මෙම ස්වර්ණ භූමියට නවලොව නව දැනුමෙන් පිරවිය හැකි ස්වයං ජාත දරු දැරියන් බිහි කිරීමට, යම් යම් කාලවල දී ලක් මාතාව වාසනාවන්ත වී ඇත.

1915 සීතල දුරුත්තේ එක් පියකරු උදෑසනක, ගාලු පුරවරයේ බටුවන්තුඩාව නම් සොඳුරු ගම් පියසේ දී, පින්බර ලක් අම්මා, තම හෙළ දියණියකගේ පිහිට ගෙන, සිරිලක අනාගතය නව ලොවට ගෙන යා හැකි පුත් රුවනක් බිහිකරවා ගනු ලැබී ය.

මෙම ස්වයං ජාත පින්වත් පුත් කුමරුවා ජන සමාජයට පිවිසවීම සඳහා නිසි වයසේ දී උපන් ගම් පියසේ ම පවත්වාගෙන ගිය හපුගල රාජාභිෂේක විදුහල නම් සිංහල සිප්හළට ඇතුළත් කරවා ඇත. මෙම පාසලෙන් මුල් පොත කියවූ මෙම පින්වත් කුමරුවාට ළමා විය ඉක්ම යාමටත් පෙර දී ම තම පාසලත්, දකුණු සිරිලකත් අතහැර අග නගරයට නොදුරින් පිහිටි කොල්ලුපිටිය නම් අර්ධ නාගරික පෙදෙසට පැමිණීමට සිදුවී ඇත්තේ තම පියාගේ අකල් මරණය හේතුවෙන් ඇති වූ පවුලේ හිඩැස හේතුවෙනි. ආදරණීය මෑණියන් සමඟ තම සොහොයුරන් දෙපළ ද කැටිව නව බිමක දිවිය පටන්ගත් මේ තරුණයා, තම පවුලේ නඩත්තුව සඳහා හැරිසන් සහ ක්‍රොස් ෆීල්ඞ් ආයතනයේ රැකියාවේ යෙදෙමින් ම, තම අධ්‍යාපනය නතර නො කර මෝදර ආනන්ද විදුහලට ඇතුළුව දිගට ම පවත්වාගෙන ගොස් ඇත. ගාලු මුවදොර පල්ලියෙන් ඉංග්‍රීසි දැනුමත් පන්සලේ දහම් පාසලෙන් බෞද්ධ දර්ශනයත් හදාරා ඇත.

උපන් හැකියාවන් මත මෙහෙයවනු ලැබූ මෙම තරුණ වියේ හෙළ කුමරුවා, එම අවධියේ සිට ම සමාජ සේවාවන්ට ද යොමුවී තිබේ. විවේකයක් ලද සෑම විටක දී ම නිකරුණේ කාලය කා දැමීමට අකමැති වූ හෙයින්, සම වයසේ අය හා එක්ව අගනුවර ප්‍රඥාවර්ධන බෞද්ධ සමිතිය ආරම්භ කර ඇත. මෙම වකවානුව වන විට මෙම පින්වත් කුමරුවා අභිධර්මාචාර්ය විභාගය උසස් ලෙස සමත් ව සිට ඇත. තමා මුල්ව ආරම්භ කරන ලද ප්‍රඥාවර්ධන සමිතිය තුළින් දහම් පාසල් සිසු සිසුවියන් එක්කරගෙන තමා ලද ධර්ම ඥානය අන් අයට ද දන් දී ඇත.

තම ජාන ශක්තීන්ගේ ක්‍රියාකාරකම් මත මෙම අභිධර්මාචාර්ය තරුණයා, තමාගේ විඤ්ඤාණයේ තැන්පත් ව තිබූ කාව්‍යකරණය කිති කවා පුබුදුවාගෙන, සමාජ යහපත සඳහා මෙහෙයවා ඇත. දිනක් මේ සොඳුරුතම කථානායකයා සම වයසේ කුළුපග මිතුරන් කීප දෙනෙකු ද කැටිව කොළඹ 7 ප්‍රසිද්ධ මල් උයනේ එක් ඇසළ ගස් සෙවණක විවේක සුවයෙන් දොඩමළුව සිටි වේලාවක දී, තවත් ඓතිහාසික සේවාවක් සඳහා පිඹුරුපත් සකස් කරගෙන ඇත. අගනුවර තරුණ කවි සමාජය සිරිලකට හිමිව ඇත්තේ එම හේතුව මත ය. එම කවි සමාජයේ ප්‍රථම ගරු ලේකම් ධුරය හොබවා ඇත්තේ ද අප කථානායකයාණන් විසින් ම ය.

මෙම වකවානුවේ දී දිවයිනේ ජනප්‍රිය සුවඳ විළවුන් නිෂ්පාදනයක් වූ පියස් රෝස් නිෂ්පාදකයෝ වෙළඳ ප්‍රචාරක තරඟයක් පවත්වා ඇත. එම තරඟ නීති රීතිවලට යටත් ව, අප තරුණ අභිධර්මාචාර්ය කවි සමාජ ලේකම්වරයාණෝ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත. ඒ වෙනුවෙන් ත්‍යාගයක් ලෙස කැමරාවක් ලැබී ඇත. පස්වනක් ප්‍රීති හදවතින් යුතුව මෙම තරුණ ජයග්‍රාහකයාණෝ ලද කැමරාවෙන් ප්‍රථම ඡායාරූපය ලෙස සේයා පටලයේ සනිටුහන් කර ඇත්තේ තම දයාබර මෑණියන්ගේ සජීව රූපය ය. එම ක්‍රියාව හෙළයේ නවතම මාවතක ඇරඹුම වේ යැයි මෙම තරුණයා මොහොතකටවත් හිතා නැත. එහෙත් එදා ඔහු සිටි ආර්ථික මට්ටම කැමරාව හා හාද වීමට බාධකයක් වී ඇති හෙයින්, මඳකට කැමරාව පසෙකින් තබා ඇත.

මුළු ලෝකය ම දෙපිළකට බෙදී යුද වදින සමයේ දී මෙම තරුණයාට ඒ ආර් පී සේවාවේ නව රැකියා අවස්ථාවක් උදා වී ඇත. එහි සේවයේ යෙදී සිටිනාතර දී ම ලංකා පොලිස් සේවයට කැඳවා ඇත.

නිල ඇඳුමෙන් ගතත්, ගල් තොප්පියෙන් හිසත්, ආවරණය කරගෙන පොලිස් සේවයෙහි යෙදුනු මෙම නව රාළහාමිගේ සිත තුළ විසූ සොඳුරු කලාකාර කවියා නම් ආවරණය වී නැත. කොළඹට බෝම්බ වැටුන දා අගනුවර තරුණ කවි සමාජයේ ලිපි ලේඛන ගොමුවත් කිහිලි ගන්වාගෙන, රේල් පාර දිගේ පා ගමනින් කොල්ලුපිටියේ සිට කොම්පඤ්ඤ වීදියේ අ. ත. ක. ස. යට විත්, කාරක සභාවට සහභාගී වී ඇත. රැස්වීම නිමවා නැවත සේවකස්ථානය වෙත ආ මොහුට රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවට යටත් කොට වැඩ තහනමකට ලක් කර ඇත. මොහොතකදු හෝ සසල නො වූ මෙම වීරෝදාර තරුණයා, හැරෙන තැපෑලෙන් පිළිතුරු දී සුද්දාගේ රැකියාව අත හැර ගෙදරවිත් ඇත. පසුව චෝදනා පත දුන් සුදු නිලධාරීන් විසින් ම තහනම ඉවත් කර නැවත සේවයෙහි පිහිටුවා ඇත.

