සෑම ජන වර්ගයක ම කිසිදු වෙනසක් නැතිව ඉපදීම, වයසට යාම, ලෙඩ වීම, මරණය දැක ගත හැකිවාක් සේ ම සෑම ජන වර්ගයක් තුළ ම ආදරයත්, ඒ හා සබැඳි දුක හා සතුටත් දැක ගන්නට පුළුවනි. වර්ණයක් නැති, හැඩතලයක් නැති, ගණනකින් කිව නොහැකි සිතුවිලි දහරාවක් වන ආදරය සියලු වර්ණ, සියලු හැඩතල, සියලු අගයන් නිර්මාණය කරනවා. ලෝකයේ අන් කිසිවෙකුට කිසිසේත් ම නොවටනා අයෙකු වූවත් ආදර බැඳීම් තුළ දී අන් කිසිවෙකුටත් වඩා ඉහළ වටිනාකමක් ලබනවා.

ඒ ආකාරයෙන් ආදරයක් තුළ දී එකිනෙකාට පවරනු ලබන වටිනාකම් මත එකිනෙකා වෙනුවෙන් ජීවිතයේ කෙරෙන කැපකිරීම් ද තීරණය වනවා. ජීවිතය වුව ද පුදා ආදරය වෙනුවෙන් වටිනාකමක් දෙන්නට වෙහෙස වූවන් ගැන අදත් ලෝකය කථා කරන්නේ අමරණීය ආදරයක උරුමකරුවන් විදිහටයි.

රෝමියෝ ජුලියට්ලා ආදරය වෙනුවෙන් ජීවිත පූජා කළා. සාලිය අශෝකමාලා ආදරය වෙනුවෙන් රාජකීය කිරුළේ උරුමය අත්හැරියා. නේපාලයේ කිරුළ හිමිව සිටි රජ කුමරා 2001 වසරේ දී ආදරය වෙනුවෙන් සිය පියා ද ඇතුළු ව නේපාල රාජකීයයන් ගණනාවක් ඝාතනය කොට සියදිවි නසා ගත්තා. ෂා ජෙහාන් රජු අඩු වයසින් මියගිය තම බිරිඳ වෙනුවෙන් සිතේ වූ ආදරයේ නාමයෙන් අති විශාල ධනස්කන්ධයක්, අති විශාල ශ්‍රමයක්, අති විශාල ශිල්පීය ඤාණයක් වැය කොට ටජ්මහල් නම් වූ සොහොන්ගැබ කරවූවා. ඒ ආදර කථාවන් බොහොමයක් ගැන ලෝකය කියන්නේ ‘අමරණීය ආදරයක්’ කියායි. මරණයෙන් වුව ද වෙන් නොවන අන්දමේ අති විස්මිත ආදරයක් කියා යි.

ඒ සුප්‍රකට කථාවන් කිහිපයක් පමණයි. ආදරය වෙනුවෙන් රට රාජ්‍යය පසෙක තබා යාන්තමින් කා බී ජීවත් වන දුෂ්කර දිවිපෙවතකට පිළිපන්නවුන් ලෝකයේ සිටියා. ආදරය වෙනුවෙන් මාපියන්, ලේ ඤාතීන් සියල්ලන් බැහැර කොට දැඩි තීරණ ගත්තවුන් ලෝකයේ සිටියා. ආදරය නමින් නොකා නොබී හඬා වැළපෙන්නවුන් ලෝකයේ සිටියා. අතීතයේ පමණක් නොවෙයි; අදටත් එය එසේ ම යි. දිනපතා පුවත් වාර්තා තුළ ආදර සම්බන්ධතා නිසා දිවි හානි කර ගන්නට ගිය හෝ දිවි හානි කර ගත් පිරිස් ගැන කොතෙක් නම් අසන්නට, දකින්නට ලැබෙනවා ද? ඇතැම් අවස්ථාවල මේ ජීවිතයේ එක් වන්නට නොලැබෙන නිසා මතු ජීවිතයක හෝ එක් වන්නට පතමින් එක් ව දිවි නසා ගත්තවුන් ගැන පවා අසන්නට ලැබෙනවා.

මේ තිබෙන්නේ කාලානුරූප ප්‍රශ්නයක් නොවෙයි. ලෝකය සෑම කල්හි ම මේ අර්බුදයට මුහුණ දුන්නා. භව ගණනාවක් ඈතට දිව යන, අප දන්නා ලෝක ඉතිහාසයට බොහෝ දුර වූ අතීතයේ පවා අස්සක වැනි රජවරුන් ආදරය වෙනුවෙන් රට රාජ්‍යය පසෙක තබා හඬා වැළපෙමින්, දුකින් දොම්නසින් කාලය ගෙවූ අයුරු මුණගැසෙනවා. ඒ සියලු ආදර කථාවන් අවසන ඔවුන් දිනූ යමක් තිබුණා නම් ඒ ‘අමරණීය ආදරයක්’ කියා ලෝකය කරන හැඳින්වීම පමණයි. එහෙත්… ඔවුන් ද මිය ගොසින්…! එසේ තිබිය දී මිය ගිය ඔවුන්ගේ ආදරය කෙසේ නම් අමරණීය වන්න ද…!

ලෝකය කවර වටිනාකමක් දුන්නත් ඔවුන්ගේ ආදර කථා අවසන් වූයේ රාගය බලවත් ව, ද්වේෂය බලවත් ව, එසේ ම මෝහය බලවත් ව… රාග ද්වේෂ මෝහ බලවත් ව තිබිය දී මිය යන්නවුන් ගැන කිව යුත්තේ අමරණීය වන්නවුන් කියා නො වෙයි; ඔවුන් මේ මිනිස් ජීවිතය වරදවාගෙන දුගතියේ දොර විවර කර ගත්තවුන්… ලෝකය විසින් කරනු ලබන විග්‍රහයනට, ලෝකය විසින් දෙනු ලබන වටිනාකමට, ලෝකය විසින් පනවනු ලබන අමරණීයත්වයට ඒ දුගති උපත වළකාලිය නොහැකියි. හැබැයි, එහි අර්ථය දිවි පුදන සියල්ලෝ දුගතියේ උපදිනවා යන්න නම් නො වෙයි…

ලෝකයේ එක්තරා දිවි පිදීමක් විසින් සත්වයන් සුගතියේ උපද්දවනවා. දුකින් නිදහස් කරවන මාවතට ගෙන යනවා. නිවී සැනසීම පිණිස හේතු ප්‍රත්‍යය සකසනවා. ඒකාන්තයෙන් ම නිවන පිණිස පවතිනවා. ඒ තමයි, ‘ධර්මය වෙනුවෙන් දිවි පිදීම’…

ඒ බව තහවුරු කරන කථා පුවතක් අපට සිහිපත් වුණා. ඒ තමයි ගෞතම සම්බුදු සසුනේ වහා අවබෝධය උපදවාලූ ශ්‍රාවකයන් අතර අගපත් බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාගේ පුවත. උන්වහන්සේලා කාශ්‍යප සම්බුදු සසුනේ දී පැවිදි භූමියට පිළිපන්නේ සියලු ආශ්‍රවයන් ක්ෂය කොට අමා මහ නිවන ස්පර්ශ කිරීමේ අභිප්‍රායෙන් ම යි. එහෙත්… කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. එතෙක් කිසිදු මග ඵලයකට නොපන් ඒ පැවිදි ශ්‍රාවකයන් වහන්සේලා සත්නමක් මිනිස් වාසයෙන් බැහැර වී වනයට පිවිසියා. උස් වූ, තරණයට දුෂ්කර වූ කඳු ශිඛරයක් දැක වැල් පට අමුණා, ලී දඬු බඳවා ඉණිමං තනා ගත් ඒ සත්දෙනා ඒ ආධාරයෙන් කඳු ශිඛරයට පැමිණුනා. දැන් ඒ කඳු මුදුනෙන් නික්මිය හැක්කේ එක ම එක ක්‍රමයකට පමණයි. ඒ තමයි, පාරිශුද්ධ උපේක්ෂාව සහිත වූ සතරවන ධ්‍යානය තුළ ඍද්ධි බල උපදවා ගැනීම…

යැපීම පිණිස පිණ්ඩපාතය ලබන්නට වටපිටාවක් එහි වූයේ නැහැ. උන්වහන්සේලා සත්නම ම එක ම එක අපේක්ෂාවක් පමණක් දරාගෙන ධර්මය පුහුණු කරන්නට වෑයම් කළා. එකනමකට හෝ ජීවිතාපේක්ෂාව ඇති වූවා නම් කෙසේ හෝ කන්දෙන් පිටවන්නට ක්‍රමයක් සොයාවි, ඉණිමඟ බිම හෙළුෑ එක ගැන නිතර දෙවේලේ දොස් ද කියාවි. එහෙත් එවැනි කිසිවක් සිදු වූයේ නැහැ. උන්වහන්සේලා අතරින් එක්නමක් උතුම් අරහත්වය සාක්ෂාත් කොටගෙන පිරිනිවන් වැඩියා. එක්නමක් අනාගාමී වූවා. බලවත් ව වීරිය කළ ද බාහිය ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙක් පස්නම කිසිදු මාර්ග ඵලයක් නොලබා, ආහාර ද නොලබා අපවත් වූවා.

ධර්මය වෙනුවෙන් එසේ කාශ්‍යප සම්බුදු සසුනේ දී දිවි පිදූ බාහිය ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස මරණින් මතු දෙව්ලොව උපන්නා. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ ධර්මාවබෝධය පිණිස ජීවිතාපේක්ෂාව අත්හැර දියුණු කරන ලද ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඇති ඒ පිරිස දෙව්ලොවින් චුත ව මනුලොව උපන්නා.

බුද්ධ ශාසනයක දී ජීවිත පරිත්‍යාගයෙන් සිදු කළ ඒ ප්‍රතිපත්ති පූජාව අපතේ ගියේ නැහැ. දහමට දිවි පුදා අවංකව ම ධර්මයේ හැසිරීමේ ආනිශංස ලෙස ඒ පිරිස ගෞතම සම්බුදු සසුනේ දී සනාතන රැකවරණ ලැබුවා. ඒ පස්නම තමයි, බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ, කුමාර කස්සප මහරහතන් වහන්සේ, දබ්බ මල්ලපුත්ත මහරහතන් වහන්සේ, සභිය මහරහතන් වහන්සේ සහ සම්බුදුරජුන්ගෙන් දහම් අසන ලද සැණින් අනාගාමී ඵලයට පැමිණි පුක්කුසාති රජතුමා. බලන්න, ධර්මය වෙනුවෙන් දිවි පිදීම කිසිසේත් ම හිස් වන්නක් නොවෙයි, වඳ වන්නක් නොවෙයි. නිසැකයෙන් ම සුගති රැකවරණ සලසන්නක්, නිවනට ම සමීප කරවන්නක්. නිවනෙහි පිහිටුවන්නක්.

ජීවිතය දෙවැනි කොට දහමට දිවි පුදන්නට අද අපට බැරි වී තිබෙන්නේ දෙවඟනක් බඳු වූ භාර්යාවක් ලැබීවත්, දිව්‍යපුත්‍රයෙක් බඳු වූ ස්වාමි පුරුෂයෙක් ලැබීවත් නොවෙයි. කිසිදු ලෙඩක් දුකක් නැති, සුවච කීකරු, අතිශයින් ගුණ යහපත්, කිසිදු පීඩාවක් නූපදවන දරුවන් ලැබී ද නොවෙයි. කෝටි ප්‍රකෝටි ගණනින් වූ මහා වස්තු සම්භාරයක හිමිකමක් ලැබී ද නොවෙයි. රටක් රාජ්‍යයක් තබා ප්‍රාදේශීය රාජ්‍යයක් හෝ ලැබී ද නොවෙයි. එහෙත්… අතීතයේ විසූ නුවණැත්තෝ නම් එක ම එක ධර්ම පර්යායක් වෙනුවෙන් රට රාජ්‍යය අත්හැරියා. රාජකීයත්වය අත්හැරියා. අවසානයේ ජීවිතය ද අත්හැරියා. එබඳු විස්මිත පුවතක් ද අපට සිහිපත් වුණා.

ඒ රජතුමා උතුම් ගුණයෙන් යුතු වූවෙක්. ඔහු ගුණවත් ව රට පාලනය කළා. ඒ, ‘බුදුරජාණන් වහන්සේනමක් පහළ වී සිටි සේක, උන්වහන්සේ දෙසූ දහමක් වූ සේක’ යන වචන මාත්‍රයනට පමණක් බුද්ධ ශාසනය ගැන අසන්නට ලැබුණ කාලයක්. ඒ බව ඇසූ ඒ රජු බුදුරජුන් දෙසූ බණ පදයක් අසන්නට බලවත් කැමැත්තක් උපදවා ගත්තා. ධර්මය අසන්නට ම ඇලී ගත් සිත් ඇතිව හුන් ඔහු තමයි ‘දහම්සොඬ’ රජතුමා.

රජු ස්වකීය පුරෝහිත බමුණන් ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය කැඳවූවා. “මට බුදුරජුන් දෙසූ බණ පදයක් කියා දිය හැකි කවුරුන් හෝ මෙතැන සිටිනවා ද?” රාජ සභාව නිහඬයි… රජු ඇතුල් නුවරවාසීන්ගේ පිහිට පැතුවා. ඇතුල් නුවර පුරා අඬබෙර පිටත් කොට හැරියා. “මට බුදුරජුන් දෙසූ බණ පදයක් කියා දිය හැකි කවුරුන් හෝ සිටිනවා ද?” අඬබෙර හඬ පමණයි; ඇතුල්නුවර ද නිහඬ යි. පිටතනුවර නැගූ අඬබෙරයට ද එයට වඩා යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

දහම්සොඬ රජතුමාට උපන්නේ බලවත් කලකිරීමක්. ‘බුදුරජුන්ගේ බණ පදයක් නොදන්නා රජෙක්… බණ පදයක් නොදන්නා පුරෝහිතවරු… බණ පදයක් නොදන්නා ඇමතිවරු… බණ පදයක් නොදන්නා රටවැසියෝ… බණ පදයක් අහන්න නැති රටක්… මට මොකට ද මෙහෙම රටක මෙහෙම රජෙක් වෙලා…?’ දහම්සොඬ රජතුමා රාජ්‍යය අත්හැරියා…!

දහම්සොඬ රජතුමා රාජ්‍යය අත්හැරියේ බුද්ධ ශාසනයේ දේශිත සියලු ධර්මස්කන්ධය වෙනුවෙන් නොවෙයි… සූත්‍ර පිටකය වෙනුවෙන් නොවෙයි… ගම්භිර සූත්‍ර ධර්ම ඇතුළත් නිකායක් වෙනුවෙන් නොවෙයි… එක ම එක සූත්‍ර දේශනාවක් වෙනුවෙනුත් නොවෙයි… දහම්සොඬ රජතුමා රාජ්‍යය අත්හැරියේ එක ම එක බණ පදයක් වෙනුවෙන්… අහෝ සත්පුරුෂයන්ගේ අසිරිය…! සිත පහදවා ගනිත්වා!

රජතුමා කැලයට පිවිසියා. ‘බුදු බණ පදයක් නොදැන සිටිනවාට වඩා හොඳයි මැරෙන එක…’ ඔහු මැරෙන්න සිතාගෙනයි කැලයට ගියේ. එහෙත් මරණය කෙරෙහි ඇති වන්නේ ද බියක්. කිහිප වරක් මෙකරුණ යෙදෙද්දී දෙව්ලොව දිව්‍යාසන සැලී ගියා. දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳුන් හට ස්වකීය ආසනයේ නොසැලී සිටින්නට නොහැකි වූවා. දෙව්ලොව කළඹවන මනුලොව විශේෂත්වය කුමක්දැයි විමසද්දී සක්දෙවිඳු දහම්සොඬ රජුගේ දහම් පිපාසාව දුටුවා.
රුදුරු යක්ෂයෙකුගේ වේශයෙන් රජු පිවිස සිටි වනය වෙත පැමිණි සක් දෙවිඳු රජු ඉදිරියේ පෙනී සිටියා. යකුගේ අවශ්‍යතාවය ආහාර. රජු සතුව ස්වකීය දේහය නම් වූ ආහාරය තිබෙනවා. රජුගේ අවශ්‍යතාවය එක ම එක බණ පදයක්. යකු බණ පදයක් දන්නවා. දෙදෙනාගේ ම වුවමනාවනට සාධාරණයක් ඉටු කරන්නට දෙදෙනා එකඟ වුණා. අවසානයේ තීරණය වූයේ රජු ගල් කුළකට නැග පහළින් සිටින යකුගේ කටට පනින්නටත්, රජු එසේ පනින අතරේ යකු විසින් බණ පදය කියන්නටත්…

බණ පදයක් අසන්නට ලැබෙනවා ය යන කරුණ ඉදිරියේ රජුගේ මරණ බිය යටපත් වුණා. මේ යකු තමන් රවටා බණ පදයක් නොකියා ම තමන් ව ගොදුරු කර ගන්නට ඉඩ ඇති බවක් සිතුණේ ම නැහැ. බණ පදයක් නොදැන ගෙවන ජීවිතයට වඩා බණ පදයක් අසා ලබන මරණය උතුම් බව රජු තීරණය කළා. වේගයෙන් ගල් කුළට නැගුණ දහම්සොඬ රජතුමා එක ම එක බුදු බණ පදයක් වෙනුවෙන් ජීවිතය පූජා කොට යකුගේ කටට පැන්නා… අහෝ… කොතරම් නම් විස්මිත ද? ගෞතම නමින් සම්මා සම්බුදු ව දෙව්මිනිස් ලෝ සත දුකින් එතෙර කරලන සම්බුද්ධාංකුරයාණන් වහන්සේ සසරේ ධර්මය වෙනුවෙන් සිදු කළ කැප කිරීම් ඒ සා අතිමහත්…!

නිර්මල ව සුගත තථාගත ශ්‍රී සද්ධර්මය බබළනා මෙවන් යුගයක අනියත ජීවිතය දෙවැනි කොට දහම වෙනුවෙන් දිවි පුදන්නට නොනැමෙනා දීන සිතට නින්දා වේවා…

ගිහි පැවිදි සියලු ශ්‍රාවකයනගේ ආරක්ෂක ස්ථානය වූ සතර සතිපට්ඨානය නම් පිය උරුමයේ රැඳෙන්නට ආතාපි, සම්පජාන, සතිමා යන අංග තුන තිබිය යුතු ම යි. ආතාපි හෙවත් කෙලෙස් තවනා වීර්යය එහි මුලින් ම තිබෙනවා. අපට කාය ජීවිත දෙකේ අපේක්ෂා රහිත වූ, නිවන් අවබෝධය පිණිස ම ඉලක්ක කර ගත් වීරියක් තිබීමෙනුයි පිය උරුමයේ පිහිටිය හැක්කේ. එසේ බලවත් වීරියෙන් යුතුව, පුරුෂ පරාක්‍රමයෙන් යුතුව කටයුතු කරන්නවුන් නිසා ලෝකය සුන්දර වන බවයි සම්බුදුරජාණන් වහන්සේ වදාළේ. එබඳු වීරියවන්ත ජීවිතයක් උපදවා ගැනීමට යි අප කැමති විය යුත්තේ.

දුගතියේ දොර විවර කර ගනිමින් පිදූ ජීවිත සහිත උපත් අප අපමණ ලබා තිබෙනවා. එහෙත්… සුගතිය රැකගත්, නිවනට ද සමීප වී පිදූ ජීවිත සහිත උපත් අප ගත කොට නැහැ. ඒ නිසයි අපි බුදුරජාණන් වහන්සේගෙන් දුර සිටින්නේ. ඒ නිසයි අපි නිවනින් දුර සිටින්නේ…

රැස් කරන පුණ්‍ය ධර්මයෝ අප තුළ වීරිය බලවත් වන්නට උපනිශ්‍රය වේවා! සත්වයන්ගේ පිරිසිදු භාවය පිණිස පවතින, ශෝක වැළපීම් දුරු කරලන, දුක් ‍දොම්නස් ඉක්මවා යන, නිවන සාක්ෂාත් කිරීම පිණිස වන ඒකායන මාර්ගයේ ගමන් කරමින්, ජීවිතය පූජා කොට දහමේ හැසිරෙමින්, අජර වූ, අමර වූ අමා මහ නිවනින් නිවී සැනසෙන්නට ගෞතම සම්මා සම්බුදු සසුන තුළ දී ම අපට ද වාසනාව ලැබේවා!

සටහන – උදුලා පද්මාවතී