සාමාන්‍ය ව්‍යවහාරයේ විදිහට කිව්වොත් නම් වැඩකාරයෙක්…! පාසලේ හය වසරේ සිටිය යුතු දරුවෙක්නේ මේ උපාධි තුනකට හිමිකම් කියන්නේ. ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ටානිෂ්ක් එ්බ‍්‍රහම් තමයි මේ දස්කම කළේ. ඔහු උපතින් ඉන්දියානුවෙක්. ලෝකයේ ළාබාලතම උපාධිධාරියා විය හැකියි කියලත් සඳහන් වෙනවා. අපේ අසල්වැසියෙකුගේ මේ දස්කම් ගැන ඔබටත් සතුටු ඇති. අනුන්ගේ සැපතේ දී සතුටු වීම අයිති මුදිතාවටනේ. මුදිතාවෙන් ඔබේ සිතත් පිරෙන එක මොන තරම් හොඳ ද…

උපාධියක් ගන්නවා කියන්නේ පහසු දෙයකුත් නෙමෙයි. ගන්නවා කිව්වට හිතුමතේ ගන්නත් බෑනේ. දක්ෂතා උපදවා ගැනීම තුළින් තමයි මේක කරන්න තියෙන්නේ. අපහසු වුණත් උපාධිධාරියෙක් වෙන්න බොහෝ අය කැමැතියි.

BA. B Sc. M Sc. Ph. D, ඔය විදිහට නොයෙක් උපාධි අරගෙන ආචාර්ය මහාචාර්ය තනතුරු පවා දරන අය ලෝකයේ සිටිනවා. උගත් මිනිසුන් මෙලොවට සම්පතක්.

එතකොට පරලොවට…?

මේ මොන උපාධිය ද අපට පරලොවට සම්පතක් වෙන්නේ? අපි එ් ගැන නම් දන්නේ නැහැ. හැබැයි උපදවා ගැනීම, වැඩි දියුණු කර ගැනීම තුළින් දෙලොව ම යහපත උපදවන සම්පත් පහක් කියන්න අපට පුළුවනි. එ් තමයි ලෝකයට සැප උපදවා දෙන සේඛ බල…

ශ‍්‍රද්ධා, සීල, ශ‍්‍රැත, චාග, ප‍්‍රඥා කියන මේ සේඛ බල පරිපූර්ණ වශයෙන් උපදවාගෙන අවුරුදු හතේදිත් මහා සැපයට පත් වුණ පිරිස් ගැන ඔබත් අසා තිබෙනවා නේ ද? ඔන්න උපදවා ගන්න, වැඩි දියුණු කර ගන්න වටිනා දේ. සේඛ බල ම යි අපට සීලය, සමාධිය, ප‍්‍රඥාව පරිපූර්ණ කර ගන්න උපකාරී වෙන්නේ. ආචාර්ය මහාචාර්ය වුණත් ජාති ජරා ව්‍යාධි මරණ දුකින් ගැලවීමක් නො වුණට මොකද සේඛ බල උපදවාගෙන පරිපූර්ණ කර ගත්ත සත් හැවිරිදි සිඟිත්තෙක් වුණත් සියලූ දුකින් නිදහස් වෙනවා…!

කලණ මිතුරු ඇසුරේ සේඛ බල උපදවා ගනිමින්, යෝනිසෝමනසිකාරයේ යෙදෙමින් සියලූ දුකින් නිදහස් වීමේ දුර්ලභ භාග්‍යය අපට ද මග නො හැරේවා!