ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දරුවනි,
විවිධාකාර ප‍්‍රශ්න, අර්බුද, හැඟීම්, ඇවිස්සීම් තියෙන වර්තමාන ලෝකයේ තියෙන සන්නිවේදන ජාලය වේගවත් සැඩ පහරක් වගේ. එ්කට වැටෙන කෙනෙකුට බේරෙන්න බෑ. එයා ගහගෙන යනවා. අද සන්නිවේදන ජාලය හරි විෂමයි. අද ලෝකය හසුරුවන්නේ සන්නිවේදනය විසින්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්තරා විදිහක සන්නිවේදනයක්. නමුත් එ් සන්නිවේදනය කරන දේ කරා යන්න තියෙන අවස්ථාව සියයට එකයි නම් සන්නිවේදනය ග‍්‍රහණය කරගන්න බාධාවෙන කරුණු සියයට අනූ නවයක් තියෙනවා. එ් නිසා ප‍්‍රඥාවන්ත මනුස්සයා විතරයි අර සියයට අනූ නවය මැද්දෙන් මේ සියයට එක අල්ලන්න දක්ෂ වෙන්නේ.

මේ සන්නිවේදනයේ ප‍්‍රශ්නය වගේ තමයි අපේ හැකියාවන්වල තියෙන ප‍්‍රශ්නය. බුදුරජාණන් වහන්සේගේ කාලයේ මනුස්සයා වේගයෙන් අවබෝධ කර ගන්නවා. අපේ රටේ ඉතිහාසය බැලූවත් අවුරුදු පන්සියයක් වගේ කාලයක් තුළ මිනිස්සු වේගයෙන් මෙය අවබෝධ කරගෙන තියෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික ගිලිහෙන්න පටන් ගත්තා. ගිලිහෙන්න පටන් ගත්තාට පස්සේ මිනිස්සු විවිධාකාර සංස්කෘති, විවිධාකාර සමාජතල විවිධාකාර කණ්ඩායම්, විවිධාකාර ඇදහීම්, විවිධාකාර විශ්වාසවල නැවතුණා. අපේ වාසනාවට බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිර්මල විදිහට මේ රටේ ආරක්ෂා වෙලා තිබුණ නිසා අවුරුදු දෙදහස් පන්සියයකට කලින් අතිශයින් ම බුද්ධිමත් මිනිස්සු හිටපු අවධියක එ් මිනිසුන්ට කරපු දේශනා අද අපිත් අහනවා. එ්වා ඇහුවට මේක ග‍්‍රහණය කර ගන්න තියෙන්නේ අපේ බුද්ධියෙන්. හැබැයි, අපේ බුද්ධියේ තියෙන හැකියාව කොතරම් ද කියලා අපට තේරෙන්නේ නෑ. අපට එ්ක මනින්න මිම්මක් නෑ. එ් කියන්නේ අපට මේක කතාබස් කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. බුද්ධිය මෙහෙයවනවා කියන්නේ උපතින් එන එකක්. බුද්ධිය මෙහෙයවීම කියන එක ඉපදිලා කාලයක් ගිහිල්ලා බලෙන් දාගන්න බෑ.

එ් නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ‘‘මහණෙනි, අභ්‍යන්තර ජීවිතයේ තියෙන දේවල් අතර නුවණින් විමසීමේ හැකියාව තරම් විශේෂ දෙයක් බුදු ඇසින් දකින්නේ නෑ…” කියලා. එතකොට එ් නුවණින් විමසීමේ හැකියාව ඇතිවෙන්නේ උපතින්. මේ යුගයේ අප සියලූ දෙනාටම නුවණින් විමසීමේ හැකියාව නෑ කියන්න බෑ. යම්කිසි ප‍්‍රමාණයකට තියෙන්න පුළුවනි. නමුත් මම අර කලින් කිව්වා වගේ සන්නිවේදනයේ තියෙන ප‍්‍රශ්න නිසා මේ කියන කාරණය මනුස්සයාට හරියට ම ග‍්‍රහණය කරගන්න බෑ.

එතකොට පින්වත්නි, තව ඉස්සරහට මිනිස්සුන්ගේ ආයුෂ තවත් අඩුවෙනවා. බුද්ධ දේශනාවේ තියෙනවා, ආයුෂ අඩුවුණේ මිනිස්සුන්ගේ වැරැද්දක් නිසා කියලා. වැරැද්ද තමයි අධර්ම රාගය. එ් කියන්නේ මිනිස්සුන්ගේ ආශාවල්වලට සදාචාරයක් නෑ. අධර්ම රාගය වැඩිවුණාට පස්සේ මිනිස්සු තුළින් සමානව බැලීම, මධ්‍යස්ත බව, සානුකම්පිත බව කියන මේ ඔක්කොම ගිලිහිලා යනවා. අධර්ම රාගය, විෂම ලෝභය ඇතිවෙනවා. මේ විදිහට කුසලය අතුරුදහන් වෙන ලෝකයක අපට කලාතුරකින් බුදු කෙනෙකුගේ ධර්මයක් අහන්න ලැබුණා ම ඉක්මනින් ම නුවණ පාවිච්චි කරලා එ් ධර්මය කෙරෙහි හිත පහදවා ගන්න ඕන. එ් ධර්මයේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන උගන්වන්නේ. එතකොට අපි එ් ධර්මය කෙරෙහි හිත පහදවාගෙන එ් ධර්මයට කැමති වෙන්න ඕන. කැමති වෙලා ශ‍්‍රද්ධා, සීල, ශ‍්‍රැත, චාග, ප‍්‍රඥා ඇතිකර ගන්න මහන්සි ගන්න ඕන. මොකද, මේ කරුණු පහ ඇතිකර ගන්න අපි ගන්න වෑයම අපේ ජීවිතය මේ තියෙන තත්ත්වයෙන් ඉහළට නංවාගන්න අපට උදව් කරනවා.

මේ දහම් කරුණු ඔබ හැම දෙනාටම උතුම් ධර්ම අවබෝධ කර ගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!

මහාමේඝ 2015 පොසොන් කලාපය
WWW.MAHAMEGHA.LK

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි