වෛද්‍යවරයෙක් ව මුණගැසීම ඔබට අත්‍යවශ්‍ය වෙන්නේ මොන වගේ අවස්ථාවක ද? සාමාන්‍යයෙන් නම් අපට තනිව ම මැඩපවත්වන්නට බැරි අන්දමේ අසනීප තත්ත්වයක දී අපි වෛද්‍ය උපදෙස් සොයනවා. ඇතැම් විට, එ් නිසි වෛද්‍ය ප‍්‍රතිකාර නො ලැබුණොත් රෝගී තත්ත්වය උත්සන්න වෙලා අපේ මරණය වුණත් සිද්ධ වෙන්න පුළුවන්. ශරීර අවයවවල හටගන්නා ලෙඩරෝගවලිනුත් මරණ සිද්ධ වෙනවා. එ් නිසා ම, ජීවත් වීමට අපට තිබෙන අවස්ථාව යම් තරමකින් හෝ ඉහළ දමමින් වෛද්‍යවරුන් සිදු කරන්නේ විශාල පුණ්‍යකර්මයක්. මේ නිසා ම වෛද්‍ය වෘත්තිකයන්ට සමාජයීය වශයෙන් මනා පිළිගැනීමක්, බලයක් ලැබෙනවා.

හැබැයි, මේ සා උතුම් වෘත්තියක වුණත් වෘත්තීය සදාචාරය පවා කෙලසන මිනිසුන් බිහි වන්නට පුළුවනි. මිචිගන්වලින් වාර්තා වුණු එක්තරා පුවතකින් හෙළිදරව් කෙරුණේත් එය සිදු විය හැක්කක් බවයි.

ෆරීඞ් ෆාටා නම් වූ මේ පනස් හැවිරිදි වෛද්‍යවරයා තමන්ගෙන් ප‍්‍රතිකාර ලබන්නට පැමිණි පිළිකා රෝගීන්ට අනවශ්‍ය තරම් අධික බෙහෙත් ප‍්‍රමාණ හෝ කිසිසේත් අදාළ නො වන බෙහෙත් වර්ග නිකුත් කර තිබුණේ ලැබෙන මුදල සලකා බලමින්. දිගින් දිගට ම කළ සොයාබැලීම්වලට පසු වෛද්‍යවරයාගේ මේ කූට ක‍්‍රමවේදය හෙළිදරව් කෙරුණා. ඉන් පසුවයි අධිකරණ තීන්දුවක් මගින් 45 වසරක සිරදඬුවමක් ඔහුට නියම කෙරුණේ.

සිර දඬුවම් නියම වීමෙන් පසු අධිකරණය හමුවේ නැගී සිටි ෆරීඞ් කියා සිටියේ තමන් විසින් ස්වකීය හැකියාවන්, කුසලතාවයන් සියල්ල අවභාවිතයේ යෙදවූ බවත්, තණ්හාව සහ මුදල් කෑදරකම විසින් තමා මේ තත්ත්වයට ඇද වැටුනු බවත්, තමන් කළ කී දේ පිළිබඳ මහත් ලැජ්ජාවට පත්වන බවත්.

කවුරු විසින් සිදු කළා වුණත් මේ නම් බරපතළ වරදක්. සුගතියට මඟ හදා ගැනීමට තිබූ පහසු ඉඩක් තමයි ෆරීඞ් විසින් දුගතිය කරා යොමු කර ගත්තේ. නමුත්, දැන් වුණත් වරදින් නැගී සිටින්නට තරම් වීර්යයක් ඔහුට තිබෙනවා නම් අතීතයේ කළ වැරදි යළි සිදු නොවන සේ බැහැර කරමින් දෙලොව යහපත ම උදා කර ගන්නත් බැරිකමක් නැහැ. නමුත් එයට අනුගමනය කළ යුතු ප‍්‍රතිපදාව මුණගැසීම අත්‍යවශ්‍යයි.

ෆරීඞ්ට වඩා දරුණු ලෙසත්, බලවත් ලෙසත් මනුෂ්‍ය ඝාතන කළ අයෙක් තමයි සම්බුදු සසුනේ පැවිදි වෙලා අංගුලිමාල මහරහතන් වහන්සේ නමින් මහා බලවත් මුනිවරයෙක් බවට පත් වුණේ. වරද කරන පුද්ගලයාට ම ගරහන සමාජය නම් එදත් අංගුලිමාල පැවිද්දාටත් ගැරහෙව්වා. නමුත් වරදින් නැගී සිටීම පසසන, එසේ වරදින් නැගී සිටීමට අනුග‍්‍රහ දක්වන සම්බුද්ධ ශාසනය ලේ වැකුණු අත් ඇති ව හුන් අංගුලිමාලයනුත් ලෝ සත වෙත පතල අපමණ මෙත් සිතින් ලොවට යහපත දන් දෙන නිකෙලෙස් සිතැති ඍෂිවරයෙක් බවට පත් කළා. අන්න එ් සුගත මඟ ලෝකයට මුණගැසෙනවා නම්, එ් සුගත මුනි මෙඟ් පියවර තබන පිනෙන් ජීවිත හැඩ වනවා නම් මේ ලෝකය සෑම කල්හි ම වරදින් නැගී සිටින වීර්යවන්තයන්ගේ ලෝකයක් බවට පත් වෙනවා.

කාට නැතත් එ් වීර්යවන්තයන්ගේ රාජ්‍යය අපට විවෘත වෙලා. එ් නිසා, වරද කළ තැනැත්තාට නො ව වරදට මුල් වූ දෙයට ගරහමින්, වරද කෙරෙන ස්වභාවය නිරුද්ධ කරන්නට හේතු සකසමින් මේ ධර්මය තුළ නැගී සිටින වීර්යයෙන් ම කටයුතු කරන්නට අපි උත්සාහවත් වෙමු. යම් දිනක සියලූ වරදින් නැගී සිටින්නට උපකාර වන්නේ එ් වීර්යය ම යි. එ් නිසා, වැරදි කරන ලෝකය දකින වාරයක් වාරයක් පාසා අපි වරදින් නැගී සිටීමේ කැමැත්ත ම බලවත් කර ගනිමු. එ් බලවත් භාවය අප ව සසරෙනුත් එතෙර කරවන්නට ප‍්‍රමාණවත් වන දිනක් එනවා ම යි…!