පොලිස් සේවයත්, සමාජ සේවයත් එක හා සමාන ව කරගෙන ගිය මොහුට, රහස් පොලිස් සේවා අංශයේ සේවය සඳහා මාරුවක් ලැබී ඇත. මේ මාරුව ඔහුගේ දිවියත්, ලංකාවේ අනාගතයත් විශාල වෙනසකට ලක් කරවන ආශීර්වාදයක් වී ඇත. මෙම තරුණයාට සේවය කිරීමට අවස්ථාව උදා වී ඇත්තේ රහස් පොලිස් දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයේ ය. පෙර දිනක දී පසෙක තැබූ තිළිණ කැමරාව නැවතත් අතට ගත් මේ තරුණයා ඉතා සතුටින් නව සේවයට අවතීර්ණ වී ඇත.

අගනුවර තරුණ කවි සමාජයේ ගරු ලේකම්, අභිධර්මාචාර්ය සොඳුරු කලාකාමී බරන්දෙනියේ රාළහාමි නොහොත් විල්සන් හෑගොඩ නම් වූ අප කථානායකයාණෝ, තමා ලද අලුත් පත්වීම හේතුකොට ගෙන ඡායාරූප ක්ෂේත්‍රයේ අහුමුළු අවුස්සා උගත යුතු සියලු ම තාක්ෂණික ශිල්ප ක්‍රමවේදයන් උගෙනගෙන ඇත. උගත් ශිල්පීය දැනුම මෙහෙයවමින්, රටේ සිදුවූ දරුණු අපරාධ විසඳා ගැනීමට අවැසි සාක්ෂි සොයා තම කැමරාවත් මානාගෙන ලංකාව සිසාරා යන්නට වී ඇත.

ලංකාව තුළ විශාල ආන්දෝලනයකට පත් විල්පත්තු මීනීමැරුම විසඳීම සඳහා අපරාධකරුවන් කොටුකර ගැනීමට තම කැමරාව මානමින් සාක්ෂි සොයමින් ගිය දිනක දී, සිළුමිණ පුවත්පත වෙනුවෙන් සේවය කරමින් සිටි මීමන ප්‍රේමතිලක නම් වූ කවියා මිතුරෙකු බවට පත්වී ඇත.

අගමැති බණ්ඩාරනායක ඝාතනය වැනි රට කැළඹූ අපරාධ විසඳීම සඳහා හෑගොඩ නම් වූ මෙම කැමරා ශිල්පියාගේ සේවය විශාල පිටුවහලක් වී ඇත.

අපරාධ විසඳීම සඳහා සාක්ෂි සොයා කැමරාව මානමින් රට පුරා ගිය විල්සන් හෑගොඩ නම් තරුණ නිලධාරියාගේ තුන්වෙනි ඇසට රට පුරා විසිරී සිටි සිත්තරුන්, කවියන් වැනි බොහෝ කලාකරුවන් පමණක් නොව බෞද්ධ කලා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ නටබුන් පවා ලක් වී සනිටුහන් වී ඇත.

තම කැමරා ඇසට ලක්වූ බොදු කලා නටබුන් රූ එකතුව එක්කර දළදා මාළිගාව තුළ ‘බොදු උරුමය’ නමින් ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වා, හෙළ බෞද්ධ කලාකරුවාගේ දක්ෂතා මුළු ලොවට ම දැක ගැනීමට අවස්ථාව උදා කර දී ඇත. මෙතුමාගේ ඡායාරූප විදෙස් කලාගාර තුළ ප්‍රදර්ශනය වීම නිසා, එතෙර විශාරද ශිල්පීන් පවා මෙතුමා සොයා ලංකාවට විත් ඇත.

රහස් පොලිස් දෙපාර්තමේන්තුව මගින් මෙතුමා වැඩි දුර පුහුණුව සඳහා එංගලන්තයට යවා ඇත. එහි දී මෙතුමා තෙවෙනි ඇසින් කළ ඡායාරූප විදෙස් සඟරා පිටු සැරසීමට පවා යොදාගෙන ඇත. ස්කොඞ්ලන්ඞ්යාර්ඞ්හි සිටි අවධියේ දී, මෙතුමාගේ සේයා රූ නිර්මාණ, මහා බි්‍රතාන්‍ය, ඉතාලිය, රුමේනියාව, ජපානය, චීනය, ඉන්දියාව හා රුසියාව වැනි රට රාජ්‍යයන්හි දී ඇගයීමට ලක්වී ඇත. මෙම සිදුවීම ලංකාවට ගෞරවයක් ලෙස සලකා ගැසටයක් මගින් මෙතුමා ව ඇගැයීමට ලක් කර ඇත. මෙම පණිවුඩය නිදහස් ලොව (Free World) නම් සඟරාව මගින් ලොව පුරා විසුරුවා හැර ඇත.

