුණෙමි. අතළොස්සක් දෙනා ධර්මය ශ්‍රවණය නොකළ ද ඔවුන් අපට බාධා කළේ ද නැත. දැන් උදෑසන බස් රථය පුරා සුමධුර ධර්මය රැව්පිළිරැව් දෙයි.

පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනා මෙන්ම මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ බොහෝ දේශනා ද අසන්නට මම ඔවුනට ඉඩහසර ලබා දුන්නෙමි. මහා බෝ වරුණ, ධාතු වන්දනාව, අරහන්තක වන්දනා, මව්පිය ගුණ ඇති දේශනා, අනුස්සති භාවනා, බුදු සුවඳ දේශනා සෑම දිනකම අසන්නට අපි පුරුදු වුණෙමු. සමහර දේශනා අසන විට ඔවුන් මුහුණට මුහුණ බලා ගන්නේ ඔවුන්ගෙන් වෙන වැරදි එහි කියවෙන නිසාවෙනි. සමහර දේශනා අසා දෑත නළලේ තබා වන්දනා කරන්නට ද ඔවුන් අමතක කළේ නැත.

ඔවුන් දැන් ශ්‍රද්ධා නාලිකාව අසයි. එහි යාවජීව සාමාජිකත්වයන් දරයි. දැන් මගේ උත්සාහය ඔවුන් උපෝසථ සීලයේ සමාදන් කරවීම යි.

මා මෙතෙක් දුර ඔබට කියාගෙන ආවේ අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේගේ අනුත්තරෝ පුරිසදම්ම සාරථි ගුණය යි. දමනය නොවූ පිරිස් උන්වහන්සේ ඉදිරියේ දමනය වන අයුරු කෙතරම් නම් සොඳුරු ද? ඒ සොඳුරු දහම නුවණැත්තා කොහේ සිටිය ද වටහා ගන්නවා ඇත. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් පැහැදීම ඇතිකර ගනියි ද ඔවුන්ට සුගතිය හිමි බව මගේ යෙහෙළියන් අද දනියි. ඒ මගේ පින්වත් ගුරු දෙවිඳුන්ට පින් සිදු වන්නට ය. අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ඒ අයුරින් ම අපට කියා දුන් නිසා අද බොහෝ පිරිසක් දුගති මාර්ගයෙන් වෙන් වී සිටිති. පවින් වැළකි පිනෙහි ඇලී සිටිති. අකුසලයට බිය වී කුසලය වඩමින් සිටිති. මගේ යෙහෙළියන් ධර්මය අසන සෑම විටම මට සිහිවෙන්නේ ‘මේ ධර්මය නොඇසුණ සියලු දෙනාට ම උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේනමකගෙන් නිවැරදි පිරිසිදු ධර්මය අසන්නට ලැබේවා! තෙරුවන කෙරෙහි සිත පැහැදේවා!

සිල්පද රකින්නට ශක්තිය ලැබේවා!’ යන්නයි. එතෙක් ඒ අමා ගඟුල සුවසේ ගලා බසිත්වා!

සටහන – නයනා නිල්මිණී.