‘කාලය රන් හා සමානයි’… මෙය අපි කවුරුත් හොඳින් දන්නා රන් හා සමාන කියමනක්. කාලය බොහෝ වටින්නේ ගෙවී යන කාලයෙන් වටිනා ප‍්‍රයෝජන ගන්නා අයටයි. එසේ නො කරන අය තුළ බොහෝ විට පවතින්නේ කලට වෙලාවට වැඩ නො කිරීමත්, ප‍්‍රමාද බවත්.

වාද කිරීමට කැමති අය නම් කාලය සාපේක්ෂ ද නිරපේක්ෂ ද කිය කියා වාද විවාද කරමින් වුණත් කාලය කා දමනවා. අපි කාර්යබහුලව සිටියත්, විවේකීව සිටියත් කාලය ගත වෙනවා. කාලය ගමන් කරන එක වළක්වන්නට කාටවත් ම බෑ. නිරන්තර සිදුවීම්වලින් පිරීගත්ත ලෝකයේ සියලූ දේ මැදින් අපට ජීවත් වීමට ඇති අගනා කාලය ඉතා ඉක්මනින් ගෙවී යන බව නම් සනාතන සත්‍යයක්.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ මේ හිරු සඳු දෙදෙනා ගමන් කරනවාටත් වඩා වේගයෙන් මනුෂ්‍යයාගේ ආයුෂ ගමන් කරනවා කියලයි. එහෙම එකේ කා දමන්න තරම් කාලයක් අපට කොහෙන් හොයන්න ද? කාලය කියන්නේ මැනැවින් කළමනාකරණය කළ යුතු දෙයක් ම යි.

ඉතින් මේකෙදි කෙනෙකුට පුළුවන් නම් කලට වේලාවට වැඩ කිරීමේ ගුණය තමන් තුළ පුරුදු කරගන්නට එය ඔහුට බොහෝ සැනසිල්ල පිණිස, සැපය පිණිස පවතිනවා. එ් වගේ ම ඔහු අන් අයගේ සැනසිල්ල පිණිස ද උපකාර කරන කෙනෙක් බවට පත්වෙනවා.

අප කුඩා කල සිට මහලූ විය දක්වා ම ජීවත් වන්නේ එකිකෙනාට උපකාර කරගනිමින්. මේ ආකාරයට අන්‍යෝන්‍ය සහජීවනයෙන් වැඩ කටයුතු සිදු වන නිසා මුළු සමාජයක පැවැත්ම ඉදිරියට යන්නේ සියලූ දෙනාගේ ම දායකත්වය ඇතිවයි. එවිට තනි පුද්ගලයෙකුගේ ප‍්‍රමාදයක් වුණත් මුළු මහත් සමාජයට ම අඩු වැඩි වශයෙන් බලපෑමක් ඇති කරනවා.

සමාජයක් භෞතික වශයෙන් මෙන් ම ආධ්‍යාත්මික වශයෙන් දියුණු වීමට හා සැපවත් වීමට කලට වේලාවට වැඩ කිරීම ඉමහත් රුකුලක් වෙනවා. රජයේ මෙන් ම පෞද්ගලික අංශයේ රැුකියා ස්ථානවල බහුලව දක්නට තිබෙන දෙයක් තමයි නියමිත වේලාවට රැුකියාවට නො පැමිණ ප‍්‍රමාද වීම. එ් නිසා ම තමයි නොයෙක් අවස්ථාවන්හි දී රතු ඉර ගැසීමට පවා සිදුවන්නේ. එ් වගේ ම ඇඟිලි සලකුණු උපයෝගි කර ගනිමින් පැමිණීම ලකුණු කිරීමේ යාන්ත‍්‍රණ ආදිය භාවිත කිරීම සිදුවන්නේත් මෙවැනි අක‍්‍රමිකතා මඟහරවා ගැනීමට යි.

යම් කිසි කටයුත්තක් ඉටුකර ගැනීමට සේවා සපයන ස්ථානයකට යන කෙනෙකුට මුහුණ පාන්නට සිදුවන ප‍්‍රධාන ගැටලූවක් තමයි තමන්ගේ කටයුත්ත සම්පූර්ණ කර ගැනීමට සෑහෙන වතාවක් එම ස්ථානයට යාමට සිදුවීම. කලට වේලාවට සේවාවන් සැපයීමට සේවා සපයන්නන් සමත් වෙනවා නම් තමන්ගේ කාලය නාස්ති කරගනිමින් රස්තියාදු වන්නට සේවා දායකයන්ට සිදුවන්නේ නැහැ. එක කාර්යයක් උදෙසා අනවශ්‍ය තරමේ කාලයක් වැය වෙනකොට ඒ සෑම අවස්ථාවක දී ම නාස්ති වන්නේ ඵලදායීව යොදා ගත යුතුව තිබුණ කාලය සහ මුදල්. ඒ සියල්ල රටේ අභිවෘද්ධිය උදෙසා වියදම් කිරීමට තිබූ දේවල්. මෙහි දී සේවය සපයන අය සිතිය යුත්තේ කලට වේලාවට සේවාව ඉටු කිරීම තමා සතු යුතුකමක් ලෙස නො වේ ද?

කලට වේලාවට සේවාවන් ඉටු නො කිරීම රජයේ හෝ පෞද්ගලික භේදයකින් තොරව ව්‍යාපාරය පිරිහීමට සෘජුව ම දායක වෙනවා. එය ආයතනික වශයෙනුත් විශාල අර්බුදයක්. දකින දකින මනුෂ්‍යයාගේ අතේ ඔරලෝසුවක් බැඳලා තිබුණත් වෙලාවකට කිසිම වැඩක් නො කෙරෙන රටක් කියලා කාලයකට ඉහත හාස්‍යයට ලක් වුණේ වෙලාවට වැඩ කිරීමට අපට ඇති නො හැකියාව. අපි කාල කළමනාකරණයක් ගැන නො තකන්නේ අපේ සියලූ ප‍්‍රශ්න විසඳාගෙන හෝ අර්බුදවලින් සම්පූර්ණයෙන් ම නිදහස් වෙලා හෝ නෙමෙයි… නමුත් බලන්න අපි සරණ ගිය අපගේ ශාස්තෘ වු ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙස… උන්වහන්සේ තමන් වහන්සේගේ දින චර්යාව පවා මනා ලෙස කළමනාකරණය කර ගනිමින් කිසිදු ප‍්‍රමාදී බවකින් තොරව පරිපූර්ණ ලෙස බුද්ධකෘත්‍ය ඉටු කොට වදාළා.

අපිත් කලට වේලාවට වැඩ නො කරන, නිතර ම වැඩ අතපසු කරන අය වුණොත් මේ ජීවිතයේ දී ම බොහෝ ගැටලූවලට මුහුණපාන්නට සිදු වෙනවා. පාසල් යන දරුවෙක් ඉස්කෝල පාඩම් වැඩ අතපසු කර ගනිමින් ගෙදරින් කරගෙන එන්න දෙන වැඩ ටික කලට වේලාවට නො කළොත් ඔහු ගුරුවරුන්ගේ අප‍්‍රසාදයට ලක්වෙනවා සේ ම විභාගවලින් පවා ඉහළ සාමාර්ථ ලබා ගැනීමට බැරුව යනවා. රැකියාවක් කරන කෙනෙකුට නියමිත කාල රාමුවකට නිම කිරීමට වැඩක් පවරනවා. නමුත් ඔහු නිසි වේලාවට එය ඉටු නො කර දිගින් දිගට ම කල් ඉල්ලන කෙනෙක් නම් ඔහුට එම රැකියාව තුළ ඉදිරි දියුණුවක් කරා යන්න අපහසුයි. සමහර විට ඔහුගේ වැඩවල ප‍්‍රමාදී බව රැකියාව අහිමිවීම තෙක් දුරදිග යන්නටත් පුළුවනි.

සෑම කෙනාට ම මේ කාරණය පොදුයි. කාලානුරූපව කටයුතු නො කිරීමෙන් කාට වුණත් සිදු වෙන්නේ ප‍්‍රමාදයේ ගැලෙන්නටත්, අන්‍යයන්වත් අපහසුතාවයට ලක් කරමින් අප‍්‍රසාදයට බඳුන් වන්නටත් නේ ද? එය තමන්ටත්, අනුන්ටත් අයහපත පිණිස පවතින්නක්.

මේ පුහුදුන් සමාජයේ දක්නට තිබෙන තවත් දෙයක් තමයි ගමනක් බිමනක් යන විට හෝ වේවා, තවත් කෙනෙක් මුණ ගැසීමට යනවිට හෝ වේවා පුරුද්දක් ලෙස ප‍්‍රමාද වී යෑම. මෙහි දී තමන් හිතවත් අය බොහෝ සෙයින් කායිකවත්, මානසිකවත් අපහසුතාවයට පත් වන අවස්ථා බහුලයි. එවන් හිස් පුද්ගලයන්ගේ තත්ත්වයට නො වැටීමට අප වගබලා ගත යුතුයි. සිතේ සංවර භාවයට නො පැමිණි කෙනෙක් නම් ප‍්‍රමාද වු පුද්ගලයා කෙරෙහි තරහක්, අමනාපයක් ඇති කර ගනිමින් සිතින් මෙන් ම වචනයෙනුත් අකුසල් රැුස් කරගන්නවා. යම් කිසි කෙනෙක් තම ජීවිතයේ පුරුද්දක් ලෙස ප‍්‍රමාද වී වැඩ කටයුතු කරන අයෙක් නම් ඔහු ඇසුරු කරන පිරිස ඔහුගේ වචන පිළිනොගෙන හෑල්ලූවට ලක් කරන මට්ටමට පත් වෙනවා. එය අනුන් තුළ අකුසල් බහුල කිරීමට හේතුවක් වෙනවා.

එ් වගේ ම තමයි අපට කරන්නට අතපසු වූ වැඩ බොහෝ ඇති විට සුව නින්ද ද අප කෙරෙන් ඈත් වී යනවා. පීඩනය බලවත් වුවහොත් කෑම අරුචිය වැනි අපහසුතාවයන් ඇති වෙනවා. මේ තත්ත්වය සුළු දෙයිනුත් කිපෙමින් නුරුස්සන ස්වභාවයක් කරා දුර දිග යන්නටත් පුළුවනි. වෙලාවට වැඩ නො කිරීම ශාරීරික සුවපහසුව නැති කර දමන්නේ ඔය ආකාරයෙන්.

මේ අයහපත් පුරුද්ද පටන් ගන්නේ අප උදෑසන අවදි වන මොහොතේ සිට ම යි. උදෑසන තමන් රැකියාවට යාමට හෝ වෙනත් යොදා ගත් වැඩකට යාමට සිදුවන ප‍්‍රමාදයට ප‍්‍රධාන හේතුවක් තමයි උදෑසන කලට වෙලාවට අවදි වීමට ඇති මැලිකම. එලාම් එක නියමිත වේලාවට නාද වූවත් අප ඇඳෙන් බිමට අඩිය තියාගන්නට මැලිකමින් කාලය ගත කරනවා වෙන්නට පුළුවනි. ඉතින් ඊට පස්සේ කඩිමුඩියේ ලෑස්ති වෙලා පාරට බහිනකොට බස් එකේ යන්න පුළුවන්කමක් නෑ. එහෙම යන්න හිටියොත් රතු ඉර වදින නිසා, වෙන කරන්න දෙයක් නැතිකමට අතේ සල්ලිත් වියදම් කර ගෙන ටැක්සියක තමයි ගමන යන්න වෙන්නේ. ‘වෙලාවට යන්න බැරි වේවි ද?’ කියන තිගැස්මත් එක්ක, නිරපරාදේ මුදලූත් නාස්ති කරගෙන තමයි දවස පටන් ගන්න වෙන්නේ.

අපට පුළුවන් නම් උදෑසන නිසි වෙලාවට අවදි වන්නට දවසේ ඉදිරි කටයුතු ක‍්‍රමානුකූලව කරන්නට එය මහත් රුකුලක් වෙනවා. ඒ වගේ ම එතුළින් අප අන් අයගේ සැප කැමති කෙනෙක් බවට පත් වෙනවා.

මොන ආකාරයෙන් උත්සාහ කළත් සමහර විට යම් යම් ප‍්‍රායෝගික තත්ත්ව නිසා අදාළ කාලය තුළ වුවමනා කටයුත්ත ඉෂ්ට සිද්ධ කරන්නට නො හැකි වෙන්නට පුළුවන්. ඒ බව අපට කලින් තේරුම් ගන්නටත් පුළුවන්. තමන් සේවය කරන තැන හෝ වේවා තමන්ට පැවරූ වැඩක් නිසි කලට නිම කිරීමට නො හැකි බව කල් තියා වැටහෙනවා නම් එය හැකි ඉක්මනින් අදාළ බලධාරීන් වෙත දැනුම් දිය යුතුයි. එවිට ඒ සඳහා ඇති විකල්ප ක‍්‍රම භාවිත කිරීමට ඉඩකඩ සැලසෙනවා. එකිනෙකා මත රැඳී පවතින මෙහෙයුම් බිඳ වැටීමකින් තොරව පවත්වා ගන්නට එයින් හැකිවෙනවා.

අපට පැවරූ ඉතා කුඩා වැඩක් පවා වගකීමෙන් යුතුව නිසි කලට ඉටු කිරීමට පුරුදු වීමෙන් යන යන තැන අපට යහපත් මිතුරන් ලැබෙනවා. ඒ වගේ ම අපේ ක‍්‍රියාවක් අන් බොහෝ දෙනාගේ සැපය හා සැනසිල්ල පිණිස හේතු වෙනවා.

කලට වෙලාවට වැඩ කරන්නට පුරුදු වුණ කෙනෙකුට දෛනිකව කාලය ඉතිරි කරගන්න එක කිසිදු අපහසුවකින් තොරව සිදුකරන්නට පුළුවනි. එසේ ඉතිරි කරගන්නා කාලය ඔහුගේ විවේකය බවට පත් වෙනවා. ඒ විවේකය වඩාත් අර්ථවත් කරගනිමින්, කාලයේ අගය දැන මෙහෙයවිය යුතු මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් ලබා දෙමින් කළ යුත්තේ මොකක් ද? කාලයේ අගය මැනැවින් අවබෝධ කොට, කාලයට අයත් නො වන අකාලික දහමක් දේශනා කළ මුනිරජාණන් වහන්සේ වදහළ දහම් මඟ සේවනය කිරීම ම යි.

ඉතින් අපි සියලූ දෙනාමත් ප‍්‍රමාදී බව දුරු කර ගනිමින් කලට වේලාවට වැඩ කටයුතු කිරීමට පුරුදු වීමෙන් තමන්ටත්, අනුන්ටත්, සමාජයටත් යහපත ඉටුකරන වැඩදායක පුරවැසියන් වීමට අදිටන් කර ගනිමු.

වේලා සටහන
කෝසල සමරසේකර