වත්මන් මිනිසා නොයෙකුත් හැකියාවන් ලොවට පෙන්වමින් දස්කම් පාමින් සිටී. මායාකාරී විජ්ජාවන් තුළින් මිනිසා මුළාවට පත් කරනා අයුරු ද පෙනෙන්නට තිබේ. එනමුදු ලොව ස්වර්ණමය යුගය සනිටුහන් කළ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වෙත විස්මිත හැකියාවන් සියල්ල ජයගන්නා අයුරු පෙන්වා වදාළ සේක. ඒ විස්මිත හැකියාවෙන් අපූර්වතම ඵල නෙළුෑ ශ්‍රාවකයන් වහන්සේලා සියලු දෙවියන්ගේ දිව්‍යමය ඉර්ධි අභිබවා ගිය සේක. බ්‍රහ්මයන්ගේ සියලු ඉර්ධි ඉක්මවූ සේක.

වත්මන් මිනිසා දෙවිවරුන් සරණ ගොස් නීච අයුරින් වැඳ වැටෙන යුගයකට අද පත්ව ඇත. එකල දෙව් බඹුන් ශ්‍රාවකයන් පසුපස වැඳ වැටෙමින් පැමිණියාහ. ඒ විස්මිත හැකියාව තුළ මේ මහා පෘථිවිය එක් අතකට ගෙන තවත් පෘථිවියක් මවා මේ සියලු සත්වග ඒ ලොවට දැමීමට තරම් හැකියාවක් ශ්‍රාවකයෝ දියුණු කළහ. දස දහසක් ලෝක ධාතුවට ඇසෙන අයුරින් දහම් දෙසමින් සත්වයන් සසර දුකින් එතෙර කරවීමට තරම් විස්මිත හැකියා දියුණු කළෝ ය. ගස්ගල් පර්වත විනිවිද යෑමේ පටන් බඹලොව දක්වා තමාගේ වසඟයට පත්කර ගැනීම දක්වා ම ශ්‍රාවකයන්ගේ හැකියාව ප්‍රබල වී ය.

මේ සියලු හැකියාවන් දියුණු වී ගියේ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ සුන්දර මාවතේ ගමන් කළ ශ්‍රාවකයන් වහන්සේලාට ම ය. ඒ සුන්දර මාවත ඉර්ධිපාද හෙවත් ඉර්ධියට පියවර ලෙසින් හඳුන්වනු ලබයි. අතීතයෙහි වේවා අනාගතයෙහි වේවා වර්තමානයෙහි වේවා යමෙක් මෙවැනි මහා ඉර්ධීන් උපදවා ගත්තේ නම් ඒ සියල්ලෝ ම සතර ඉර්ධිපාදයන් වඩන ලද බැවින්, බහුලව ප්‍රගුණ කරන ලද බැවින් ම ය.

ශාස්තෘන් වහන්සේ ශ්‍රාවකයන් හට වදාළේ බලවත් ඡන්දය තුළින් (කැමැත්ත), බලවත් වීර්යය තුළින්, බලවත් අධිෂ්ඨානය තුළින්, බලවත් නුවණින් විමසීම තුළින් උපදවා ගත් සමාධියෙන් හා පධන් වීර්යයෙන් ඉර්ධිපාද වඩන ලෙසට යි. ඒ ඡන්දය, විර්යය, අධිෂ්ඨානය, නුවණින් විමසීම කුසීත බව සමඟ මුසු නොවිය යුතු අතර ඕනෑවටත් වඩා වැඩිපුර ගත් වීර්යය හේතුවෙන් බාහිරට නොවිසිරිය යුතු ය. එහි අදහස වන්නේ නිදිමත හා අලස බවට මුසු නොවීමත්, බාහිර පංචකාම ගුණයන් පිළිබඳ ව නැවත නැවතත් නොසිතා ඒ කාම අරමුණුවලින් සිත මුදවා ගැනීමත් ය.

මෙහිදී පෙරවරු කාලයේත්, පස්වරු කාලයේත් සෑමවිට ම එක ම අයුරින් තමාගේ භාවනා අරමුණු මැනැවින් මෙනෙහි කරමින්, දරමින් ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතු බවත් ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළ සේක. පා තලයෙන් උඩ, කෙස් වැටියෙන් යට, සමකින් වැසී ඇති, නානාප්‍රකාර අසුචියෙන් පිරී ගිය මේ සිරුරෙහි කොටස් නුවණින් ප්‍රත්‍යවේක්ෂා කළ යුතු වන්නේ ය. මේ කයෙහි වනාහී කෙස් ඇත්තේ ය, ලොම් ඇත්තේ ය, නියපොතු, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිඳුළු, වකුගඩු, හදවත, අක්මාව, දළබුව, බඩදිව, පෙනහලු, අතුණු, අතුණුබහන්, ආමාශය, අසුචි, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේද තෙල, කඳුළු, වුරුණු තෙල, කෙළ, සොටු, සඳමිඳුළු, මූත්‍රා ආදී වශයෙන් නුවණින් විමසිය යුතු වන්නේ ය.

\දහවල් කාලය පුරාත්, රාත්‍රී කාලය පුරාත් එක අයුරින් ම ඡන්දය, වීර්යය, අධිෂ්ඨානය, නුවණින් විමසීම මුල් කර ගනිමින් මෙසේ සමාධියෙන් හා ප්‍රධන් වීර්යය තුළින් ඉර්ධිපාද වැඩිය යුත්තේ ය.

එමෙන් ම ශ්‍රාවකයා විසින් විවෘත වූ, බාහිර දෙයකට නොබැඳුණ සිතින් බැබළීම් සහිත සිත වැඩිය යුතු වන්නේ ය. ආලෝක සංඥාව මැනැවින් අධිෂ්ඨාන කළ යුතු වන්නේය. දිවා සංඥාව මැනැවින් තැබිය යුත්තේ ය.

මේ අයුරින් සතර ඉර්ධිපාදයන් දියුණු කර ගත් විට අනේක ප්‍රකාර වූ ඉර්ධි විශේෂයන් කළ හැකි වන්නේ ය. එක් අයෙක් ව සිට බොහෝ අය ලෙස පෙනී සිටීමටත්, බොහෝ අය ලෙස වී එක් අයෙක් ලෙස පෙනී සිටීමටත්, ප්‍රකටවත් අප්‍රකටවත් සිටීමත්, බිත්ති ප්‍රාකාර පර්වත හරහා අහසින් යන සෙයින් කිසිවක හා නොගැටී යාමටත්, ජලයෙහි සේ පොළොවෙහි කිමිදී උඩට මතුවීමත්, පොළොවෙහි සේ ජලයෙහි ඇවිදීමත් පළඟක් බැඳ අහසින් යාමත්, මහා ඉර්ධි ඇති මහානුභාව ඇති හිරු සඳු දෙක අතින් ස්පර්ශ කිරීමත්, බඹලොව සීමා කොට ගෙන සිය කයින් වසඟයෙහි පැවැත්වීමත් ආදී මහා ඉර්ධි විශේෂයන් කළ හැකි වන්නේ ය.

එපමණක් ද නොව සාමාන්‍ය මිනිස් ශ්‍රවණය ඉක්මවා ගිය පිරිසිදු වූ දිව්‍ය වූ ශ්‍රවණයෙන් දිව්‍ය වූත්, මානුෂික වූත්, දුර වූත්, ළඟ වූත් ශබ්ද ඇසිය හැකි වන්නේ ය.

එමෙන් ම අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දැකිය හැකි වන්නේ ය. සරාගී සිත සරාගී සිතක් ලෙසින් ද වීතරාගී සිත වීතරාගී සිතක් ලෙසින් ද සදෝසී, වීතදෝසී, සමෝහී, වීතමෝහී, හැකිළුණු සිත, විසිරුණු සිත, මහග්ගත සිත, අමහග්ගත සිත, සඋත්තර සිත, අනුත්තර සිත, සමාහිත සිත, අසමාහිත සිත, කෙලෙසුන්ගෙන් මිදුණ සිත, කෙලෙසුන්ගෙන් නොමිදුණු සිත ආදී වශයෙන් අනුන්ගේ සිත පිරිසිඳ දැකිය හැකි වන්නේ ය.

ඒ අයුරින් ම පෙර ගත කළ ජීවිත පිළිබඳව ද සිහි කළ හැක්කේ ය. එක් උපතක් ද උපත් දෙකක් ද උපත් දහයක්, විස්සක්, උපත් සියයක්, දහසක්, සිය දහසක්, අනේක වූ සංවට්ට කල්ප, අනේක වූ විවට්ට කල්ප, අනේක වූ සංවට්ට විවට්ට කල්ප වශයෙන් සිහි කළ හැක්කේ ය. ‘මම අසවල් තැන සිටියෙමි, අසවල් නම ඇතුව, අසවල් ගෝත්‍රයේ, අසවල් පැහැයෙන් සිටියෙමි, අසවල් ආහාර ගත්තෙමි, අසවල් අයුරින් සැප දුක් වින්දෙමි, අසවල් අයුරින් දිවිය අවසන් කළෙමි. එයින් චුතව අසවල් තැන උපන්නෙමි.’ මේ අයුරින් පෙර ගත කළ ජීවිත පිළිබඳව සිහි කළ හැක්කේ ය.

තව ද සතර ඉර්ධිපාදයන් දියුණු කළ විට බහුල වශයෙන් ප්‍රගුණ කළ විට මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ වූ දිව්‍ය නේත්‍රයෙන් චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දැක්ක හැකි වන්නේ ය. ඒ ඒ සත්වයන් කර්මානුරූප ව පහත් වූත්, උසස් වූත්, මනා පැහැ ඇත්තා වූත්, විරූපී වූත්, සුගතියේත්, දුගතියේත් උපදින අයුරු දැකිය හැකි වන්නේ ය. කයින් දුෂ්චරිතයෙහි යෙදී, වචනයෙන් දුෂ්චරිතයෙහි යෙදී, මනසින් දුෂ්චරිතයෙහි යෙදී, ආර්යයන් වහන්සේලාට නින්දා අපහාස කොට මිසදිටු වී මිසදිටු ක්‍රියාවන්හි යෙදී දුගතියෙහි උපදින අයුරුත්, මේවායින් වැළකුණු සත්වයන් සුගතියෙහි උපදින අයුරුත් දැකිය හැකි වන්නේ ය.

මෙම ඉර්ධිපාදයන් මැනැවින්, බහුල වශයෙන් දියුණු කර ගත් විට ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේ දී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණිය හැකි වන්නේ ය.

මේ සා මහා ආනුභාව ඇති, විස්මිත වූ ඉර්ධිපාද දියුණු කොට ඔබට ද මේ දුක්ඛිත සසරින් නිදහස් වීමේ වාසනාව උදා වේවා…!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි