තෙරක් නොපෙනෙන අතිශය බියකරු වූ මේ දීර්ඝ සංසාරය තුළ මනුෂ්‍ය ජීවිතයක් ලබා ඉපදීම වනාහි අතිශය දුර්ලභ වන බව අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. දිවි රඟමඬල නම් වේදිකාවට ඉපදීම නමැති පඩියෙන් නැග-මරණය නමැති පඩියෙන් බැස යනතෙක් නොයෙක් වූ රංගනයෙන් යුක්තව මිනිසා කාලය ගත කරයි. විටෙක සමහරු ජීවිතය තුළ වැරදි අඩුපාඩු සිදු කරන අතර සමහරු වැරදීම් නිසා දුකට පත්ව පසුතැවෙති. සමහරු ඒවා දරාගත නොහැකිව ඔවුන් විසින්ම තමන්ගේ ජීවිතයට සමු දී දිවි තොරකර ගනී.

වැරදීම් වනාහි කවදා කෙසේ හෝ කවුරුන් අතින් වුව සිදුවිය හැකි දෙයක් වන අතර එය සුලබ කරුණකි. වරදින් මිදී නිවැරදි වේ නම් ඒ වනාහි ලොව අතිශය දුර්ලභ කරුණකි. වැරදි කරන අයටත්, වරදින් පසුතැවෙන අයටත්, වරදින් අත්මිදීමට කැමති අයටත්, කොයිකාටත් වරදින් නැගී සිටින්නට පුළුවන් කියා වරදින් නැගී සිටීමේ ධජය අතැතිව මේ බුද්ධ ශාසනයේ සෙන්පතියෙකු ව වැඩ සිටි ඒ මුනිවරයා අපගේ ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේ ය.

කිසිවකුට වචනයකිනිදු අංශුමාත්‍රයකින්වත් හිරිහැරයක් නොකළත්, අසත්පුරුෂයන්ගේ ඊර්ෂ්‍යාවට ලක් වීම නිසාත් – හදෙහි තිබූ අසීමිත ගුරු ගෞරවය නිසාත් සියලු ශිල්පයන්හි කෙල පැමිණි සුකුමාල කීකරු තරුණයාගේ හස්තයට අසිපත පැමිණියේ ය. අභරණින් සැරසුණු ගෙල ලේ තැවරී ගිය ඇඟිලි මාලයකින් ගැවසී ගියේ ය. මේ වනාහි ජීවිතයකට ලැබිය හැකි අතිශය අවාසනාවන්ත වූ ඉරණමකි. අංගුලිමාල ලෙස ගම්නියම් ගම් ප්‍රකටව කඩුව අමෝරා සෑම තැන ඇඟිලි සෙවූ ඒ දෑස් යම් මොහොතක මෙලොව ඇති අතිශය සොඳුරු දර්ශනය වූ ඒ තථාගතයන් වහන්සේගේ සම්බුදු රුව දුටුවේ ද එතැන් පටන් ඔහුගේ ඉරණම වෙනස් විය.

ඔහු දහස් වන ඇඟිල්ල වෙනුවෙන් අප භාග්‍යවතුන් වහන්සේ පසුපසින් කඩුව අමෝරා යොදුන් තුනක් දිව්වේ ය. සසරේ මිනිසුන් මරා ඇති වූ දැඩි සිත මොළොක් වීම පිණිසත්, සිතේ ඇති තරහව වෛරය සන්සිඳී යාම පිණිසත් අංගුලිමාලයන් හට එලෙස යොදුන් තුනක් දිවීමට සිදු විය. කොතරම් වේගයෙන් දුව ගිය ද අප භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානය නිසාම අංගුලිමාලයන් හට භාග්‍යවතුන් වහන්සේට ළං වීමටවත් නොහැකි විය.

