පින්වතුනේ, පින්වත් දරුවනේ,
බලන්න, අපට උදා වූ වාසනාව. අපට ශ‍්‍රද්ධා, සීල, සුත, චාග, ප‍්‍රඥා කියන පහම ඇතිකර ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ශ‍්‍රද්ධා, සීල, සුත, චාග, ප‍්‍රඥා ඇතිකර ගන්න ඕන. විශේෂයෙන්ම අපට ප‍්‍රඥාව ඇතිකර ගන්න උපකාර වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරෙන් ජීවිතය තේරුම් ගන්න මහන්සි ගැනීමයි. ජීවිතය තේරුම් ගන්න නම් අපට ජීවිතය ගැන මමත්වයක්, එහෙම නැත්නම් අහංකාරකමක් තියෙනවා නම් ඒක නැතිවෙන්න ඕන. ඊළඟට අප තුළ මනුස්සයා කෙරෙහි යම් අනුකම්පාවක් තියෙනවා නම් ඒක වැඩිවෙන්න ඕන. කෙලෙහිගුණ සැළකීම පිහිටන්න ඕන. මේවා තමයි ප‍්‍රඥාව මතුවීමේ සලකුණු.

ප‍්‍රඥාව කියන්නේ ස්මරණ ශක්තිය නෙවෙයි. ස්මරණය කියලා කියන්නේ මතකය. දෙයක් මතක තිබූ පමණින් ඒක ප‍්‍රඥාව කියන්න බෑ. මොකද, මනුස්සයෙකුට ඕනතරම් මතක ශක්තියක් තියෙන්න පුළුවන්. නමුත් ප‍්‍රඥාව ඇතිවෙන්නේ නුවණින් විමසීමෙන්. අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අපේ ජීවිතයට උපකාරී වෙන අභ්‍යන්තර කුසලතා අතර යෝනිසෝ මනසිකාරය අග‍්‍ර වන බව.

එහෙම නම් කෙනෙකුට ප‍්‍රඥාව ලබන්න අවශ්‍ය අභ්‍යන්තර සුදුසුකම වන්නේ නුවණින් විමසීමේ හැකියාවයි. හැබැයි, ඒ ප‍්‍රඥාව මතුකරලා දෙන්න බාහිරින් අනුබලයක් ඕන. එයාට ඒ සඳහා බාහිරින් උදව්වක් අවශ්‍යයි. ඒ බාහිරින් ලැබෙන උදව්ව තමයි කල්‍යාණ මිත‍්‍රයාගෙන් ආර්ය සත්‍යය අහන්න ලැබීම. ආර්ය සත්‍යය අහන්න ලැබුණාම එයා ආර්ය සත්‍යය තේරුම් ගන්න මහන්සි ගන්නවා.

අපේ ජීවිතය නිරන්තරයෙන් වැහිලා තියෙන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. ඒ නිසා හටගත්ත කෙලෙස්වලින්. ඒ වගේම අපි කර්මයට දාසවෙලා ඉන්නවා. මාර බලවේගයකට හසුවෙලා ඉන්නවා. මේ ඔක්කොම මැද්දෙන් යටවෙලා තියෙන්නේ සත්‍යාවබෝධයයි. ඉස්මතු නොවී තිබෙන්නේ සත්‍යාවබෝධයයි. ඉස්මතු වී තිබෙන්නේ රාග, ද්වේෂ, මෝහ, මද, මාන ආදී කෙලෙස්. නමුත් අපි සත්‍යාවබෝධය ඉස්මතු කරගත්තොත් අර සියල්ල යට යනවා.

සත්‍යාවබෝධය ඉස්මතු කරගන්න අපට අභ්‍යන්තර වශයෙන් උපකාර වෙන්නේ යෝනිසෝ මනසිකාරය. එයා යෝනිසෝ මනසිකාරය යොදවලා නුවණින් කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නවා. ඒ ධර්මයෙන් මේ ලෝකය ගැන, ජීවිතය ගැන, සංසාර ගමන ගැන උගන්වනවා. මේ ඉගැන්වීම් ඇසුරෙන් එයා ‘අපි මේ යන්නේ සංසාර ගමනක්… අපට මේ මිනිස් ජීවිතය ලැබිලා තියෙන්නේ සුළු කාලයකට… අපට ලැබිලා තියෙන මේ ඇහැ, කණ, නාසය, දිව, කය, මනස අපේ වසඟයේ පවත්වන්න බෑ… මේ රූපය අපේ වසඟයේ පවත්වන්න බෑ… අපට ඇතිවෙන සැප දුක් වේදනා අපේ වසඟයේ පවත්වන්න බෑ… චේතනා පහළ කරලා යම්කිසි දෙයක් කළාට පස්සේ ඒකේ විපාක ලැබෙන විදිහ අපේ වසඟයේ පවත්වන්න බෑ… අපි හඳුනාගන්න දේවල් අපේ වසඟයේ පවත්වන්න බෑ… විඤ්ඤාණයේ ක‍්‍රියාකාරීත්වය අපේ වසඟයේ පවත්වන්න බෑ…’ කියලා තේරුම් ගන්නවා.

මේ සියල්ල අපි ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේ ධර්මයෙන්. එතකොට වසඟයේ පවත්වන්න බැරි දේවල් සකස් වෙලා තියෙන්නේ ස්ථිර දේවල් හැටියට නෙවෙයි. අස්ථිර, අනිත්‍ය දේවල් හැටියටයි. ඒ නිසා අනිත්‍ය දේවල් අනිත්‍ය වෙද්දී අපි දුකට පත්වෙනවා. ඒක වළක්වන්න නම් අනිත්‍ය දේ කෙරෙහි අපට යම් ඇල්මක් තියෙනවා නම් ඒ ඇල්ම නැතිවෙන්න ඕන. ඇල්ම තියෙන තාක් මේ භව ගමන හැදෙනවා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි මේ දේශනා ශ‍්‍රවණය කරලා මේ කාරණා තේරුම් ගන්න මහන්සි ගන්න ඕන. ඒ විදිහට තේරුම් ගන්න මහන්සි ගනිද්දී අපි ජීවිතයේ ඇත්ත දකින්න යම්කිසි හැකියාවක් ඇතිකර ගන්නවාද අන්න ඒ හැකියාව තමයි ප‍්‍රඥාව.

නමුත් ‘මම නම් කොහොම හරි ප‍්‍රඥාව ඇතිකර ගන්න ඕන. මට ප‍්‍රඥාව ඇතිකර ගන්න ඕන’ කියලා ප‍්‍රඥාව එහෙම ඇතිකර ගන්න බෑ. ‘මම’ ඉස්සරහට දාලා කවදාවත් ප‍්‍රඥාව ඇතිකර ගන්න විදිහක් නෑ. ප‍්‍රඥාව ඇතිකර ගන්න තියෙන්නේ බුද්ධ දේශනාවට අනුව අපේ කල්පනාව හැසිරවීමෙන්මයි. ඒක කොයි විදිහටද කරන්නේ කියලා කරන කෙනා විතරයි දන්නේ. ඉතින් ඒ නිසා ඔබ ඒක හොඳට තේරුම් ගන්න. ඒක හරි විදිහට තේරුම් ගත්තේ නැත්නම් අපට වරදිනවා.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !