විසි එක්වන සියවසේ මේ ගෙවී යන තුන්වන දශකය, ලෝක ඉතිහාසයේ මතභේදයට තුඩු දෙන කාල පරිච්ඡේදයක් බවට පත්වන ලකුණු මේ වනවිට ද විද්‍යමාන වී තිබේ. කොවිඩ් වසංගතයේ පැතිර යාමෙන් හටගත් ආර්ථික හා සමාජයීය සහකම්පනය සුළුපටු දෙයක් නොවීම එයට හේතුවයි. මිනිසුන් එකිනෙකාගෙන් දුරස් කරලූ මේ සෞඛ්‍යමය ගැටලු‍ව පෙර නොවූ විරූ අයුරින් අන්තර්ජාලය මුල් කොටගත් තාක්ෂණික සබඳතා වෙත මානව වර්ගයා තල්ලු‍ කර හරින්නට සමත් විය. පෙරපාසල් වියේ සිඟිති දූ දරුවනට පවා ස්මාර්ට් දුරකථන ඔස්සේ ඉගෙන ගැනීමට සිදු වූයේ මේ තීරණාත්මක දශකයේ දී ය.

මාස ගණනින් වසා දැමුණු කාර්යාල හා පාසල් ‘නිවෙස්වල සිට වැඩ කිරීමේ ක්‍රමවේදයට‘ අනුගත කරලීම හේතුවෙන් එකම නිවෙසටත් ස්මාර්ට් දුරකථන දෙකක්වත් උවමනා කෙරිණ. ස්මාර්ට් තිරයේ ඇලී ගැලී වාසය කිරීමෙන් කායික මෙන් ම මානසික සංකූලතා ද හට ගන්නා බව දැන දැනම බොහෝ දෙනෙකුට ඒ සමග වැඩි කාලයක් ගත කරන්නට සිදු විය. දැන් කොවිඩ් වසංගතයේ යම් පාලනයක් දක්නට තිබේ. එහෙත්, ස්මාර්ට් තිරය හා බද්ධ වූ ජීවිතවල පාලනය බොහෝ දෙනෙකුගෙන් ගිලිහී ගොසිනි. විශේෂයෙන් ම, දරුවන් බොහෝ දෙනෙකු තුළ මේ ස්වභාවය නොමඳව දක්නට ලැබේ. ඔවුන් බොහෝ දෙනා අන්තර්ජාලයේ ද සමාජ මාධ්‍යයන්ගේ ද නිරන්තර සිරකරුවන් බවට පත් වී අවසන් ය. ඇබ්බැහි වීම් දක්වා දුරදිග ගිය මේ සමස්ත ක්‍රියාදාමයේ කෙළවර පිරිහී ගිය කයක් හා මනසක් ඇත්තවුන් බවට ඔවුන් පත් වීම යි.

‘යමකට ඇබ්බැහි වීම‘ යනු එය පරිහරණය කිරීම අත්හැර ගත නොහැකි මට්ටමේ බලවත් කැමැත්තකින් යුතු වීම යැයි සරල ව අර්ථකථනය කළ හැකි ය. කවර දෙයකට වුව ද ඇබ්බැහි වීම පසුකාලීනව නොයෙක් අහිතකර ප්‍රතිවිපාක උපදවන බව විවිධ අධ්‍යයනයන් ඔස්සේ ද තහවුරු කර තිබේ. බැලූ බැල්මට එකරුණෙහි පිළිගත හැකි ස්වභාවයක් ද පවතී. ආහාරපාන ආදියේ අධිකතර භාවිතයෙන් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝගයනට පහසුවෙන් ගොදුරු වන බවත්, පරිගණක ක්‍රීඩාවනට ඇබ්බැහි වීමෙන් මානසික රෝගීන් බිහි වී තිබීමත් එයට නිදසුන් ය. මෙවැනි බොහෝ නිදසුන් සමාජයේ පැහැදිලි ව දක්නට ලැබෙන අතර මේ නිසා ම, ‘ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැත‘ කියා මතයක් ද සමාජයේ මුල් බැසගෙන තිබේ.

නමුත්, එකී පැනවීම සියලු‍ කරුණෙහිලා සර්ව සාධාරණ නැත. කාමයන් හා බැඳී ගත් දේවලට එසේ පැනවීම් කළ හැක්කේ නමුදු පුහුදුන් බව නසා විද්‍යාව උපදවා ගත් ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය වන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන එවැනි පැනවීමක් කළ නොහැක. ඒ උතුම් සද්ධර්මය වනාහී හැදෑරීමෙහිලා, මෙනෙහි කිරීමෙහිලා, පුරුදු පුහුණු කිරීමෙහිලා සීමාවන් පුළුල් වන්නට, පුළුල් වන්නට ඒ ප්‍රතිපදාවෙහි නියැළෙන්නවුන් තුළ දියුණුව ම, අභිවෘද්ධිය ම ඇති කරලන අසිරිමත් ගුණයෙන් සමූපේත වූවක් ම වන බැවිනි. මෙය කෙතරම් අසිරිමත් කරුණක් ද!

දිවාරැයෙහි වෙනසක් නැතිව, හිඳගෙන සිටගෙන ඇවිදින හෝ නිදන යන ඉරියව්වේ වෙනසක් නැතිව, ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි උගත් නූගත් ආදී කිසිදු වෙනසක් නැතිව මේ ලොව්තුරු මාර්ගය පුරුදු පුහුණු කරන්නෝ සසර දුක් නසාලන මාර්ගයේ ඉදිරියට ම යති. සිහියෙන්, නුවණින්, වීරියෙන්, ප්‍රීතියෙන්, කායික මානසික සැප සැහැල්ලු‍වෙන් ඔවුහු වැඩෙති. සන්සිඳුනු සිතින්, නොකැළඹුණු සිතින් සසරින් එතෙරට යන මග ගමන් කරමින් දේවත්වය, බ්‍රහ්මත්වය ඉක්මවා යන ශේෂ්ඨත්වයට ඔවුහු පත් වෙති. අත්නොහරින ලෙසින් ජීවිතයට බද්ධ කොටගෙන ඇබ්බැහි වන්නට ඒකාන්තයෙන් ම සුදුසු යමක් ලෝකයේ වේ නම් ඒ මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවම පමණි. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයෙන් ගෙවී ගිය මේ සියවස් විසිහය පුරා ඒ ආශ්චර්යවත් ගුණයෙන් යුතු අන් කිසිවක් ලෝකයේ පහළ වී නැත. අප සරණ ගියේ ඒ ශ්‍රී සද්ධර්මය යි. ඔබ ද දුකින් පිරි සසරින් එතෙර වනු රිසිව ඒ ධර්මයට ම ඇලී වසත්වා!