“ශ්‍රමණය ඔහොම නවතින්න.” ලෙස අවසානයේ අංගුලිමාලයන් භාග්‍යවතුන් වහන්සේ හට පැවසූයේ ඔහුට භාග්‍යවතුන් වහන්සේ වෙත ළං වීම අතිශය දුෂ්කර දෙයක් වූ නිසාවෙනි.
සොඳුරු මුවමඬල විවර කළ අප භාග්‍යවතුන් වහන්සේ,

“මම නැවතී සිටිමි, ඔබ නවතින්න.” ලෙස වදාළ සේක. ඒ විගසම අංගුලිමාලයන් සිතන්නට වූයේ, ‘නැවතී සිටින මට නවතින ලෙසත්, නොනැවතී සිටින ශ්‍රමණයන් නැවතී සිටින බවත් පැවසීම වනාහි අසත්‍යයකි. එසේනම් ශ්‍රමණයන් බොරු පවසනවා.’ යනුවෙනි. එසේ සිතා

“ශ්‍රමණය, සත්‍යය පවසන්න.” යැයි අංගුලිමාලයන් භාග්‍යවතුන් වහන්සේ හට කීවේ ය.

අප ආදරයෙන් සරණ ගිය අපගේ භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නා සේක. සියල්ල දක්නා සේක. යමෙක්ගේ සිතට වඩාත් සංවේදී, ප්‍රඥාව මෝරා ඒම පිණිසත් – කුසල් ඉස්මතු වීම පිණිසත් බලපාන යම් වචනයක් වේ ද එය නිසි අයුරින් ම දන්නේ තථාගතයන් වහන්සේ ම ය. ඒ වනාහි සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකගේ අසිරියයි..!

අංගුලිමාලයන් සසරේ මිනිසුන් මරණ යක්ෂ පෝරිසාද වැනි ජීවිත ගත කළ ද ඔහු සතුව සුන්දර ගුණයක් ඉස්මතු වී තිබුණි.

එය වනාහි සත්‍යයයි. සත්‍යයට ගරු කිරීමයි. සත්‍යයට කැමති වීමයි.

මහා සුතසෝම ජාතකයේ අප බෝසතාණෝ සුතසෝම රජුන් ලෙසත්, අංගුලිමාලයන් පෝරිසාදයකු ලෙසත් ඉපදුණි. දිනක් රජු පෝරිසාදයාගේ ග්‍රහණයට හසු වූ විට තමා රාජ්‍යයේ රජු බවත්, රාජ්‍යයේ කටයුතු පිළිවෙළක් කොට ස්ථාවර කොට නැවත පැමිණෙන ලෙසටත් පොරොන්දු ව ආපසු රාජ්‍යයට ගියේ ය. කියූ ලෙස ම රාජ්‍යයේ කටයුතු පිළිවෙළක් කොට, තමා මරණා බව දැන දැනත් සුතසෝම රජු දුන් පොරොන්දුව රැකිය යුතු නිසා නැවත පෝරිසාදයා වෙත පැමිණියේ ය. එදා අප බෝසතාණන්ගේ සත්‍ය ගුණයට පැහැදුනු පෝරිසාදයා වහා බෝසතුන් ඉදිරියේ දමනය විය. බෝසතාණන් ඉදිරියේ එසේ දමනය වී නම් අද භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය ඉදිරියේ අංගුලිමාලයන් දමනය නොවී සිටීවි ද?

අප භාග්‍යවතුන් වහන්සේ අංගුලිමාලයන් හට පැවසූයේ “මම නැවතී සිටිමි. ඔබ නවතින්න.” ලෙස ය. ඒ වනාහි සත්‍යයක් ම ය. කුමක්ද සත්‍යය?

“තථාගතයන් වහන්සේ සියලු ප්‍රාණීන් කෙරෙහි හිංසා පීඩා අතහැර ඇති අතර තථාගතයන් වහන්සේ සසරේ ඇවිදින්නේ නෑ. ඔබ ප්‍රාණීන්ට හිංසා කරනවා. එනිසා ම ඔබ සසරේ ඇවිදිනවා.”

සියල්ල දන්නා සියල්ල දක්නා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම සත්‍ය වචන ඉදිරියේ අංගුලිමාලයන් දමනය වන බව ඒකාන්ත වශයෙන් ම දැන සිටි සේක.
අංගුලිමාලයන්ගේ මඳ මාන කෙලෙස් සුණුවිසුණු විය. ඇඟිලි මාලය දැරූ කය කසාවතින් පෙරවුණේ ය. දෑතින් අසිපත ගිලිහී පාත්‍රය අතට ආවේ ය.

‘කවුද මරන්නේ?’ කියා සෙවූ සිත ‘සියලු සත්වයෝ සුවපත් වේවා!’ යැයි මෙත් අරමුණු සෙව්වේ ය.

‘මාගේ සතුරෙක් වේවා, මිතුරෙක් වේවා මට ඕනෑ ඇඟිල්ලක්.’ කියා සිතූ කෙනා ‘මාගේ සතුරෝ ද බුදු බණ පද අසත්වා, මාගේ මිතුරෝ ද බුදු බණ පද අසත්වා!’ ලෙසින් දමනය විය.

අහෝ! මේ බුද්ධ ශාසනය ඒකාන්තයෙන් ම අසිරිමත් ය.

අංගුලිමාලයන් යම් මොහොතක තිසරණ සරණට පැමිණියා ද එම මොහොතේ ම තමාගේ සියලු වැරදි අත්හැරියේ ය. භාග්‍යවතුන් වහන්සේ නමැති පහන් සිළුව සැබැවින්ම සියලු සත්වයන්ගේ ජීවිතවලට ඇති එකම ආලෝකය යි.

ඇඟිලි කපන කල්හි, ජීවිතය ඉල්ලා මිනිසුන් විලාප තියද්දී පවා සංවේදී නොවූ අංගුලිමාලයන් දිනක් පිණ්ඩපාතයේ වඩිනා විට දරුවෙකු බිහිකර ගත නොහැකිව වේදනාවෙන් විලාප දෙන කුසදරු අම්මාගේ විලාප හඬ අසා හදවත කම්පා වී ඇයට පිහිට වීමට තරම් සිත් ඇති විය. එදා උපන් දරුවන් පවා ඇඟිල්ලක් වෙනුවෙන් මැරූ නමුත් අද අංගුලිමාලයන් වහන්සේ නූපන් දරුවකු වෙනුවෙන් වැඩූ මෙත් සිත සැබැවින්ම අසිරිමත් ය. අංගුලිමාලයන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ සමීපයට වැඩම කර එම අම්මාට පිහිට වීම පිණිස අප භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූ විට අප භාග්‍යවතුන් වහන්සේ, “මම සතුන් මැරුවේ නෑ.” ලෙස සත්‍යක්‍රියා කර සෙත් පතන ලෙස වදාළ සේක. එවිට අංගුලිමාලයන් වහන්සේ, “ස්වාමිනී, මගේ අත්වල කොච්චර ලේ තැවරී තිබුණා ද?” ලෙස පැවැසූ විට භාග්‍යවතුන් වහන්සේ, “අංගුලිමාල, ඔබ ආර්ය ජාතියේ උපන්දා පටන් දැන දැන සත්ව ඝාතනයක් සිදු කළේ නෑ.” යයි සත්‍යක්‍රියා කරන ලෙස වදාළ සේක. මෙම සත්‍යක්‍රියාව වනාහි අංගුලිමාල පිරිතයි. සැබැවින්ම මෙම සත්‍යක්‍රියාව පුදුම සහගත සත්‍යක්‍රියාවකි.

දහසකට අධික මිනිස් ජීවිත ගණනක් බිලිගත් කෙනෙක් ලවා ‘ආර්ය ජාතියේ උපන්දා පටන් සතුන් මැරුවේ නෑ’ කියා සත්‍යක්‍රියා කරවීම වනාහි මේ බුද්ධ ශාසනය තුළ ඇති නිර්මල පාරිශුද්ධ බවයි. සැබැවින්ම අප සරණ ගිය අපගේ භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යවත් ය.

අංගුලිමාලයන් එදා මැරූ මිනිසුන් ප්‍රමාණය දහසක් පමණ වුවත් කල්පයක් පුරා තෙද බල පැතිරෙන මෙම අංගුලිමාල පිරිත නිසා මේ මහා භද්‍ර කල්පය පුරා සුවපත්ව සැනසෙන දරුවන්, මව්වරුන් සහ සෙසු පිරිස ගණනින් මෙතෙකැයි කියා කිව නොහැකි තරම් ය. එදා මිනිසුන් ශාප කළ අංගුලිමාල නාමය අද සියලු දෙනාගේ ජීවිතවලට ආශීර්වාදයක් ම ය.
ඕනෑම අයෙකුට වරදින් අත්මිදිය හැක. ඒ බව පසක් කරන මහා මුනිවරයා ඒ උත්තම අංගුලිමාල මහරහතන් වහන්සේ ය.

සචිනි ගමගේ