සිත හා සම්බන්ධ මාතෘකාවක් කතා කරනවිට අපි බොහෝ ම පරිස්සම් වෙන්න ඕන. මගේ හෝ ඔබගේ සිතට දැනෙන එක එක දේවල් සිත ගැන කෙරෙන සම්මත විවරණයක් වන්නෙ නැහැ. එසේ නො වෙන්නේ එ්ක තමාගේ පෞද්ගලික අත්දැකීමක් නිසා ම යි. නිවන් දකින්නට ඉලක්කගත වන පරිදි සිත ගැන විවරණය කළ උතුමන් වහන්සේ වන අපගේ ශාස්තෘන් වහන්සේගේ ධර්මයට අනුකූලව සියලූ කරුණු නිරවුල් කර ගන්නට අපි දක්ෂ වෙන්න ඕන. ලෝකයේ සියල්ල ධර්මයට අනුව විග‍්‍රහ කරන්නට යාමක් නෙවෙයි මේ කියන්නෙ. තමා පිළිබඳ සියල්ල ධර්මයට අනුව ම යි අපි දකින්න ඕන. එවිට අපි ලෝකයත් ධර්මයට අනුව දැක්කා වෙනවා.

කායික මානසික රෝග අනන්තයි, අප‍්‍රමාණයි. කතාවට කියනවනෙ අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි තියෙනව කියල. රෝගයක් නො වුණත් අපි අත්දකින ස්වභාවයක් ගැන කතා කරන්නට හිතුණා. මේ තත්ත්වයට ඔයාලත් මුහුණ දීල තියෙනව ද? නින්ද ගිහින් ඉන්න කොට හෝ අඩ නින්දේ ඉන්න කොට තමයි මේ අත්දැකීම එන්නෙ… එ් මොහොතෙදි කය කිසි විදිහකින් හොලවගන්න බෑ.. සිහියත් යම් පමණකට තියෙනවා කියල තේරෙනව.. ඇඟ ම හිර වෙලා වගේ..

මේ ස්වභාවය ගැන එක එක අයට තිබෙන්නේ එක එක අත්දැකීම්. සමහරුන්ට පේනව අමුතු සතෙක් බෙල්ල මිරිකන්න එනව වගේ.. සමහරුන්ට තේරෙනව තමන්ගෙ ඇඟ හාත්පසින් ම හිර වෙලා වගේ.. සමහරුන්ට වචන කියාගන්න බැරි වෙනව.. යටි උගුරෙන් කෑගහනව සමහරු.. සමහරුන්ට තේරෙනව කවුද ඇඟ උඩට නැගල ඉන්නව වගේ… සමහරුන්ට හුස්ම ගන්න අමාරු වෙලා මැරෙන්න යනව වගේ තේරෙනව.. සමහර අය කියන්නෙ ඇෙඟ් ගෙම්බෝ, සර්පයෝ වගේ සත්තු යනවා, සමහර වෙලාවට ගිලෙන්න යනවා, සමහර විට උඩකින් වැටෙනවා කියල.. සමහර අය කියනව තමා කොහෙටද ඇදිල ඇදිල යනවා, පාලනය කර ගන්න බැරි නිසා බය වෙලා දහඩිය දාල ගොඩක් වෙහෙසට පත් වෙනව කියල…

මේ ගැන කතා වුණ facebook පිටුවක එක එක්කෙනාගෙ අත්දැකීම් මෙහෙම ලියල තිබුණා..