ධනවත් සුදු ප්‍රජාව වෙතින් තමා උගත් ඡායාරූප කලාව, තම ජාතියට පුද දීමේ පරම පවිත්‍ර වූ චේතනාව හෑගොඩ සූරීන්ගේ හිත් තුළ මෝදුවන්ට පටන් ගත්තත්, දියුණු රටවල ඇති පහසුකම් නොතිබීම විශාල අඩුවක් වී ඇත. එහෙත් කුඩා කල සිට ම අප්‍රතිහත උත්සාහයෙන් යුත් විල්සන් හෑගොඩ විද්වතාණන් මෙම අඩුව ඉදිරියේ පසු බෑවේ නැත. සිංහලෙන් ඉගෙන ගන්නා පාසල් දරු දැරියන් හා ඡායාරූප කලාව කෙරෙහි උනන්දු වන්නා වූ වැඩිහිටි අය වෙනුවෙන් සිංහලෙන් පළ වෙන සඟරාවක් මුද්‍රණය කර පතුරවා හරින ලදී. කැමරා සඟරාවේ ආරම්භය එය යි. මේ සියලු ම සමාජ සේවාවන් වෙළඳ චේතනාවෙන් මුදල් හඹායමින් ඉටු නො කළ එතුමා ජාතියට පහළ වූ ස්වයං ජාත ලක් පුතෙක් ම වන්නේ ය. කොළඹ ආධුනික ඡායාරූප ශිල්පීන්ගේ කණ්ඩායම (Amateur Photographic Colombo Group) මුලින් ආරම්භ කර, පසුව ලංකා ඡායාරූප කලා සංගමය (The National Photographic Art Society) ලෙස පිහිටුවාගත් ඡායාරූප සංගමය තුළින් නොමිලේ ඡායාරූප කලාව උගන්වමින් හෙළ ඡායාරූප ශිල්පීන් බිහිකිරීමට දායක වී ඇත.

මේ සා විශාල යුග මෙහෙවරක් තම ජාතිය වෙනුවෙන් ඉටුකිරීමේ දී, නන්දා ජයවර්ධන හෑගොඩ නම් වූ එතුමාගේ සුන්දර බිරිඳගෙන් ලද නොමඳ සහය අප මේ මොහාතේ දී මතක් කිරීම අපේ යුතුකමක් වනු නියත ය. එතුමියගේ නොමඳ සහය නො ලැබුයේ නම්, විල්සන් හෑගොඩ විද්වතාණන්ට මේ සා විශාල ජනතා සේවයක්, තම මවුබිමේ තමාගේ සොයුරු ජනතාව වෙනුවෙන් ඉටුකර දීමට නො හැකි වනු ඇතැයි එතුමා විසින් ම ප්‍රකාශ කර ඇත.

ශාස්ත්‍රපති සරත්චන්ද්‍ර ජයකොඩි මහත්මා විසින් ගොනු කළ “හෑගොඩ” පොතෙන්,
‘Shutter Art Photographic Digest’ සඟරාවට එච්. ඇම්. ආර්. පෙරේරා මහත්මා ලියන ලද ලිපියෙන්,
පාලිත මහත්මා හා කළ සාකච්ඡාවෙන්,
ලිපිය සඳහා කරුණු උපුටා ගන්නා ලදී.

සටහන – අඛිල ජයලත්

විල්සන් හෑගොඩ වියතාණන්ගේ සියවෙනි ජන්ම දින සැමරුම වෙනුවෙන් පලකරණ ලදී.

Photograph by >> http://www.srilankastamps.lk