‘‘එක පාරට නින්දෙන් ඇහැරුනා. පපුව බරයි, හුස්ම ගන්න අමාරුයි. පපුව උඩ කවුදෝ ඉඳගෙන ඉන්නවා ලාවට පෙනුණා. හෙලවෙන්න හැදුවට බෑ. කෑ ගහන්න හැදුවට සද්දේ එන්නෙත් නෑ. දඟලලා දඟලල නැගිට්ටා. නැගිට්ටා කිව්වේ එ් හීනෙන් ඇහැරුනා. හැබැයි ඇහැරුනාමත් පපුව තවම බරයි. බැලින්නම් පපුව උඩ තවමත් අර හිටපු කෙනා ඉන්නවා!!! තවම හෙලවෙන්න, කතා කරන්න බෑ. දඟලලා දඟලලා අන්තිමට ආයෙත් ඇහැරුනා.. එ් පාර නම් හරි.. තව දෙයක්, මේ මගේ පපුවේ උඩ හිටිය කෙනාට ලෝකේ පුරා එක එක රටවල එක සමාන වගේ නම් කියනවා. Mere,Mere,Mere වගේ නම්.. එ් Mere, කියන වචනෙන් nightmare කියන වචනේ හැදුනා කියලා අහලා තියනවා.”

‘‘මටත් මේක වෙලා තියෙනවා. තුන් හතර පාරක්. දෙපාරක් ම කළු පාට මනුස්සයෙක් ඇඟ උඩට ඇවිත් බෙල්ල මිරිකන්න හැදුව.. එකපාරක් ඇඟ හොල්ලගන්න බැරුව ගොඩක් වෙලා දැඟලූව මතකයි.. අන්තිම සැරේ මේක වුණ වෙලේ උගුර යටින් මම කෑ ගහල තියෙනව.. මට කලින් කවුද කියල තිබුණ මාපට ඇඟිල්ල හොලවන්න උත්සාහ කරන්න, එතකොට සාමාන්‍ය තත්ත්වයට එනව කියල. හරියට හරි නෙ. එ් වෙලාවෙ සිහිය නම් ටිකක් මදි.. එ්ත් මාපට ඇඟිල්ල හොලවගන්න පුළුවන් වුණා.. අර තද ගතිය ගිහින් මම ගැස්සිල විසි වෙලා ගියා… සාමාන්‍ය තත්ත්වයට ආවා..”

නිද්‍රා අඝාතය (sleep paralysis) කියල තමයි වෛද්‍ය විද්‍යාවේ මේ තත්ත්වය හඳුන්වන්නෙ.. ස්නායු දුර්වල අයට මේක ගොඩක් වෙන්න ඉඩ තියෙනව කියලයි පෙන්වා දෙන්නෙ.. මුල් කාලෙ මමත් හිතුවෙ අමනුස්සයෙක් මේක මට කරනව කියල. මේක ලෝකෙ ගොඩක් අයට වෙන එකක් කියල දන්න කොට තමයි තේරුනෙ අඩ නින්දේ ඉන්න කෙනෙක්ට ඇතිවන තත්ත්වයක් කියල.. නිද්‍රා අඝාතය කියන තත්ත්වයට මුහුණ දෙන බොහෝ අයට සිතේ එ් මොහොතේ ක‍්‍රියාව තේරුම්ගන්න බෑ.. ඇත්තටම කයේත්, සිතේත් සිදුවන මේ අවුල නිසා අමනුස්ස ලෝකෙ සම්බන්ධයක් වෙනව ද කියල එක එල්ලේ කියන්නත් බෑ.

බොහෝ විට උඩුබැලි අතට (කොට්ටය උඩ හිස තියාන උඩ අතට) නිදා ගන්න කොට සමහර අයගෙ බෙල්ල කොට්ටෙට තද වෙනව. එ් කියන්නෙ බෙල්ලෙ පිටුපස තදින් කොට්ටයට හිර වෙනවත් එක්ක ම මොළයට යන රුධිර සැපයුම අඩාල වෙනව. ස්නායු සංවේදන අවුල් වෙලා යනව.. මේ හේතුවෙන් නිද්‍රාගත කය වෙනස් වන නිසා සිතට යම් අවදි වීමක් (අඩ නින්දක්) ඇති වෙනව. මේ වෙලාවෙ සිතේ මතකයන් අවුල් සහිතයි. කය සොලවාගන්න බැරි වෙනවා. සිහි නුවණත් අවුල් වෙනවා. නිද්‍රා අඝාතය ඇති වුණාම 99.99%ක් ම බය වෙනවා. ඇඟ කිසි විදිහකින් සොලවාගන්න බැරි වෙනවා. එ් නිසා බය නැති කර ගන්නත් ක‍්‍රමයක් එ් වෙලේ මතකයට එන්නෙ නෑ.. මේ නිසා තමයි ගොඩක් අය කෑගහන්න උත්සාහ කරන්නෙ. අඩ නින්දේ ඇතිවන මේ අවුල් සහගත තත්ත්වය පවතින කාලය පැය ගානක් වගේ සමහරුන්ට තේරුනාට එය පවතින්නේ කෙටි වේලාවක්. කොට්ටයට බෙල්ල හිර වීම නිසා මොළයට ලැබෙන ඔක්සිජන් ප‍්‍රමාණයේ මදිකම එක හේතුවක්.. මේ තත්ත්වය ඇති වීමට වෙනත් හේතුත් තියෙනව.. එ් අතරින් කිහිපයක් මේ.

* අධිකව මොළේ වෙහෙසීමෙන් පසු නින්දට යාම…
* ස්නායු ආබාධ පැවතීම…
* මානසික ආතතිය, මානසික අවපීඩනය වැනි ආබාධ පැවතීම…
* ඉන්සොම්නියා (Insomnia) වැනි
නිසි ආකාරයට නින්ද නො යන රෝගී තත්ත්වයන්…

මේ හේතූන් නිද්‍රා ආඝාත තත්ත්වය ඇති වීමට බලපාන බවයි මනෝ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

නිද්‍රා අඝාතයෙන් මිදෙන්න එක් සාර්ථක ක‍්‍රමයක් තමයි අධිකව වෙහෙසිලා ඉන්න වෙලාවෙ එක පාරට නින්දට නො යන එක. එතකොට අධිකව වෙහෙසුණු මොළයට විවේකයක් ගන්න අපි කාලයක් දෙනව. විනාඩි 15ක විතර විවේක කාලයක් දීල නින්දට යාම ඉතා හොඳ දෙයක්. එ් නිසා ඇඟපත සෝදාගෙන ඇවිත් පුටුවක හෝ පලඟ බැඳගෙන බිම වාඩි වෙලා ටික වෙලාවක් මෛත‍්‍රි භාවනාව කරන්න පුළුවන් නම් එ්ක තමයි අති සාර්ථක ම පිළියම වන්නේ. මෛත‍්‍රී භාවනාවේ ආනිශංස ඔබට මතක ද?

සුඛං සුපති – සුවසේ නිදන්නේ ය
න පාපකං සුපිනං පස්සති – පාපී සිහින නො දකින්නේ ය..

මේ මෙලොව දී ම විපාක ලැබෙන ආනිශංස දහයකින් දෙකක් පමණයි. ඔන්න බලන්න ධර්මයේ විසඳුම. අපි මෙත් සිත සැමදාම පුරුදු කරනවා නම් එයින් කොච්චර සැප සහගත ලාභයක් ජීවිතේට ඇති වෙනවා ද කියල ඔබ දන්නවා. එ් නිසා මෛත‍්‍රි භාවනාව කරල නිදාගන්න පුරුදු වෙන්න.. පලඟ බැඳගෙන හෝ පුටුවක ඉඳගෙන භාවනා කරන්න අපහසු නම් නින්දට යන ඉරියව්වේ ම විනාඩි දහයක් පහළොවක් මෙත් සිත පතුරුවන්න පුරුදු වෙන්න. භාවනාව නවත්වල නින්දට යන්න. ඔබට මෙත් සිතින් මේ ආබාධය නිරවුල් කර ගන්නට වාසනාව උදා වේවා..!!

මහාමේඝ 2015 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
පාඨශාලාචාර්ය
දහම් ගම්ලත් සමරසිංහ